මේ දිනවල දේශපාල ක්ෂේත්රයේ වැඩිපුරම ඇසෙන වාක්‍යය බවට පත්ව ඇත්තේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ පාඨයයි. පාර්ලිමේන්තුවේ දේශපාලන වේදිකාවලදී පමණක් නොව, බොහෝ මාධ්‍යවල මාතෘකාව වී ඇත්තේද ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ය.
මේ වැඩසටහන සාර්ථකද? අසාර්ථකද? ප්‍රකාශ කිරීමටත් පෙර මුළු රටම ‘ක්ලීන් ශ්‍රී ලංකා’ පිළිබඳ කතා කිරීම හොඳ ප්‍රවණතාවක් බව බොහෝදෙනාගේ මතය වී තිබේ.
‘ක්ලීන් ශ්‍රී ලංකාට’ විවිධ අංශවල ප්‍රසාදය
වර්තමාන ආණ්ඩුවේ ප්‍රධාන වැඩසටහනක් වන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන මඟින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමාජයට දෙන පණිවිඩය බොහෝදෙනකුගේ පැසසුමට ලක් වෙමින් පවතී.
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන අරලියගහ මන්දිරයේ සිට මෙහෙයවන අතර 18 දෙනකුගෙන් සමන්විත පිරිසක් එයට උපදෙස් දෙති. මේ 18 දෙනාගෙන් 13 දෙනකු විවිධ ක්ෂේත්රවල ප්‍රවීණයන් වන අතර ඔවුන් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සම්බන්ධවී සිටින්නේ ස්වේච්ඡාවෙනි. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආරාධනාවකට අනුව විවිධ ක්ෂේත්රවල ඒ ප්‍රවීණයෝ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සම්බන්ධ වී සිටිති.
‘ක්ලීන් ශ්‍රී ලංකා’ අදියර කිහිපයකින්
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන අදියර කිහිපයකින් ක්‍රියාත්මක වන වැඩසටහනකි. පළමුව සිදු කරන්නේ: රටේ පොදු මහජනතාව සහ සමාජය දැනුවත් කිරීමයි. දෙවනුව: ‘ක්ලීන් ශ්‍රී ලංකා’ මඟින් සිදු කරනු ලබන්නේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ පිළිබඳ අවබෝධයක් ඇති කිරීමයි. ඉන් අනතුරුව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ පැමිණෙන්නේ නිවෙසටයි. එය ‘ක්ලීන් ශ්‍රී ලංකා’ කාර්යාලයට පැමිණෙන අතර, එය හඳුන්වනු ලබන්නේ ‘ක්ලීන් වර්ක්’ යනුවෙනි.
ඉන් පසුව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ පොදු ස්ථානවලටත්, ඉන් පසුව ‘ක්ලීන් එන්වයර්මන්ට්’ දක්වා ‘ක්ලීන් ශ්‍රී ලංකා’ පැමිණීමට නියමිතයි.
ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ පංගුව
ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ පංගුව අත්පත් කර ගැනීම නව උත්පාදන වැඩපිළිවෙළ හරහා සිදු කළ හැකි බවත්, නව මාදිලි මඟින් නව වෙළෙඳපොළ අවස්ථා නිර්මාණය වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ප්‍රවේශයක් ඇති කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේදී පසුගියදා (8) පැවති උත්සවයට එක්වෙමිනි.
පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ප්‍රවේශයක් ඇති කිරීම සඳහා nirdc.gov.lk නව වෙබ් අඩවිය දියත් කිරීමද මේ අවස්ථාවේ සිදු කෙරිණි.
විද්‍යාව හා තාක්ෂණය සමඟ එකට බැඳුණු පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාදාමය, අගය එකතු කළ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය රටේ ආර්ථිකය නඟාසිටුවන අතර, සමස්ත මානව හා සාමාජයීය ප්‍රවර්ධනයට ද උර දෙයි.
රට තුළ නවෝත්පාදකයන් ගම්මට්ටමින් පවා බිහිවුවද, ඔවුන්ගේ අදහස් හා නිපැයුම් නිසි ලෙස උකහා ගැනීමේ යන්ත්‍රණයක් හෝ ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමක් සිදු වූයේ ද අවම මට්ටමකිනි. මේ මානව සම්පතට නිවහල් ලෙස සිතන්නට අවශ්‍ය පරිසරය සාදා දීම, ඔවුන්ගේ නව අදහස් පර්යේෂණ හා ගවේෂණ තුළ කාර්යක්ෂම ලෙස සැකසූ යන්ත්‍රණයක් හරහා ලබාදීමෙන් ශ්‍රී ලංකාව නවෝත්පාදන මධ්‍යස්ථානයක් බවට අනාගතයේ පත් කර ගත හැකිය.
