Home » තරින්දි අඩියකට වඩා ඉදිරියට යා යුතුයි

තරින්දි අඩියකට වඩා ඉදිරියට යා යුතුයි

by Mahesh Lakehouse
January 11, 2025 12:30 am 0 comment

සමකාලීන සිරිලක රසාලිප්ත සිනමාවට නව හැඩයක් ගෙන ඒමට උත්සුක වන සිනමාකරුවන් කිහිප දෙනා අතරට සුරංග ද අල්විස් නිසැක වශයෙන්ම එක් වනවා. ඒ අදින් දොළොස් වසකට පෙරාතුව ප්‍රදර්ශිත ‘රජ හොරු’ සිනමාපටයත් සමඟ. සුරංග එහි ප්‍රධාන කාන්තා චරිතය නිරූපණයට කැඳවන්නේ සිනමාවට නුපුරුදු හිමාලි සිරිවර්ධනයි. එනමුදු ඇය කිසිදු පැකිළීමකින් තොරව සිනමාපටයේ රසාලිප්ත බව තහවුරු කරනවා.

සුරංග පසු කාලයේදී නිර්මාණය කළ ‘ද ගේම්’ සිනමාපටයේ ප්‍රධාන කාන්තා චරිතය නිරූපණයට කැඳවන්නේ ද සිනමාවට නුපුරුදු මුහුණක්. ඇය තරින්දි ප්‍රනාන්දු. ඊට පෙර ඇය පිළිබඳ මතකය අවදි වන්නේ උදයකාන්ත වර්ණසූරියගේ ‘ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්’ සිනමාපටයේ කුඩා චරිතයක් ඔස්සේ. එහිදී ඇය ඉසුරු ලොකුහෙට්ටිආරච්චි සමඟ හරි හරියට සිය චරිතය නිරූපණය කරනවා.

‘ද ගේම්’ සිනමාවේ රසාලිප්ත බව වඩනු පිණිස මේ නවක නිළිය සමත් වන ආකාරය ගැන රසිකයා අකැමැත්තක් පළ කළේ නැහැ. රංජන් රාමනායක සමඟ ඇය සිය චරිතය නිරූපණය කරන්නේ ළඳ බොළඳ පෙම්වතියක වශයෙන්ම නොවෙයි. රසාලිප්ත සිනමාවේ ඕනෑම පෙම්වතියක සේ ඉදිරිපත් වන්නට ඇය සමත් වනු ඇති බවයි ඉන් පෙනී ගියේ.

අද වනවිට තරින්දි ප්‍රනාන්දු හඳුනා ගැනෙන්නේ සිනමා හා රූපවාහිනී මාධ්‍ය ද්විත්වයම ජය ගන්නට සූදානමින් පසුවන්නියක ලෙසින්. ඇය වෙත රූපවාහිනී රූපණ අවස්ථා නම් සැලකිය යුතු අන්දමින් ලැබෙන බව පැහැදිලියි. මේ අතර නොවැදගත් හා නොගැඹුරු චරිත ද පවතිනවා. ඉන් ඇයගේ රූපණ ප්‍රතිභාව වඩවා ගැනීම අසීරු බවයි අපට හැඟෙන්නේ. වෘත්තීය නිළියක ද වීම නිසා චරිත තෝරා බේරාගෙන නිරූපණය ඇයට අසීරු වනවා ඇති. කෙසේ වුවත් සුපුන් රත්නායකගේ ‘තත්පරයක් දෙන්න’ රූපවාහිනී වෘත්තාන්තයේ ප්‍රබල චරිතයක් නොපසුබටව නිරූපණය කිරීමත් සමඟම තරින්දිගේ සමත්කම් ගැන වෙසෙසින් කතාබහ කරන්නට රසික සමාජය සේම විචාරක පාර්ශ්වය ද උත්සුක වුණා.

තරින්දි සිරිලක සිනමාවට ඇවැසිම නිළියක බවට පත් වන්නේ සුදත් මහදිවුල්වැවගේ දෙවැනි සිනමාපටය වන ‘මයි රෙඩ් කොම්රෙඩ්’ ඔස්සේ. ‘මයි රෙඩ් කොම්රෙඩ්’ සීමිත පිරිවැයකින් හා අඩු දින ගණනකින් නිපැයුම් කටයුතු නිමා කළ, නොපමාවම ප්‍රදර්ශනයට එක් කළ සිනමාපටයක් ද වනවා. එසේම එය අතිශය ආන්දෝලනාත්මක දේශපාලනික සිනමාපටයක් ලෙස ද හඳුනා ගන්න පුළුවන්. තරින්දි වෙත මෙහිලා ලැබෙන්නේ සුපුරුදු ආකාරයේ චරිතයක් නොවෙයි; නවමු ලකුණු ද, අභියෝග ද සහිත චරිතයක්.

