අනූව දශකය තෙක් පුවත්පත් නිරීක්ෂණයේදී පෙනී යන්නේ බස් රථවල සෙනඟ වැඩි වූ විට අමුතුම උපකරණයක් බස් රථවල මගීන් නඟින පැත්තේ සවිකර තිබූ බවය. පළමු ටයරයේ අග සිට පසුපස ටයරය ආරම්භය තෙක් බස් රථයේ කකුලක් තබාගෙන යා හැකි ලෙස දිගු රීප්පයක් සවිකොට තිබුණේ සවිශක්තිමත් ලෙසය. එයට කිව්වේ බලු පොල්ල කියාය. බස් රථයේ මගීන් වැඩි වූ විට බලුපොල්ලට කකුල තබාගන්නා මගීන් ජනේලයක් අතරින් අත දමා කිසි තදබදයක් නැතුව හුළං පාරත් වැදීගෙන ගමන යන්නට එය හේතු වාසනා විය.
අනූව දශකය මැද භාගය වන තුරුත් ලංකාවේ බොහෝ බස් රථ කැප්පෙටිපොළ හෝ වේරහැරදී බෝඩ් ගැසූ බස් රථ විය. ඒවායේ තීන්ත ගෑවේ ඉදිරිපස සහ පසුපස රතුපාට හෑන්ඩ් පේන්ට්ය. බස් රථයේ අනෙක් තීන්ත ගෑ එකම තැන වූයේ එන්ජිම වසා ඇති තහඩු කොටයය. අනිත් ඔක්කොම ඇලුමිනියම් තහඩු පාටින් යුතු විය. ඒත් ඉන් පසු ඉන්දියාවෙන් ආනයනය කළ අංග සම්පූර්ණ බස් රථ මුළුමනින් පින්තාරු කළ ඒවා විය. ඒවා ටිකෙන් ටික හැඩවන්නට වූයේ සුදුයකඩ කැටයම්වලිනි. ඊටත් පසු ඩ්‍රයිවර්ගේ ආසනය අසල තොරන් මෙන් සරසන්නට විය. ඒ සමඟම බස් රථයේ මෙවැනි පාඨයක් ද සටහන් විය:
‘උපන්නේ ඉන්දියාවේ. ඒත් ලස්සන කළේ ලංකාවේ කොල්ලෝ’
මේ ලස්සන කිරිල්ලි, තොරන් කොච්චර දුරදිග ගියාද කිව හොත්: බොන්සායි කරන ලද බෝගස්, බුදු පිළිම, බුදුරැස්මාලා, වින්ඩ්ස්ක්‍රීන් වැහෙන තරමට ස්ටිකර්, ඇස් ගහන බෝනික්කන්, මිදි වැල්, අඹ වලු, කෙසෙල් වලු, තිස්තුන්කෝටියක් දේව රූප, බෙල්ල වනන බල්ලන් ආදි එකී මෙකී නොකී අරුමෝසම් ඩෙකරේෂන්වලින් යුතු විය. අරුමෝසම් බඩු කොතරම් වැඩි වුණාද කිවහොත් එළියේ සිට බැලූ විට බස් රථයේ රියැදුරා පවා සොයාගත නොහැකි විය. මේ සමහර බස් රථවල සවිකර ඇති සවුන්ඩ් සෙවන්, ස්පීකර්, ඇම්ප්ලි ෆයර් ගමකට සංගීත සන්දර්ශනයක් දාන්නට තරම් ප්‍රමාණවත්ය. සමහර බස්රථවල රාත්‍රියට බස් රථයේ සිට මහපාරට පත්තු වෙන ලෙස සවි කර ඇති කානිවල් බල්බ අපට සිහි ගන්වන්නේ ගුවන් යානයක් ගුවන්ගත වන විට පත්තු වන ආලෝක ධාරාවන්ය.
