Home » මං මගේ ලස්සනත් දැක්කා මිනිස්සුන්ගේ හිතේ තියෙන ආදරෙත් දැක්කා

මං මගේ ලස්සනත් දැක්කා මිනිස්සුන්ගේ හිතේ තියෙන ආදරෙත් දැක්කා

මල්කාන්ති ජයසිංහ

by thanushika
January 11, 2025 12:30 am 0 comment

දශක හතරක් පුරාවට එකම ක්ෂේත්‍රයක රැඳී සිටිනවා කියන්නේම ලොකු ජයග්‍රහණයකි. ඇය ද එවන් ජයග්‍රාහිකාවකි. වසර හතළිස් දෙකක් පුරා වේදිකාව, පුංචි තිරය, රිදී තිරය මෙන්ම ගුවන්විදුලිය ද ස්පර්ශ කළ ඇය ප්‍රේක්ෂක හදවත්හි ඉහළින්ම වැජඹෙන රංගන ශිල්පිනියකි. රංගනය පිළිබඳ කිසිදු අදහසක් නොමැතිව පාඨමාලාවක් හැදෑරීමට ගිය ඇයට ධර්මසේන පතිරාජයන්ගේ වාර්තා චිත්‍රපටයකට ආරාධනා ලැබෙන්නේ අහම්බෙනි. ප්‍රවීණයකුගේ නිර්මාණයක් ඔස්සේ ක්ෂේත්‍රයට පිවිසීමට වරම් ලැබූ ඇය මේ වනවිට රංගනයේ සියලු පැතිකඩ ස්පර්ශ කරමින් සිටින්නීය. ‘මල් අම්මා‘ යන ආදරණීය ඇමතුමින් ක්ෂේත්‍රයේ සැමගේ ආදරය දිනා සිටින ඇය ප්‍රවීණ රංගන ශිල්පිනී මල්කාන්ති ජයසිංහය.

මල්කාන්ති ජයසිංහ කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් කියන එක නිතර අහන්න ලැබෙන දෙයක්. ඒත් පහුගිය දවස්වල ඔබ ගැන කතාබහට ලක්වුණේ නම් සමාජ මාධ්‍යවල සංසරණය වන ඡායාරූප පෙළක් හේතුවෙන්. මොකක්ද ඒ කතාව?

ඒක භූමි වික්‍රමසිංහ කියන දක්ෂ ඡායාරූප ශිල්පියාගේ ෆොටෝ ෂූට් එකක්. දවසක් ඔහු මගෙන් ඉල්ලීමක් කළා මෙහෙම ෆොටෝ ෂූට් එකක් කරමු ද කියලා. මං කවදාවත් මෙහෙම එකක් කරල තිබුණෙ නැති නිසා මුලින්ම මං බෑ කිවුවා. ඒත් ඒ දරුවා ‘ඔයා තමයි ඔය වගේ කොණ්ඩයක් තියෙන වන් ඇන්ඩ් ඔන්ලි කෙනා‘ කියල මට ඉන්දියන් රංගන ශිල්පිනියකගේ ෆොටෝ එකක් පෙන්නලා මෙන්න මේ වගේ එකක් කරමු කිවුවා. අකීරා, ඉෂූ කියන දරුවනුත් මට කතා කරලා තමයි මේ වැඩේට එකඟ කරගත්තේ. වෙනස් අත්දැකීමක් නිසා අන්තිමට මමත් කැමැති වුණා. ඇඳුම් සියල්ල සූදානම් කරගෙන ෂූට් එකට දිනත් දාගෙන ඉද්දි ඊට දවස් දෙකකට කලින් මගේ මහත්තයා නැති වුණා. ආයෙම වැඩේ කල් ගියා. ඒ වෙද්දිත් මං වෙනුවෙන් ලොකු වියදමක් දරලා සියල්ල සූදානම් කරගෙන හිටිය නිසා ඒක මට මඟාරින්න බැරි වුණා. ඊට සති දෙකකට පස්සෙ දිනයක් දාගෙන අපි ෂූට් එක කළා.

ඒක වෙනස්ම අත්දැකීමක්. කොහොමද ලැබුණු ප්‍රතිචාර?

