Home » රේගු අංගණවල දිරා යන කෝටි ගණනක වාහන

රේගු අංගණවල දිරා යන කෝටි ගණනක වාහන

by Mahesh Lakehouse
January 11, 2025 12:30 am 0 comment

මේ වාහනවලින් බොහොමයකට ඇත්තේ යකඩ බර වටිනාකම විතරයි 
– ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ

* රේගු භාරයේ ඇති බහලුම් තොගයකුත් ඒ අතර
* මට්ටක්කුලියේ ඉඩමට වාර්ෂිකව විශාල බද්දකුත්
* මට්ටක්කුලියේ වාහන 435ක් රුහුණුපුර වරාය බිමේ 202ක්

ශ්‍රී ලංකා රේගුව සැලකෙන්නේ මෙරට පැරණිතම දෙපාර්තමේන්තුවලින් එකක් ලෙසිනි. වසර 219ක ඉතිහාසයකට උරුමකම් කියන මේ ආයතනය ක්‍රියාත්මක වන්නේ පූර්ණ බලතල සහිත රාජ්‍ය ආයතනයක් වශයෙනි.

මෙරට රාජ්‍ය ආදායම් රැස් කිරීමේ කාර්යය ඉටු කරන ප්‍රධානම රාජ්‍ය ආයතනයක් වන ශ්‍රී ලංකා රේගුව සමස්ත රාජ්‍ය බදු ආදායමෙන් රැස් කර දෙන ප්‍රමාණයට 50%කට ආසන්නය. තනි ආයතනයක් ලෙස රාජ්‍ය බදු ආදායමෙන් වැඩිම කොටසක් රැස් කර දෙන්නේද ශ්‍රී ලංකා රේගුවයි.

‘ශක්තිමත් දේශසීමාවක් හරහා ආරක්ෂිත හා සමෘද්ධිමත් දේශයක්’ සිය දැක්ම කරගත් ශ්‍රී ලංකා රේගුවේ මෙහෙවර වන්නේ ‘ආදායම සුරක්ෂිත කිරීමත්, පරිසරය හා සමාජය ආරක්ෂා කිරීමත්, බාධක රහිත වෙළෙඳ ප්‍රවාහනයක් මෙන්ම සංචාරක ප්‍රවර්ධනය කිරීමත් සඳහා සුපිළිපන්භාවය සහ වෘත්තීයභාවය සහිත ලොව පළමු පෙළේ රේගු සේවාවක් සැපයීම’ යි.

ආදායම් එකතු කිරීම, නීතිය බලාත්මක කිරීම, වෙළෙඳාම සඳහා පහසුකම් සැලසීම මෙන්ම සමාජ ආරක්ෂාව යන මූලික ක්ෂේත්‍ර 4ක් කෙරෙහි අවධානය යොමු කරමින් ක්‍රියාත්මක ශ්‍රී ලංකා රේගුව එතෙක් මෙතෙක් ඉතිහාසයේ ඉහළම ආදායම උපයාගැනීමට සමත් වන්නේ 2024 වසරේදීය. රුපියල් ට්‍රිලියන 1.534ක් වූ එම ආදායම බිලියනවලින් නම් රුපියල් බිලියන 1,534කි. ඒ 2024 වර්ෂයේ ශ්‍රී ලංකා අපේක්ෂිත රේගු බදු ආදායමට වඩා රුපියල් බිලියනයක් වැඩියෙනි.

ශ්‍රී ලංකා රේගුව මේ ඉලක්කය 2024 වසරේ සපුරාගන්නේ සමස්ත රේගු ආදායමෙන් 25%ත් 30%ත් අතර වූ ආදයමක් ලැබෙන වාහන ආනයනය සීමා කර තිබීමේ පසුබිමක වීමද විශේෂිතය. මේ සීමා කිරීම් නොවන්නට වාහන බදු ආදායමත් එකතු වී නම් බොහෝ විට 2024 රේගුව විසින් රජයට උපයා දුන් ආදායම රුපියල් ට්‍රිලියන 2ක ඉක්මවනු ඇත.

