Home » CLEAN SPORTS

CLEAN SPORTS

by Mahesh Lakehouse
January 11, 2025 12:30 am 0 comment
සිරිනාම රාජපක්ෂ

නව රජයේ නව සංකල්පයක් ලෙස ජනාධිපතිවරයා විසින් නව වසරේදී හඳුන්වා දෙන ලද ‘ක්ලීන් ශ්‍රී ලංකා’ නම් වැඩසටහන හුදෙක් පරිසරය පිරිසිදු කිරීම හෝ මෙරට ප්‍රජාවගේ ක්‍රියාකාරකම් නිවැරදි කිරීම යන පටු ක්ෂේත්‍රයකට සීමා නොවන අතර, එය සියලු පුරවැසියන් සමඟ බද්ධ වන බහුවිධ අංශයන් ආවරණය කරනු ලබනා යෝධ බල ව්‍යාපෘතියක් බව මේ වසරේ ආරම්භක දිනයේ පැවැති සමාරම්භක උලෙළ දෙස බැලීමෙන්ම පැහැදිලි වනු ඇත. ඒ අනුව වත්මන් රජයේ සියලු අමාත්‍යාංශ හරහා මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ අරමුණින් කටයුතු කරනු ඇතැයි පැවැසෙන අතර, ඕනෑම රටක යහපත් පුරවැසියකු බිහි කරන ප්‍රධාන මෙවලමක් නොහොත් ‘ටූල් එකක්’ වන ක්‍රීඩාව මෙහෙයවන ක්‍රීඩා අමාත්‍යාංශයටද මෙහිදී සුවිශාල වගකීමක් පැවැරෙනු ඇත.

තවද, මෙවන් වැදගත් මෙන්ම කාලීන සංකල්පයක් මඟින් ගොඩනැඟුණු ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය වෙසෙසින්ම කායික හා මානසික වශයෙන් ජනතාව යහපත් තැනකට තල්ලු කිරීමේ වැඩසටහනක් වන අතර, සෑම තැනක්ම ක්ලීන් කිරීමට පෙර එම ස්ථාන අපිරිසිදු කළේ කවුරුන්ද සහ ඊට වගකිවයුතු කවුරුන්ද යන්න පිළිබඳවද පුළුල් අවබෝධයක් ඇති කරගත යුතුය. එසේ අවබෝධයකින් කටයුතු නොකළ හොත් වර්තමානයේ පිරිසිදු තැන්ද අනාගතයේ අපිරිසිදු විය හැකිය. තවත් ආකාරය කිව හොත් එසේ ක්ලීන් කළ යුතු තැන් සහ පුද්ගලයන් කවුරුන්ද යන්න පිළිබඳ දැනුමක් මෙන්ම අවබෝධයක් ක්ලීන් කරන්නන් සතුව තිබිය යුතුය. මේ සාධකය අපේ රටේ ක්‍රීඩාවටද අදාළය.

1973 වසරේ සිට අණ පනත් හා නීති පනවමින්, තවද අවශ්‍ය වූ විටෙක එම අණ පනත් සංශෝධනය කරමින් ක්‍රීඩාව ක්ලීන් කිරීමට බොහෝ ක්‍රීඩා පරිපාලකයන් යම් යම් පියවර ගත්තද, ඒවා නිෂ්ඵල වූයේ ක්‍රීඩාවේ සිටි ඉහළ බලධාරීන් නීතිය නවමින් තීරණ ගත් නිසාය. තවත් ලෙසකින් කිව හොත් ක්‍රීඩාවේ උන්නතියට යැයි කියමින් පනත් සංශෝධනය කොට අදාළ පුද්ගලයන්ගේ වැඩ නොබලා, මුහුණ බලා, හිතවත්කම් මත තීරණ ගත් බැවිනි. එනිසා ක්‍රීඩාවේ සෑම අංශයක්ම ක්ලීන් කිරීමට නම්, එසේ මින් පෙර නිෂ්ඵල වීමට හේතු වූ බාධක හඳුනාගෙන, ඉදිරියේදී කටයුතු කළ යුත්තේ කෙසේදැයි සැලැසුම් කළ යුතුය. අනෙක් ප්‍රධාන කරුණ නම් උක්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ක්‍රීඩාංගණ ඇතුළු යටිතල පහසුකම් ක්ලීන් කළ යුතු අතර ක්‍රීඩාව කරන හා කරවන අයද ක්ලීන් කළ යුතුය.

