කුරුලු ඇසකින් රට සහ ජනතාව දෙස බලන්නට ආණ්ඩුවට බල කෙරී ඇත. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැනි නව ව්‍යාපෘති අරඹන අතරේ ජනාධිපතිවරයා රටේ ආර්ථික තත්ත්වය ගැන නිරන්තර අවධානයක පසු වීම වැදගත්ය.
ඔහු ජනවාරි 7 වැනිදා මූල්‍ය අංශ ප්‍රධානීන් හමුවේ වාහන ආනයනය, බදු එකතු කිරීම, විධිමත් කිරීම මෙන්ම ස්ථාවර ආර්ථිකයක් පවත්වාගෙන යෑම හා ඉන් නොනැවතී මහජන සහන අඛණ්ඩව පවත්වාගෙන යෑමත් විශ්‍රාමිකයන් උපයන පිරිසක් නොවන නිසා ඔවුන්ගෙන් කපා ගත් බදු යළි ගෙවීමත් යන කරුණු කෙරෙහි සිය අවධානය යොමු කරනු දක්නා ලැබිණි.
සියලු වියදම් කිරීම් කරනු ලැබිය යුත්තේ ආදායම් මාර්ග විවර කරගැනීමට යටත්වය. නැත හොත් ණය මත රටකට යා හැකි දුර අතිශය සීමිතය. 2028 වන විට යළිත් ණය ගෙවීම් ආරම්භ කිරීමටත්, ඩොලර් බිලියන 15.1ක විදෙස් සංචිතයක් ඇති කරගැනීමටත් රජය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා කියයි. වසර හතරක් වැනි කාලයක් ඇතුළත එවැනි ඉලක්කයකට වැඩ කිරීම අතිශයින් වැදගත්ය. ඉලක්කය ලොකු වන ප්‍රමාණයට ඉලක්කය සපිරීමට වැඩ කරන්න සිදු වන බැවින් මේ ක්‍රමය දිගටම අනුගමනය කළ හොත් ඊට තරමක් මෙපිටින් ඇති ජයග්‍රහණයක් වෙත හෝ රට ළඟා කළ හැකිය.
ජනපති ධුරයට පත් වන්නට පෙර අනුර දිසානායක මහතා යෙදුණු ලන්ඩන් සංචාරයේදී එරට ජීවත් වන ශ්‍රී ලාංකික තරුණයකු ඔහුගෙන් වැදගත් ප්‍රශ්නයක් ඇසුවේය. එය යොමු වූයේ දිසානායක මහතා නිතර කියන නිෂ්පාදන ආර්ථිකය නැංවීම විෂයයෙහිය. ලාංකික තරුණයා ඇසුවේ නිෂ්පාදන ආර්ථිකයකට යෑම පිළිබඳ ඉඩම්, කර්මාන්ත ප්‍රවර්ධනය, මූල්‍ය තත්ත්වය ආදි ක්ෂේත්‍රවල හදිසියේ සපුරාගත නොහෙන බරපතළ සීමාකම් තිබෙන තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකාව කළ යුත්තේ සේවා ආර්ථිකය දියුණු කිරීම නොවේද යන්නයි. ඒ අදහස අනුමත කරමින් දිසානායක මහතා කීවේ නිෂ්පාදන ආර්ථිකයේ පංගුව හකුළාගත් රටක් ලෙස ශ්‍රී ලංකාව පැවති බැවින් එය පුළුල් කිරීම සඳහා පියවර ගන්නා අතරම සංචාරක ව්‍යාපාරය, ටෙලිකොමියුනිකේෂන් වැනි සේවා ආර්ථිකයේ මර්මස්ථාන වෙත ශ්‍රී ලංකාවේ අවධානය යොමු වීම වැදගත් කොට තමන් සලකන බවයි.
විශේෂයෙන්ම රට ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය කෙරෙහි ජනාධිපතිවරයා අතිවිශාල අවධානයක් යොමු කරන්න අවශ්‍ය බව ඉටා ගත්තේ සේවා ආර්ථිකයේ පංගුව විශාල කරගැනීමේ බලාපොරොත්තුව පදනම් කරගෙනය.
ජනාධිපතිවරයා මේ වෙනුවෙන් බැංකු ප්‍රධානීන් මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැතිවරයා, භාණ්ඩාගාර ලේකම් ඇතුළු මූල්‍ය විෂයයට අදාළ ප්‍රධානීන් සමඟ නිරන්තර සාකච්ඡාවක් පවත්වාගෙන යන අතර, රට ඩිජිටල්කරණය කිරීමෙන් බදු වංචාකරුවන් බදු දැලෙන් පැනයෑම සපුරා නතර කළ හැකි බවටද මේ සාකච්ඡාවන්හි එක් ප්‍රධාන නිරීක්ෂණයක් වී ඇත.
රටක ආර්ථිකය යහපත් යැයි හැඟෙන්නේ ජනතාව අතර සිදු වන මූල්‍යමය සංසරණ වැඩි වී ඇති බව පෙනී යා නම් පමණය.