හිතපු නැති තරම් ප්‍රතිචාර ලැබිල තිබුණා. මොන දේ වුණත් මං වෙනුවෙන් ගොඩක් වියදම් දපු වැඩක් නිසා මං ඒක කළ යුතුව තිබුණා. ඒක මගේ වගකීමක් වගේම යුතුකමක්. ඒත් මට ලොකු බයක් තිබුණා. මහත්තයත් නැති වුණු වෙලාවේ මිනිස්සු ඒක මොන විදිහට භාරගනීවිද කියලා. ඒ බයටම මං හැම කමෙන්ට් එකක්ම වගේ කියෙව්වා. වාසනාවකට වාව්, හරිම ලස්සනයි වගේ දේවල් ඇරෙන්න කවුරුත් කිසිම වැරැදි කමෙන්ට් එකක් දාල තිබුණෙ නෑ. ඒ නිසා මට පුදුමාකාර සතුටක් දැනුණා.

ඒ වගේ ෆොටෝ ෂූට් එකක් කරපු එක ගැන ඔබට මොකද හිතෙන්නේ?

මට දැන් අවුරුදු 61ක්. මේ තරම් වයසට ගිහිල්ලත් මේ වගේ ප්‍රතිචාර ලැබීම හිතාගන්න බැරි වුණා. ඒක මගේ ළඟටම ඇවිත් මගේ දෝතට ලැබුණු අවස්ථාවක්. ඒකෙන් මං මගේ ලස්සන දැක්කා. ඒ වගේම මිනිස්සුන්ගේ හිතේ තියෙන ආදරේ දැක්කා. ඒකෙන් පස්සේ මනමාලියක් විදිහට ෆොටෝ ෂූට් එකකටත් ආරාධනා ලැබුණා.

ගොඩක් දුරට ඔබට ලැබෙන්නෙම නපුරු චරිත. නපුරු චරිතවලටම කොටු වෙන්නද කල්පනාව?

2024 වසරේ මුල හරියෙ මට ලැබුණෙම නපුරු චරිත. ඊට පස්සේ මට හිතුණා නපුරු චරිතවලින් ටිකක් ඈත් වෙන්න. මොකද නපුරු චරිත කරනවා කියන්නේ අපේ ඇඟටත් ඒව බද්ධ වෙනවා. ඇස්වලින් වගේම හැම ඉරියව්වකින්ම අපි ඒ චරිතයට අනුගත වෙනවා. ඒක තමයි ප්‍රායෝගිකව වෙන්නේ. නපුරු චරිත කරනවා කියන්නේ අපි අපේම ශරීරයට දුක් දී ගන්නවා කියන එක. සෙට් එකේ හිනාවෙලා හිටියට ඒක හරි අමාරුයි.

මල්කාන්ති ජයසිංහ කියන්නේ ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරන චරිතයක්. ඒ ඔබ තාත්ත්විකව රංගනයේ යෙදෙන නිසා. කොහොමද ඔබ චරිතයක් සඳහා සූදානම් වෙන්නේ?

රංගනය කියන්නේ මගේ රස්සාව. මං ඒක කරන්නේ හරිම කැමැත්තෙන් සහ ගෞරවනීය දෙයක් විදිහට. මට චරිතයක් ලැබුණම මං ඒකෙ අක් මුල් හොයනවා. හොයන නිසානේ හම්බවෙන්නේ. මං ඒ ගැන හොඳ අධ්‍යයනයක් කරලා තමයි ඒ චරිතය කරන්නේ. ඒක වෙන්න ඇති තාත්ත්වික වෙන්න හේතුව. චරිතයකට අනුගත වෙද්දි මගේ ඇඟේ ලේවල පවා දුවන්නේ ඒ චරිතය. තාත්ත්වික වෙනවා කියන්නේ ඒවටම ආරාධනා ලැබෙනවා. පහුගිය කාලේ විකාශය වුණු පාර දිගේ ටෙලි නිර්මාණයේ වස නපුරු චරිතයක් ලැබුණා. ඒත් එක්කම තවත් නිර්මාණ තුන හතරකම නපුරු චරිතම ලැබුණා.

මං බැද්දට සඳ කියලා නිර්මාණයකට දායක වුණා. ඒකෙ තිබුණේ වින්නඹු අම්මා කෙනෙකුගේ චරිතයක්. දැන් වින්නඹු අම්මලා හොයාගන්න නෑනේ. හොයලා හොයලා අවුරුදු 94ක කෙනෙක් හමුවුණේ. ඒත් ඇයට ඩිමෙන්ෂියා කියන රෝගය නිසා මතකය නෑ. අන්තිමට මම හොයලා බලලා ඇයගේ දුවගෙනුත් තොරතුරු ලබාගෙන කොහොම හරි චරිතය කළා. දෙබස් ටිකක් විතරක් කියලා අපිට මිනිස්සුන්ට බොරු කරන්න බෑ. අපි සමාජගත කළ යුත්තේ සත්‍යයි. ඇත්තටම ඒ හොයන හෙවීම් මත තමයි අපේ රංගනය සාර්ථක ද අසාර්ථක ද කියලා තීරණය වෙන්නේ.

