Home » උඩරට දුම්රිය මඟේ ඇස නොගැසුණු අසිරිය

උඩරට දුම්රිය මඟේ ඇස නොගැසුණු අසිරිය

by Mahesh Lakehouse
January 11, 2025 12:30 am 0 comment

කොළඹ – බදුල්ල දුම්රිය ගමන 2025 වසරේ ලොව හොඳම 07 වැනි සංචා­රක දුම්රිය ගමන ලෙස ශ්‍රේණි­ගත කර තිබේ.

පාසල් නිවාඩු කාලය තුළ මෙන්ම දින තුන-හතරක නිවාඩුවක් ලැබුණු විගස විනෝද ගමන් යෑමේ සිරිත අප රටේ කාලාන්තරයක් තිස්සේ පැවත එන්නකි. සිරිපා කරුණාව වැනි ආගමික වන්දනාවන් මෙන්ම සිංහරාජය, පාසිකුඩා වැනි සුන්දර ස්ථාන නැරඹීමට පා ගමනින් යෑමට පවා ආදි කාලයේ සිටම අපේ රටේ ජනතාව හුරු වී සිටිති.

උඩරට දුම්රිය මාර්ගයේ දිවා කාලයේ දුම්රිය ධාවනය ආරම්භ කිරීමෙන් පසු (1956) උඩරට චාරිකාවල නිරත වීමට බොහෝ දෙනා උත්සුක වූහ. වර්තමානය වනවිට උඩරට දුම්රියන්ගේ ආසන වෙන් කිරීමට දරන උත්සාහය දෙස බැලීමේදී අපට පෙනී යන්නේ ඒ වෙනුවෙන් ඇති අධික ඉල්ලුමය. දිනයේ ආසන වෙන් කිරීම අරඹා විනාඩි 4ක් 5ක් යන්නටත් පෙරම ඉදිරි දින 30ක් ඇතුළත සියලු ආසන වෙන් කර අවසන් වීම මේ දිනවල දක්නට ලැබේ.

උඩරට දුම්රියේ ආසන වෙන් කරගැනීම මෙතරම් අසීරු ඇයි? එයට හේතුව වන්නේ උඩරට දුම්රියෙන් ගමන් කිරීමම වින්දනයට, ආස්වාදයට මඟ පාදන්නක් වන බැවිනි. විශේෂයෙන්ම මහනුවර සිට බදුල්ල දක්වා විදේශිකයන් සහ කොළඹ සිටම එන දේශීය සංචාරකයන්ගෙන් බදුලු දුම්රිය පිරී ඉතිරී යනු ඇත.

අද අප කතා කරන්න යන්නේ මහනුවර සිට බදුල්ල දක්වා දුම්රිය මඟ ඔස්සේ සංචාරක අවධානය යොමු විය යුතු ස්ථාන පිළිබඳවය. එහිදී පළමුව මහනුවර සිට නානුඔය දක්වා ඇති සුන්දර ස්ථාන වෙත අවධානය යොමු කරමු.

පේරාදෙණියෙන් පසුව උඩරට කරා යන දුම්රියට පළමුව හමු වන ප්‍රධාන දුම්රිය ස්ථානය වන ගම්පොළ දුම්රියපොළට ආසන්න වනවිටම දකුණු පසින් දිස් වන්නේ අම්බුළුවාවයි. අම්බුළුවාවේ ඉහළින් පිහිටි චෛත්‍යය සැලකිය යුතු දුරක් යන තුරුම මැනවින් දර්ශනය වේ. එය උඩරට දුම්රිය ගමන් මඟේ ආරම්භය සලකුණු කරන්නක් වැනිය. එතැන් පටන් දුම්රියේ ගමන ද මන්දගාමි වේ. ඒ කඳු තරණය ආරම්භ කිරීම නිසාය.

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය රැගෙන යෑම සිදු කරන්නේ දිගුකාලීන අත්දැකීම් ඇති රියැදුරන් පමණි. එහිදී උඩරට කාලගුණය ගැන ඇති අත්දැකීම මෙන්ම උඩරට දුම්රිය මඟේ ස්වභාවය පිළිබඳ ඔහුගේ අත්දැකීම් මත ඇති නිපුණතාව බෙහෙවින් වැදගත් වනු ඇත. එමෙන්ම කඳුකරයේ හදිසි අවස්ථාවලට මුහුණ දීමට ඇති හැකියාව සමඟ දිගුකාලීන සේවාවක් සහිත රියැදුරන් පමණක් මේ මාර්ගයේ දුම්රිය ධාවනයට යොදවනු ලැබේ. මහනුවර සිට දුම්රිය මඟේ විස්තර අපට සපයන්නට කටයුතු කළේ ජ්‍යෙෂ්ඨ දුම්රිය රියැදුරු ඒ. ටී. ජයසිංහ විසිනි.