77 විවෘත ආර්ථිකය හඳුන්වා දීමෙන් පසු සැබවින්ම ජනතාව අත මූල්‍ය සංසරණය වැඩි වූ බවක් දක්නට ලැබිණි. ඒ 70-77 සංවෘත ආර්ථිකයට සාපේක්ෂවය. එහෙත් මේ දෙක අතර බරපතළ විභේදනය වන්නේ 77න් පසු ජාවාරම්කාර ආර්ථිකයක් බිහි වී එයත් මූල්‍ය සංසරණයට වැඩි දායකත්වයක් සැපයීම හේතුවෙනි. ‘බල්ලන් මරා හෝ සල්ලි සොයමු’ යන වැරදි ආදර්ශ පාඨයට ඉඩ ලැබුණු වෙළෙඳපොළ ආර්ථික සමය කෙළවරකට ගියේ ශ්‍රී ලංකාව ඉහළ ආර්ථික සංවර්ධනයක් අත්පත් කරගත් රටක් ලෙස නොවේ. එහි ගමනාන්තය, 2022 වෙද්දී එනම් වසර 45කට පසුව බංකොලොත් රටක් ජාතියට ශේෂ කළේය. එය හුදු විවෘත ආර්ථිකයේ වරදක් නොවේ. වගකීම් විරහිත සහ දූෂිත ආර්ථික හැසිරවීමෙහි වරදකි. පැවති ආණ්ඩුවල මූල්‍ය අභ්‍යාසයන් නිවැරදි නම් 2022 වන විට හිඟන රටක් බිහි වන්නේ නැත.
ජයවර්ධන මහතා ඇති කළ ‘මහ කොළඹ ආර්ථික කොමිසම’ වැනි වැඩසටහන් පවා අතිශය තාවකාලික, එදාවේල හම්බ කරගෙන කන ඒවා බවට ඉතා ඉක්මනින් පත් විය. තරමක් දුරට අල්ලාගෙන සිටියේ ඒ යටතේ ඇති කළ නිදහස් වෙළෙඳ කලාප වැඩසටහන පමණි. ඒවා මඟිනුත් පුද්ගලයා අවිච්ඡින්න ආර්ථිකයකට ගැට නොගැසුවේය. තරුණ ළඳුන්ට එය විවාහයට අවශ්‍ය අනුපාන ටික සකසාගන්නා ආර්ථිකයක් පමණක් බවට පත් විය; ‘තරුණියන්ට ජුකී – තරුණයන්ට ආමි’ යන සංකල්පය ඔස්සේ ශ්‍රී ලංකාවේ ගම සිය මුදුන් මුල් කඩාගෙන මූල්‍ය ස්ථාවරත්වය සොයා ගියේය. එබැවින් ඉඩම් බහුජාතික සමාගම්වලට විකිණීම පහසු විය. නාගරික සමාජයේ මත්ද්‍රව්‍ය වෙළෙඳාම සහ පාතාලය සුලබ කෙරිණි; ඒවාට දේශපාලන අනුග්‍රහය ලැබිණි.
මේ සමස්ත උඩු යටිකුරු වීම මෙතැන් සිට වෙනස් විය යුතුව ඇත. ‘ස්ථාවර රටක් සහ ස්ථාවර ආර්ථිකයක්’ ඒ වෙනස් වීමේ තේමාව බවට පත් විය යුතුය.
වර්තමාන ජනාධිපතිවරයා ජනවාරි 8 වැනිදා, අද වන විට ලෝකයේ ප්‍රමුඛතම ආර්ථික ක්‍රියාකාරිත්වය බවට පත්ව තිබෙන නවෝත්පාදන විෂයය කෙරෙහි තියුණු අවධානයක් යොමු කරන්නට පළමු පියවර තැබුවේය. ශ්‍රී ලංකාව පර්යේෂණ හා සංවර්ධනය විෂයය පිළිබඳ අලුත් පිටුවක් පෙරළූ ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරයා කීවේ ඇමසන් ටෙස්ලා වැනි තාක්ෂණ ලෝකයේ නිම්වළලු පුළුල් කළ සමාගම් ගිය මඟ ශ්‍රී ලංකාව අනාගතවාදි අරුතකින් උදාහරණයට ගත යුතු බවයි.
පැරණි ආර්ථික උපායමාර්ගවල තවත් යා යුතු දුරක් නැති බව ඔහු නිවැරදිව හඳුනාගෙන තිබේ.
සැබැවින්ම ජාවාරම්කාර අර්ථිකය හා එදා වේල ආර්ථිකය වෙනුවට ශ්‍රී ලංකාවට ස්ථාවර ආර්ථික පිළිවෙතක් ඇති කර දීමට ජනාධිපතිවරයාගේ උක්ත ආර්ථික දර්ශනය වැදගත් බව කිව යුතුය.
එය කුරුලු ඇසකින් අතීතය හා වර්තමානය අතර ආර්ථික චලනයන්ගේ යථාව දැකීමකි.
ශ්‍රී ලංකාව ණය වෙලා චීස් කන රටක් බවට පත් නොවී, නිෂ්පාදනය කර කන රටක් බවට පත් වීම වැදගත්ය.
විමලනාත් වීරරත්න