ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයට සජබ සූදානම කෙබඳුද?
ඒ සඳහා මේ වන විටත් අපි ඉල්ලුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා. පුවත්පත් දැන්වීම් පළ කරමින් අප සූදානම් වෙනවා. ඒ වගේම අපි දිස්ත්‍රික් මට්ටමින් මැතිවරණය වෙනුවෙන් මූලික සංවිධාන කටයුතු කරගෙන යනවා. වසර 7කින් පළාත් පාලන මැතිවරණය පැවැත්වුණේ නැහැ. විපක්ෂය හැටියට අපට අවශ්‍ය පළාත් පාලන මන්ත්‍රීවරුන් පත් කරගැනීමට අපට හොඳ සූදානමක් තියෙනවා. මේ වන විට පළාත් පාලන ආයතනවල තිබෙන්නේ නිලධාරින්ගේ පාලනයක්. ආණ්ඩුවේ බලය නැවත වරක් උරගා බලන්න සහ ආණ්ඩුවේ ක්‍රියාකාරකම් ගැන තීන්දුවක් දෙන්න මේ මැතිවරණය හොඳ අවස්ථාවක්. පළාත් පාලන ආයතන 342ටම අප නාමයෝජනා භාර දෙනවා. උතුර හා නැඟෙනහිර ඇතුළු සියලු පළාත්වලට සජබ නාමයෝජනා භාර දෙන්න මූලික කටයුතු කර අවසන්. ආණ්ඩුව ගැන ජනතාව කලකිරීමෙන් ඉන්නේ. ඒ නිසා අපේ ජයග්‍රහණය නියතයි.
ඔබ එසේ කිවුවත්, මහ මැතිවරණයේදී ජනාධිපතිවරණයටත් වඩා විශාල ප්‍රතිශතයකින් ජයග්‍රහණය කිරීමට ජාජබය සමත් වුණා නේද?
ඔව්, ඒ එදා තත්ත්වය. අද ජනතාව තේරුම් ගෙන තියෙනවා. දින සියයක් ගත වෙලත් මේ ආණ්ඩුවට මුකුත් කරන්න බැරි වෙලා තිබෙනවා. රටේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරනවා කියලා කිවුවා. ඒත් ඡන්දයට පෙර මිලටත් වඩා බඩු මිල ඉහළ දැම්මා. ජනතාව පළාත් පාලන මැතිවරණයේදී මේවා සම්බන්ධයෙන් හොඳ ප්‍රතිචාර දක්වයි. පක්ෂ අභ්‍යන්තරයේ පුළුල් ප්රතිසංවිධාන සිදු කරමින් අප ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කරනවා.
ඒ කියන්නේ සජබ නායකත්වය සම්බන්ධයෙන් යම් වෙනසක් කරනවාද?
ජනතාව මැතිවරණයෙන් විශාලතම බලය දීලා තියෙන්නෙ සජිත් ප්‍රේමදාස පක්ෂ නායකත්වය යටතේයි. ඒ නිසා නායකත්වයේ වෙනසක් කරන්න අපේ බලාපොරොත්තුවක් නෑ. අපේ පක්ෂයේ කළමනාකාර කමිටු, කෘත්‍යාධිකාරී මණ්ඩලය සම්පූර්ණයෙන්ම සංශෝධනය කරන්න කටයුතු කරනවා. ඉදිරි සති දෙක තුළ සියලු ආසන සංවිධායකවරුන් පත් කරන්න අපෙක්ෂා කරනවා. දුර්වල සංවිධායකවරුන් ගැනත් තීරණ ගන්නවා. නැවත වරක් පාර්ලිමේන්තු ග්‍රාමීය මට්ටමේ මැතිවරණ කමිටු සියල්ල පිහිටුවන්න අපි බලාපොරොත්තු වෙනවා. පක්ෂයේ ඉදිරි සංවිධාන කටයුතු කරන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා. පක්ෂයේ ඉහළ මට්ටමේ තනතුරුවල අවශ්‍ය සංශෝධන කරන්නත් අප බලාපොරොත්තු වනවා.
හවුල්කාර පක්ෂ නායකත්වයේ වෙනසක් ගැන කතා කරනවා නේද?
නැහැ. ඒ සියලු දෙනා පක්ෂයේ නායකත්වය සමඟ වැඩ කරන්න එකඟත්වය ප්‍රකාශ කර තිබෙනවා. හවුල්කාර පක්ෂ විසින් පක්ෂ නායකත්වය ගැන වෙනසක් ගැන කතා කරන්නේ නෑ. විවිධ පළාත්වල අපට මිත්‍ර පක්ෂවල ඡන්ද ලැබිලා තියෙනවා. කඳුකරය සහ උතුරු නැඟෙනහිර පළාත්වල දිස්ත්‍රික් රැසක් පසුගිය මැතිවරණයේදී අපට ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණා. සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය සහ පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියා කරපු ආකාරය අප එහිදී දුටුවා. ඒ ජනතාව අප ගැන විශ්වාසයෙන් ඉන්න බව අප දන්නවා.