ඔහු කොළඹ සිට නාවලපිටිය දක්වා දුම්රිය ගෙන යෑමේ කාර්යයයේ නිරත විය. කොළඹ සිට දුම්රිය ධාවනය කරන කාර්ය මණ්ඩලය නාවලපිටියෙන් තම සේවා මුරය අවසන් කරයි. එතැන් සිට දුම්රිය ධාවනය සිදු කරනු ලබන්නේ නාවලපිටිය අංශයේ රියැදුරන් විසින් පමණි.

නාවලපිටියෙන් පසුව උඩරට සුන්දරත්වය දුම්රිය මඟ දෙපසින්ම දැකගත හැකිය. එක් පැත්තක අලංකාර කදු පන්තිවලින් සමන්විත කඳුකරයයි. අනෙක් පැත්තෙන් තේ වතු යායන්ය. තවත් විටක අඩි දහස් ගණනක ප්‍රපාතයන්ය. වැසි දිනවල මීදුම නිසා දුම්රිය මඟේ කිසිවක් පෙනෙන්නට නැත. මේ සියල්ල මැදින් දුම්රිය ගෙන යෑමේ භාරධුර කාර්යය ජ්‍යෙෂ්ඨ දුම්රිය රියැදුරන්ට අයත් වගකීමකි. එහි විශාල කොටසක් දුම්රිය නියාමකවරුන්ටද පැවරී ඇත.

නාවලපිටියෙන් පසු දකුණුපසින් අලංකාර ලෙසින් ගලාබසිනා ඔයකි. ඇතැමුන් හඟරන්ඔය ලෙසත් තවත් අය ඉඟුරු ඔය ලෙසත් එය එය හඳුන්වති. කිලෝමීටර් දෙකක් පමණ යන තෙක් දුම්රිය මඟට සමාන්තරව එය ඇදී යයි. වැසි දිනවලදී නම් එය අලංකාර ලෙස ගලින් ගලට පනිමින් පෙණ බුබුළු නංවමින් පහළට ඇදී යෑම අලංකාර දසුනකි.

ඉඟුරුඔය දුම්රිය ස්ථානය හමු වන්නේ එයින් පසුව වන අතර, ඉඟුරුඔය දුම්රිය ස්ථානයෙන් පසු ගල්බොඩ දුම්රිය ස්ථානයට ආසන්නයේ මෙරට සුවිශේෂ ස්ථානයක් හමු වේ. ඒ දුම්රිය බිම්ගෙවල් දෙකක් හා පාලම් දෙකක් එකට පිහිටි මෙරට එකම ස්ථානයයි.

පළමුව උඩරට මඟේ අංක 12 බිම්ගෙය හමු වන අතර, බිම්ගෙය අවසානයේ හමු වන පාලමට වම්පසින් ඇදහැලෙන්නේ අලංකාර ගල්බොඩ දිය ඇල්ලයි. දිය ඇල්ලේ ජලය දුම්රිය මඟ යටින් අනෙක් පසට ඇදී යන අතර, මහවැලි ගඟෙන් ඇදහැලෙන ඒ ජලධාරාව දැකගැන්මට හැක්කේ තත්පර තුන-හතරක් පමණි. ඒ ක්ෂණයකින්ම දෙවැනි බිම්ගෙය හමු වේ. එය පසු කරන විටම අනෙක් පාලම හමු වේ.

ගල්බොඩ ඇල්ලට පසුව ගල්බොඩ දුම්රිය ස්ථානය හමු වේ. ඇතැම් දේශීය සංචාරකයෝ ගල්බොඩදී දුම්රියෙන් බැස ගල්බොඩ ඇල්ල බැලීමට යති. එයද එක්තරා දිනක සංචාරක ගමනාන්තයකි. ගල්බොඩ ඇල්ල නරඹා එදිනම ආපසු දුම්රියෙන් කොළඹට පැමිණිය හැකිය. ගල්බොඩ දුම්රිය ස්ථානය මෙන්ම වටවල හා ඉහළ වටවල දුම්රිය ස්ථාන ද පිහිටා ඇති පරිසරය අලංකාරය. හැම අතින්ම කඳු පන්තීන් දිස් වේ. ඉහළ වටවල දුම්රිය ස්ථානයට සමනොළ කඳු පන්තිය මැනවින් පෙනේ. එහෙත් මීදුම තිබුණහොත් බාධා පැමිණෙනු ඇත.