ලංකාවේ දැනට ඇති පැරණිතම ත්‍රිරෝද රථය ඉතාලියේ නිෂ්පාදිත 4 ශ්‍රී වර්ගයේ එකකි. ඊට පසු ලංකාවට වාණිජමය වශයෙන් ත්‍රිරෝද රථ පැමිණෙන්නේ 9 ශ්‍රීවලින් පසුවය. අවම තාක්ෂණික මට්ටමක වූ මේ ත්‍රිරෝද රථ පසුපස ටයර් කරකවන ලද්දේ එන්ජිමේ සිට සම්බන්ධ කර තිබූ චේන් එකක් මඟිනි. හෙප්චුල්ලා බෝයිස් නමැති සමාගමක් මේ ත්‍රිරෝද රථ රියැදුරන්ට බදු දී තිබුණත් පසුව මේ ත්‍රිරෝද රියැදුරන් විසින්ම විවිධ ක්‍රමවලට අත්පත් කර ගන්නා ලදි. ඊටත් එහා අතීතයට යෑමේදී පෙනී යන්නේ ජේ.ආර්. යුගයේ සිටි ප්‍රවාහන අමාත්‍යවරයා ඉන්දියාවෙන් බස් රථ ආනයනයේදී ඔහුට ‘දොලපිදේනියක්’ ලෙස මේ ත්‍රිරෝද රථ ප්‍රදානය කොට ඇති බවයි. එහෙත් වාණිජ වශයෙන් ලංකාවේ මුල්බැසගත් ත්‍රිරෝද රථය වන්නේ බජාජ්ය. ඊට පෙර ලංකාවේ ජනප්‍රියතම ත්‍රිරෝද රථය වී තිබුණේ ජපන් ඩයිහට්සු රථය. ඊටත් පසු අටෝරාසියක් ඉන්දීය-චීන ත්‍රිරෝද රථ ආගමනය වුවත් ඒවා මිල දී ගත් ඇත්තන්ට යන එන මං නැති විය. ගරුඩා, කැල්, පයිනියර්, සිග්‍රා සහ විමුක්ත් ඉන් කීපයකි.
ත්‍රිරෝද රථ ලොව ලංකාව තුළ ජයකෙහෙළි නැංවූයේ ඊළඟට පියාජියෝ හා ටී.වී.එස්. ත්‍රිරෝද රථයයි. ත්‍රිරෝද රථ අතුරින් කලකට ඉහත කැරොල් සැරසිලි කරන්නට වූයේ නිවෙස්වල භාවිතා වන ත්‍රිරෝද රථවලටය. ඉස්සර නම් කුලී රථ සඳහා රතු පැහැති අංක තහඩු අනිවාර්ය වුවත් පසුව එය අභාවයට පත් විය. තමන් හයර් නොදුවන ගෙයක භාවිතා කරන රථයක් බවට සලකුණක් වූයේ මේ කැරොල් සැරසිලිය. විවිධ කණ්ණාඩි වර්ග, සන්වයිසර්, සුදුයකඩ බාර්, ත්‍රීවීල් මුහුණත විවිධ සතුන්ගේ විලාසිතා අනුව ෆයිබර්වලින් සැකසීම, ත්‍රිරෝද රථය මෙන් දෙගුණයක වඩා උස ඇන්ටනා, මල් වර්ග, එල්ලෙන වඳුරන්, දේවරූප ආදි බොහෝ සැරසිලිවලින් මේ ත්‍රිරෝද රථ පුරවා තිබුණේ තොරොම්බල් කරත්ත සිහිගන්වමිනි.
බස් රථවල හා ත්‍රිරෝද රථවල මේ තොරොම්බල් සැරසිලි ගැන සමාජයේ කතිකාවක් ආරම්භ වූයේ ඒවා පොලීසිය මැදිහත් වී ඉවත් කිරීමට ආරම්භ කිරීමට පටන්ගත් පසුවය. කරුණු සොයා යාමේදී පෙනී යන්නේ මෙම සැරසිලි ඉවත් කිරීමට පොලීසියට හීනෙන් බය වුණා වගේ නීතිය ක්‍රියාත්මක කිරීමට නීතිමය අවශ්‍යතාවක් නොවූ බවයි.
අප මුලින්ම ගියේ කොටුවේ ත්‍රිරෝද රථ ගාල් කිහිපයකටය. අපට මුලින්ම හමු වූයේ විජේරත්නය.
“මම අවුරුදු 33ක් ත්‍රීවීල් හයර් දුවනවා. සමහර ත්‍රීවීල්වල රෝදවල සුදුයකඩ හිරමන තල වගේ එව්වා හයිකරලා. ඩ්‍රැයිවර්ට පිටිපස්සේ සුදුයකඩ වැටවල් ගහලා උල් ඊතල හයිකරල හැම පැත්තටම. ඇක්සිඩන්ට් වුණාම හයර් එක යන කෙනාට තුවාල වෙන්නෙ. මේ සුදුයකඩ කාල්වලින්, වින්ඩ්ස්ක්‍රීන් එක වැහෙන්න මිදිවැල්, ඇපල් මලු… පාරක් පේන්නේ නැහැ. දැන් වැල්ලම්පිටියේ ගිය සතියේ ත්‍රීවීල් ඇක්සිඩන්ට් එකෙන් තුවාල වුණේ ඔය සුදුයකඩ වැට නිසා.”
