Home » ජනතාව තාවකාලිකව මෝහනයට පත් කරන්න අප සූදානම් නැහැ

ජනතාව තාවකාලිකව මෝහනයට පත් කරන්න අප සූදානම් නැහැ

සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස

by Mahesh Lakehouse
January 11, 2025 12:30 am 0 comment

මේ වන විට ආණ්ඩුවේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සම්බන්ධයෙන් විපක්ෂය සහ ඊට සම්බන්ධ උදවිය විවිධ අර්ථකථන ඉදිරිපත් කරමින් සිටිනවා. ඇත්තටම ක්ලීන් ශ්‍රී ලංකා කියන්නේ මොන වගේ ව්‍යාපෘතියක්ද?

අපට භාර ගන්න සිද්ධ වු‍ණේ හැම පැත්තකින්ම දුර්වර්ණ වෙච්ච, දුබල වෙච්ච, බංකොලොත් වෙච්ච රටක්. ගොඩක් අය දන්නෙ රට ආර්ථික වශයෙන් බංකොලොත් වුණා කියන කාරණය පමණයි. එහෙත් රටක් බංකොලොත්වෙන කොට තනි ක්ෂේත්‍රයක් පමණක් කඩාවැටෙන්නේ නැහැ. එය ආර්ථික ක්ෂේත්‍රය මඟින් ප්‍රකාශයට පත් වුණාට, ඒ බංකොලොත් භාවය හැම පැත්තකින්ම ගැටගැසී තිබෙනවා. අප රට භාර ගන්න අවස්ථාව වන විට රාජ්‍යතාන්ත්‍රිකව, පාරිසරිකව, ආචාරධාර්මිකව, සමාජයීයව, දේශපාලනිකව, නෛතිකව, කලාව… ආදි සෑම ක්ෂේත්‍රයකම මේ කඩාවැටීම තිබුණා. දැන් අපට මේ රට ඉහළ තැනකට ඔසවා තබන්න අවශ්‍යයි.

ක්ලීන් කිවුවම සාමාන්‍යයෙන් මතක් වෙන්නේ රොඩුබොඩු, කුණුකන්දල් වගේ දේවල් ඉවත් කිරීමයි. අප මේ ව්‍යාපෘතිය මඟින් ප්‍රධාන පැති තුනකින් මේ රටේ ප්‍රතිරූපය පිරිසිදු කරන්න බලාපොරොත්තු වනවා. ඒ, ආචාරධාර්මිකව, සමාජයීයව සහ පාරිසරිකව. මේ කියන පුළුල් පදනම මත පිහිටා තමයි ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ. ඒ වගේම ක්ලීන් ශ්‍රී ලංකා කියන්නේ එහි එක් ව්‍යාපෘතියක් පමණයි.

මේ ව්‍යාපෘතිය සාර්ථක වීමට නම් ජනතාවගේ සක්‍රිය දායකත්වය ඉතා වැදගත්. එහෙත් ඒ පිළිබඳ ජනතාව නිසි පරිදි දැනුම්වත් වී නැති බවයි පෙනෙන්නේ…

ජනවාරි පළමුවැනිදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අප මේ ව්‍යාපෘතිය ආරම්භ කළා. ඒ අනුව පළමු මාසය වෙන් වන්නේ මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රාජ්‍ය යන්ත්‍රණය, මහජනතාව සහ මේ සඳහා සහභාගි කරගත හැකි සියලුදෙනා දැනුම්වත් කරන්න සහ සාකච්ඡා කරන්න. ආණ්ඩුව තීන්දුවක් ගෙන කැබිනට් පත්‍රිකා සම්මත කරලා, රාජ්‍ය යන්ත්‍රණය මඟින් පමණක් සිදු කරන කටයුත්තක් නොවෙයි මේ. මෙය මුළුමනින්ම ප්‍රජා සහභාගිත්ව ව්‍යාපෘතියක්. ඒ සඳහා ජනතාවගේ ආශීර්වාදය හා සහභාගිත්වය ලැබෙන ප්‍රමාණයේ වේගය අනුව තමයි මේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයන්න ලැබෙන්නේ.