මෙතෙක් කලක් ශ්‍රී ලංකාව වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.12%ක් පමණ අඩු ප්රතිපාදනයක් පර්යේෂණ හා සංවර්ධන සඳහා වෙන් කර තිබිණි. එහෙත් ශ්‍රී ලංකාව සතුව බොහෝ ස්වාභාවික සම්පත් ඇතත් එය නිසි පරිදි කළමනාකරණය සඳහා සහ මේ වටිනා පර්යේෂණ තවමත් ආර්ථික ප්රතිලාභ සඳහා යොදාගෙන නැත.
නවෝත්පාදන දිරි ගැන්වීමට නව වැඩපිළිවෙළක්
නව රජයේ පත් වීමත් සමඟ දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයෝ විශාල සංඛ්‍යාවක් මේ මොහොතේ ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට විශාල උනන්දුවක් දක්වමින් සිටිති. ආර්ථිකය නඟාසිටුවීමට මේ සියල්ල ප්‍රමාදයකින් තොරව කළමනාකරණය කර, රටේ සංවර්ධනයට භාවිත කළ යුතුව ඇත. මනාව සැලසුම් කරන ලද සහ නිසි ලෙස කළමනාකරණය කරන ලද දිගුකාලීන පර්යේෂණ හා සංවර්ධන යන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම අලුතින් පිහිටුවන ලද විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයෙන් දැනටමත් ආරම්භ කර ඇත.
වඩාත්ම ඵලදායි උපාය මාර්ගය වනුයේ ආර්ථිකය සඳහා ක්ෂණික තල්ලුවක් ලබා ගැනීම සඳහා දැනටමත් පර්යේෂණ අවසන් කර ඇති හෝ ආසන්න වශයෙන් නිම කර ඇති ව්‍යාපෘති, අගය එකතු කළ අලෙවි කළ හැකි නිෂ්පාදන සහ සේවා බවට කඩිනමින් පරිවර්තනය කිරීමයි. පර්යේෂණ හා සංවර්ධන ප්‍රතිඵල හඳුනා ගැනීම, ඇගයීම, බලාත්මක කිරීම, ක්‍රියාවට නැංවීම සහ ඉක්මනින් වාණිජකරණය කිරීම සඳහා පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය [National Initiative for R&D Commercialization (NIRDC)] නව ව්‍යාපෘතියක් ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ ඇති කර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක සහ ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් හා විද්‍යාත්මක පර්යේෂණ, කර්මාන්ත, ආර්ථිකය, නීතිය, කලාව සහ දේශීය උරුමයන් ආදි ක්ෂේත්රවල ප්‍රවීණයන්ගෙන් සමන්විත විද්වත් මණ්ඩලයකගෙන් කමිටුවක් පත් කර ඇත.