රේගු දෙපාර්තමේන්තුවේ තොරතුරුවලට 2024ට පෙර වැඩිම බදු ආදායමක් උපයාගෙන ඇත්තේ 2023 වසරේදීය. ඒ ගණන රුපියල් බිලියන 975කි. මේ ආදායම පවා ශ්‍රී ලංකා රේගුව රජයට උපයා දෙන්නේ වාහන ආනයනය කිරීම් දැඩිව සීමා කර තිබියදීය.

ආර්ථික අර්බුදය මුල් කරගෙන වාහන ආනයනය කිරීම් සම්බන්ධයෙන් සීමා පැනවීම් සිදු වන්නේ 2020 වසරින් පසුවය. රේගු තොරතුරු සඳහන් කරන ආකාරයට අනුව සීමා පැනවීමෙන් පසු මෙරටට වාහන ආනයනය කර ඇතත්, ඒ විශේෂ අවස්ථාවලදී පමණි. විශාල ලෙස ඒ තුළින් බදු ආදායමක් උපයා ගත් බවක් පෙනෙන්න නැත. එහෙත් 2020ත් 2015ත් අතර කාලයේ මෙරටට ගෙන්වා ඇති වාහන ප්‍රමාණය පමණක් 2,498,714කි. මේ වාහන මෙරටට ගෙන්වා ඇත්තේ රටවල් 68ක සමාගම් 100කිනි. මෙකී වාහනවලින් ලද බදු මුදල් ආදායම පමණක් රුපියල් බිලියන 991.12කි.

ශ්‍රී ලංකා රේගුවේ වාර්තා පොත් අතර සටහන්ව ඇති ආකාරයට අනුව 2023ට පෙර වැඩිම රේගු ආදායමක් රජයට උපයා දී ඇත්තේ ඊට වසර 5කට පෙරය. ඒ 2018 වසරේදීය. එම ගණන රුපියල් බිලියන 919කි. රේගුව විසින් රජයට උපයා දෙන බදු මුදල් ආදායම අඩුවීමට මේ කාලය තුළ බලපෑ හේතු අතර ඇතැම් දේශපාලනඥයන් ගැසූ ගේම්ද නැත්තේම නැත. සීනි බදු වංචාව ඒ අතර අදටත් කතාබහට ලක් වෙමින් ඇති මෙරට ඉතිහාසයේ සිදු වූ දැවැන්තම බදු වංචාවකි.

රේගුවේ බදු ආදායම අද ඉහළ යන්නට බලපා ඇත්තේ එවැනි ගේම් ගසමින් අත යට ගනුදෙනු කිරීමට වත්මන් ආණ්ඩුව කිසි සේත්ම සූදානම් නැති බැවිනි. සහල් ආනයනයේදී පවා විශාල බදු මුදල් ආදායමක් උපයා ගැනීමට රේගුවට හැකියාව ලැබෙන්නේද එබැවිනි.

එය එසේ වුවත් රජයට සැලකිය යුතු ආදායමක් උපයා ගැනීමට හැකියාව ඇති රේගුව විසින් අත්අඩංගුවට ගත් වාහන ගොන්නක්ම අවුවට වේළෙමින්, වැස්සට තෙමෙමින් මට්ටක්කුලියේ පිහිටි ඉඩමකත් රුහුණුපුර වරාය භූමියේත් ඇත්තේ දිරා යමිනි.

2024 වසරේ නිකුත් වූ 2023 වර්ෂයට අදාළව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සඳහන්ව ඇති ආකාරයට මට්ටක්කුලියේ සහ රුහුණුපුර වරාය භූමියේ ගාල් කර ඇති වාහන ප්‍රමාණය 637කි. 2023 දෙසැම්බර් 31 දා වන විට මේ අතුරින් වාහන 435ක්ම තිබී ඇත්තේ මට්ටක්කුලියේ පිහිටි ඉඩමේය. අත්අඩංගුවට ගත් වාහන ගාල් කර තැබීම වෙනුවෙන්ම මේ ඉඩම ගෙන ඇත්තේ පෞද්ගලික සමාගමකිනි. ඒ රුපියල් මිලියන 41.8ක් වාර්ෂික කුලී මුදලක් ගෙවමිනි. ඒ, විටින් විට මෙකී ඉඩමේ ගිවිසුම් කාලය පවා අවස්ථා කිහිපයකදීම දීර්ඝ කර ගනිමිනි. වාහනවලට අමතරව මේ ඉඩමේ රේගු භාරයේ ඇති ඇතැම් බහලුම්ද ගොඩගසා තිබේ. ඒවායේ ඇත්තේද ප්‍රශ්නගත භාණ්ඩය.

