Home » ලේක්හවුසියට සම්මාන 6ක්
ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළ

ලේක්හවුසියට සම්මාන 6ක්

සිළුමිණට විශිෂ්ට සම්මාන 2ක් හා කුසලතා සහතිකයක්

by Mahesh Lakehouse
January 11, 2025 12:37 am 0 comment
මාධ්‍ය ක්ෂේත්‍රය වෙනු­වෙන් ඉටු කළ සුවි­ශේෂ කාර්ය­භා­ර­ය උදෙසා බෙනට් රූප­සිංහ, චන්ද්‍රිකා විජේ­සු­න්දර, එම්.එන් අමීන්, සැනීටා කරීම් සහ එස්. යෝග­මූර්ති යන ජ්‍යෙෂ්ඨ මාධ්‍ය­වේ­දීන් සම්මාන ලැබූ අවස්ථාව

ඉකුත් ජනවාරි 7 වැනිදා ගල්කිස්ස මහ හෝටලයේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැති 25 වැනි “ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන – 2023” උලෙළේදී ලේක්හවුස් ආයතනයට විශිෂ්ට හා කුසලතා ඇතුළු සම්මාන 6ක් හිමි වූ අතර, එයින් සම්මාන ත්‍රිත්වයක් සිළුමිණ මාධ්‍යවේදීන් විසින් දිනාගන්නා ලදී.

වසරේ හොඳම සෞඛ්‍ය හා වෛද්‍ය වාර්තාකරණයට හිමි සම්මානය (සිංහල) සිළුමිණ මාධ්‍යවේදිනී සුරේකා නිල්මිණි ඉලංකෝන් විසින් සහ වසරේ හොඳම ක්‍රීඩා මාධ්‍යවේදියාට (සිංහල) හිමි සම්මානය සිළුමිණ වෙනුවෙන් ෆවුස් මොහොමඩ්, හිමිකර ගත් අතර වසරේ හොඳම ව්‍යාපාර හා මූල්‍ය වාර්තාකරණයට (සිංහල) හිමි කුසලතා සහතිකය සිළුමිණ මාධ්‍යවේදී රසික කොටුදුරගේ විසින් දිනා ගත්තේය.

ලේක්හවුස් ආයතනය නියෝජනය කරමින් සම්මානයට පාත්‍ර වූ සෙසු මාධ්‍යවේදීන් වූයේ වසරේ හොඳම සෞඛ්‍ය හා වෛද්‍ය වාර්තාකරණයට (දෙමළ) හිමි සම්මානය තිනකරන් පුවත්පතේ මර්ලින් මරික්කාර්, වසරේ හොඳම සමාජ සංවර්ධන වාර්තාකරණය සඳහා වූ සුබ්‍රමනියම් චෙට්ටියාර් කුසලතා සහතිකය (ඉංග්‍රීසි) ඩේලිනිවුස් පුවත්පතේ නදීරා ගුණතිලක, වසරේ හොඳම ක්‍රීඩා මාධ්‍යවේදියාට හිමි සම්මානය (දෙමළ) තිනකරන් පුවත්පතේ මොහොමඩ් ෆිර්ඩස් ය.

ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයක් සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් පස් දෙනෙකුට ජීවිතයේ එක්වරක් පමණක් පිරිනමන “දීර්ඝ සේවා සම්මාන” පිරිනැමීම මෙම සම්මාන උලෙළේ විශේෂ අංගයක් වන අතර, මෙවර එම සම්මානයට පාත්‍ර වූයේ මාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ බෙනට් රූපසිංහ, එම්.එන් අමීන්, චන්ද්‍රිකා විජේසුන්දර, සැනීටා කරීම් සහ එස්. යෝගමූර්ති යන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ය.

ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව වාර්ෂිකව සංවිධාන කරනු ලබන මෙවර සම්මාන උලෙළට ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ හිටපු පීඨාධිපතිනී මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සභාපති කුමාර් නඩේසන්, ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ සභාපති හා විජය පුවත්පත් සමාගමේ හිටපු අධ්‍යක්ෂ සිරි රණසිංහ ඇතුළු පුවත්පත් කතුවරුන්, මාධ්‍ය සංවිධාන නියෝජිතයන්, මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

ඡායාරූප – නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division