Home » දලු නෙළන්න ආසා හිතෙන අලුත් කූඩයයි – කුඩයයි

දලු නෙළන්න ආසා හිතෙන අලුත් කූඩයයි – කුඩයයි

by Mahesh Lakehouse
January 11, 2025 12:30 am 0 comment

මෙරට තේ ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වන වතු කම්කරු ජනතාව මෙරටට පැමිණ වසර 200ක් සපිරි ඇතත්, වර්තමානය වනවිට ඒ කර්මාන්තයේ නියැළීමට ශ්‍රමිකයන් නොසිටීම හමුවේ තේ වතු සමාගම් සහ කුඩා තේ වතු හිමියන් අර්බුදයකට මුහුණ පා ඇත. වතු සමාගම් නිලධාරීන් පවසන්නේ උඩරට සහ පහතරට තේ කර්මාන්තයේ මීට වසර කිහිපයකට පෙර හය ලක්ෂයකට අධික ශ්‍රමිකයන් පිරිසක් නියැළී සිටි නමුත්, මේ වනවිට එය ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් දක්වා අඩු වී ඇති බවයි.

වතු ආශ්‍රිත ප්‍රජාව පදිංචි ප්‍රදේශවල පිහිටි වතු පාසල්වල අධ්‍යාපන තත්ත්වය ඉහළ දැමීමට ඒ ප්‍රජාව නියෝජනය කළ දේශපාලන අධිකාරිය සහ පැවති රජයන් කටයුතු කිරීමත් සමඟ වතු ප්‍රජාවගේ දූදරුවෝ හොඳ අධ්‍යාපනයක් ලබා මේ වනවිට රජයේ සහ පෞද්ගලික ආයතනවල උසස් රැකියාවල නිරත වෙති. අවුවෙන් වැස්සෙන් පීඩා විඳිමින්, බඹරුන්, කුඩැල්ලන්ගේ පීඩාවලට මුහුණ දෙමින්, අවම පහසුකම් යටතේ සුළු වැටුපක් ලබමින් සේවය කළ වතු කම්කරුවෝ තම දූදරුවන්ද තමා කළ රැකියාවේ යෙදවීමට දැඩි අකමැත්තක් දක්වති.

එවන් තත්ත්වයක් මත දැනට වතු ක්ෂේත්‍රයේ රැකියාවල නිරතව සිටින වතු කම්කරුවන් එම කර්මාන්තයේ තවදුරටත් රඳවාගැනීමට උඩරට තේ වතු සමාගම් පාලනය කරන වතු සමාගම් ගණනාවක් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කර ඔවුන්ගේ සුබසාධන කටයුතු ඉහළ නංවන අතරතුර තේ කර්මාන්තයේ නිරත වතු කම්කරුවන්ට සිය රැකියාව පහසුවෙන් සිදු කරගෙන යෑමට අවශ්‍ය තාක්ෂණය මේ වන සලසාදෙමින් සිටියි.

එවන් නියමු ව්‍යාපෘති දෙකක් හොරණ වැවිලි සමාගම යටතේ පාලනය වන නොර්වුඩ් ස්ටොක්හෝම් වතුයායේ කම්කරුවන් වෙනුවෙන් සිදු කර මේ වනවිට එහි සාර්ථක ප්‍රතිඵල ලබමින් සිටියි. මෙතෙක් කල් තේ කුඩය පිටේ බැඳගෙන, කූඩයට සවි කළ පටිය හිසේ රඳවාගනිමින් දලු නෙළීමේ නිරත වීම හමුවේ වතු කම්කරුවෝ දැඩි ලෙස පීඩාවට පත් වී දලු නෙළීමේ කටයුතුවල නිරත වූහ. මෙහිදී ඒ වතු සමාගම ප්ලාස්ටික් බට යොදාගනිමින් නිර්මාණය කළ දලු කුඩයක් පටි කිහිපයක් යොදාගෙන කම්කරුවාගේ ශරීරයේම රඳවා ගැනීමට සැලැස්වීම නිසා කම්කරුවන්ට ඉතා පහසුවෙන් දලු නෙළීමට හැකියාව ලැබී තිබේ.

