ගොවි තාත්තා (Father the farmer) සිනමාපටය පිළිබඳව බොහෝ දෙනා අතර කතාබහට ලක්වූවේ අද ඊයේ නොවේ. ඒ Sweeden Borden ජාත්‍යන්තර සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා සහ හොඳම නිළිය ලෙස සම්මාන ලැබුදා පටන්ය. PVR සිනමාශාලාවේ පසුගියදා පැවති මාධ්‍ය දර්ශනයෙන් ගම්‍ය වූයේ එය මෙරට සිනමාලෝලීන් සඳහා ප්‍රදර්ශනයට සූදානම් බවයි. එදින දර්ශනය නැරඹූ බොහෝ දෙනාගේ අදහස වූයේ නව නිර්මාණකරුවන් දෙස බැලිය යුතු කාලය දැන් එළැඹ ඇති බවයි.
ගොවිතැන එකම ජීවනෝපාය මාර්ගය කරගත් පොලොන්නරුව උණගලාවෙහෙර නම් සුන්දර ගම්පියසේ ජීවත්වුණු උක්කුන් මහත්තයා ඇතුළු ප්‍රදේශවාසීන් මුහුණ දුන් සැබෑම අත්දැකීම් පාදක කරගනිමින් නිර්මාණය වුණු ගොවි තාත්තා සිනමාපටය නිසි පුහුණුවකින් තොරව රසායනික ද්‍රව්‍ය භාවිතයේ ආදීනව කියාපාමින් වකුගඩු රෝගයට ගොදුරු වන ප්‍රදේශවාසීන් පියවරෙන් පියවර මරණය දක්වා ගමන් කරන අයුරු හුවා දක්වන සිනමාපටයකි. කාල පරිච්ඡේද කිහිපයක අත්දැකීම් විනාඩි අනූවකට ලඝුකර පෙන්වමින් හුදෙක් මෙය තවත් එක් සිනමාපටයක් පමණක් ලෙස නිර්දේශ කිරීමට කිසිසේත්ම ඉඩක් නොතැබීමට අධ්‍යක්ෂ දර්ශන රුවන් දිසානායක ගන්නා උත්සාහය සැබැවින්ම අගය කළ යුතුය.
සිනමාකරුවා ද මෙහි කොටස්කරුවකු වීම විශේෂත්වයක් වුව ද ඔහු ඉන් මිදී මධ්‍යස්ථව හිඳ තම පියා මෙහි ප්‍රධාන භූමිකාව වන උක්කුන් මහත්තයාගේ තැනෙහි පිහිටුවා නිර්මාණය ගොඩනඟන අන්දම අපූරුය. අඳ ගොවියකු ලෙස තම දරු පවුල නඩත්තු කරන ඔහු විටින් විට එන දුක්කම්කටොළු හමුවේ නොසැලී ගීතයක් මුමුණමින් සිය පීඩනය මුදාහරින ආකාරය මුල සිටම අපට දැකගත හැකිය. තම දිවියටත් වඩා අන් අය ගැන සිතන ඔහු අසාධාරණය, අවැඩ හමුවේ කිපෙන්නේ ද නිසි අවබෝධයෙන් ජීවිතයට මුහුණ දෙන්නකු ලෙසිනි. මෝඩකම් කරන අවස්ථා ද නැතුවා නොවේ. එය සෘජුවම පෙන්වා දෙන්නට ද සිනමාකරු අමතක නොකරයි. එමෙන්ම ඔහුගේ සැලමුතු ප්‍රේමය ගැන දැනුම්වත් වී සිටින සිනමාකරුවා එය ප්‍රේක්ෂකයාට හඟවන්නට ගන්නා සියුම් උත්සාහය ද රසවත්ය. පෙනුමේ ඇතිවන විකෘතිතා හේතුවෙන් බියපත්ව ලේ එකක් බලව ගන්නැයි ඇවිටිලි කරන සිය බිරියගේ වචනය මායිම් නොකරන ඔහු සිය සැලමුතු ප්‍රේමයේ කොටස්කාරිය වන අනුලාගේ ඉල්ලීම පිළිගන්නේ “එහෙනම් මං ලේ එකක් බලව ගන්න යන්නම්“ යැයි ගීතයක ස්වරයෙන් මුමුනමිනි. හොඳම මිතුරාගේ නැඟණිය වීම හේතුවෙන් තම සිත් මායිමට පමණක් සීමා කරගන්නා සිය ප්‍රේමය හමුවේ අවශ්‍ය සෑම විටම ඇය වෙනුවෙන් ඉදිරිපත් වන්නේ ද අහිතකින් නොවේ. එවන් තැන් සියුම් අභිනයන් ඔස්සේ කියාපාන්නට සිනමාකරුවා ගෙන ඇති උත්සාහය ද සාර්ථක බව හැඟී යයි.