මෙහි එන්නේ පුරුෂයකුගේ හා ස්ත්‍රියකගේ චරිත පමණයි. සිනමාපටයේ සමස්ත ධාවන කාලය තුළම රැඳී සිටින්නයි ඔවුන්ට සිදු වන්නේ. ප්‍රධාන පුරුෂ චරිතය නිරූපණය කරන්නේ සිනමාවට ඊට පෙර නොපැමිණි අයෙක්. තරින්දිට වුව ඒ හැටි සිනමා රූපණ අත්දැකීම් නැහැ. දීර්ඝ වාචික ප්‍රකාශ, අඩ අඳුර, එකම පරිසරය යන හේතු සමඟ තරින්දි සිය චරිතයට සාධාරණයක් ඉටු කරන්න වෙහෙස වන්නේ අනාගත අපේක්ෂා දල්වමින්. විටෙක හැඟෙන්නේ සිනමාකරු සුදත්ගේ දරදඬු මෙහෙයවීමට ඇය බඳුන්ව ඇති බවයි.

‘මයි රෙඩ් කොම්රෙඩ්’ බඳු වෙනස් මාදිලියේ සිනමාපටයක අභියෝගාත්මක චරිතයක්, අභියෝගාත්මක ජවනිකා හා සිදුවීම් සමඟ නිරූපණයෙන් අනතුරුව තරින්දි වෙත තවත් සිනමා රූපණ අවස්ථා ලැබීමේ යම් පමාවක් තිබෙන බවද පෙනී යනවා. ඊට තුඩු දෙන දෘශ්‍යමාන හේතු කිහිපයක් හඳුනා ගන්න පුළුවන්. ඇයගේ අනන්‍යතාවට පෑහෙන චරිත නිර්මාණය නොවීම, රූපවාහිනී රූපණය හා තදින් බැඳී සිටීම මේ අතර ප්‍රමුඛයි.

අද වනවිට අලුතින් නිපැයුම් කටයුතු සිදු වන සිනමාපට ගණනාවක් පිළිබඳ තොරතුරු දැන ගන්න ලැබෙනවා. නවක සිනමාකරුවන් පිරිසක් ද මෙහි සක්‍රියව සිටිනවා. ඔවුන් විවිධ ශානර ඔස්සේ නව කියැවීම් ඉස්මතු කරන්න වෙර දරන්නේ රූපණය පිළිබඳ විකල්ප අදහස දරමින්. මෙහෙයින් නවකයන් වෙත සැලකිය යුතු රූපණ අවස්ථා හිමි වනවා. මේ අතරවාරයේම ප්‍රවීණ හා පළපුරුදු සිනමාකරුවන් ද ජනාකර්ෂණීය ලේබලයත් සහිතව සිනමාපට නිර්මාණය කරන්නේ ජනාදරප්‍රාප්ත නළු නිළියන් සමඟ. තරින්දි වැන්නියනට සිදු වන්නේ මේ පසුබිම විෂයයෙහි උකටලීව නොසිට හැකි පමණින් සමත්කම විදහා දක්වන්නටයි.

ප්‍රවීණයකු සේ සුදත් මහදිවුල්වැව ඇය කෙරෙහි තැබූ විශ්වාසය සාක්ෂාත් වූ අන්දම යට කී නවක සිනමාකරුවන්ගේ සේම ප්‍රවීණ හා පළපුරුදු සිනමාකරුවන්ගේ ද අවධානයට ලක් වීම දෙස විමසුම් ඇසකින් බලා සිටින්නට තරින්දිගේ රසිකයන් අකැමැති නොවනු ඇති. මෙසේ ගැඹුරු හා සංකීර්ණ ලකුණු සහිත චරිත ඇය වෙත නොලැබෙන්නේ නම් සිදු වන ආසන්නතම අනතුර වන්නේ නොගැඹුරු හා නොවැදගත් රූපවාහිනී වෘත්තාන්ත විසින් ඇය මුළුමනින්ම ග්‍රහණය කර ගනු ලැබීමයි.

තුසිත ජයසුන්දර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division