පර්යේෂණ සහ සංවර්ධනය වාණිජකරණය මඟින් තිරසර ආර්ථිකයක්
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක, මිනිසාගේ අවශ්‍යතා නොවෙනස්ව පවතින බව පෙන්වා දුන් අතර, ඒ අවශ්‍යතා ලබා ගන්නා මාදිලිය පමණක් වෙනස් වන බවද, නවෝත්පාදනය මඟින් එම මාදිලිය නිර්මාණය කළ හැකි බවද කියා සිටියේය. තාක්ෂණයට සහ නවෝත්පාදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පැවති ප්‍රතිපත්තිය නිසා ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවට හිමි තැන අත්පත් කර ගැනීමට අසමත් වූ බවද ලෝකයේ තාක්ෂණය සමඟ වෙළෙඳපොළ මාදිලියේ නව පෙරළියක් ඇති වුණත් ශ්‍රී ලංකාව තේ, පොල්, රබර් වැනි පැරණි සංකල්පයක හිර වී ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. තාක්ෂණය සමඟ එක්ව නවෝත්පාදනය කළ සමාගම් ලෝකය ජයගෙන ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ලෝකයේ පළමු සමාගම් 10න් 5ක්ම තාක්ෂණය පදනම් කරගත් සමාගම් බවද කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ තාක්ෂණ විෂය නොසලකා තිබූ බවත් ලෝකයේ දියුණු රටවල් තාක්ෂණ විෂයට මුල් තැනක් දී සංවර්ධනය කරා ගොස් ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය. දුප්පත්භාවය තුරන් කිරීම අවශ්‍ය වන්නේ සමාජ ඛේදවාචකය නැති කිරීමට පමණක් නොව එම ජනතාව අයිතිවාසිකම් නොමැතිව පීඩාවිඳීම හේතුවෙන් බවත් එම නිසා ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමට නවෝත්පාදන හරහා එම ජනතාවට ආර්ථික කටයුතු හා තොරතුරුවලට ප්‍රවේශ වීමේ අයිතිය දීම බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනවාරි 8 හා ලසන්ත
ජනවාරි 8 වැනිදා කියන්නේ ජනමාධ්‍යවේදීන්ට අමතක නොවන දවසක්. ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය වන්නේ ජනවාරි 8 වැනිදා දිනකය. වර්ෂය 2009යි. පසුගිය ආණ්ඩු සමයේ මාධ්‍යවලට සිදු වූ තර්ජන ගර්ජන, පහර දීම්, ඝාතන පිළිබඳ විවිධ සාකච්ඡා මතු වන මාසයක් ලෙස ජනවාරි මාසය හැඳින්විය හැකියි.
මේ අතර නව ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සාකච්ඡාවක් ඉල්ලා තිබුණු අතර, එම සාකච්ඡාවද යෙදී තිබුණේ ජනවාරි 8 දිනටය. ඒ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයේය. කැඳවුම්කරු හනා ඉබ්රාහිම් ලේකම් ලසන්ත ද සිල්වා ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක් මේ සාකච්ඡාව සඳහා සහභාගි වූ අතර, වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇමතිවරයා සමඟ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා, අමාත්‍යාංශ නිලධාරීහු පිරිසක් සාකච්ඡාවට සහභාගි වූහ. “අද ජනවාරි 08 වෙනිදා මාධ්‍යවේදීන්ට විශේෂ දවසක්. එවැනි දවසක අපට සාකච්ඡාව දීම ගැනත් අපි ඇමැතිතුමාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා.” ලසන්ත සාකච්ඡාව ආරම්භ කරමින් කියා සිටියේය. “පළමුවෙන්ම සමාව ඉල්ලනවා මේ සාකච්ඡාව පාර්ලිමේන්තුවේ යොදාගත්ත නිසා එන්න යන්න අපහසුතාවක් ඇති වුණා නම්. කොහොම වුණත් අපට ඔබතුමන්ලා එක්ක සාකච්ඡාවක් කරන්න ලැබුණ එක ගැන සතුටු වෙනවා.” ඇමැතිවරයා සාකච්ඡාව ආරම්භ කරමින් කියා සිටියේය.
ඇමැති නලින්දගේ අවධානයට කරුණු 6ක්
මෙහිදී නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් විශේෂ කරුණු 6ක් ගැන අමාත්‍යවරයාගේ අදහස විමසා සිටිනු ලැබීය. පසුගිය පාලන සමයන්හිදී ජනමාධ්‍ය ආයතනවලට සහ ජනමාධ්‍යකරුවන්ට සිදු වූ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලිය, භාෂණයේ හා ප්රකාශනයේ නිදහසට බලපාන නීති (මාර්ගගත ක්‍රමවේදවල ආරක්ෂාව, පෙර ආණ්ඩුව කෙටුම්පත් කළ ත්‍රස්ත මර්දන නීති වැනි නීති) සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය, රජයේ දායකත්වයද ඇතිව සියලු පාර්ශ්ව සහභාගී වෙමින් පුළුල් මාධ්‍ය ප්‍රතිසංස්කරණ වෙත යොමු වීම, මාධ්‍ය වෘත්තිකයන්ගේ වෘත්තීය අයිතිවාසිකම් පිළිබඳ ගැටලු, කර්මාන්තයේ දියුණුවට ගත හැකි පියවර වන කඩදාසි මිල සහන ආදිය හා ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය, මාධ්‍යවේදීන්ගේ වරලත් ආයතනය, ප්‍රෙස් ක්ලබ් සක්‍රිය කිරීම ආදි කරුණු පිළිබඳ මෙහිදී කතාබහට ලක් විය.