ඉහළ වටවලින් පසු හමුවන රොසැල්ල දුම්රිය ස්ථානයද සුවිශේෂය. එම දුම්රිය ස්ථානයට පෙර දුම්රිය මඟ ඇත්තේ U අකුරක ආකාරයෙනි. කොළඹ සිට යන පොඩි මැණිකේ දුම්රියට බොහෝ දිනවල රොසැල්ල දුම්රිය ස්ථානයේ නවතා ඇති උඩරට මැණිකේ දුම්රිය දැකගත හැකිය. ඒ කොළඹ සිට ගමන් ගන්නා දුම්රියට සමාන්තරව ගැඹුරු ප්‍රපාතයකින් එහා පැත්තේය. මේ ලෙස සම්පූර්ණයෙන්ම U අකුරක ආකාරයෙන් දුම්රිය මඟ හා දුම්රිය ස්ථානය පිහිටා ඇත්තේ රොසැල්ලේ පමණි.

මීදුම නොපවතින්නේ නම් රොසැල්ලේ සිට එක දිගටම සැලකිය යුතු දුරක් සමනොළ සිරස දැකගත හැකිය. ඇතැම් විට කඳු පන්තීන්ගෙන් බාධා මතු වුවද සිරිපා කඳු මුදුන ඉතා පැහැදිලිව දැකගන්නට හැකියාව පවතියි.

දුම්රිය රියදුරුඒ. ටී. ජය­සිංහ

දුම්රිය රියදුරු ඒ. ටී. ජය­සිංහ

හැටන් දුම්රිය ස්ථානයෙන් පසු හමු වන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ඉදි කරන ලද මෙරට දුම්රිය මාර්ගයක හමු වූ දීර්ඝතම දුම්රිය උමඟයි. ‘සිංගිමලේ’ නමින් හඳුන්වනු ලබන මේ බිම්ගෙය වසර කිහිපයකට පෙර දකුණු දුම්රිය මඟ බෙලිඅත්ත දක්වා දීර්ඝ කරන්නට පෙර ශත වර්ෂයකට අධික කාලයක් මෙරට දීර්ඝතම දුම්රිය උමඟට හිමි ස්ථානය අත්කරගෙන තිබිණි. උමඟ තුළ තවමත් බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදි කළ උමඟ තනන්නට කළ සිදුරු කිරීම් එකල ආයුධවලින් කපා කොටා බිම්ගෙය තැනූ අයුරු දැකගත හැකිය. එහෙත් සාමාන්‍ය පුද්ගලයන්ට දුම්රිය උමඟ භාවිත කිරීමට අවසර නැත. එහි දිග මීටර් 652කි.

හැටන් සහ කොටගල අතර ඇති දුම්රිය පාලම ද ඉතිහාසගත බ්‍රිතාන්‍ය සමයෙන් පසු විශේෂ අලුත්වැඩියාවක් නොලැබූ පාලමක් වන අතර මාස දෙකකට පමණ පෙර මේ පාලම මත දුම්රියක් පීලි පනිනු ලැබූවද එහි රියැදුරාගේ දස්කම් මත එය පාලමෙන් නොවැටී බේරාගන්නට හැකි විය.

එතැනින් පසු හමු වන කොටගල දුම්රිය ස්ථානයත් තලවකැලේ දුම්රිය ස්ථානයත් අතර උඩරට දුම්රිය මගේ අලංකාරම දිය ඇල්ල වන සාන්ත ක්ලෙයාර් දිය ඇල්ල දිස් වේ.

උඩරට බලා යද්දී මාර්ගයේ වම්පසින් එය අලංකාරවත්ව දිස් වන අතර, දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අලුතින් හඳුන්වා දී ඇති ‘ඇල්ල ඔඩිසි’ හා ‘දුන්හිඳ ඔඩිසි’ දුම්රිය දෙක මේ ස්ථානයේ මඳ වේලාවක් නවත්වා ධාවනය කිරීම හෝ ඉතා සෙමෙන් ධාවනය කිරීම හෝ සිදු කෙරේ.

තලවකැලේ දුම්රිය ස්ථානය ද පිහිටා ඇත්තේ ඉහළ කොත්මලේ මහවැලි ජලකඳට නුදුරිනි.

එතැනින් පසු හමු වන වටගොඩ දුම්රිය ස්ථානය අසල ද දිස්වන්නේ උඩරට මනරම් සිරියාවය. වටගොඩ දුම්රිය ස්ථානය ද බ්‍රිතාන්‍ය සමයේ දුම්රිය ස්ථානයේ බිත්තිය ඉදි කිරීමට භාවිත කළ විශාල කළු ගල් සහිතව තවමත් දක්නට ඇත. සීතලට ඔරොත්තු දෙන අයුරින් එලෙසින් දුම්රිය ස්ථානය ඉදි කර තිබේ.

