ආපසු හැරී බලන විට ජීවිතය පුදුමකාර යැයි සිතේ. තමන් ගෙවන්නේ බෝනස් ජීවිතයක් බව කියන මිතුරෝ කිහිප දෙනෙක් මට සිහිපත් වෙති. මගේ ගෙවුණු ජීවිතය දෙස බැලූ විට, මටද සිතෙන්නේ මා ද බෝනස් හිමියකු බවය. ළඟටම ආ මරණය, ජීවිත රමණයට තව ටිකක් ඉඳපන්යැයි කියා මා අත්හැර නොපෙනී ගිය අවස්ථා නම් එකක් දෙකක් නොවන බව කිව යුතුය. හයිකාර බස්කාරයන් අතින් හුස්ම හිර වන්නට තිබුණු අවස්ථා දෙකක්ම මට මතක් වෙයි. මා වැඩි පුරම සටන් කර ඇත්තේ ‘ඩර්ටි’ ශ්‍රී ලංකාවේ ‘ඩර්ටි’ මිනිසුන් සමඟය.
අනුර දිසානායකගේ ආණ්ඩුවට දින සියයක් සම්පූර්ණ වූයේ ගිය සතියටය. පසුගිය සතියේ ඇරඹුණ ‘ක්ලීන් ශ්‍රී ලංකා’, ආණ්ඩුවේ ප්‍රමුඛතම වැඩසටහනක් බව පෙනෙයි. ‘ක්ලීන්’ හි විරුද්ධ පදය ‘ඩර්ටි’ ය. ශ්‍රී ලංකාව ‘ක්ලීන්’ කරන්න සිදුව ඇත්තේ එය ‘ඩර්ටි’ නිසාය. ‘ඩර්ටි’ වී ඇත්තේ ‘ඩර්ටි’ මිනිසුන් නිසාය.
රෝහණ විජේවීර සහෝදරයා මුට්ට කරගසා, ජීවිතයම කැප කර හැදූ විමුක්තිවාදි පක්ෂයේ ද ඒ දේශපාලන ව්‍යාපාරයට නොගැළපෙන ‘ඩර්ටි’ මිනිසුන් ද මට හමු වී ඇත. ඒ ගැන ඇතැම් විටෙක සඳහන් කර ඇත. ගමේ පන්සල ද ‘ඩර්ටි’ ය. මනස මුල් කරගත් බුදු දහමේ වර්තමාන පෙරගමන්කරුවන්ගේ මනස් ද ‘ඩර්ටි’ බව ඇසෙන, පෙනෙන දේවලින් ගම්‍ය වෙයි.
පාසල ද ‘ඩර්ටි’ වී ඇත. ගුරුවරුන් ප්‍රශ්න පත්තර කලින් පිට කරන තරමට ‘ඩර්ටි’ ය. ප්‍රාථමික පාසලේ විදුහල්පති ශිෂ්‍යත්ව විභාග රෙකෝඩ් එක දිගටම තබාගැනීමට කරන වැඩ උපක්‍රම ‘ඩර්ටි’ ය.
ඉතින් බස් කතා කවර කතා ද?
කිසිදු වගක් නැතිව වැඩ අවසන් කර, නිවෙස් කරා යන මිනිසුන් සිටින බස් රථ ද උදේ වැඩට යන බස් රථ ද මඟ නවතාගෙන කල්පනා මල් වනවලට රිංගන බස් රියැදුරන්, කන්දොස්කිරියා කොන්දොස්තරලා සමඟ පැටලී උන්ගෙන් ගුටිකන්න ආසන්න වන විට හැඟෙන්නෙ බස් එකේ මිනිසුන් නැති බවය. වගකීමක් නැති රියැදුරු, කොන්දොස්තරට වඩා මියැදුණු ගානට ඉන්න බසයේ වුන් ‘ඩර්ටි’ බව සිතෙයි.
වරක් හෝ දෙවරක් බසයකට නැග්ග පසු නියමිත ගණනට වඩා වැඩි මිලක් අය කරන බව දැනගෙන කොන්දොස්තර ප්‍රශ්න කරන විට, ‘මේක සෙමි ලක්ෂරි’ යැයි උජාරුවෙන් කියන කොලුවා සමඟ වාද කරන විට මේකා මොන ජාතියේ පිස්සෙක් ද වැනි අදහසින් මා දෙස බලන, සෙමි ලක්ෂරි මගී ජනයාගේ නින්ද කැඩීමේ වරදට ද මම වගඋත්තරකරුවෙක් වෙමි. මේ සෙමි ලක්ෂරියේ සහ සාමාන්‍ය බසයක ඇති වෙනස නම් බැලූබැල්මටම නොපෙනෙන, අසා දැන ගත යුතු එකකි. එක එකාට ඕනෑ විදිහට පාලනය වූ රටක් ‘ක්ලීන්’ කිරීම පහසු නැතත් කළ යුතුමය; කරනවා නම් එය කළ හැක්කේ ද අනුරටමය. එහෙත් ‘ක්ලීන්’ කරන්නට පොලීසිය යෙදවීමට වඩා මේ බස් හිමියන්ට දැනුම දී, කාලය ද දී ඔවුන් ලවාම එය කරවීමෙන් ආකල්පමය වෙනසක් ද ඇති කරවන්නට අවස්ථාව තිබිණි.