යළි ජාතිවාදයට ඉඩ නොදෙන බවට සහතිකයක්
තවද පුරවැසි මාධ්‍යකරණය යහපත් මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීමට මාධ්‍යවේදීන්ට අධ්‍යාපන අවස්ථා සලසා දීම ගැන ද පුවත්පත් පැමිණිලි කොමිසම බලාත්මක කිරීම, ස්වාධීන මාධ්‍ය කොමිසමක් ස්ථාපිත කිරීම හා විදෙස් මාධ්‍යවේදීන්ගේ හමුවක් සූදානම් කිරීම ගැන ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සාමාජිකයන් විසින් ඇමැතිවරයාගේ අවධානය යොමු කෙරිණ. “අපිත් පෙනී ඉන්නේ මාධ්‍යවේදීන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා කිරීමටයි. එහෙත් අපි එක දෙයක් ගැන දැඩි සැලකිල්ලකින් ඉන්නවා. මේ රටේ නැවතත් ජාතිවාදී ගැටුමක් ඇති වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. ඒ වෙනුවෙන් මාධ්‍යවල මත හදන එක නවත්වන්න ඕනෑ. ඒ වගේම අපි හිතනවා මාධ්‍යවේදීන්ටත් ස්වයං නියාමනයක් තියෙන්න ඕනෑ. ජනතාවට සත්‍ය වාර්තා කරන මාධ්‍ය සංස්කෘතියක් වෙනුවෙන් අපි එකතු වෙලා වැඩ කරමු. ඒ වෙනුවෙන් අපි තවත් මාධ්‍ය සංවිධාන එක්ක ඉදිරියේදී කතා කරන්න කැමතියි” යනුවෙන් ඇමැතිවරයා සඳහන් කළේය.
විජිත එළියට දාපු අරුම පුදුම ගිවිසුම
දකුණු කොරියානු රැකියා ලබාදීමට E8 වීසා නිකුත් කිරීම නීති විරෝධි බවත්, එවැනි ගිවිසුමකට කැබිනට් අනුමැතියද හිමි වී නැති බවත් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පසුගිය 9 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේදී දකුණු කොරියානු රැකියා සම්බන්ධයෙවන් මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
මේ E8 දකුණු කොරියානු රැකියා වීසා ලබාගැනීමට අදාළ ගිවිසුම නීති විරෝධීයි. හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා අත්සන් කරපු ගිවිසුම හරිම අමාරුවෙන් අපි හොයාගත්තා. මේක හරි අරුම පුදුම ගිවිසුමක්. ගිවිසුමේ මාතෘකාව තියෙන්නේ ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව කියලා. ඒත් ගිවිසුම ඇතුළේ තියෙන්නේ දකුණු කොරියාව හා පාකිස්තානය කියලා. මේ ගිවිසුම කියවලත් නෙමෙයි අත්සන් කරලා තියෙන්නේ. ගිවිසුමේ සමහර තැන්වල ශ්‍රී ලංකාව කියලා තියෙනවා සමහර කතැන්වල පාකිස්තානය කියලා තියෙනවා. මේ ගිවිසුම අනුව දකුණු කොරියාවෙදි අනතුරක් වුණොත් වන්දි ගන්නවෙන්නේ පාකිස්තානෙන්. හිටපු ඇමැති මනූෂ හා දකුණු කොරියාවේ නගරාධිපතිවරයෙක් අතරේ තමයි මේ ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ. මේ නීති විරෝධි ගිවිසුම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ නිසා අපහසුතාවයට පත්වන ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ඉදිරියේදී සහනයක් ඉටු කිරීමට අප බලාපොරොත්තු වෙනවා යනුවෙන්ද විජිත හේරත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැතිට දුක්ගැනවිල්ලක්
ගුවන් විදුලි සංස්ථාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ ඉකුත්දා කොළඹදී සාදයක් සංවිධානය කළේ තම පුතුන් දෙදෙනාගේ විවාහ මංගල්‍යය නිමිති කර ගෙනය. මේ සාදයට ඔහු ආරාධනා කර තිබුණේ බොහොම කිට්ටු හිතවතුන් පිරිසකටය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති හංසක විජයමුනි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හිටපු පාර්ලිමේන්තු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ සහ චන්ද්‍රපාල ලියනගේගේ පාසල් මිතුරෝ, ව්‍යාපාරික මිතුරෝ එයට එක්ව සිටියහ.