හැටන් සිට දුම්රිය මාර්ගය දෙපස දිගින් දිගටම දක්නට ඇත්තේ මෙරට කඳුකර වන ලැහැබට ආවේණික වූ ගස්වැල්ය. ඇතැම් ගස්වැල් මෙරටට ආවේණික ඒවාය. ඒවාට අත තැබීමවත් කිසිවකුට තහනම්ය. දුම්රිය ධාවනයට පමණක් මේ රක්ෂිත හරහා අවසර ඇත. එමෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිරතුරුවම ඒ ගැන අවධානයෙන් සිටීමත්, දුම්රිය සේවකයන් ද අවදියෙන් සිටීමත් නිසා ඒ ආවේණික ශාක ආරක්ෂා වී ඇත.

වටගොඩ දුම්රිය ස්ථානයෙන් පසු හමුවන්නේ මෙරට තවත් විශේෂිත දුම්රිය ස්ථානයකි. ඒ බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින්ම යොදන ලද ඒ ඉංග්‍රීසි නමින්ම තවමත් පවතින දුම්රිය ස්ථානයයි. ඒ ග්‍රේට්වෙස්ටර්න් දුම්රිය ස්ථානයයි. ග්‍රේට්වෙස්ටර්න් දුම්රිය ස්ථානයට නුදුරින් ග්‍රේට්වෙස්ටර්න් කන්ද පිහිටා ඇත. දුම්රිය ස්ථානයේ අනෙක් පෙදෙසේ අැත්තේ මහා ප්‍රපාතයයි. එම පැත්තෙන් ද ඈතින් දිස් වන්නේ එක පෙළට සිටගත් යෝධයන් සේ සිටින එක පෙළට යා වුණු කඳු පන්තියයි. එමෙන්ම මීදුම රහිත හා වැසි කාලයට ග්‍රේට්වෙස්ටර්න් කන්දෙන් ඇදහැලෙන ග්‍රේට්වෙස්ටර්න් දිය ඇල්ල හොඳින් දැකබලාගත හැකිය.

ග්‍රේට්වෙස්ටර්න්වලින් පසුව රදැල්ල උප දුම්රිය ස්ථානය හමු වන අතර, ඉන්පසු හමු වන්නේ අලංකාර නානුඔය දියඇල්ලයි. ඒ සමඟම බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ඉදි කළ නානුඔය පාලම ද හමු වේ.

නානුඔය දිය ඇල්ල දුම්රිය මඟ අසලින්ම පිහිටා ඇති අතර, එය වඩාත්ම හොඳින් ඈතින් දර්ශනය වන්නේ නානුඔය දුම්රිය ස්ථානය පසු කර බදුල්ල බලා ගමන් ගන්නා විටය.

නානුඔය දුම්රිය ස්ථානයට ද ළඟා විය යුත්තේ තරමක U ආකාරයේ දුම්රිය මඟකින් වන නමුත්, එය රොසැල්ල තරම් U ආකාරයේ හැඩයක් නොගනී. නානුඔය දුම්රිය ස්ථානය සුවිශේෂතම දුම්රිය ස්ථානයකි. එය මෙරට දුම්රියට ගොඩ වන සහ දුම්රියෙන් බසින මගීන්ගෙන් 60%ත් 70%ත් අතර ප්‍රමාණයක් විදේශිකයන් වන දුම්රිය ස්ථාන දෙකින් එකකි.

නානුඔයදී දුම්රියේ තිරිංග පරීක්ෂාවට ලක් කෙරේ. ඒ තවත් බොහෝ කඳු තරණයක් කළ යුතු හෙයිනි.

දිනයේ කුමන වේලාවේ දුම්රියෙන් බැස්ස ද අධික සීතලකින් යුක්ත දුම්රිය ස්ථානයක් ලෙස නානුඔය හඳුන්වා දිය හැකිය. නුවරඑළිය දක්වා යන සංචාරකයන් නානුඔයෙන් බැස යන අතර නානුඔය සිට ඇල්ල දක්වා ගමන් ගන්නා විදේශීය සංචාරකයන් ද විශාල ලෙසින් දක්නට පුළුවන. උඩරට දුම්රිය මාර්ගයේ අලංකාරම මෙන්ම සිත් වශී කරනා ස්ථානයන් ඇත්තේ නානුඔයෙන් පසුවය. ඒ ගැන ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.

ඇස නොගැටෙන දිය ඇල්ලක්

ඇස නොගැටෙන දිය ඇල්ලක්

උඩරට දුම්රිය මාර්ගයේ දැකිය හැකි දුර්ලභ ශාක සහ වැසි කාලයට පමණක් දැකිය හැකි දිය ඇල්ලක්

උඩරට දුම්රිය මාර්ගයේ දැකිය හැකි දුර්ලභ ශාක සහ වැසි කාලයට පමණක් දැකිය හැකි දිය ඇල්ලක්

 

සේයාරූ – විමල් කරුණාතිලක

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division