විගණකාධිපති වාර්තාවේ දැක්වෙන ආකාරයට මට්ටක්කුලියේ පිහිටි ඉඩමේ ගාල් කර ඇති වාහන 435න් වාහන 152ක්ම වසර 5කට පෙර අත්අඩංගුවට ගත් ඒවාය. ඒ අනුව පෙනී යන්නේ මේ වාහන වසර 5කට වැඩි කාලයක් තිස්සේ එහි ඇති බවය.

මේ හැරුණු කොට වාහන 202ක්ම ඇත්තේ රුහුණුපුර වරාය භූමියේය. එම වාහන අතර ඇති වාහන 36ක් වසර 5කට පෙර අත්අඩංගුවට ගත් ඒවාය.

විශාල කුලී මුදලක් ගෙවමින් ලබාගෙන ඇති ඉඩමක දිරාපත් වන්නට හැර ඇති මෙම වාහන 637න් වැඩි ප්‍රමාණයක් සුඛෝපභෝගි වාහනය. මේ වාහන රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ රේගු බදු වංචා කරමින් හොර පාරෙන් රැගෙන එන්නට ගොසිනි. මේ වාහන අතර රජය විසින් රථවාහන ආනයනය තාවකාලිකව තහනම් කර තිබුණු කාලයේ ආනයන සීමා උල්ලංඝනය කර හොර පාරෙන් රට තුළට ගෙන ඒමට උත්සාහ ගත් වාහන 240ක්ද ඇති බව සඳහන්ය.

එකී වාහන ඇතුළු අවුවට වැස්සට නිරාවරණය වෙමින් දිරාපත් වෙමින් ඇති වාහන වෙන්දේසි කිරීමෙන් ආදායමක් උපයාගැනීමට ඇති හැකියාව බොහෝය. මේ ගැන විගණකාධිපතිවරයා සිය වාර්ෂික වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ බලධාරින්ගේ අවධානයට ලක් කරමිනි.

ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පවසන්නේ මෙහි ඇති වාහනවලින් බොහොමයකට වටිනාකම් නැති බවය. මේවායේ ඇත්තේ යකඩ බර වටිනාකම පමණක් බවද ඔහු පවසයි.

වාහන වෙළෙඳපොළේ රුපියල් කෝටි දෙක තුන වටිනාකම් ඇති සුඛෝපභෝ‍ගි වාහන පවා මේ අංගණයේ ගොඩගසා තිබියදී ඒවාට වටිනාකමක් නැතැයි පැවසීම හතර බිහිරි කතාවකි. ඒ නිසාම ඒ ගැන හාරාවුස්සා විමසීමේදී සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ අමුතු කතාවකි. ඒ මෙහි ඇති බොහෝ වාහන කොටස් එකලස් කර ඇති ඒවා බැවින් එවැනි වාහන සඳහා වටිනාකමක් නැති බවය. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ පවා මෙවැනි වාහන ලියාපදිංචියට නොගන්නා බවද ඔහු සඳහන් කරයි. මෙවැනි වාහනවල ඇත්තේ යකඩ බර පමණක් බව ඔහු පෙන්වා දුන්නේ එබැවිනි.