ඒ වගේම මං එක නිර්මාණයක ඩිමෙන්ෂියා රෝගියකුගේ චරිතයක් කළා. එක වචනයක්වත් කතා කරන්න නෑ. චාන්දනී අක්කා එහෙම චරිතයක් කරලා සම්මාන පවා අරගෙන තිබුණා. ඒත් ඒ විදිහ මට හරියන්නෙ නෑනේ. මං යූටියුබ් එකේ තොරතුරු හොයලා බැලුවා. මගේ චරිතයේ පවුල් පසුබිමට ගැළපෙන්න, මගේ ශරීරයට ගැළපෙන්න මම කරන්න ඕනනේ. ඒ වගේ හොඳ අධ්‍යයනයක් තුළින් තමයි අපි මේ ගමන යන්න ඕන. ඒක මට සුවිශේෂී චරිතයක් වේවි කියලා හිතනවා.

මේ දවස්වල ඔබ රංගනයෙන් දායක වන නිර්මාණ ගැන කතා කළොත්?

ස්වර්ණවාහිනියේ විකාශය වන අසංක සායක්කාරගේ සින්ටෝ කියන්නෙත් මං හරිම ආසාවෙන් කළ නිර්මාණයක්. පාවී එන්න ආසයි ටෙලි නිර්මාණයත් හිරු නාළිකාවේ විකාශය වෙනවා. ඒ වගේම ජාතික රූපවාහිනියේ විකාශය වන SEAසෝ කියන්නේ මට වෙනස්ම අත්දැකීමක්. දරුවන් තිදෙනෙකු තනිව හදාගෙන මාළු වෙළෙඳාමේ යෙදෙන මවකගේ චරිතයක්. මාකට් එකේ මාළු විකුණනවා දැක්කට මං කවදාවත් කෑ ගගහා පාරේ මාළු විකුණමින් යන කාන්තාවක් දැකලා තිබුණෙ නෑ. මං මාළු කුඩෙත් ඔළුවෙ තියාගෙන මාලෝ මාලෝ කිය කියා කෑගහනවා ඇහිලා ඒ අවට මිනිස්සු ඇවිත් බලලා ආහ් අපි මේ බැලුවා හුරු පුරුදු කටහඬක් නිසා කවුද මේ මාළු විකුණන්නේ කියලා කිව්වා. ගොඩක් දෙනෙක් බලන්න ආවා. ඒ වගේම ආනන්ද කුමාර උන්නැහේ වයසක මාළු විකුණන මට ආදරේ කරනවා. ඒක වියපත් ප්‍රේමයක්. අතිශයින් මානුෂික හැඟීමක්. අද බොහෝ නිර්මාණවල වියපත් ප්‍රේමය ගැන කතා වෙන්නේ නෑනේ.

SEAසෝ ටෙලි නිර්මාණය හරහා ලබාගත් අත්දැකීම් ගැනත් කතා කරමු?

මුලින්ම ලෙල්ලමට ගිහින් බෝට්ටුවලින් මාළු ගන්න හැටි බලන් හිටියා. කවදාවත් මං ඒ වගේ අත්දැකීමක් ලබල තිබුණෙ නැහැ. ඒ වගේම හෙට්ටු කරලා කරලා වැල්ලෙන් හොඳම මාළු ටික අරගෙන මුලින්ම විකුණගන්න කරන තරගය දැක්කා. ඒක මට අලුත් අත්දැකීමක්. මොකද පෞද්ගලිකව මං කැමැති නැහැ තරග වදින්න. ඒ මං පරදියි කියන බයට නෙවෙයි. තරගය ඇතුළෙ තියෙන්නෙ පීඩනයක්. මං ඒකට කැමැති නැහැ. සාමාන්‍ය ජීවිතේදි වුණත් මම රස්සාව විදිහට ලැබෙන චරිතයක් කරගෙන ඉන්න කැමැති කෙනෙක්..

දශක හතරක කාලයක් ක්ෂේත්‍රයේ රැඳී හිඳිමින් මෙතරම් දක්ෂතාවලින් පිරිපුන් වෙන්න නම් ඔබට වැටුණු අඩිතාලම ශක්තිමත් එකක් විය යුතුයි?