“නියෝජ්‍ය ඇමතිතුමා ගුවන් විදුලියේ ඉන්නවා අවුරුදු 15ක් 20ක් තිස්සේ නිවේදන කටයුතු කරන අය. හැබැයි ඒ අයට ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා” ගුවන් විදුලියේ ප්‍රවීණ නිවේදිකාවක වන මයුරී අබේසිංහ කීවාය. “මොකද්ද මයුරී ප්රශ්නය?” නියෝජ්‍ය ඇමැතිවරයා ද බලවත් වුවමනාවෙන් විමසුවේය. “ඒ අය පර්මනන්ට් කරලා නෑ” මයුරී ප්රශ්නය කෙටියෙන්ම කීවාය. ‘කියපු එක හොඳයි. මම හොයලා බලන්නම්” නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.
“ගොඩක් ප්‍රශ්න තියෙනවා. මේ රටේ සෞඛ්‍ය සේවයෙන් පුරවැසියාට සාධාරණය ඉටු වෙන්නේ නෑ. ඉස්සෙල්ලාම අභ්‍යන්තර ප්‍රශ්න විසඳගන්න ඕනෑ. මේ දවස්වල අපි ඒක කරගෙන යනවා.” හංසක විජයමුනි නියෝජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් කීවේය.
රාජපක්ෂවරුන්ගෙන් කැඩෙන හේතුව එළියට
සාදය යන අතරතුරදී එතැනට තවත් අමුත්තෙක් ආවේය. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරය. “ආ… හෙට්ටි කොහොමද? ගොඩක් කාලයකින් දැක්කෙ.” දිලිත් මේසයේ අසුන් ගත්තේම කුමාරසිරි හෙට්ටිගේ කරට අත දමාගෙනය. “මේ හෙට්ටිව දන්නවනේ? මහින්ද මහත්තයාගේ දකුණු අත වගේ හිටියේ. කොහොමද මේ රාජපක්ෂලා හෙට්ටිගේ, චන්ද්‍රපාල ලියනගේ වගේ අයව නැති කරගත්තේ?” දිලිත් කීවේය.
“මහින්ද මහත්තයට තිබුණු ගෞරවයයි ආදරයයි නැති කළේ පවුලේ අයමයි. මහින්ද මහත්තයා ළඟ මනුස්සකම තියෙනවා. අනිත් රාජපක්ෂලා ළඟ තිබුණේ උද්ධච්චකම විතරයි.” හෙට්ටිගේ කීවේ අතීත අත්දැකීම්ද සිහිපත් කරමිනි.
සජබත් ක්ලීන් කිරීමට යයි
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඉකුත්දා කොළඹ හෝටලයකදී හමු වූයේ අලුත් අවුරුදු උදාව සැමරීමට පමණක් නොව, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළට සමගාමීව පක්ෂය ක්ලීන් කිරීමේ අරමුණද සහිතවය.
“ඉම්තියාස් අයියා යවපු ලියුමට ලොක්කගෙන් කිසිම රිප්ලයි එකක් නෑ. ලොක්කට පක්ෂය හදන්න කිසිම ඕනෑකමක් නෑ. කොතැනක හරි එයා හිරවෙලා ඉන්නවා” එක් මන්ත්‍රීවරයෙක් කීවේය. “අඩුම ගානේ සාකච්ඡාවකටවත් එන්නේ නැහැ නේ. පාර්ලිමේන්තුවේදී හැමදාම උදේට විනාඩි හතළිස් පහක් කතා කරනවා. අපට කතා කරන්න වෙලාවක් නෑ. අනික ඒ කතා කරන ඒවත් මෙලෝ රහක් නෑ. තවත් මන්ත්‍රීවරයෙක් කීවේය.”
