සායි පල්ලවි මේ කාලයේ දකුණු ඉන්දියානු සිනමාවේ ජනප්‍රියම නිළියක්. දෙමළ, මලයාලම් වැනි චිත්‍රපට රස විඳින ලංකාවේ සිනමා ලෝලීන් අතරත් ඇයට ආදරය කරන බෙහෝ දෙනෙක් සිටිනවා. මේ එ් අය වෙනුවෙන් ඇය පිළිබඳ කෙටි සටහනක්.
ඇය අවසන් වරට ප්‍රේක්ෂකයන් හමුවට පැමිණියේ ‘අමරන්’ චිත්‍රපටය තුළිනු යි. එය දෙමළ සිනමාපටයක්. සිනමා රසිකයන් අතර අතිශයින් ජනප්‍රිය වූ මෙම චිත්‍රපටය 2024 වසරේ වැඩිම ආදායම් ඉපැයූ දෙමළ චිත්‍රපට ලැයිස්තුවේ දෙවැනි තැන සිටිනවා. (පළමු තැන සිටින්නේ විජේ ප්‍රධාන චරිතය නිරූපණය කළ The Greatest of All Time චිත්‍රපටය යි)
මෙම සිනමාපටයේ සායි නිරූපණය කළේ ඉන්දු නැමැති චරිතයක්. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන මුකුන්ද් නැමැති මේජර්වරයාගේ බිරිඳ තමයි ඉන්දු. මුකුන්ද් ඉන්දියානු හමුදාවේ ඉතා බිහිසුණු මෙහෙයුම්වලට දායක වන අතරතුරේ මේ දෙදෙනාගේ ආදරය විවිධ අභියෝග හමුවේ ඉදිරියට යන ආකාරය පිළිබඳ කතාවක් තමයි මෙයට පසුබිම් වන්නේ. මෙය සත්‍ය චරිතයක් පසුබිම් කරගෙන නිර්මාණය වූ චිත්‍රපටයක්. මෙම චිත්‍රපටයේ සායි රඟපාන චරිතයත් ප්‍රේක්ෂකයන්ගේ මහත් ආදරය දිනා ගන්නට සමත් වුණා.
ඇයගේ අලුත්ම චිත්‍රපටයකුත් ලබන මාසයේ ප්‍රේක්ෂකයන් හමුවට පැමිණීමට නියමිතයි. එහි නම ‘තන්දෙල්’.මෙය තෙලිඟු චිත්‍රපටයක් බවයි සඳහන් වන්නේ. පෙබරවාරි 7 වැනි දින එය ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතයි. ‘තන්දෙල්’ චිත්‍රපටයත් ප්‍රේක්ෂකයන් මහත් බලාපොරොත්තු තබා සිටින චිත්‍රපටයක් බව පෙනෙනවා.
මෙය ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ධිවරයන් පිරිසක් කේන්ද්‍රකරගත් කතාවක් රැගත් සිනමාපටයක් බව සඳහන්. මෙම ධීවරයන් යන මුහුදු ගමනකදී නොසිතූ ආකාරයෙන් පකිස්තාන මුහුදු සීමාව වෙත පාවී යනවා. එහි දී මෙම කණ්ඩායම මුහුණ දෙන අභියෝගාත්මක තත්වයන් තන්දෙල් චිත්‍රපටයට පසුබිම් වන බවයි සඳහන් වන්නේ. එය ධෛර්යය, දේශාභිමානය, පළිගැනීම, ආදරය වැනි තේමාවන් ඔස්සේ දිග හැරෙන කතාවක් බවත් මෙම චිත්‍රපටය ගැන පළවෙන වාර්තාවලින් පැවසෙනවා. මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ තෙලිඟු සිනමාවේ ඉතා ජනප්‍රිය නළුවකු වන නාග චේතන්‍යා. සායි මෙම චිත්‍රපටයේ නිරූණය කරන්නේ සත්‍යා නැමැති චරිතයක්.
