අමෙරිකානු විනෝදාස්වාද කර්මාන්තයේ කේන්ද්‍රස්ථානය මෙන්ම එක්සත් ජනපදයේ දෙවැනි විශාලතම නගරයද වන ලොස් ඇන්ජලීස් පුරවරය මේ වන විට එහි ඉතිහාසයේ දරුණුතම ළැව් ගින්නෙන් විනාශ වෙමින් පවතී.
ළැව්ගිනි හේතුවෙන් එහි ගොඩනැඟිලි 1,000කට අධික ප්‍රමාණයක් විනාශ වී ඇති අතර, දහස් ගණනකට තම නිවෙස්වලින් පලා යෑමට සිදුව ඇත. මේ අතර අවම වශයෙන් පස්දෙනකු පමණ මියගොස් ඇතැයි අමෙරිකානු බලධාරීහු පවසති. ජනප්‍රිය ප්‍රහසන නළුවකු වූ විල් රොජර්ස්ගේ නිවෙස ඇතුළු බොහෝ ඓතිහාසික ගොඩනැඟිලි රැසක්ද පලිසේඩ්ස් ගින්නෙන් විනාශ විය. මේ අතර, සැන්ටා ඇනා සුළි කුණාටුවෙන් පැතිර යන ගිනිදැල් මැඬපැවැත්වීමට ගිනි නිවන භටයන් දැඩි සටනක නිරත වූ අතර, ගෙටි විලා කෞතුකාගාරය වැනි සංස්කෘතික උරුම ද ගින්නට හසු විය.
ළැව්ගිනිවල නිශ්චිත බලපෑම තවමත් ගණනය කොට නැතත්, බීබීසී ප්රවෘත්ති සේවයේ මැට් මැක්ග්‍රාත් විසින් උපුටා දක්වන ලද විශේෂඥයන් පෙන්වා දෙන පරිදි, දේශගුණික විපර්යාස ලොස් ඇන්ජලීස්හි විනාශකාරි ළැව්ගිනි උද්ගත කිරීමෙහිලා සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කර ඇත.
“මේ කලාපයේ ළැව්ගිනි බහුලව සහ ස්වාභාවිකව සිදු වන අතරම, කැලිෆෝනියාව මෑත අවධිය තුළ දීර්ඝ සහ ආන්තික කාලගුණික සංසිද්ධීන්ට මුහුණ පා සිටී. මෑත දශක කිහිපයේ ගෝලීය වශයෙන් සිදු වන මෙවැනි කාලගුණික රටා බොහෝ දුරට දේශගුණික විපර්යාස මඟින් මෙහෙයවනු ලබයි”, ස්වන්සී විශ්වවිද්‍යාලයේ ළැව්ගිනි පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ස්ටෙෆාන් ඩෝර් පවසයි.
දේශගුණය යනු දිගුකාලීන කාලගුණ රටාවන්ය. කාලගුණය එක්වරක සිදු වීමකි. දින දෙකක වැසි කාලගුණයක් විය හැකිය. ඒ අනුව පෙර පැවති සාමාන්‍ය අගයට වඩා වර්ෂාපතනයේ දිගුකාලීන වැඩි වීමක් දේශගුණික විපර්යාස ලෙස හඳුන්වා දිය හැකිය. ලොස් ඇන්ජලීස් ව්‍යසනයට කාලගුණය දායක වූ ආකාරය ආරෝපණය කිරීම පහසුය. කැලිෆෝනියාවේ වසර 20ක කාලයක් පැවති නියඟය වසර දෙකකට පෙර නිමාවට පත් විය. එතැන් පටන් ඇදහැලුණු සුලබ වර්ෂාපතනය පඳුරු සහ හරිත ප්‍රදේශ පැතිර යෑමට ඉවහල් විය. ඉන් පසුව, ඉකුත් මාස කිහිපය අතිශය වියළිසහගත විය. දෙසැම්බරයේ කිසිදු වර්ෂාවක් ඇද නොහැලිණි. සාමාන්‍යයෙන් ජනවාරි මාසයේ මුල වන විට අඟල් හතරක පමණ වර්ෂාපතනයක් ඇදහැලෙන නමුත් මෙවර එය අඟලකට වඩා අඩු විය. එලෙස වැසි ඇදහැලුණේ නම් ළැව්ගිනි අවදානම අඩු වීමට ඉඩ තිබිණි.
සැන්ටා ඇනා සුළං කඳුවැටි හරහා බටහිර දෙසට හමා ආවේ මෙවැනි පසුබිමකය. ඒ සුළං අසාමාන්‍ය ලෙස ජවසම්පන්න සහ උණුසුම් වූ අතර, සාමාන්‍යයෙන් පෙර මඟහැරුණු ස්ථාන හරහා ගමන් කරමින් හාත්පස තවදුරටත් වියළී ගියේය. එහෙත් ගිනි රකුසා මෙතරම් බලගතු කිරීමට මේ වසර මෙතරම් වියළි වී ඇත්තේ කුමක් නිසා ද?
2021 දී, කැලිෆෝනියා සරසවියේ දේශගුණ විද්‍යාඥයකු වන ඩැනියෙල් ස්වේන් විසින් ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකට අනුව, ෆොසිල ඉන්ධන දහනය කිරීම හේතුවෙන් කාබන් ඩයොක්සයිඩ් විශාල වශයෙන් වායුගෝලයට මුදාහැරීම දිගු සහ වඩ වඩාත් වියළි සරත් ඍතු ඇති වීමට හේතුවක් ලෙස පෙන්වා දී ඇත. දිගු වියළි කාලයක් සහිත සරත් ඍතු සහ ශීත ඍතු සැන්ටා ඇනා සුළඟේ අතිච්ඡාදනය වැඩි කරයි. එය ආපදා සඳහා කදිම වට්ටෝරුවකි.