මේ අතර එම සමාගම මෙතෙක් අව්වෙන් වැස්සෙන් පීඩා විඳි වතු කම්කරුවන් වෙනුවෙන්ම කුඩයක් නිර්මාණය කිරීමත් සමඟ, වතු කම්කරුවන් දෛනික දලු නෙළීමේ කටයුතු ඉතා උනන්දුවෙන් සිදු කිරීමට පෙලඹී ඇත.

එම වතුයායේ වතු අධිකාරි නදීර ගුණසේකර

මහතා මේ සම්බන්ධයෙන් අප සමඟ මෙසේ පැවසීය:

“අපේ වතු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ජේ.රොද්‍රිගෝ මහතා සහ වතු සමාගමේ සාමාන්‍යාධිකාරි වසන්ත ගුණවර්ධන මහතාගේ සංකල්පයක් මත මම වතුයායේ තාක්ෂණ නිලධාරීන් එක්ක එකතු වෙලා නියමු ව්‍යාපෘතියක් ලෙස මේ කුඩය හඳුන්වා දුන්නා. ඒ ව්‍යාපෘතිය අතිසාර්ථකයි. මෙහිදී කුඩයට බඳ පටි සකස් කර කර තිබෙනවා. කුඩය දිගහැර, ඒ බඳ පටි පැලඳ පහසුවෙන්ම දලු නෙළීමට හැකියාව තිබෙනවා. වතු සමාගම විසින් හඳන්වා දී තිබෙන කූඩය සහ නව කුඩය පැලඳ දලු නෙළීම තමන්ට අලුත් අත්දැකීමක් කියලා වතු කම්කරුවන් කියනවා. මේ සඳහා පේටන්ට් බලපත්‍රයක් ගන්න අප අදහස් කරගෙන ඉන්නවා.”

අලුතින් හඳුන්වා දුන් කුඩය භාවිත කරන කේ. කාලිසෙල්වි:

“අපේ අම්මා තාත්තා වැඩ කළේ මේ වත්තේ. හැබැයි අපි දැන් දලු නෙළනවාට වඩා ගොඩක් දුක් වින්දා ඒ අය. අපේ වතු සමාගමෙන් අපට පහසුවෙන් දලු නෙළන්න පහසුකම් ගණනාවක් සලසා දී තිබෙනවා. එකක් තමයි තේ කූඩය. ඒ කූඩය පිටේ බැඳගෙන අපට වැඩ කරන්න ලේසියි. අපි ඉස්සර වැස්සෙන් තෙමෙන එකෙන් ආරක්ෂා වුණේ ඉටි රෙද්දෙන්. ඒත් අව්වට අපට ආවරණයක් තිබුණේ නෑ. ආවරණයකට තිබුණේ තේ වත්තේ ගස් විතරයි.

අපට ඒ ගස්වල සෙවණේ ඉන්න වේලාව නෑ. එ්ත් වතු සමාගමෙන් හඳුන්වලා දුන්න කුඩය නිසා අපට ලේසියෙන් වැඩ කරන්න පුළුවන්.”

“ඇත්තටම අපි මේ රස්සාවෙන් අයින් වෙන්න හිටියේ. අපේ වතු සමාගම අපට දීලා තියෙන පහසුකම් එක්ක අපි රැකියාවෙන් ඉවත් නොවෙන්න තිරණය කළා. දැන් අපට හොඳ වැටුපක් ලැබෙනවා, බඩු මිල තව ටිකක් අඩු වෙනවා නම් අපට ඒ වැටුප හොඳටම ඇති.” යනුවෙන් ඩි. කලෙයිචෙල්වි සහ ඩබ්ලිව්.ජේ. සුමනාවතී පැවසූහ.

රංජිත් රාජපක්ෂ - හැටන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division