මෙතෙක් කාලයකට සායි බොලිවුඩ් චිත්‍රපටයක රඟපා නැහැ. නමුත් ඉදිරියේදී එම කාරණයත් ඉටුවීමට යන බව පැවසෙනවා. ඇය සහ ජුනේද් ඛාන් රඟපාන, ආදර කතාවක් රැගත් බොලිවුඩ් සිනමාපටයක් මේ වන විට නිර්මාණය වී ඇති බව සඳහන්. 31 හැවිරිදි ජුනේද් ඛාන් බොලිවුඩයේ සුපිරි නළු ආමීර් ඛාන්ගේ පුත්‍රයායි. මෙම චිත්‍රපටයට තවමත් නමක් තබා නැති බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත් එය මේ වසරේ ප්රේක්ක්ෂකයන් හමුවට පැමිණීමට නියමිතයි.
එයට අමතරව ‘රාමායන’ නැමැති හින්දි චිත්‍රපටයකත් ඇය රඟපානවා. එහි ඇය රඟපාන්නේ සීතා දේවියගේ චරිතයයි. මේ වන විට එය රූපගත කෙරෙමින් ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා.
32 වැනි වියෙහි පසුවන සායි තවමත් විවාහ වී නැහැ. ඇය ඇගේ ආදර සම්බන්ධතා ආදිය ගැන වැඩිය කතා නොකරන නිළියක හැටියටයි සැලකෙන්නේ. කෙසේ නමුත් මෙයට වසර 10 කට පමණ පෙර පැවැති ප්‍රේම සම්බන්ධයක් ගැන වරක් ඇය සඳහන් කර තිබූ බවක් පැවසෙනවා. මෙම සම්බන්ධය ඇතිව තිබුණේ සායි විදේශයක අධ්‍යාපනය ලබමින් සිටි කාලයක බවත් සඳහන්. ඇය කලක් ජෝර්ජියාවේ විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබමින් සිටියෙ.
කෙසේ නමුත් මෙම සම්බන්ධය වැඩි කාලයක් පැවතී නැහැ. තමුන් අතර යම් නොගැළපීම් පැවැති නිසා ඉතාම සුහදව එම සම්බන්ධය නතර කර දැමූ බව ඇය පවසා තිබුණා.
සායි සහ විවාහක තෙලිඟු නළුවකු අතර සම්බන්ධයක් පවතින බවටත් පසුගිය කාලයේ කටකතා පැතිරුණා. කෙසේ නමුත් ඇය මේ ගැන කිසිවක් ප්‍රකාශ කර නැති බව සඳහන්. මෙම නළුවා දරුවන් ද සිටින කෙනෙකු බවකුත් මේ කටකතාවලින් පැවසුණා.
සායි පල්ලවි ඉතා හොඳ අධ්‍යාපනයක් ලැබූ කෙනෙකු වීමත් විශේෂත්වයක්. 2016 වසරේ ඇය ජෝර්ජියාවේ රජයේ වෛද්‍ය විද්‍යාලයකින් උපාධියක් හිමිකරගෙන තිබුණා. නමුත් ඇය තවමත් වෛද්‍යවරියක ලෙස ඉන්දියාව තුළ ලියාපදිංචි වී නැහැ.
ඇය භාෂා කිහිපයක් කතා කිරීමේ හැකියාව ඇති නිළියක් බව ද පැවසෙනවා. දෙමළ, ඉංග්‍රීසි, හින්දි සහ ජෝර්ජියානු භාෂා ඇයට ඉතා හොඳින් කතා කිරීමට හැකි බවයි සඳහන් වන්නේ. එමෙන්ම මලයාලම්, තෙලිඟු යන භාෂා ද ඇයට යම් පමණකට කතා කළ හැකියි ලූ!
නර්තනයටත් ඇය විශාල කැමැත්තක් දක්වනවා. මේ ආසාව නිසාම ඇය කලකට පෙර නර්තනයට සම්බන්ධ රියැලිටි වැඩසටහන්වලට ද සහභාගි වී තිබුණා.
ඉතා දක්ෂ නිළියක වන සායි ෆිල්ම්ෆෙයාර් සම්මාන ඇතුළු සම්මාන රැසක් දිනාගෙන තිබෙනවා.
කසුන් අරවින්ද