රේගුවට අනුව මෙවැනි සුඛෝපභෝගි වාහන යකඩ බරක වටිනාකමට පමණක් සීමා වන්නේ ආනයනික අවස්ථාවේදී රේගුවට හසු වුව හොත් පමණි. රේගුවේ ඇස් වසා දූෂිත රේගු නිලධාරීන්ගේ ආශීර්වාදයෙන් රට තුළට එන වාහනවල වටිනාකම් සඳහන් වන්නේ රුපියල් කෝටි ගණන්වලිනි. බලපුලුවන්කාර බොහෝ අය පසුගිය වකවානුවේ පරිහරණය කළේ එවැනි වාහනය. හිටපු අමාත්‍යවරයකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට හිරේ විලංගුවේ පවා ලගින්න වූයේ එසේ හොරට ගෙනා බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථයක් හේතුවෙනි. මෑත කාලයේ රට වටෙන්ම තැන තැන කළ මෙහෙයුම්වලින් පොලිසිය සොයාගත් ඩිෆෙන්ඩර් ඇතුළු සුඛෝපභෝගි වාහනද රට තුළට ආවේ රේගුවේ ඇස් වසාය. ඒ අනුව බලන කල රේගුවේ ඇස් වසා රට තුළට ආ වාහන ගණන සුළුපටු නැත. මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම අල්ලස් කොමිෂන් සභාව විසින් පරීක්ෂණ දෙකක් ක්‍රියාත්මක කර ඇත්තේ වාහන සිය ගණනක් සම්බන්ධයෙනි. ඒවා පොඩි මිනිහා පරිහරණය කරන ඒවා නොව, රුපියල් කෝටි ගණනින් මිල නියම වන සුඛෝපභෝගි වාහනය. මෙවැනි වාහන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ පවා හොර ක්‍රමයට ලියාපදිංචි වී තිබීමද විශේෂය. මෙමඟින්ද රටට අහිමි වන බදු ආදායම විශාලය. එසේම එවැනි වාහන අතින් අත අලෙවි වන්නේ යකඩබරට නොව, වෙළෙඳපොළ වටිනාකමටය.

රේගුවෙන් රිංගා රට තුළට යන වාහනවලට එවැනි වටිනාකමක් ලැබුණද රේගුවට හසු වන නීති විරෝධි වාහන අතර ඇති එකලස් කළ වාහන නම් වෙන්දේසි වන්නේ යකඩ බරටය. ඒ ගෙඩිය පිටින් නොව, යකඩ ගොඩක් ලෙසිනි. රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පවසන්නේ මෙවැනි වාහන අලෙවි කරනු ලබන්නේ යකඩ ගොඩක් බවට පත් කරමින් බවයි.

ඒ හැරුණු කොට සෙසු වාහනද වෙන්දේසියේ විකුණනු ලබයි. ඒ වෙළෙඳපොළ වටිනාකමට නොවුණත්, නිසි ලෙස රජයට බදු ලැබෙන ආකාරයටය. එහෙත් මෑතකදී මට්ටක්කුලියේ හෝ රුහුණුපුර වරාය පරිශ්‍රයේ ගොඩගැසී ඇති කිසිදු වාහනයක් වෙන්දේසි කළ බවට තොරතුරක් නම් දැනගන්න නැත. ඒ ගොඩගැසී ඇති බොහෝ වාහන සම්බන්ධයෙන් අධිකරණ කටයුතු ඇති බැවිනි. මේ වාහන ගොඩගැසී ඇත්තේ අධිකරණ කටයුතු අවසන් වන තුරු පමණක් බවද අරුක්ගොඩ මහතා පවසයි.

විගණකාධිපති වාර්තාවේ සඳහන් වන්නේ 2023 අවසන් වන විට පැවති තත්ත්වයයි. එසේ වුවත් ඒ ගණන් මිනුම්වල අද තත්ත්වය විශාල වශයෙන් වෙනසකට ලක්ව නැත. ඒ තවමත් එම වාහන දිරාපත් වෙමින් ඇති බැවිනි.

මේ වාහන යකඩ බරට හෝ විකුණා දමා යම් ආදායමක් උපයා ගැනීමට හැකියාව ඇත්තේ දිරාපත් වෙමින් පොළොවට පස් නොවී පැවතිය හොත් පමණි. විගණකාධිපතිවරයාගේ පාර්ශ්වයෙන්ද අවධානය යොමු කරනු ලබන්නේ විධිමත් ක්‍රියාමාර්ග ගනිමින් නොපමාව මේ වාහන සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසයි. එසේ නොවුව හොත් සිදු වන්නේ යකඩ බරටවත් මේ වාහන වෙන්දේසියේ විකුණා දැමීමට නොහැකි වීමය. විගණකාධිපතිවරයා වරක් සිය විගණන විමසුමේදී පෙන්වා දී තිබුණේ මෙහි ඇති ඇතැම් වාහනවල විමර්ශන ගොනු පවා අස්ථානගතව ඇති බවයි. විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණයට අනුව එසේ අස්ථානගතව ඇති ගොනු ගණන 133කි.