“දැන් ඔය අරුමෝසම් ඩෙකරේෂන් ත්‍රිවිල්වල බස්වල ගැලවීම ගැන අදහස මොකක්ද?” අපි විජේරත්නගේ නැවත අසා සිටියෙමු?
“ඕවා කලබලේ කරන්න බැහැ. නීතිය අනුව ඕවා හයි කරන කොටම අල්ලන්නැතුව වැඩේ ඔඩුදිව්වට පස්සේ කලබල වෙලා වැඩක් නැහැ. බතක් වුණත් කන්න නම් ඉදෙනකම් අපිට බලාගෙන ඉන්න වෙනවා. මුලින්ම කරන්න තිබ්බේ මේවා ස්වේච්ඡාවෙන් ඉවත් කරගන්න කාලයක් දෙන එක.”
අපි ඊළඟට කිට්ටු කළේ කොටුවේම ත්‍රිරෝද හයර් දුවන ලෙස්ලිගේ අදහස විමසීමටය.
“මේ ත්‍රිවිල්වල මොන ඩෙකරේෂන් ද මන්ද රු. 40ටත් තිබ්බ කේබල් එක රු. 200/=යි. පෙට්‍රල් 137ට තිබ්බ කාලේ 280 දුවපට හයර් එක පෙට්‍රල් 309 වුනාමත් ඒ ගානමයි. මං මේ සිග්නල් ලයිට් එකක් ගිහින් බොහොම අමාරුවෙන් අද තමයි දාගත්තේ. ත්‍රිවිල්වල ඩෙකරේෂන් දානකොට අපේ හයර් ටික උබර් – පික්මී අරන් ගිහින් ඉවරයි. මං කියන්නේ සාධාරණ විදියට හයර් දුවන කෙනෙක්ට නම් ඕවගේ අරුමෝසම් වැඩවලට වියදම් කරන්න අමාරුයි.”
මේ බොහෝ ත්‍රිරෝද රියැදුරන් කියන්නේ අධික ලෙස මේ අරුමෝසම් සැරසිලි දාන ත්‍රිරෝද රථ මේවා සිදු කරන්නේ නීති විරෝධි යම් ප්‍රවාහන කටයුතුවල යෙදීමෙන් බවය. ජෝඩුවලට කාමර සොයාදීම, නයිට් ක්ලබ්වලට ගනුදෙනුකරුවන් සොයාදීම, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වැනි කටයුතුවල නියුතු වූවන් විය යුතු බවය. ලෙස්ලි කියන්නේ මේවා ඉවත් කළ යුතු බවයි.
කොටුවේ ත්‍රීවීල් හයර් දුවන හේරත් අපට හමුවුණේ මල්වත්ත පාර අසලදී:
“සමහරු සුදුයකඩ බෆර් ගහල, සුදුයකඩෙන් සවලකුත් හයිකරලා තියෙනවා. ඕවා ගලවනන්න ඕන. ඉරඑළිය වැටෙන එකට සන්වයිසර් එකක් හයිකරගන්න එක සාධාරණයි. වැහිවතුර ඇතුළට එන්නැති වෙන්න ප්ලාස්ටික් කෑලි වගේ අනවශ්‍ය දේවල් දෙකතුන තියලා මේ ඩෙකරේෂන් ඔක්කොම ගලවන්න ඕන.”
කොටුවේ ත්‍රීවීල් හයර් දුවන උපසිරි මේ අනවශ්‍ය ත්‍රිවිල් අංගෝපාංගවලට තමන් විරුද්ධ බව අපට පැවසීය:
“සිළුමිණේ කුමාරදාස සපුතන්ත්‍රී අන්තිමට හයර් එක ගියේ මාත් එක්ක. පහුවෙනිදා ගුවනේදී නැති වුණා. මට ඒක අමතක වෙන්නේ නැහැ. ෆිනෑන්ස් එක ගෙවාගන්න සල්ලි නැහැ කියන අයම සෙටප්, බෆල්, ඇම්ප්ලිෆයර් දානවා. සීසර්ලා ඉස්සුවහම ඉස්සෙල්ම ගලෝ ගන්නේ ඔය කෑලි ටික. ඊට පස්සේ ඇලොවීල් ටික ගලවා ගන්නවා. මේ පොඩි වාහනයට මොන ඇලොවිල් ද?”