මෙය හැම පැත්තකින්ම වැදගත් වන්නේ ජනතාවටයි. උදාහරණයක් ලෙස, පාරේ විනයක් හදන එක වැදගත් වන්නේ මේ රටේ පුරවැසියන්ටයි. ඒ නිසා පුරවැසියන් සමඟ ගැටුමක් හදාගෙන මේ ව්‍යාපෘතිය කරන්න බෑ. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය දැනුම්වත් කිරීම් විවිධ මට්ටමින් මේ වෙද්දි කරගෙන යනවා. මේ සඳහා විශේෂඥයන් බොහෝදෙනකු සම්බන්ධ වෙලා සිටිනවා. ඒ අයගේ සැලසුම් අනුවයි මේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැඟෙන්නේ.

සාමාන්‍යයෙන් රජයක් බලයට පත් වෙලා යම් සාධාරණ කාලයක් ගියාමයි ඔවුන්ට විවේචන එල්ල වන්නේ. ඒත් ජාජබ මැතිවරණ සටනේ සිටියදීත්, ආණ්ඩු බලය ගත් පසුවත් දිගින් දිගටම විවේචන එල්ල වනවා. ඒ ඇයි?

සරලව ගත්තොත්; මේ රටේ බලය හිමි කරගෙන හිටපු පාරම්පරික ප්‍රභූ දූෂිත කණ්ඩායම විසින් මහජනතාව ප්‍රමුඛ කරගත් මේ කණ්ඩායම අතට බලය මාරුවීම වැළැක්වීමට විශාල ප්‍රචාරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වුණා. එහිදී ‘මේ කණ්ඩායමට රට පාලනය කිරීමට අත්දැකීම් නෑ; රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා නැහැ. ඔවුන් ආවොත් ආර්ථිකය කඩාගෙන වැටෙයි; ආගම් ඇදහීමේ නිදහස නැති වෙයි; ප්‍රජාතන්ත්‍රවාදය හකුළයි’ වගේ කතා ගොඩාක් කිවුවා. ඔවුන් කියූ මේ සියලු කරුණු වලංගු වුණේ අප බලයට පැමිණෙන තුරු පමණයි. ඒ අපේ ජයග්‍රහණය වැළැක්වීම සඳහා පමණයි.

මේ වන විට ජනාධිපතිවරයා පත් වී දින 100යි. ආණ්ඩුව පත් වී දින 50යි. අද වන විට ඔවුන් කළ මේ සියලු චෝදනා අවලාද හා මුසාවාද බවට පත් වී හමාරයි. එය අප ක්‍රියාවෙන් මේ දක්වා ඔප්පු කර තිබෙනවා.

ඉතින් ඔවුන්ගේ පැවැත්ම සඳහා දැන් ඔවුන් කුමක් හෝ කළ යුතුයි. මීට කලින් පත් වෙච්ච ආණ්ඩුවලට විපක්ෂය විසින් කටයුතු කළ ආකාරයට වඩා අද විපක්ෂය ඉතා කෙටිකාලයක් තුළ අපට මෙතරම් පදනම් විරහිත අවලාද නඟන්නේ අප දමමින් තිබෙන ආර්ථික සාමාජයීය හා දේශපාලන පදනම ඉතා ශක්තිමත් එකක් බව ඔවුන්ට දැනෙමින් තිබෙන නිසයි. ආර්ථිකය හෝ රටේ ඉදිරි දැක්ම පිළිබඳ කිසිවකුට ප්‍රශ්න කරන්න බැරි මට්ටමට අප ඒ පදනම සකසමින් තිබෙනවා. ඒ නිසා අද ඔවුන් කලබලයට පත් වී තිබෙනවා. ඔවුන්ට අද අවශ්‍ය කරන්නේ ආණ්ඩුව ස්ථාවර වීම වැළැක්වීමටයි. මේ ගැන ජනතාව ඉතාම සවිඥානකව තේරුම් ගෙන අපේ ක්‍රියාවලියට සහාය දක්වමින් තිබෙනවා.

