Home » හැර දමා ගිය බිරියගෙන් දරුවාට නඩත්තු ගන්න පුළුවන්

හැර දමා ගිය බිරියගෙන් දරුවාට නඩත්තු ගන්න පුළුවන්

නීතිඥ නිපුනි පෙරේරා

by Mahesh Lakehouse
January 11, 2025 12:29 am 0 comment

අද සමාජයේ බහුතර නීති ගැටලු ආදරය, විවාහය හා විවාහයෙන් පසු කාලය මුල් කරගෙන මතු වේ. සුන්දර ආදරය අවසානයේ අපරාධකරුවන් බිහි කරමින් අවසන් වේ. නිදහස් ජීවිත නිවෙස තුළම පීඩාකාරි අපායන් බවට පත් කරගෙන නවතී. වැරදුණේ කොතැනද? ජීවිතය විඳීමක් මිස විඳවීමක් නොවන්නට බුද්ධිමත් ඔබ අවදියෙන් සිටින්න.

ගැටලුව:

නීතිඥතුමියනි, මම වයස අවුරුදු 4ක පමණ පුංචි පිරිමි දරුවකුගේ පියෙක්. මගේ බිරිය එනම් දරුවාගේ මව වෙනත් සබඳතාවක් නිසා දරුවාත් මමත් හැර ගොස් වෙනම ජීවත් වෙමින් සිටිනවා. මා දැනට මගේ මවුපියන්ගේ නිවෙසේ දරුවා සමඟ වාසය කරනවා. මා මින් පෙර කම්කරුවකු ලෙස රැකියාවක් කළ ද රැකියාවේදී මගේ දකුණු අත අනතුරකට ලක් වීම නිසා ආබාධිත තත්ත්වයට පත්ව රැකියාවෙන් ඉවත් වීමට සිදු වුණා. බිරියගේ වැටුපෙන් තමයි මමත් දරුවාත් ජීවත් වුණේ. ඒත් දැන් ඇයගේ අනියම් සබඳතාව නිසා අපට තිබූ සැලකීම ක්‍රමයෙන් අඩු වෙලා. ඇය දෙන සුළු මුදල මටත් දරුවාටත් ජීවත් වීමට කිසි සේත් ප්‍රමාණවත් නැහැ. මට දරුවා ලබන වසරේ සිට පාසලට ඇතුළත් කිරීමට සිදු වනවා. ඒ වියදම් දැරීමටත් මට හැකියාවක් නැහැ. මේ සම්බන්ධයෙන් දරුවාට අවශ්‍ය වියදම් හෝ මවගෙන් ලබා ගැනීමට නීතිය මඟින් කළ හැකි දෙයක් තිබෙනවා ද?

පිළිතුර:

ඔබේ ප්‍රශ්නය තුළ නීති ගැටලු කිහිපයක් තිබෙනවා. ඔබේ ප්‍රධාන ප්‍රශ්නයට පිළිතුර තමයි ඔබට බිරියගෙන් වියදම් ලබා ගැනීම සඳහා නඩත්තු නඩුවක් ගොනු කිරීමේ හැකියාව තිබෙනවා. බිරියගේ ආදායම් හා වත්කම් අනුව ඔබටත් දරුවාටත් සාධාරණ මුදලක් බිරියගෙන් අධිකරණය මඟින් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඔබට ආහාරපාන, ලෙඩරෝග, දරුවාගේ අධ්‍යාපන ආදි වියදම්ද අධිකරණයෙන් සලකා බලනවා. සාමාන්‍යයෙන් අධිකරණ කටයුතුවල ස්වභාවය අනුව ඒ මාර්ගයෙන් මුදල් ලබා ගැනීමට මාස කිහිපයක් ගත විය හැකියි. එහෙත් ඔබ දැඩි මුදල් ප්‍රශ්නයක සිටින්නේ නම් කල් නොයවා මුල් අවස්ථාවේම අධිකරණයෙන් සහනයක් සලසා ගැනීමට ඉල්ලුම් කිරීමේ හැකියාව තිබෙනවා.

ඔබ ඔබට ආසන්නම උසාවිය අසල ඇති නීතිඥ කාර්යාලයකට නැත හොත් ඔබට ආසන්න නගරයේ ඇති නීතිඥ කාර්යාලයකට හෝ කළු සුදු නීතිඥ පුවරුවක් දක්වා ඇති නිවෙසක කාර්යාලයකට හෝ ගොස් ඔබට ඔබේ කරුණු දක්වා තම බිරියගෙන් තමාට සහ දරුවාට නඩත්තු ලබා ගැනීමට නඩත්තු නඩුවක් ගොනු කිරීමට අවශ්‍ය බව දන්වා සිටිය හැකියි. නීතිඥ ගාස්තුද දැරීමට නොහැකි තරම් ආර්ථික අපහසුතාවලින් ඔබ පෙළෙන්නේ නම් ඔබට ආසන්නම උසාවියේ ඇති නීති ආධාර ඒකකයට ගොස් ඔබේ ගැටලුව ඉදිරිපත් කර, අවශ්‍ය නීතිඥ සහාය ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. මෙහිදී දුප්පත්කම යනු ඔබ අප සැම පෙළෙන සාමාන්‍ය දුප්පත්කම නොව, සත්‍ය වශයෙන්ම පවතින මූල්‍ය අපහසුතාවක් විය යුතුයි. ඔබගේ අපහසුතා ග්‍රාම නිලධාරි සහතික ආදියෙන් තහවුරු කළ යුතු වේ.