සජබ ඉහළ තනතුරුවල සංශෝධන සිදු කරන බව ඔබ කිවුවා. එජාජය නීතිඥ තලතා අතුකෝරල මහත්මිය ලේකම් ධුරයට පත් කර තිබෙනවා. ඒ වගේ ඔබේ තනතුරත් වෙනස් වෙයිද?
ඉහළ තනතුරුවල යම් යම් සංශෝධන වෙනවා. ඒත් ලේකම් ධුරයේ එහෙම වෙනසක් වන්නේ නැහැ.
පළාත් පාලන මැතිවරණයේදී සජබ හවුල්කාර පක්ෂ මැතිවරණයට ඉදිරිපත් වෙන්නෙ වෙන වෙනමද?
පළාත් පාලන ආයතනයේ තියෙන සංයුතිය අනුව, පක්ෂයේ බලතල මත, ශක්තිය මත, පළාත් පාලන ආයතනයෙන් ආයතනයට අප ගන්නා තීන්දු වෙනස් වෙන්න පුළුවන්. අපි මිත්‍ර හවුල්කාර පක්ෂ සමඟ ගමන් කරන ස්ථාන ගැනත් වෙන වෙනම ඉදිරිපත් වෙන ස්ථාන පිළිබඳවත් ඉදිරියේදී තීරණය කරයි.
මෙවර මැතිවරණයට නව තරුණ ඡන්ද දායකයන් පිරිසක් එකතු වනවා. ඒ අය සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙළක් තිබෙනවාද?
තරුණ නියෝජනය 25%ට වැඩි කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ අය ලැයිස්තුවට ඇතුළත් කර තරග කරන්න අවකාශ සලසා දෙන්න අවශ්‍යයි. අප දැනටමත් අපේ තරුණ නියෝජිතයන්ට අවස්ථාව දීමට කටයුතු කරනවා. තරුණ නියෝජිත පිරිසක් අවශ්‍යයි. මේ ආණ්ඩුව ගැන තරුණයෝ අපේක්ෂා භංගත්වයට පත් වෙලා ඉන්නේ. ඒ අයට රැකියා අවස්ථා ඇති වෙන්නෙත් නැහැ. මේ ආණ්ඩුව රටේ සංවර්ධනයක් ගැන කතා කරන්නෙත් නැහැ. වික්‍රමසිංහ ආණ්ඩුවේ පරණ ක්‍රමවේදයමයි මේ අය අනුගමනය කරන්නේ. මෙය අලුත් ආණ්ඩුවක් විදිහට අප දකින්නේ නැහැ.
එහෙත් සමස්ත පාලනය කෙරෙහි පැවැති ජනතා විරෝධයේ ප්‍රතිඵලයක් ලෙස නේද ජනතාව මේ නව දේශපාලන ප්රවාහයට රටේ පාලන බලය දුන්නේ?
පැවති පාලනය ගැන කලකිරිලා ඡන්දය දුන්න තරුණයෝ බොහොම කෙටි කාලයක් තුළ ජාජබ ආණ්ඩුව සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරනවා. ඒ නිසා ඒ අයගේ බලාපොරොත්තු ඉෂ්ට කරගැනීමට ඔවුන් ඉදිරියේදී සජබය තෝරාගනීවි.
මධ්‍යස්ථ දක්ෂිණාංශික බලවේගවල එකතු වීමක් සම්බන්ධයෙන් ජනතාවගේ ඉල්ලීමක් තිබෙනවා කියලා එජාපයේ ඇතැම් මන්ත්‍රීවරුන් කියනවා. සජබය සහ එජාපය එකතු වීමක් ගැන සාකච්ඡා පැවැත්වෙනවා නේද?
පාක්ෂිකයන්ගේ විශාල ඉල්ලීමක් තියෙනවා. දක්ෂිණාංශික දේශපාලන කඳවුර එකට යන්න අවශ්‍යයි කියලා ඒ අය යෝජනා කරනවා. ඒ නිසා ජනතාවගේ අදහසට අප සවන් දෙනවා. සාකච්ඡා පදනම් කරගෙන යම් එකඟතාවන්ට ඒමට කටයුතු කරනවා. අපේ දේශපාලන පක්ෂය සම්බන්ධයෙන් කැමැති පිරිසක් ඉන්නවා. ඒ අනුව සාර්ථක හෝ අසාර්ථක වුවත් අප සාකච්ඡා පවත්වනවා. අපට පොදු තැනකට එන්න පුළුවන් කියලා අප හිතනවා. ජනතාවට අවශ්‍යයි එජාපය සහ සජබය එක තැනකට එන්න.
ඒ කියන්නේ ඉදිරියේදී මැතිවරණ සඳහා සජබය සහ එජාපය එකට එකතු වී ඡන්දයට ඉදිරිපත් වෙනවා කියලද? එහිදී නායකත්වය පිළිබඳ සාකච්ඡා කෙරුණද?
