– මම ටියුෂන් කළෙත් නැහැ අමතර ඉගැන්වීම් කියලා මුදල් අය කරලත් නැහැ
– විවාහයෙන් පස්සෙත් කිසි වෙනසක් නැතුව සම්පත් සෙවණැල්ල වගේ ළඟින්ම සිටියා
– මගේ ගුරු ජීවිතයේ පසුතැවීම් නැහැ අප්‍රමාණ තෘප්තියක් දැනෙනවා
– පුතා මංජිතට මගේ වෙනස දැනිලා එයා මාව ගෙදර තනියම නොතියා විවිධ වැඩවලට යොමු කළා
රත්නා ලාලනී ජයකොඩි කියන්නේ කාර්යයෙන් වාගේම හැසිරීමෙනුත් සෞන්දර්යයෙන් පිරුණු චරිතයකි. ඇය සංගීත ගුරුවරියක සේම නාට්‍ය හා රංග කලාව පිළිබඳව ද ගුරුවරියක නිසාම සංගීතයේ ලාලිත්‍යයත්, නාට්‍ය හා රංග කලාවෙන් ලද භාව නිරූපණයත් සුසංයෝජනයෙන් මෙකී සෞන්දර්යාත්මක චර්යාවන් ඉස්මතු වී තිබිණි. ඇය දරුවන්ට ගායනය උගන්වද්දී ඇයටත් නොදැනීම ඒ ගැයුමට ප්‍රාසංගික ලක්ෂණ එක් විය. ඇයගේ රංගනයන් ද ගැයුමක් වැනිය. මේ නිසාම ඇය ගයද්දී රඟන්නීය. රඟද්දී ගයන්නීය. ඒ අපූර්වත්වය ඇයටම අනන්‍ය වූවකි. දේශීය වෛද්‍යාචාර්යවරයකු වූ ජයකොඩියේ දෝන සිරිසේන මහතාගේ දරු පරපුර වන ගීතා කාන්ති ජයකොඩි, ගාමිණි කමල් ජයකොඩි, පියල් ජයකොඩි, ශ්‍රියාණි ජයකොඩි අතරට එක් වන ඇය රත්නා ලාලනී ජයකොඩි නම් වන්නීය.
“ඇත්ත. මං ඇවිද්දත්, කතා කළත්, උගන්වද්දිත් මගේ ඇඟේ දැඟලිලි ස්වභාවයක් තිබුණා. ඇඳුමක් ඇන්දත් මං බොහොම පිළිවෙළට, ලස්සනට, තව කෙනෙකුට ආපහු හැරිලා බලන්න හිතෙන විදිහට නමුත් සංයමයක් සහිතව ඇන්දා. හදිසියේම මගේ ස්වාමිපුරුෂයා ඒ කියන්නේ මේ කලා ක්ෂේත්රයේ කාගෙත් හිත දිනාගෙන, කාටත් උදවු කරගෙන, හැමෝම එක්ක සුහදව කටයුතු කළ සම්පත් තෙන්නකෝන් හදිසියේ අභාවයට පත්වීමත් එක්ක මගේ ඒ සියලු චර්යාවන්, පිළිවෙළට අඳින පලඳින ස්වභාවය, ආකර්ෂණීය බව එක්වරම අතුරුදන් වුණා. ගෙදරින් එළියට යන වාර ගණන අඩු වුණා. තැන් තැන්වල හුදෙකලා වෙමින් සම්පත් ගැන කල්පනා කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ සම්පත්ව දැන හඳුනාගත් කාලයේ ඉඳලා එයාගේ රැකවරණය මට ලැබුණා. අපි දෙන්නා අතර ආදරයක් ඇති වෙන්න කලින් ඉඳලාම එයා මාව ආරක්ෂා කළා. අපි වේදිකා නාට්‍යවලදි හැම තිස්සේම මුණගැසුණා. අපි දෙන්නාම එකම නාට්‍යවල රඟපෑවා. අපි අතර ආදරයක් ඇති වුණාට පස්සේත්, විවාහයෙන් පස්සෙත් කිසි වෙනසක් නැතුව සම්පත් මගේ සෙවණැල්ල වගේ ළඟින්ම සිටියා. සම්පත් එක්ක ආදරයෙන් බැඳෙන්න කලින් මා තුළ තිබුණු