අපගේ ඊළඟ ප්‍රයත්නය වූයේ බස් රථ රියැදුරන් කිහිපදෙනකුගේ අදහස් විමසා සිටීමය. දීපාල් සරත් අපට අදහස් දැක්වූයේ එයාර්පෝට් බස් රථයක් ගමනාරම්භයට පෙර ලෝක වෙළෙඳපොළ ප්‍රතිවිරුද්ධ දෙසිනි:
“අපි නම් කොහොමත් ඔය අරුමෝසම් කෑලි හයිකරන්නෙත් නැහැ. ඕවා බස්වලට ගැළපෙන්නේ නැහැ. හැබැයි ආණ්ඩුව මේකට සැලකිල්ලෙන් අත දාන්න ඕන. ඔය බස්වල වැඩ කරන, බෆල් ගහන, සීරියල් ලයිට් දාපු දේවරූප පෙට්ටි හදලා කීදෙනෙක් ජීවත් වෙනවද? ඕක මගී ප්‍රවාහන බලපත්‍රය අලුත් කරනකොටම පියවර ගත්තා නම් මේ තරම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.”
සුසන්ත අපට හමුවූයේ කඩවත බස් රථයේදීය:
“මේ දේවල් බස්වලට අනවශ්‍ය දේවල්. හරියට පාරක් පේන්නේ නැහැ. ඩ්‍රයිවර්ට ඉර එළියක් වැටෙන්නේ නැහැ. ඉස්සරහ දොරෙන් බස් එකට නඟින මගියෙක් පේන්නේ නැහැ. සමහර පික්පොකට්කාරයෝ ගහපු පර්ස් එක ඕවා අස්සේ හංගල ටික වේලාවකින් අරගෙන බහිනවා. ඒ හින්දා මේවා ගලවන්නම ඕනෑ.”
මහින්ද අපට හමුවන්නේත් ගමනාරම්භය තෙක් බස් රථය පණගන්වාගෙන සිටින විටය:
“අයියෝ! මේ නූල්කෑලි, බල්බ්කෑලි, ප්ලාස්ටික් මිදි, රිලව් මොනාටද බස්වලට. ඉස්සර නම් හයර් දුවන බස් තමයි ඔහොම ඩෙකරේෂන් දැම්මේ. දැන් මේක පිළිලයක් වගේ මේ ඔක්කොම අයින් කරන්න ඕන. පොලීසිය යොදාගෙන ඕක කරන්න ගියොත් ආරවුලක් වෙනවා. ඊයේ මෙතැන හුඩ්රැක් එකක් තියෙන බස් එකක ඉනිමඟ ගලවන්න කිව්වා. එතකොට හුඩ්රැක් එකට නඟින්නේ කොහොමද?”
අවසානයේ අපට මේ අරුමෝසම් විලාසිතා බස් රථවල සහ ත්‍රිරෝද රථවල එල්ලීම ගැන නීතිමය තත්ත්වය සොයාගැනීමට අවශ්‍ය විය. මෝටර් රථ වාහන ආඥා පනතේ නීති විරෝධි සවිකිරීම් සමඟ ධාවනය වන රථවාහන සම්බන්ධයෙන් වන නීතිමය ප්‍රතිපාදන පැහැදිලිව දක්වා ඇත. එහි වාහනයේ වර්ණය වෙනස් කිරීම, නිවි නිවී දැල්වෙන විවිධ වර්ණ සහ අමතර පහන් සවිකර ධාවනය, බස් රථවල නළා භාවිතය ආදිය සම්බන්ධයෙන් ද එහි කරුණු පෙළගස්වා ඇත. එහි නීති විරෝධි සවිකිරීම් හා නිර්මාණ වෙනස් කිරීම සම්බන්ධයෙන් බලාත්මක වන 2009 අංක 8 දරන මෝටර් පනත (සංශෝධන) පනතෙහි 5 වැනි වගන්තියෙන් සංශෝධිත දෙවැනි වගන්තිය හා 9 වැනි වගන්තියෙන් සංශෝධිත 10 (2) වගන්තිය ප්‍රකාරව මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට නීතිමය ප්‍රතිපාදන සැලසී තිබේ.
කෙසේ වෙතත්, නීතිමය පියවර ගැනීමට පෙර මේ ත්‍රිරෝද රථවල සහ බස් රථවල මේ නීති විරෝධි කැරොල් කෑලි ස්වේඡාවෙන්ම ඉවත් කර ගැනීම ත්‍රිරෝද හා බස් රථ හිමියන් කටයුතු කරන්නේ නම් එය බෙහෙවින්ම ප්‍රශංසනීයය.
ඡායාරූප – රංජිත් අසංක
වජිර ලියනගේ