විවිධ වර්ගයේ ‘ඩර්ටිලා’ අපේ සමාජය පුරා සිටින බව අමතක නොකළ යුතුය. හිමිදිරි පාන්දරම හෝ කළුවර රැයෙහි මඟ රැක සිටියහොත් මේ ‘ඩර්ටි’ මහත්තුරුන් නෝනලා අල්ලාගත හැකිය.
ගෙදරින් ගෙනෙන පාවිච්චි කළ ප්‍රීති, මිතුරි, කිරි හටිටි, කිරි පැකට් ඉඳුල් විසි කර ඉගිළ යන මහත්තුන්රු, නෝනලාගේ හිත් කොපමණ තරම් ‘ඩර්ටි’ ද, මිනිස් සිතුම් පැතුම් ‘ක්ලීන්’ කරන්නට බස්වල, ත්‍රිරෝද රථවල අනවශ්‍ය ගැජටි බැජට් ගලවන, පොලීසියට පුළුවන් ද?
ශ්‍රී ලංකාවේ පොලීසියේ ‘ඩර්ටි’ කම් ගැන වැඩියෙන්ම දන්නා පිරිස ඇතැම්විට බස් කොන්දොස්තරලා, ඩ්‍රයිවර්ලා මෙන්ම ත්‍රිරෝද රියැදුරන් ද විය හැකිය. ගෙදර කුණු පාරට දමන මේ මහත්වරුන්, නෝනලාම අති බහුතරයක් ජනාධිපතිවරණයේදී මෙන්ම, මහමැතිවරණයේදී ද ඡන්දය දෙන්නට ඇත්තේ අනුර දිසානායක සහෝදරයාට සහ ජාතික ජන බලවේගයට බව මට ඉතා විශ්වාසය. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ පටන් ගන්න දවස් දෙක තුනකට පෙර ද, මා ජීවත් වන නිවාස සංකීර්ණයට පිවිසෙන මාර්ගයේ අයිනක දමා ගොස් තිබූ ගෙදර කුණු බෑග් කිහිපය මට මතක් වෙයි. ඒවා සුලබ දසුන්ය. මෙහි නිවාසවාසීන් වැඩි දෙනා ද ගෙවුණ දශක හතට ශාප කරමින් ජාතික ජන බලවේගයට ඡන්දය දීමට රොද බැඳ ගත්තවුන්ය.
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන, බස් රථවලින් ආරම්භ නොකොට, පාරවල්වල කුණු දමන උන් ඇල්ලීමේ මෙහෙයුමකින් පටන් ගත්තා නම් මීට වඩා වෙනස් හැඟීමක් රට තුළ ඇති වන්නට තිබිණි. රට පිරිසුදු කිරීමේ ජාතික ජන බලවේගයේ මෙහෙයුම පහළ ස්තරයේ ජාතික ජන බලවේගයේ විශ්වාසය සහ ආදරය ඩර්ටි පොලිස් ලවා අහෝසි කරගැනීමේ මෙහෙයුමක් මෙන් මට දැනෙයි. මධ්‍යම සහ සුපිරි මධ්‍යම පාන්තික ස්තර, කොපමණ දුරටත් සමාජය සහ පරිසරය, අපිරිසුදු කිරීමට දායක වන්නේ ද යන්න රටට පෙන්වීමට තිබූ අවස්ථාව මඟහැරුණු බවක් මට සිතෙයි.
පාතාලය, අපරාධකරුවන්ගේ අණසක මෙන්ම පෞද්ගලික බස් රියැදුරන් සහ කොන්දොස්තරලාගේ නොහික්මුණු, අසංවර, ප්රතිචාරයන් ද පරාජය කළ යුතුය. එය මෙවැනි පොලිස් සන්දර්ශනවලින් එහා යන පුළුල් සමාජ සංවාදයක් සමඟ පෙරට යා යුතු වැඩපිළිවෙළක් විය යුතුය.