සජිත්ගේ නිහඬ බවට විරෝධය
“බලන්න ගෝඨා – 2 පිටපත දැන් රඟ දක්වනවා. ගෝඨාට ගෙදර යන්න වුණේ කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතිව. පොහොර වැඩේ උඩට ගත්ත නිසයි මුළු රටේම ගොවියෝ ආණ්ඩු විරෝධීන් වුණේ. දැන් ක්ලීන් ශ්‍රී ලංකා වැඩෙත් ඒ වගේම ආණ්ඩුව බලයට ගෙනාපු බලවේගවලටයි මේ පහර දෙන්නේ. ඒත් කෝ ලොක්කගේ කිසිම සද්දයක් නෑනේ…” තවත් මන්ත්‍රීවරයකු එහෙම කියනකොට වෙන මන්ත්‍රීවරයකු කිවුවේ මෙහෙම කතාවකි:
“ලොක්කා එක්ක නම් ගමනක් නෑ. අපි යූඑන්පීයක් එක්ක එකතු වෙමු.” අවසන් එකඟතාවක් නැතිව වුවත් කතාබහ නිමා වුණේ එසේය.
රනිලුත් ක්ලීන් කිරීම අරඹයි
සමගි ජන බලවේගය තුළ එහෙම ප්‍රවණතාවක් මතු වන විට ඒ.ජා.ප. නායකයෝ හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහද පක්ෂය ක්ලීන් කිරීම ආරම්භ කළහ. “පක්ෂයේ සෙකට්රිකම තලතා අතුකෝරලට දෙන්න ඕනෑ. එයා බැලන්ස්. එස්.ජේ.බී. එකේ කට්ටිය එයාට කැමතියි.” රනිල් කීවේය. පක්ෂයේ විධායක සභාව අප්‍රමාදව එය ක්‍රියාත්මක කළේය. මහලේකම් රංගේ බණ්ඩාරට නොකියාම තලතා අතුකෝරල පක්ෂයේ මහලේකම් ධුරයට පත් කෙරිණි.
රාජිත – කබීර් හමුවක්
සිලින්ඩරය හරහා එජාපයට එක් වූ හිටපු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්නට සමඟි ජන බලවේගයේ කබීර් හෂිම් හමු වූයේ පිළියන්දල බොල්ගොඩ ප්‍රදේශයේ පැවති හමුවකදීය. කබීර් හෂීම්ට අමතරව අජිත් පෙරේරා, ඉරාන් වික්‍රමරත්න, ශිරාල් ලක්තිලක ඇතුළු පිරිසක්ද එතන සිටියහ.
“යූන්පීඑක දේශපාලනය කරන්නේ නෑ නේ. රනිල් හොඳ රාජතාන්ත්රිකයෙක්. ඒත් හොඳ දේශපාලනඥයෙක් නොවෙයි.” රාජිත එහෙම කියද්දී කබීර් හෂිම් කීවේ අමුතුම කතාවකි. “දැන් පේනවනේ වෙලා තියෙන දේ. රට බේරගන්න නම් යුඑන්පී එකයි එස්.ජේ.බී.එකයි අනිවාර්යයෙන්ම එකතු වෙන්න ඕනෑ ඒකට විරුද්ධ වෙන්න කාටවත් බෑ” කබීර් කීවේය.
මල් පාරේ කතාබහක්
ආණ්ඩුවට උද්දච්චකම සහ නොදන්නාකම සම්මිශ්‍රණය වූ අමුතු ලෙඩක් වැලඳී ඇතැයිද, ඒ අමුතු අසනීපය විසින් ආණ්ඩුවේ සියලු පාර්ශ්වකරුවන් තෙතබරිත වන තුරුම නාවමින් සිටින්නේ යැයිද යන්න කොළඹ මල් පාරේ ගෑස් සිලින්ඩර් කාර්යාලයට රැස් වූ මන්ත්‍රී කණ්ඩායම කළ කතාබහේ සාරාංශය විය.
“මේ මිනිස්සු ටික මෙච්චර ඉක්මනට නාන්න පටන් ගනීවි කියලා ඇත්තටම අපි හිතුවේ නෑ. ලංකා ඉතිහාසයේ නෙමෙයි ලෝක ඉතිහාසෙවත් මෙච්චර ඉක්මනට නාන්න පටන් ගත්ත නෑඹුල් ආණ්ඩුවක් නැතුව ඇති.” රුවන් එසේ කීවේ බස් සහ ත්‍රිරෝද රථ හිමියන්ගේ ආණ්ඩුවට එරෙහි අනේක විධ අඳෝනා ගැන සිහිපත් කරමිනි.