එමෙන්ම නාමාවලියේ පටන් අවසන් මොහොත දක්වාම දිගු කතාවක් ලඝු කොට දැක්වීමට ඔහු සංකේත භාවිත කරන අපූරුව ද අතිවිශිෂ්ටය. බයිසිකලය පැද යන උක්කුන් මහත්තයාගේ පාදය ක්‍රමයෙන් ඉදිමෙමින් ගොස් අවසානයේ නිදිකුම්බා පැළෑටි මත තබන පාදය හේතුවෙන් හැකිළෙන නිදිකුම්බා මඟින් පෙන්වන්නේ වකුගඩු රෝගයට ගොදුරු වන පුද්ගලයකුගේ ජීවිතයේ අවසානය ගැනය. කාබනික පොහොර භාවිත කළ සෞඛ්‍යාරක්ෂිත පොළොවට රසායනික පොහොර වැටීමත් සමඟින් අහිමි වන්නේ ස්වාභාවික ජෛව පද්ධතිය බව කියන්නට සිනමාකරුවා නිතරම උත්සාහ දරයි. නවීන තාක්ෂණයට අකැමැති වුවද අවසානයේ උක්කුන් මහත්තයාට ද එය වැලඳ ගැනීමට සිදුවන්නේ පවතින ආර්ථික අර්බුදයට පිළියමක් සේ සිතාය. ගොයමට රසායනික යෙදීම නිසි පුහුණුවක් යටතේ කළ යුතු වුවද ඔවුන් එය නොසලකා හරින බව ව්‍යංගාර්ථයෙන් හඟවන සිනමාකරුවා එහි ආදීනව නිසා මෙවන් ඉරණමකට ගොදුරු වී ඇති බව ද පෙන්වා දෙයි. මෙහි ප්‍රධාන නළු භූමිකාව පඹයා යැයි සිතෙන තරමටම මෙහි යම් යම් ආදීනව උපහාසාත්මකව ඔහු හරහා පෙන්වා දීමට උත්සාහයක් ගෙන ඇති බව ද පෙනේ.
‘ගොවියාගේ ගජ මිතුරා’ මෙන්ම ‘බාලගිරි දෝෂය අද නොවේ හෙට’ වැනි අප යටි අරුත දන්නා වැකි යොදාගෙන තිබීම ද ඔහුගේ සූක්ෂ්ම බව ඉස්මතු කරන්නකි.
එක් එක් කාල වකවානු පෙන්වීමට ඔහු භාවිත කර ඇති සංකේත ද අගනේය. ජේ. වී. පී. පක්ෂ නියෝජනය පෙන්වීමට කුඩා බණ්ඩාගේ වාග් කෞශල්‍යය මෙන්ම පෙරටුගාමී පක්ෂය යන්න ආසියා නම් පුද්ගලයාගෙන් පෙන්වයි. සේයා දැරියගේ ආන්දෝලනාත්මක අනාවරණය තඹදීප පුවත්පත හරහා පෙන්වා දීමට ගන්නා උත්සාහය මෙන්ම පෞරුෂය බිඳ ගන්නා රියැලිටි කලාව හුවා දැක්වීමට කන්‍යා කුමරු පුවත්පත යොදාගෙන ඇත. එක් එක් යුගයන්හි ගලායෑම පෙන්වා දීමට විජය කුමාරතුංගයන්ගේ පෝස්ටර්ය, රම්‍යා වනිගසේකර විසින් පොදු සමා කාලයක් යටතේ හමුදාවට භාර වන්නයි කරන ප්‍රවෘත්ති ප්‍රකාශය වැනි දේ නරඹන්නන්ගේ අවධානය දිනා ගැනීමට සමත් තැන් ලෙස පෙන්වා දිය හැකිය. ඒ සඳහා සිනමාකරුවා ගුවන්විදුලිය යොදාගෙන තිබෙන්නේ ද විශිෂ්ට අයුරිනි. සංගීතඥයෙක් සිනමාකරුවෙක් වීමේ නිදහස උපරිමයෙන්ම භුක්ති විඳිමින් සිද්ධි දාමයන් එකිනෙක සම්බන්ධ කිරීමේ පුරුක ලෙස සංගීතය යොදා ගෙන තිබීම ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය ද්විත්වයෙන්ම ප්‍රේක්ෂකයා ඇද බැඳ තැබීමට ඔහු ගත් උත්සාහය අතිසාර්ථක වී ඇති බව ද කිව යුතුමය.
ජගත් චමිල, හිමාලි සයුරංගි, ධර්මප්‍රිය ඩයස්, සූර්යා දයාරුවන්, සනත් විමලසිරි, නදීශා රංගනී, දිමුතු චින්තක, සචිනි රණවක, ගාමිණී ජයලත්, එරික් මදනායක, නිරෝෂා විරාජිනී මෙන්ම ළමා නිළි දුල්මා සංකදිමා, වාදිස දිසානායක, පබාවී මන්දාකිනී, නෙත්මි චාතූර්යා, තෙනුක් රොද්‍රිගෝ, චනුල් කොක්වැව ඇතුළු බොහෝ පිරිසක් රංගනයෙන් දායක වන ‘ගොවි තාත්තා‘ සේනානායක වේරලියද්ද, දර්ශන රුවන් දිසානායක, නිරෝෂා විරාජිනී, දුමාල් වර්ණකුලසූරිය, තුසිත් සිම්සන් (තේමා ගීතය) නදීශා රංගනී සහ සචිනි සඳමාලිගේ හඬින් ගීතවත් වෙයි. සිනමා අධ්‍යක්ෂණය මෙන්ම සංගීත අධ්‍යක්ෂණය දර්ශන රුවන් දිසානායකගෙනි. තාක්ෂණික පිටපත ආචාර්ය සුනිල් රණසිංහය. දෙබස් සහ තිර රචනය දර්ශන රුවන් දිසානායක සමඟින් ආචාර්ය සුනිල් රණසිංහය. නිෂ්පාදනය සරත් බණ්ඩාර කොක්වැවගෙනි.
පෙබරවාරි 25 වැනිදා සිට දිවයින පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය සඳහා සූදානමින් තිබෙන ගොවි තාත්තා ‘ආදරය නැති පොළොවට ආදරය අරන් එන’ සිනමා කෘතියක් ලෙස නම් කිරීමේ කිසිදු වරදක් නොවේ යැයි අවසානයේ ප්‍රේක්ෂක ඔබට ද සිතෙනු නොඅනුමානය.
නාමලී ගමගේ