රේගු ආඥා පනතේ 162 වැනි වගන්තිය ප්‍රකාරව යම් භාණ්ඩයක් අත්අඩංගුවට ගැනීමෙන් පසු නීති විරෝධි බැව් ප්‍රකාශ කළ භාණ්ඩ සම්බන්ධයෙන් හැකි පමණ ඉක්මනින් සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුය. එසේ තිබියදීත් මට්ටක්කුලිය ඇතුළු රේගු අංගණවල වසර ගණනාවක් තිස්සේ ගොඩගැසී ඇත්තේ වාහන පමණක් නොව, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ රැසක් සහිත බහලුම් සිය ගණනක් ගොඩගැසී විනාශ වෙමින් ඇත්තේ රජයට ලැබිය යුතු ආදායමක් අහිමි කරමිනි.

විගණකාධිපතිවරයා විසින් නිකුත් කර ඇති විගණන වාර්තාවේ සඳහන් කර ඇති ආකාරයට 2023 වර්ෂය අවසානය වන තෙක් එසේ අංගණවල ගොඩගැසී තිබී ඇති බහලුම් ගණන 694කි. වටිනාකම් තහවුරු නොකළ විවිධ ආහාර ද්‍රව්‍ය, ඖෂධ වර්ග, පොහොර ආදිය සහිත බහලුම් 39ක්ද ඒ අතර තිබී ඇත. මේ බහලුම් අතර ආනයනය කර වසර 2 සිට 12 දක්වා වූ කාලපරාසවලට අයත් බහලුම්ද තිබීම විශේෂය. මේ හැරුණු කොට, මෙරටට ආනයනය කර වසරත් වසර 5ත් අතර කාලයක් තිස්සේ ගොඩගැසී ඇති බහලුම් 448ක්ද ඒ අතර වන බවද ඇති බව එහි සඳහන්ය. වසර 5ත් 10ත් අතර කාලයක් පැරණි බහලුම් 116ක් මෙන්ම වසර 10කට පෙර ගෙන්වූ බහලුම් 38ක්ද මේ අතර තිබී ඇත. මේ බහලුම් අතර රුපියල් මිලියන 186ක් වටිනා සහල් සහිත බහලුම් 53ක් ද විගණනයට ලක් වන අවස්ථාවේ තිබී ඇත. එම බහලුම් අතර වසර 6ක් පැරණි බහලුම්ද තිබීම විශේෂිතය.

මේ රේගුවට හසු වූ ගැටලුසහගත බහලුම් සම්බන්ධයෙන් වූ තොරතුරු පමණි. රේගු බදු නොගෙවා හොර පාරෙන් රට තුළට ගෙන එන භාණ්ඩ බොහෝය. බදු ගෙවා රට තුළට ගෙන එන භාණ්ඩ හැම එකක් පාහේම හොර පාරෙන්ද ගෙන්වනු ලැබේ. වැඩි හරියක් රට තුළට හොර පාරෙන් භාණ්ඩ ඇතුළු වන්නේ දූෂිත රේගු නිලධාරීන්ගේ ආශීර්වාදයෙනි. ඒ හැරුණු කොට, මන්නාරම හා කල්පිටිය මුහුදු තීරයේ බෝට්ටු මඟින් ධීවරයන්ගේ සහයෙන්ද අසල්වැසි ඉන්දියාවේ සිට හොර බඩු රැගෙන එනු ලැබේ. වැඩි හරියක්ම එම මුහුදු තීරය ඔස්සේ සිදු වන්නේ බීඩි කොළ සහ රන් ජාවාරමය. එය රටේ බදු ආදායමට සැලකිය යුතු බලපෑමක් කළද රේගු පරීක්ෂාවන් සිදු වන වරායන් හා ගුවන්තොටුපොළ ඔස්සේ සිදු වන හොර බඩු ජාවාරම නම් රටේ ආර්ථිකයට සිදු කරන බලපෑම විශාලය. මේ හිඩැස්වලට පිළියම් යොදන්නට හැකියාවක් බලධාරීන්ට ලැබෙන්නේ නම් මේ වසරේ අපේක්ෂිත රේගු බදු ආදායම සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ නංවා ගැනීමට හැකි වනු ඇත.


ඡායාරූප – නිශ්ශංක විජේරත්න

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division