අපි සාකච්ඡා කරන්නේ ඒ කාරණා සම්බන්ධව තමයි. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් තුනෙක් දෙකක් තියෙන්නේ සජබය. අනෙක් කාරණා සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. යම් එකඟතාවකට පැමිණ, එක් පක්ෂයක් යටතේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඡන්දයට ඉදිරිපත් වුණොත් ආණ්ඩු පක්ෂයට ලොකු අභියෝගයක් කරන්න පුළුවන්. දීර්ඝ කාලයක් මේ රට පාලනය කළේ එජාප හා පොදුජන පෙරමුණයි. ජනතාවගේ ප්‍රශ්න විසඳන්න මේ නව ආණ්ඩුවට පළපුරුද්දක් නැහැ කියලා ජනතාව තේරුම් ගෙන තියෙනවා. ඒ වගේම අවංකභාවයක් නැහැ. බලය ගත්තට කොහොමද මේ රට පාලනය කරන්නේ කියලා ඒ අයට අවබෝධයක් නැහැ. දින සියයක් ගත වෙලත් මොකක්ද මේ රටට කළේ? රනිල් වික්‍රමසිංහ, රාපක්ෂ හවුල IMF එකට එකඟතාව පළ කර තිබෙනවා. එදා ඒ අය ගිවිසුමට විරුද්ධ වුණා. IMF එකට ගිහින් ගොඩගිය රටක් නැහැ කියලා කිවුවා. ඉතින් දැන් අලුතින් සංශෝධනයක් නැතුව ඉදිරියට ගිහින් කටයුතු කරනවා. මේ ආණ්ඩුවට අලුත් දෙයක් කරන්න බැහැ කියලා අප කියන්නේ ඒ නිසයි. ජනතා ප්‍රශ්න එකක්වත් විසඳිලා නෑ.
නව ආණ්ඩුවට අත්දැකීම් නැති බව ඔබ කියනවා. එහෙත් අත්දැකීම් ඇති පාලකයන්ගේ කාලයේ රට බංකොලොත් වුණා නේද?
හාල් ටික, පොල් ටික නැහැ; ලුණු ඇටයත් රටින් ගෙන්වන්න වෙලා. රඳවා තබාගැනීමේ බද්ද 5% සිට 10% දක්වා වැඩි කරලා. බැංකුවේ පොඩි මුදලක් තැන්පත් කරලා පොඩි පොලියක් අරගෙන ජීවත් වන මිනිසුන් අන්ත අසරණ වුණා. ජනතාවට බදු බර වැඩි වෙලා තිබෙනවා. ලොකු මිනිහට වඩා පොඩි මිනිහටයි ගැටලු ඇති වෙලා තිබෙන්නේ. අපේ පක්ෂය මීට වඩා සහනයක් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ නව ආණ්ඩුව යටතේ ජනතාව හිටියටත් වඩා අසරණ වෙලා ඉන්නේ. හොරු අල්ලන එකයි, ජනතාව බලාපොරොත්තු වුණේ. බස්වල කෑලි ගලවන එකටද ලංකාව ක්ලීන් කරනවා කියන්නේ. හොරු අල්ලන්න නම් ආවේ ඒ දේ කරන්න අවශ්‍යයි. දින සියයක් ගත වුණත් මේ ආණ්ඩුව ඒකට අපොහොත් වෙලා තියෙනවා.
රටට යමක් කරන්න රජය අපොහොසත් වී ඇති බව ඔබ කිවුවත්, නව රජය විසින් උපයන විට බද්ද රුපියල් 200,000 සිට 150,000 දක්වා අඩු කර තිබෙනවා. වාහන ගෙන්වීමට අවසර දී තිබෙනවා. ණය ගෙවීම් සිදු කර තිබෙනවා නේද?
වාහන ගෙන්වන්නේ මුදල් තියෙන අය. දුප්පත් මිනිසුන්ට සහනයක් නැහැ. ආණ්ඩුවට හාල් ප්රශ්නය විසඳගන්න බැරි වුණා. සහල් මිල ඡන්දයට පෙර තිබුණ මිලටත් වඩා දැන් වැඩි වෙලා. රජයේ සේවකයන් බලාපොරොත්තු වුණා පඩියක් වැඩි වෙයි කියලා. ඒත් ඒ දේ සිදු වුණේ නැහැ. ඡන්දය දුන් පිරිස මුළාවට පත් වෙලා. ජනතාවගේ ඉල්ලීම් ඉටු කරන්න ආණ්ඩුවට සදාචාරාත්මක අයිතියක් තිබෙනවා. එය කරන්න බැරි වෙලා. ආණ්ඩුව ජනතාව රවටලා තිබෙනවා. අපි බලයේ සිටි යහපාලන ආණ්ඩුව සමයේ පළමු වැනි දින සියය ගත වෙද්දි, අපි පොරොන්දු සියයක් ඉටු කර තිබුණා. රජයේ සේවකයන්ට රුපියල් 10,000කින් වැටුප් වැඩි කළා; විශ්‍රාම වැටුප වැඩි කළා; අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කළා; විදුලි බිල අඩු කළා. මේ නව ආණ්ඩුව ජනතාවට බොරු කිවුවා විතරයි. ජනතාව දැන් කබලෙනුත් ළිපට වැටිලා ඉන්නේ.
සුභද්‍රා දේශප්‍රිය