එහෙත් විපක්ෂය පවසන්නේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදි මාවතින් බැහැරව කටයුතු කරන බවයි.

පසුගිය පාලන සමයන්හි ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීමෙන් විශාල ලෙස පීඩාවට පත් වූ දේශපාලන කණ්ඩායම අපයි. එනිසා අපට චෝදනා කරන්න ඔවුන්ට සදාචාරාත්ම අයිතියක් තියෙනවද කියන ප්‍රශ්නය මෙතනදි මතු වෙනවා. ඔවුන්ට වඩා එහි වටිනාකම දන්නේ අපයි. අද පාර්ලිමේන්තුවේ අපේ 159ක් හිටියා කියලා අපි අධික බලයක් පාවිච්චි කරන්න උත්සාහ ගෙන නැහැ. රජය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර තිබෙනවා. උදාහරණයකින් කිවුවොත් කෝප් එකේ සභාපතිකම ආණ්ඩුව තබාගන්න අතරේ කෝපා එකේ සභාපතිකම විපක්ෂයට දී තිබෙනවා. කාරක සභා ගණනාවක සභාපතිවරු විපක්ෂයෙන් පත් කරගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගයන් අනුව විපක්ෂයට හිමි විය යුතු ධුර සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් විපක්ෂයට දී තිබෙනවා. ඒ අනුව මේ ආණ්ඩුව සෑම පැත්තකින්ම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර තිබෙනවා.

විදේශ රාජ්‍යතාන්ත්‍රිකයන් විශාල වශයෙන් අද ශ්‍රී ලංකාවට පැමිණෙන බවක් පෙනෙන්ට තිබෙනවා…

ඔව්, මේ කාලය තුළ විදේශ රාජ්‍යතාන්ත්‍රිකයන් විශාල ප්‍රමාණයක් අප සමඟ කටයුතු කරනවා. සාමාන්‍යයෙන් මීට ප්‍රථම ඔවුන් සාකච්ඡා කළේ ජනාධිපති, අගමැති වගේ අය එක්ක පමණයි. අද එහෙම නෑ. අපේ අමාත්‍යවරුන් සමඟ ඉතා කිට්ටු සම්බන්ධතා ඔවුන් රාජ්‍යතාන්ත්‍රිකව ගොඩනඟමින් තිබෙනවා. ඒක මෙතෙක් පැවති ආණ්ඩුකරණයෙන් වෙනස් තත්ත්වයක්. ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයත් එළඹෙන චීන සංචාරයත් රටට විශාල ප්‍රතිඵල අත්කර දෙනවා. අද ලෝකය ශ්‍රී ලංකාව පිළිගනිමින් සිටිනවා.

ආර්ථික අතින් වත්මන් ආණ්ඩුව පසුබෑමකට ලක්ව ඇති බව ඇතැමුන් චෝදනා නඟනවා.

ආර්ථික අතින් ගත්තොත් කොටස් වෙළෙඳ පොළේ ශීඝ්‍ර වර්ධනයක් සිදු වුණා. ජනතාවට යම් සහනයක් ලැබෙමින් තිබෙනවා. විශේෂයෙන් ගොවියන්ට, ධීවරයන්ට, දරුවන්ට, වැඩිහිටියන්ට සහන සලසා තිබෙනවා. ඒ ආර්ථිකය කිසියම් ආකාරයකට ස්ථාවර වීමට පටන් ගෙන තිබෙන නිසයි. එය අද ජාත්‍යන්තර මූල්‍ය ආයතනය පවා පිළිගෙන ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ජනතාව මේ ආණ්ඩුව බලයට ගෙනාවේ විශාල බලාපොරොත්තු ගොන්නක් හිතේ තබාගෙන. ඒත් අද පේන්න තරම් දෙයක් මේ ආණ්ඩුවෙන් ඔවුන්ට වෙන්නේ නැහැ කියා පවසනවා…