ඔව්. ඒ ගැන නම් කියන්නම ඕන. සෝමලතා සුබසිංහ මහත්මිය තමයි මගේ ආදරණීය ගුරුතුමිය. අද මං යම් තැනක ඉන්නවා නම් ඒකෙ ගෞරවය එතුමියට හිමිවිය යුතුයි. මං මුලින්ම ඇගේ පාඨමාලාවකට සම්බන්ධ වෙන්නේ නාට්‍යයක් බලලා රස විඳින්නෙ කොහොමද කියල ඉගෙන ගන්න. ඒ කාලෙ මං නාට්‍ය බලන්න ආස වුණත් රඟපාන්න ආසාවක් තිබුණෙ නෑ. එතැනදි තමයි මට ධර්මසේන පතිරාජගේ මහවැලිය සම්බන්ධ වාර්තා චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ. ඒක තමයි මගේ කුලුඳුල් රංගන අත්දැකීම. ඊට පස්සේ සෝමලතා මිස් මාව විකෘති නාට්‍යයට සම්බන්ධ කරගත්තා. කතන්දර දෙකක්, හිමකුමාරි වගේම ඇයගේ නිෂ්පාදනයක් වුණු මූදු පුත්තු 2 වේදිකා නිර්මාණය මගේ රංගන ගමනේ විශේෂ සන්ධිස්ථානයක් වුණා. ඒ වෙද්දි මට අවුරුදු 25ක් වගේ වුණත් මට ලැබුණේ අවුරුදු 50ක චරිතයක්. ඒ සෝමලතා මහත්මියගේ නැන්දම්මා, සිරිල් වික්‍රමගේ නිහාල් ප්‍රනාන්දුගේ අම්මා විදිහට. ඒ වගේ වේදිකාවේ හිටිය දැවැන්තයින් එක්ක වැඩ කරන්න ලැබීම මගේ වාසනාවක්. ළමා යොවුන් පීඨය හරහා ගොඩක් අත්දැකීම් ලැබුවා. ඒ අත්දැකීම් ඔස්සේ ආපු ගමනක් තමයි මේ. වේදිකාව තමයි මට මේ තැනට එන්න හොඳම තෝතැන්න වුණේ.

වේදිකාවේ හොඳින් පදම් වුණු මල්කාන්ති පුංචි තිරයයි රිදී තිරයයි ජයගත්තේ කොහොමද කියලත් කියමු?

බර්මින් ලයිලි ප්‍රනාන්දුගේ සුර අසුර ටෙලි නිර්මාණය හරහා තමයි මම පුංචි තිරයට පිවිසෙන්නේ. ජීවිතේ සුන්දරයි, දියකැට පහණ, හිරු ඇවිදින්, පාර වසා ඇත, පාර දිගේ, ලංසුපතියෝ ඇතුළු ටෙලි නිර්මාණ රැසකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ වගේම මතක මංපෙත, දොරකඩ මාරාව වගේ සිනමා නිර්මාණවලට දායක වෙන්නත් අවස්ථාව ලැබුණා. පළමු සිනමා අත්දැකීම විදිහට දොරකඩ මාරාවට හොඳම නිළිය සම්මානයත් ලැබුණා. වේදිකා, ටෙලි, සිනමා කියන අංශ තුනේම සම්මාන ලබමින් මේක මං හෙමින් ආපු ගමනක්.

ගොඩක් දෙනා ඔබට ආදරේට කියන්නේ මල් අම්මා කියලා නේද?

ඔව්. ඒ මං හැමෝටම වගේ දුවේ පුතේ කියලා කතා කරන නිසා වෙන්න ඇති. ගොඩක් දෙනා කියනවා ඔයා හැමවෙලේම මූණෙ හිනාව පුරෝගෙන ඉන්න කෙනෙක් කියලා. ඇත්තටම මං ඉන්නේ සතුටින්. ප්‍රශ්න නැතුව නෙවෙයි. ඒත් මං පිරිලා ඉන්නේ. ගැහැනියක් විදිහට ගත්තොත් මම හරිම වාසනාවන්ත පිරුණු ගැහැනියක්. මේ විශ්වයෙන් මට ගොඩක් දේවල් දීලා තියෙනවා. මට ගොඩක් දේවල් අතටම ලැබිල තියෙනවා. ඒක හරිම වාසනාවක් කියලයි මට හිතෙන්නේ.

ඡායාරූප – භූමි වික්‍රමසිංහ

 

 නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division