ආණ්ඩුවකුත් නැහැ විපක්ෂයකුත් නැහැ
“රටේ ආණ්ඩුව පිස්සු කෙළින කොට විපක්ෂය ගැන හිතලා හරි මිනිස්සු හිත හදාගත්තා. දැන් මේ රටේ ආණ්ඩුවකුත් නෑ, විපක්ෂයකුත් නෑ” වජිර කීවේය.
සහල් ප්‍රශ්න, රිළා ප්‍රශ්න පසු කරමින් පැමිණි අලුත් ආණ්ඩුව මුහුණ දී ඇති අලුත්ම ප්රශ්නය බස්, ත්‍රිරෝද රථ ප්රශ්නයයි. මිනිසුන්ගේ ඒ විරෝධයේ මනෝවිද්‍යාත්මක සත්‍යයක් තිබෙන බව එජාප නායකයන්ගේ මතය විය.
රනිල්ගෙන් විපක්ෂයට චෝදනාවක්
“මේ අය බලයට ආවෙ හිටපු නායකයෝ ඔක්කොම ගැන බිල්ලො මවලා. ඔවුන් බලයට එන්න කියපු කතාම දැන් ඒ අයට පාරා වළල්ලක් වෙලා. මේ ඇති වෙමින් තියෙන ජනතා විරෝධතා එකක්වත් විපක්ෂය විසින් මතු කළ ඒවා නෙමෙයි; ජනතාව තුළින්ම මතු වෙච්ච විරෝධතා. ඇත්තම කිවුවොත් ප්‍රධාන විපක්ෂය දැන් අඩපණ වෙලා. ඔවුන්ට මොකුත්ම කරගන්න හැකියාවක් නෑ…” රනිල් හඬ අවදි කළේ විපක්ෂය පැත්තටත් චෝදනාවක් එල්ල කරමිනි.
චාමර, සජිත් පහු කරයිද?
“ඔව්. ඒ කතාවේ ඇත්තක් තියෙනවා සර්. ලසන්ත වික්රමතුංගගේ සොහොන ළඟ ඉටිපන්දම් පත්තු කරලා විතරක් විපක්ෂයට අත පිහදා ගන්න බෑ. ආණ්ඩුවේම අදක්ෂතාව නිසා මෙහෙම නාගන්නවා මිසක් විපක්ෂය එක වතුර බාල්දියක්වත් ඇදලා දුන්නේ නෑ” රාජිත කී කතාවට රනිල්ටත් සිනා නොවී ඉන්නට බැරි විය.
සජිත්ට යාලට යන ලෙස ලාන්සාගෙන් යෝජනාවක්
ඇත්තෙන්ම දැන් රටට දැනෙන්නට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකකම කරන්නේ උගතුන්ගේ ගර්හාවට ලක් වූ චාමර සම්පත් බව සිලින්ඩර මන්ත්‍රීවරුන්ගේ අදහසක් විය. බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදීද ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ගැනත් ඊට වැය වූ මුදල් ගැනත් චාමර සම්පත් ප්‍රශ්න කරද්දී සජිත්ගේ නිහඬියාව කාටත් ප්‍රහේලිකාවක් විය.
“මිනිහට දැන් හතිවැටිලා වගේ. ඇත්තටම දැන් මිනිහට තියෙන්නේ යාලෙ හරි වෙන කොහේ හරි වනෝද්‍යානයක් ළඟ ගෙයක් හදාගෙන අලි, මොනරු, කොටි බල බල ඉන්න එක. එහෙම වුණොත් රටටත් හොඳයි; සජබෙ ඔය මන්ත්‍රී කණ්ඩායමෙන් බහුතරයකුත් කැමති වෙයි.”ලාන්සා කීවේ ඇඟට පතට නොදැනෙන අයුරිනි.
අලුත්ම මෙහෙයුම ගැන වජිරගෙන් ඉඟියක්
“සජිත් වගේ කෙනෙක් විපක්ෂ නායකකමේ ඉන්න එක ආණ්ඩුවට වාසියක්. ඒත් අපි රික්තකය දිගටම පවත්වාගෙන යන්න ඉඩ දෙන්නේ නෑ” වජිර අලුත් කතාවකට මුල පිරුවේය. රනිල් අලුත් සැලසුමක් හෙළිදරව් කළේ ඒ අවසරයෙනි.