අසාමාන්‍ය දඟකාරකම්, නොහික්මුණු වදන් හැසිරවීම්, කෑකෝ ගැසීම්, කිසිම සංගයක් නැතුව වේදිකාවේ උඩ ඉඳලා බිමට පැනීම් වගේ දේවල් මටත් නොදැනීම මා තුළින් ඉතා කෙමෙන් කෙමෙන් සීමා කරවන්න සම්පත් ඉතා දක්ෂ වුණා. ඒ නමුත් යම් තරමකට දැඟලිල්ල තිබුණා. එයා එක්කම ගමන් බිමන් ගිය නිසා, එයා ඉන්න නාට්‍යවලම වැඩි හරියක් රඟ පෑ නිසා මගේ දඟත් මගේ ළඟම තිබුණා. සම්පත් නැති වුණාට පස්සේ මට ඒ වියෝගය දරා ගන්න බැරි වුණා. අපේ පුතා මංජිත තෙන්නකෝන්ට මගේ වෙනස දැනිලා එයා මාව ගෙදර තනියම නොතියා විවිධ වැඩවලට යොමු කළා. නිතර එළියට එක්කගෙන ගියා. මට ඉස්කෝලේ ගිහින් දරුවන්ට උගන්වද්දී ගැටලුවක් තිබුණේ නැහැ. නමුත් ගෙදර ඉන්න හැම වේලාවකදීමත්, ගමනක් බිමනක් යද්දිත් ඒ පාළුව මට දැනුණා. පහුගිය දිනවල මම ගුරු ජීවිතයට සමුදෙමින් විශ්‍රාම දිවියට එළඹුණා. ආයෙමත් තනිකම දැනෙන්න පටන් ගත්තා. එක තැනකට වෙලා ඉඳලා මගේ බරත් වැඩි වෙන්න පටන් ගත්තා. පුතා මාවත් එක්කගෙන ජිම් එකකට යන්න පුරුදු වුණා. දැන් මම සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා කියලා මට හිතෙනවා. ජිම් යන එකෙන් ශරීරයට වගේම මනසටත් ව්‍යායාමයක් ලැබෙනවා.”
විශ්‍රාමික නිසා දැන් රඟපෑම් කටයුතුවලට විවේකය තියෙනවා නේද…?
ඔව්. ඉස්කෝලවල කටයුතු නිසා මට රංගන ජීවිතයේ බොහෝ අවස්ථා අහිමි වුණා. පාසල් දරුවෝ විභාගවලට සූදානම් වන කාලෙට නිර්මාණයක් ලැබුණත් මම කොහෙත්ම භාර ගත්තේ නැහැ. විශ්‍රාම ගත්තා විතරයි වැඩ කිහිපයක්ම ලැබුණා. දැනටමත් කිහිපයක රූගත කිරීම් අවසන් කර තිබෙනවා. තවත් කිහිපයක් ලැබී තිබෙනවා. “පාට කුරුල්ලෝ, විසේකාරී”, සිකුරු ඇවිත්, හිච්චි, සිටුවර පුවත, මම සහ ඔබ” සහ තවත් ටෙලි නාට්‍ය කිහිපයකටම සම්බන්ධ වුණා. “සිංහබාහු, ගිනිඅවි සහ ගිනි කෙළි” චිත්‍රපට සඳහාත් රංගනයෙන් දායක වුණා. දැනට “එලිෆන්ට් පාස්” කියලා චිත්‍රපටයකත් රංගන කටයුතුවලට සම්බන්ධ වුණා. ඒ නම පසුව වෙනස් වෙන්නත් ඉඩ තියෙනවා. මම ඇත්තටම කල්පනා කරමින් හිටියේ විශ්‍රාම ගියාට පස්සේ මොනවාද කරන්නේ කියලා. මගේ යාළුවෝ කිහිපදෙනෙක්ම කිවුවේ නාට්‍ය හා රංග කලාව, සංගීතය පන්ති පටන් ගන්න කියලා. නමුත් මම නොසිතපු විදිහට නිර්මාණ රැසකට මට ආරාධනා ලැබුණා. ඒක මට ලොකු සැනසීමක් වුණා. ටෙලි නාට්‍යවලට අමතර ව “බූරුවාධිකරණය” වේදිකා