ඔබේ බිරිය අනියම් සබඳතාවක යෙදෙන බවද සඳහන් කර තිබෙනවා. ඔබට ඇයගෙන් දික්කසාද වීමට අවශ්‍ය නම් ‘අනාචාරය’ යටතේ වැඩිදුරටත් ඇයගෙන් දික්කසාද ලබා ගැනීමටත්, ඒ සඳහා වන්දි අය කර ගැනීමටත් හැකියාව තිබෙනවා. දික්කසාදයෙන් පසු ඔබට ඇයගෙන් නඩත්තු ලබා ගැනීමේ හැකියාවක් නැහැ. එහෙත් දික්කසාදයෙන් පසුව වුවද දරුවාට නඩත්තු ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.

එසේම ඔබ සඳහන් කර ඇති ආබාධිත වීමේ ගැටලුවටත් කම්කරු නීතිය යටතේ ඔබේ සේවා යෝජකයාගෙන් නැත් නම් ප්‍රධානියාගෙන් වන්දි ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ සම්බන්ධ හැකියාව, නොහැකියාව ඒ ඒ අවස්ථානුගත කරුණු අනුව තීරණය කළ හැකියි.

මෙහිදී පොදුවේ නඩත්තු ලබා ගැනීමට අවශ්‍ය ඕනෑම කෙනකු දැනගත යුතු අමතර කරුණු ඉදිරිපත් කර සිටිමි.

1999 අංක 37 දරන නඩත්තු පනතෙන් තමන්ටම තමන්ගේ නඩත්තුව කරගත නොහැකි අයෙකුට නඩත්තු ඉල්ලීමේ හැකියාව තිබෙනවා. නඩත්තු පනත යටතේ මේ ඉල්ලීම කිරීමට හැකියාව තිබෙන්නේ පාර්ශ්ව හතරකට පමණයි. එනම්:

• කලත්‍රයා හෙවත් සහකාරයාට. එනම් රැකියාවක් නොකරන බිරියකට සැමියාගෙන්, රැකියාවක් නොකරන සැමියාට බිරියගෙන් නඩත්තු ඉල්ලීමේ හැකියාව ඇත.

• දරුවකුට. දරුවකු යනු වයස අවුරුදු 18ට අඩු අයෙකි. (1989 අංක 17 දරන පනතින් සංශෝධිත 1865 අංක 7 දරන වයෝපූර්ණත්ව (පූර්ණ වයස්) ආඥා පනත අනුව වයස අවුරුදු 18ට අඩු පුද්ගලයෙක් ළමයකු ලෙස හඳුන්වනු ලැබේ) දරුවකු ඉපදුණු පසු ඔහු හෝ ඇය අත්හැරිය හැකි වගකීමක් නොවේ. වයස අවුරුදු 18ට අඩු තමාගේ සෑම දරුවකුම නඩත්තු කිරීමට මවට හා පියාට එක ලෙස නීතියෙන්ම බැඳියාවක් පවතී.

• වයස අවුරුදු 18ත් 25ත් අතර දරුවකුට (වියපත් දරුවා ලෙස හඳුන්වනු ලැබේ) වයස අවුරුදු 18ට වැඩි වුවත් ඉගෙනීමේ කටයුතු හෝ වෙනත් අවසුථානුගත හේතු නිසා තමාගේ නඩත්තු සලසාගත නොහැකි නම් ඔහු හෝ ඇයට තවදුරටත් මවුපිය රැකවරණය යටතේ ජීවත් වීමේ අයිතිය නීතිය මඟින් සලසා ඇත.

• ආබාධිත දරුවකුට. මෙහිදී වයස් භේදයකින් තොරව ආබාධිත දරුවකු නඩත්තු කිරීමට මවුපියෝ බැඳී සිටිති.

මේ නඩත්තු නඩුව සැම විටම මහේස්ත්‍රාත් අධිකරණයක ගොනු කිරීම හා විභාගයට ගැනීම සිදු වේ. එසේම නඩත්තු නඩුවක් ගොනු කිරීමට නඩත්තු නොලබන පාර්ශ්වයම විය යුතු නැත. ඔවුන් වෙනුවෙන් වෙනත් පාර්ශ්වයකට වුවද නඩුව ගොනු කිරීමේ හැකියාව පවතී.