“අපි බලන්නේ අලුත් පක්ෂයක් හදන්න. යූඑන්පී නම යටතේ එය කරන්නේ. අපි මේ බංකොලොත් වීම්, අර්බුද ඔක්කොම එන්න කලින් 2020 දී රටට ඇත්ත කිවුවා. කිසි දවසක රටට බොරු කියල නෑ. අපි මෙහෙම පරාජය වෙන්නත් හේතුව ඒකම තමයි. අපි හදන අලුත් බලවේගයේ එ.ජා.පය ඉන්නවා; ඒ වගේම අනෙක් බලවේගත් එකතු කර ගන්නවා. අපි ඡන්දවලට එන්නේ එක්සත් ජාතික පෙරමුණ යටතේ. එතකොට ඕන කෙනෙක්ට අපිත් එක්ක එකතු වෙලා අලියා ලකුණින් තරග කරන්න පුළුවන්. සජබත් එක්ක දැනටමත් බිම් මට්ටමේ සාකච්ඡා යනවා.”
සමගි ජන බලවේග සහ එජාප හවුලක් ඉතා ඉක්මනින් රටට අවශ්‍ය බව දක්ෂිණාංශික විද්වතුන්ගේද පොදු ජනතාවකගේ ද මතය බව රහසක් නොවේ.
රනිල් – සජිත් – වජිර හමුවක්
ඉකුත් සතියේ ඉරිදාවේ සජිත් රනිල් එකම දවසේ දෙවරක් මුහුණට මුහුණ හමු වී කතාබහ කළෝය. බානගල උපතිස්ස හිමියන්ගේ 75 වැනි උපන්දින පින්කමේදීත් එදිනම සවස වැල්ලවත්ත විහාරස්ථානයක පැවැති පින්කමකදීත් සජිත්-රනිල් හමු වූහ. ඔවුන් ඉතා සුහදශීලීව කතාබස් කළ අයුරින් පිටතට නම් පෙනෙන්නට තිබුණේ පැරණි ප්‍රේමය යළි දලුලා වැඩෙනවා වැනි හැඟීමකි.
එදිනම සවස 8 වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ, එජාප සභාපති වජිර අබේවර්ධන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු සහභාගී වූ ආගමික වැඩසටහනක් වැල්ලවත්ත ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී පැවැත්විණි. වැල්ලවත්ත ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරවාසී පූජ්‍ය වැලිපත ධම්මාරාම හිමියන්ගේ 50 වැනි ජන්ම දිනය වෙනුවෙන් පැවැති මෙම උත්සවයට සහභාගී වූ රනිල් වික්‍රමසිංහ මැතිතුමා, වජිර අබේවර්ධන සහ සජිත් අතර පැවැති සුහද සංවාදය මේ අවස්ථාවට සහභාගී වූ සියල්ලගේම පාහේ දැඩි අවධානයට ලක් විය.
තලතාට සජබෙන් කොළ එළියක්
තලතා එජාප මහලේකම් ධුරයට පත් කිරීම ගැන එජාපයෙන් මෙන්ම සජබෙන් ද ප්රශංසාත්මක පණිවිඩ ලැබෙමින් තිබිණි. තලතා එජාපයේ 27 වැනි මහලේකම්වරියයි. එමෙන්ම ප්‍රධාන දේශපාලන පක්ෂයක පළමු කාන්තා මහලේකම්වරිය වීමේ වාර්තාවද තලතාට හිමි වෙයි. සිකුරාදා උදේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී තලතා මහලේකම් ධුරයේ වැඩ භාර ගත්තාය. ඇය සජබ එජාප එකතු කරන පාලමක් වනු ඇතැයි බොහෝ දේශපාලන විචාරකයන්ගේ මතයයි.
මුරුත්තෙට්ටුවේ හිමි හා වජිර අතර හමුවක්
එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සහ බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති, නාරාහේන්පිට ශ්‍රී අභයාරාම විහාරයේ විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය සති අන්තයේදී නාරාහේන්පිට ශ්‍රී අභයාරාම විහාරස්ථානයේදී පැවැත්විණ.
විහාරාධිපති හිමියන්ගේ ආරාධනාව පරිදි විහාරස්ථානයට ගිය වජිර සහ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අතර පැයකට අධික කාලයක් පුරා පැවැති මේ සාකච්ඡාවේදී රටේ වර්තමාන දේශපාලන තත්ත්වය, ආර්ථික තත්ත්වය වගේම රට තුළ නිර්මාණය වෙමින් පවතින නව සමාජ තත්ත්වය පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.