නාට්‍යයේත් වැඩ පටන් ගත්තා. නූර්ති, නාඩගම්, මිනර්වා යුගවලට අයත් ගීත ඇතුළත් “සින්දුකාර කවිනළුව” නාට්‍යත් වේදිකාගත වෙනවා. ඒක පාසල් දරුවන්ට වඩාත් හොඳ නාට්‍යයක්. පේරාදෙණිය විද්‍යාර්ථීන් නිශ්ශංක දිද්දෙනිය මහතාට උපහාර පිණිස ඒ නාට්‍ය ජනවාරි 10 වැනිදා බොරැල්ල පුංචි තියටර්හිදී වේදිකාගත කළා. මීට අමතරව ජයලත් මනෝරත්නයන්ගේ නාට්‍ය කිහිපයත් නැවත පුහුණුවීම් ආරම්භ කර තියෙනවා.
කලාවට යොමු වෙන්න ප්‍රධාන හේතුව ගීතා කාන්ති ජයකොඩි ද…?
අක්කාගේ පස්සේ වැටිලා ගිහින් තමයි මම මුලින්ම ගුවන්විදුලියට සම්බන්ධ වෙන්නේ. නමුත් අපි හැමෝම කලාවට සම්බන්ධ කරන්න අපේ අම්මාට තමයි ලොකුම වුවමනාව තිබුණේ. අපි හැමෝටම උපතින් සහ පරම්පරාවෙන් ලැබුණු කටහඬ කුසලතාව තිබුණා. තාත්තා වෙදමහත්තයෙක් නිසා එයා තාලයට ගැයූ ශ්ලෝක අපට කටපාඩම් වුණා. ඒ වගේ ම අපවත්වී වදාළ කොටිකාවත්තේ සද්ධාතිස්ස ස්වාමින් වහන්සේගේ මවුපස ඥාතිත්වයක් අපට තිබුණා. උන් වහන්සේගේ ධර්ම දේශනා වාගේම ඒ කටහඬේත් විශේෂත්වයක් තිබුණා. ඒ හඬ උරුමයන් අපටත් තිබුණු නිසා අම්මා මුලින්ම මගේ අක්කා ගීතා කාන්ති ජයකොඩිව ගුවන්විදුලියට යැවුවා. ගෙදර අනිත් අය මාරුවෙන් මාරුවට ගුවන්විදුලියට අක්කාව එක්කගෙන ගියා. අන්තිමට අක්කා එක්ක ගියේ මමයි. එහෙම යන එනකොට මටත් ගුවන්විදුලියේ විවිධ වැඩසටහන්වලට සම්බන්ධ වෙන්න සම්මුඛ පරීක්ෂණවලට අක්කා මාව යොමු කළා. සංගීත සන්ධ්‍යාව, ගුරුකුලය, කනිටු සරසවිය, ළමා රංග පීඨය වගේ ළමා වැඩසටහන් රැසකට ඒ අනුව මම සම්බන්ධ වුණා. අක්කා නිසාම වේදිකාවට ගොඩවෙන්නත් මට හැකි වුණා. “වැනිසියේ වෙළෙන්දා” වේදිකා නාට්‍යයේ අක්කා රඟපෑ චරිතය රඟපාන්න මට ලැබුණා. ටෝනි රණසිංහ, බන්දුල විතානයේ නිර්මාණය කළ “ජුලියස් සීසර්” වේදිකා නාට්‍යයේ බෲටස්ගේ චරිතය රඟපෑවේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහතා. ඒ කාලේ සිනමාවේ ප්රතාපවත් චරිතාංග රංග ශිල්පියා ඔහුයි. ඔහුගේ බිරිය පෝසියාගේ චරිතය මට එහිදී රඟපාන්න ලැබුණා. එතුමා සමඟ රඟපානවා තියා ළඟට යන්නත් බයයි. නමුත් එතුමා මගේ බය නැති වෙන විදිහට බොහොම සුහදව කතා කරලා ඒ චරිතය හොඳින් රඟපාන්න මට සහාය වුණා. ඒක මගේ රංගන ජීවිතයේ සුවිශේෂ අවස්ථාවක් වුණා. ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ සෑම නාට්‍යකටම වගේ මම සම්බන්ධ වුණා. බන්දුල විතානගේ මහත්මයාගේ නාට්‍ය කිහිපයකම රඟපෑවා. ඩග්ලස් සිරිවර්ධනගේ, කේ. බී. හේරත්ගේ නාට්‍යවලත් රඟපෑවා. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ “මනමේ” නාට්‍යයේ හත් වැනි මනමේ කුමරියට රඟපෑවේ මමයි. එතුමාගේ “පේමතෝ ජායතී සෝකෝ” නාට්‍යයේත් මම රඟපෑවා. සුබ සැන්දෑවක්, හිට්ලර්, අඹුසැමියෝ වගේ තව ගොඩාක් නාට්‍ය තියෙනවා. නම් වශයෙන් කියන්න ගියොත් ලියන්න ඉඩ මදි වෙයි.
ඇය සිනහසෙමින් කීවා ය. 1982 දී සුනන්ද සිල්වාගේ “පාරාජිකා” නාට්‍ය රංගනය වෙනුවෙන් හොඳම වේදිකා නාට්‍ය රංගන ශිල්පිණිය ලෙස යොවුන් නාට්‍ය උලෙළේදී සම්මාන හිමි කර ගත් ඇය 1983 දී සෝමපාල පතිරගේ ගේ “තුංමංසල” වේදිකා නාට්‍ය රංගනය උදෙසා හොඳ ම නිළිය ලෙසත්, 1996 දී බන්දුල විතානගේගේ “රෝමය ගිනි ගනී” නාට්‍ය රංගනය වෙනුවෙන් රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳ ම නිළිය ලෙසත් සම්මාන දිනා ගත්තා ය. ඇයගේ රංගන ජීවිතය ජනප්‍රිය තලයට ඔසවා තබන්නට හේතු වන්නේ පරාක්‍රම නිරිඇල්ලගේ “යශෝරාවය” ටෙලි නාට්‍යයේ ඇය රඟපෑ නපුරු, ආත්මාර්ථකාමී, කළු චරිතය වූ රංජනී යි.
“ඇත්ත වශයෙන් ම යශෝරාවයේ රංජනීගේ චරිතය නිසා ඒ කාලේ මට පාරේ බැහැලා යන්නත් බැරි තරම් තත්ත්වයක් උදා වුණා. ඒ චරිතය ඒ තරම් නපුරුයි. ඒ වගේම ඒ නාට්‍ය පුදුම විදිහට ජනප්‍රිය වුණු නිසා හැමෝම මාව රංජනී හැටියට හඳුනා ගත්තා. ඒ චරිතය මං රඟපානවා රූපවාහිනියෙන් දැකලා මාව සොයාගෙන එන්න කියලා අාචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා එතුමාගේ “අවරගිර” චිත්‍රපටයේ සහාය අධ්යක්ෂවරයාට පවරා තිබුණා. මම ගිහින් එතුමාව හමුවුණා. මාව “අවරගිර” චිත්‍රපටයට තෝරගත්තා. “සිරිමැදුර” චිත්‍රපටයේත් මම රඟපෑවා. නමුත් ඒකේ හඬ පටිගත කිරීම් කරන දවසේ රාජ්‍ය නාට්‍ය උලෙළේ අක්කා රඟපෑ චරිතයක් (අක්කා හදිසියේ වෙන ගමනක් ගිය නිසා) මට රඟපාන්න සිද්ධ වුණා. මම රඟපාමින් ඉන්නකොට අක්කා ආවා. ඉතුරු ටික අක්කාම රඟපෑවා. චිත්‍රපටයේ හඬ පටිගත කිරීම්වලට එදා මම නැති නිසා වෙන ශිල්පිනියක් මඟින් මගේ චරිතයට හඬ පටිගත කිරීම් කරලා තිබුණා. අන්තිමේදී ඒ දෙකම මට නැති වුණා. එහෙම ඒවත් වෙලා තියෙනවා.“
ගුරු ජීවිතය දෙස ආපසු හැරිලා බලද්දි අද මොකද හිතෙන්නේ…?