ඔය චෝදනාව එල්ල වන්නේ ජනතාවගෙන් නොවෙයි; විපක්ෂයේ කණ්ඩායම් විසින් හා ඔවුන් විසින් මෙහෙයවන පිරිස විසින්. සජිත් ප්‍රේමදාස මහතාට හා අනෙකුත් අයට ඡන්දය දුන් අය පවා අද පවසන්නේ අපි මාලිමාවට ඡන්දය දුන්නේ නැහැ. ඒත් අපි මාලිමාවේ මේ වැඩපිළිවෙළ අගය කරනවා කියලයි.

අපි භාර ගත්තේ දියුණු වෙමින් ඉදිරියට යමින් තිබූ රටක් නම් අපට තිබෙන්නේ එතනින් එහාට මේ රට රැගෙන යෑමටයි. එහෙත් අවාසනාවකට අපට ලැබුණේ හැම පැත්තකින්ම කඩාවට්ටපු රටක්. මේ රාජ්‍ය ව්‍යූහය සෑම පැත්තකින්ම කඩාබිඳවට්ටලා. රාජ්‍ය නිලධාරීන්ගේ කොඳු කඩලා තිබුණේ. හැම පැත්තකින්ම දූෂණය ඉහවහා ගිහින්. කොමිස් ගැනීම රාජ්‍ය යන්ත්‍රණයම වෙළාගෙන තිබුණේ. එහෙම තැනක් තමයි අප මේ ශුද්ධ කරගෙන, නිවැරදි කරගෙන යන්නේ. ඒකට යම් කාලයක් ගත වෙනවා. ඒත් ජනතාවගේ ඇස් ගිනිකණ වැටෙන තාවකාලික සන්දර්ශන පෙන්වමින් ජනතාව තාවකාලිකව මෝහනයට පත් කරන්න ආණ්ඩුවක් විදියහට අප සූදානම් නැහැ. මෙතුවක් හිටපු අය දින සීයේ, දින එකසිය පනහේ සන්දර්ශන තියමින්, භාණ්ඩාගාරයේ පොඩි හරි දෙයක් ඉතිරි වෙලා තිබුණ නම් ඔහේ බෙදලා දැම්මා. ජනතාවත් ඒවට ආකර්ෂණය වුණා.

අපට අවශ්‍ය ස්ථාවර රටක් ගොඩනඟන්නයි. අපේ කැබිනට් මණ්ඩලය අමාත්‍යාංශ මේ කාලයේ වැඩිපුරම මහන්සි වන්නේ මේ ව්‍යූහය සකස් කරගැනීම සඳහා. පදනම ශක්තිමත්ව හදා ගත්තොත් ඉන් එහාට ඉදි කිරීම් වේගයෙන් අපට කරගෙන යන්න පුළුවන්. කාටහරි පේනව නම් ඔවුන් බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නැහැ කියලා; පොඩි කාලයක් බලාගෙන ඉන්න; අපි ස්ථාවරව පදනම හදනවා. ඒ පදනම මත ඔබ බලාපොරොත්තු වුණාටත් වඩා ප්‍රතිලාභ අත්කර දෙන්න ආණ්ඩුවක් විදියහට අප කටයුතු කරනවා.

මේ වන විටත් අප ගොවියන්ට, ධීවරයන්ට, දරුවන්ට, වැඩිහිටියන්ට, දුප්පත් පවුල්වලට යම් සහන ප්‍රමාණයක් සලසා දී තිබෙනවා. රටේ ආර්ථික පදනම ස්ථාවර වුණාම මීට වඩා වැඩි සහන ප්‍රමාණයක් රටේ සෑම දෙනාටම හිමි කර දෙන්න අප කටයුතු කරනවා.

ඡායාරූපය – විමල් කරුණාතිලක

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division