ගැටලුව:

මට වයස අවුරුදු 21ක්. මගේ පෙම්වතියට අවුරුදු 16ක් වෙනවා. ඇගේ මවුපියන්ගෙන් එක් අයකුගේ හෝ කැමැත්ත තිබෙනවා නම් මට ඇය විවාහ කරගැනීමට හැකියාව තිබෙනවාද?

පිළිතුර:

මෙය බොහෝ තරුණ තරුණියන් පුන පුනා අප වෙත ගෙන එන ගැටලුවක්. අප රටේ සාමාන්‍ය විවාහය සඳහා බලපාන්නේ 1907 අංක 17 දරන සාමාන්‍ය විවාහ හා දික්කසාද ආඥා පනතයි. එයට අනුව නීත්‍යනුකූලව වලංගු විවාහයකට ඇතුළත් වීමට නම් ස්ත්‍රිය හා පුරුෂයා යන දෙදෙනාම වයස අවුරුදු 18 සම්පූර්ණ කර සිටිය යුතුය. මේ වයස ඉහත කී පනතට ගෙනා 1995 අංක 18 දරන සංශෝධන පනත අනුව ස්ථාපිත කරන ලදි. ඔබ සාමාන්‍ය පහත රට පුද්ගලයකු බවට උපකල්පනය කළ හොත් (ජාතිය, ගම්පළාත ආදි විස්තර දක්වා නැති නිසා) සාමාන්‍ය නීතිය යටතේ විවාහ වීමට නම් ඔබේ පෙම්වතියත් වයස අවුරුදු 18 සම්පූර්ණ කරන තුරු අනිවාර්යයෙන්ම සිටීමට සිදු වනවා. දෙදෙනාම වයස අවුරුදු 18 සම්පූර්ණ නොකර විවාහ වීමේ කිසිදු හැකියාවක් සාමාන්‍ය නීතිය යටතේ නැහැ. වයස අවුරුදු 18 සම්පූර්ණ වූ විට ඕනෑම පුද්ගලයකු වැඩිහිටියකු සේ සැලකෙයි. 18ට අඩු විට ළමයෙකු සේ සැලකෙන අතර, 18ට අඩුවෙන් මවුපිය කැමැත්ත තිබුණද විවාහ වීමට පවතින නීතියෙන් අවසර නැත.

එහෙත් ඔබ උඩරට තැනැත්තකු නම් හෝ උඩරට තැනැත්තකු විවාහ කරගැනීමට බලාපොරොත්තු වන්නේ නම් ද, සාමාන්‍ය නීතිය යටතේ විවාහ නොවී 1952 අංක 44 දරන උඩරට විවාහ හා දික්කසාද පනත යටතේ විවාහ වන්නේ නම් ද අවුරුදු 18ට අඩු අවස්ථාවක කොන්දේසි සහිතව විවාහ වීමේ හැකියාව තිබෙනවා. එසේම ඔබ මුස්ලිම් නීතිය යටතේ විවාහයට එළඹෙන ඉස්ලාම් භක්තිකයකු නම්ද 1951 අංක 13 දරන මුස්ලිම් විවාහ හා දික්කසාද පනත යටතේ වයස අවුරුදු 18ට අඩුවෙන් කාතිවරයාගේ අවසරය මත විවාහවීමේ හැකියාව තිබෙනවා.

මෑතකදී මේ විසිරී ඇති විවාහ වයස් හා වෙනස් නීති නිසා ඇති වන විවිධ ගැටලුවලට පිළියමක් ලෙස ඉදිරිපත් කෙරුණු විවාහ වීමේ අවම වයස පනත් කෙටුම්පත බලාත්මක වන්නේ නම් භේදයකින් තොරව ශ්‍රී ලංකාවාසි සෑම අයකුටම අදාළ වන පරිදි විවාහවීමේ අවම වයස අවුරුදු 18 වනු ඇත.

විවාහය යන ජීව විද්‍යාත්මක සංසිද්ධිය වයස තැකීමක් නොකරයි. විවාහය යන සංස්කෘතිකමය සංසිද්ධිය සමාජයීය වශයෙන් වඩා පහසු වයසක් සකසා ගෙන තිබේ. එහෙත් විවාහය යන මනෝවිද්‍යාත්මක සංසිද්ධිය පවසන්නේ ඔබ සූදානම් වූ විට හෝ ඔබට අවශ්‍ය වූ විට විවාහ වන ලෙසයි.

සබඳතා කෙරෙහි අනවශ්‍ය ලෙස ලොල් වීමෙන් ජීවිතයේ සත්‍ය අර්ථයෙන් ඈත් වී, අනෙකාත් පීඩාවට පත් කර තමාත් පීඩාවට පත් වී, අවසානයේ ඉතිරි වන දෙයක් නැත. ඔබ විවාහ වන්නේ මේ කුමන අයුරින් වුවද, ගෞරවනීය වූත් ආදරණීය වූත් ආදරයට හා විවාහයට අවබෝධයෙන් එළඹෙන්න.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division