මම පාසල් තුනක ඉගැන්නුවා. ඒ අතරින් වැඩි කාලයක් හිටියේ කොළඹ රාජකීය විද්‍යාලයේයි. මගෙන් නාට්‍ය හා රංග කලා විෂය ඉගෙන ගත්ත පුතාලා අතර අඟහිඟකම් තිබුණු දරුවෝ හිටියා. ඈත දුෂ්කර ගම්වලින් ශිෂ්‍යත්වය සමත් වෙලා කොළඹ ඇවිත් නේවාසිකාගාරවල නැවතිලා හිටපු දරුවන්ට අම්මා තාත්තා ළඟ නැති දුක තිබුණා. එයාලා අම්මා හා සමානව එයාලාගේ දුක, ප්‍රශ්න මාත් එක්ක කතා කළා. එයාලාට ඕනෑම වෙලාවක ඇවිත් මාව හමුවන්න මම ඉඩ දීලා තිබුණා. මම ගොඩාක් සංවේදී වගේම මම ඉගැන්වූ විෂයත් බොහොම සංවේදී නිසා දරුවෝ බොහෝවිට මට ගොඩාක් සමීප වුණා. විෂය ඉගැන්වීම්වලට අමතරව බාහිර කලා කටයුතු, තරග ආදියට දරුවන්ව යොමු කළා. පාසල් වේලාවෙන් පසුවත් මම අනන්තවත් ඉගැන්වීම්, පුහුණු කරවීම් කළා. ඒ හැම අවස්ථාවකදීම මගේ පුතාවත් බලාගෙන සම්පත් මගේ ළඟම හිටියා. ඒක මට පුදුම ශක්තියක් වුණා. මට ගෙදර ගැන හිතන්න දෙයක් තිබුණේ නැහැ. මම ටියුෂන් කළේ නැහැ. අමතර ඉගැන්වීම් කියලා මුදල් අය කරලාත් නැහැ. නාට්‍ය තරගවලට දරුවන්ව යොමු කරද්දි එයාලගෙන් මුදල් එකතු කරලා ඇඳුම් මැස්සුවේ නැහැ. මගේ ගෙදර තිබුණු සාරි කපලා මම මහලා දුන්නා. මගේ ගෙදර මහන මැෂිම ඉස්කෝලෙට අරන් ගිහින් අම්මලා දෙතුන් දෙනෙක් එකතු කරගෙන ඒ දරුවන්ට අවශ්‍ය ඇඳුම් හදලා මහලා දුන්නා. මගෙන් ඉගෙන ගත්ත දරුවෝ ලංකාවේ වගේම ලෝකයේ බොහෝ තැන්වල අද හොඳින් වැජඹෙනවා. විදේශ ගමන් යද්දි ඒ දරුවෝ මට හමුවෙනවා. මාව බලන්න එනවා. ඒ හැම දරුවෙක් ගැනම සතුටක්, ආඩම්බරයක් මට දැනෙනවා. මගේ ගුරු ජීවිතයේ පසුතැවීම් නැහැ. ඒ ගැන අප්‍රමාණ තෘප්තියක් අද මට දැනෙනවා.”
තුෂාරී කළුබෝවිල