ඒ අනුව මෙම ක්ලීන් කිරීමේ කටයුත්ත වඩාත් සාර්ථක කරගැනීමට නම් ආදර්ශයක් සපයමින් ඉහළ සිට පහළට එය ක්‍රියාත්මක කළ යුතු අතර, ජාතික හා ජාත්‍යන්තර මට්ටමෙන් අපේ රටේ ක්‍රීඩාව දූෂණය මුසුව මෙතරම් අපවිත්‍ර වී ඇත්තේ ක්‍රීඩාව කරන අයගේ ක්‍රියාකාරකම්වලට වඩා ක්‍රීඩාව කරවන අයගේ අකටයුතු කම් නිසාය. මෙරට පවතින ක්‍රීඩා නීතියට අනුව ක්‍රීඩා 72ක් ලියාපදිංච් කර ඇතත් වර්තමානයේදී යථා පරිදි ක්‍රියාත්මක වන්නේ ඉන් තුනෙන් දෙකකටත් වඩා සංඛ්‍යාවක් බවද පැවසේ. බෝඩ් ලෑලිවලට පමණක් සීමා වූ ක්‍රීඩාද ලියාපදිංචිව ඇති එවන් පසුබිමක් තුළ බොහෝ ක්‍රීඩාවන්ට අදාළ පරිපාලකයින් එම තනතුරු තමන්ට ආභරණයක් කරගනිමින් කටයුතු කරනවා හැර ඔවුන් ක්‍රීඩාවට ආභරණයක් වන අයුරින් ක්‍රියාත්මක වන්නේ නැත. තවත් ආකාරයකින් කිව හොත් අද මෙරට ක්‍රීඩා පරිපාලන ආයතනයන්ට රිංගා ඇති සමහරුන් ක්‍රීඩාව තමන්ට ආදායම් උපයන මාර්ගයක් බවට පත් කරගෙන හමාරය.

මේ දිනවල ක්ලීන් කරගෙන යන පෞද්ගලික මගී බස් රථකරුවන්ගේ එකම සැප බසයේ හෝන් එක සහ ඝෝෂාව මුසු වූ සංගීතය වනවා සේම, ක්‍රීඩාකරුවන්ගේ එකම සැප වංචාව සහ විදෙස් සංචාරයෙහි යෙදීමය. ඒ අතර සමහරු ක්‍රීඩා පුහුණුකරුවන් වෙමින් ක්‍රීඩාවේ පරිපාලන තනතුරුද හොබවති. තවත් සමහරු එකම කාලය තුළ ක්‍රීඩා පරිපාලන ආයතන දෙක තුනක විවිධ තනතුරු දරමින් මෙකී නොකී ආකාරයෙන් මෙරට සම්මත ක්‍රීඩා නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් රැඳී සිටිති. එසේම, මූල්‍ය වංචා චෝදනාවලට පවා ලක්ව වැරදිකරුවන් බවට ඔවුන්ගේම ආයතනවලින් පත් කරන ලද කමිටු විසින් තීරණය කළද එම තීරණ පසෙක ලා තවමත් ඉහළ පුටුවල රැඳී සිටින ක්‍රීඩාව කරවන මහත්වරුද සිටිති. මෙකී පුද්ගලයන් හා ස්ථාන ක්ලීන් කළ යුතු යැයි ජාත්‍යන්තර සංගමයෙන් පවා දැඩි අවවාදාත්මකව දැනුම් දීම් කර තිබුණද ශ්‍රී ලංකාව පැත්තෙන් තවමත් ඊට යහපත් ප්‍රතිචාර දක්වා නැත.

එනිසා මෙවන් පුද්ගලයන් හා ඔවුන් මහ පුටුවල සිටිනා ආයතන ඉක්මනින් ක්ලීන් නොකළ හොත් ඉන් ක්‍රීඩාවට පමණක් නොව, රටටම වෙන අයහපත සීමා රහිත එකක් වන අතර ක්‍රීඩාවේ මහගෙදර අයට මෙම ව්‍යාපෘතිය සාර්ථකව කරගැනීමට නම් ක්ලීන් කිරීම අල්ලපු වත්තෙන්ම ආරම්භ කළ හැකිය.

එපමණක්ද නොව, රටේ ක්‍රීඩාවට වින කළ මෙවන් මහත්වරුන් දීර්ඝ කාලයක් ක්‍රීඩාවේ සුපිරි ඔටුනු පැලඳගෙන සිටිමින් යටිතල පහසුකම් දියුණු කරන මුවාවෙන් රට පුරා පළාත් මට්ටමෙන් සිදු කරන ලද ඉදිකිරීම් නිසා කර ඇති නාස්තියද සොයා බැලීම මෙකී ක්ලීන් කිරීමේ වැඩසටහනට ඇතුළත් විය යුතුය. උදාහරණයක් කිව හොත්: ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුව සඳහා බොහෝ පළාත් වල ඉදි කර ඇති පිහිනුම් තටාක වතුර එන තුරු බලා සිටී.

රටේ ආර්ථිකය සහ මානව සංවර්ධනය සඳහා ක්‍රීඩා ආර්ථිකයක් හදනවායැයි උදම් ඇනූ රජයන් හා ඔවුන්ගේ ආනුභාවයෙන් පත් වූ ක්‍රීඩා පාලකයන් ගෙවී ගිය දශක 4ක පමණ කාලය තුළ ඔවුනොවුන්ගේ ආර්ථිකය ගොඩනඟාගත්තේ එසේය.

මෙනයින් සෝදා පිරිසිදු කරන්න බැරි තරමටම මෙරට ක්‍රීඩාව දූෂණයෙන් හා වංචාවෙන් අපිරිසිදු කර ඇත. තවත් ආකාරයකින් කිව හොත් ක්‍රීඩාව නම් මෙවලම හොරකම-දූෂණය-වංචාව යන මලකඩ නිසා දිරාපත් වෙමින් ඇත. එයට හේතුව මෙතෙක් කාලයක් ක්‍රීඩාව නම් මෙවලම හෙවත් ටූල් එක අතට ගත් වගකිව යුත්තන් එය රටේ යහපත වෙනුවෙන් හරි හැටි පාවිච්චි නොකළ නිසාය. තමන්ට හිතැති පුද්ගලයන් ක්‍රීඩා පාලකයන් බවට පත් කිරීම සඳහා නීති රීති වෙනස් කරමින් ගැසට් ගැසූ ක්‍රීඩා ඇමැතිවරු පවා මෙරට සිටියහ. එවන් ආකාරයෙන් පස්සා දොරෙන් ක්‍රීඩාව භාරගත් සමහරු අදටත් ඒ මහ පුටුවල යහතින් වැජඹෙති. එබැවින් එවන් තැන් නිකම්ම ක්ලීන් කිරීම පමණක් ප්‍රමාණවත් නැත; ගලවා ඉවත් කොට පිරිසිදු කළ යුතුය. එහෙත් අභියෝගය වන්නේ කලින් කලට වෙස්වලා ගත් එවන් තැන්වල අරක් ගෙන සිටින පුද්ගලයන් හා දූෂිත අපිරිසිදු ස්ථාන හරි හැටි හඳුනාගැනීමයි. එසේ නොකොට, පරණ කුණු වසා කැමැති පහසු තැන් පමණක් ක්ලීන් කිරීමෙන් එම විශිෂ්ට සංකල්පය මතින් ගොඩනැඟුණු ව්‍යාපෘතියේ නිසි ඵල නෙළාගැනීමට නොහැකි වනු ඇත.

එනිසා දැන්වත් අපි කවුරු කවුරුත් එක් වී යහපත් ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනඟාගන්නට ‘ස්පෝට්ස්’ නම් වූ ‘ටූල් එක’ ක්ලීන් කරගනිමු.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division