ග්‍රීන්ලන්තය, පැනමා ඇළ සහ තායිවානය ‘අමෙරිකාව පෙරට’ අභියෝගයට මුහුණ දෙයි
රිපබ්ලිකන් පක්ෂ නායක ඩොනල්ඩ් ට්‍රම්ප් ජනවාරි මස 20 දින අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ලෙස වැඩ භාර ගැනීමට සූදානම් වීමත් සමඟ ඔහු ඇතුළු ඔහුගේ කණ්ඩායම වොෂිංටනයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රමුඛතා සහ වඩාත් පුළුල් ජාතික අභිලාෂයන් සපුරා ගැනීමට අදාළ සැලසුම් සකසමින් සිටී. ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතින ලෝක පර්යායක් තුළ ලොව සුපිරි බලවතා ලෙස අමෙරිකා එක්සත් ජනපදය පෙරට ගෙන යෑමේ ‘අමෙරිකාව පෙරට’ යන උපායමාර්ගික සැලසුම යළි පණ ගැන්වීම සඳහා ක්‍රියාත්මක කෙරෙන මේ වැඩපිළිවෙළ තුළ ඛනිජ තෙල්, ස්වාභාවික වායු ඇතුළු ස්වාභාවික සම්පත් අත්පත් කර ගැනීම, වෙළෙඳ සහ නාවික මාර්ගවල ඔබ මොබ ගමන් කිරීමේ අයිතිය සුරක්ෂිත කරගැනීම සහ වොෂිංටනයේ දේශපාලන-යුදමය අාධිපත්යය තවදුරටත් පවත්වාගෙන යෑම යන කාරණා කෙරෙහි විශේෂ අවධානයක් යොමුව ඇති බවක් පෙනේ.
ෆ්ලොරීඩා ප්‍රාන්තයේ මාර්-ඒ-ලාගෝ සිය වතුයායේදී ඉකුත් අඟහරුවාදා පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් අමෙරිකා එක්සත් ජනපද මීළඟ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අයිස්ලන්තය අත්පත් කරගැනීමට ඇති තම අභිලාෂය යළි නොසඟවා ප්‍රකාශ කළේ ය. ඩෙන්මාකයට අයත් එම ස්වයංපාලන භූමි ප්‍රදේශය අල්ලා ගැනීමට යුද බලය හෝ ආර්ථික බලය යොදා ගැනීම බැහැර නොකරන බව ට්‍රම්ප් එහිදී අවධාරණය කළේය. ග්‍රීන්ලන්තය ඈඳා ගැනීම ‘පරම අවශ්‍යතාවක්’ බැව් කියා සිටි ට්‍රම්ප් ‘ඩෙන්මාර්කයට ග්‍රීන්ලන්තය පිළිබඳ කිසිදු අයිතියක් තිබේ ද යන්නවත් එරට ජනතාව නොදනිති. ඔවුන් එය දැන සිටියත්, ඔවුන් එය අත්හළ යුතුයි. මක් නිසාද යත්: ජාතික ආරක්ෂාව සඳහා අපට එය අවශ්‍යයි” යනුවෙන් ප්‍රකාශ කළේය. කැනඩාව අමෙරිකා එක්සත් ජනපදයේ 51 වැනි ප්‍රාන්තය බවට පත් කරගැනීමටත්, පැනමා ඇළේ පාලනය පවරාගැනීමටත් තමාට අවශ්‍ය බව ද ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කළේය.
යුක්රේනයට නායකත්වය දෙන්න යුරෝපා සංගමය සූදානම්
එක්සත් ජනපදය යුක්රේනයට සහාය වීමට තව දුරටත් කැමැත්ත නොදක්වන්නේ නම්, ඒ සඳහා පෙරමුණ ගැනීමට තමා සූදානම් බව යුරෝපා සංගමයේ ඉහළ පෙළේ රාජ්යතාන්ත්රිකයකු වන කාජා කලස් බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය.
ප්‍රංශ පුවත් සේවයට අනුව: ජර්මනියේ රැම්ස්ටයින්හි පැවති යුක්රේන මිත්‍ර පාක්ෂිකයන්ගේ හමුවකට සහභාගි වීමට යන අතරතුර යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී කලස් පැවසුවේ “සෙසු සියලු සාමාජිකයන් මෙන්ම එක්සත් ජනපදය ද යුක්රේනයට අඛණ්ඩව සහාය දීමට සූදානම් බව මම විශ්වාස කරමි.” යනුවෙනි. එහෙත් එක්සත් ජනපදය ඊට කැමැත්තක් නොදක්වන්නේ නම්, යුරෝපා සංගමය ඒ නායකත්වය භාර ගැනීමට සූදානම් බව ඇය අවධාරණය කළාය. සහාය දැක්වීමේදී ‘යුරෝපයට අමෙරිකා එක්සත් ජනපදයේ අඩුව පිරවිය නොහැකි’ බව කලස්ගේ පූර්ව ප්‍රාප්තිකයා වන ජෝසෆ් බොරල් ඉකුත් වසරේදී කියා සිටියේය.
යුක්රේනය සහ ඊට හිතවත් රටවල් එළඹෙන ජනවාරි 20 වැනි දින අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දිවුරුම් දීම කෙරෙහි විමසිල්ලෙන් පසු වනුයේ වොෂින්ටනය ‘කිව් පාලනයට’ අඛණ්ඩව පිටුබලය දෙන්නේද යන්න සොයා බැලීමටය.
නේටෝව සම්බන්ධයෙන් රුසියානුවට ඇති උත්සුකයන් තමාට වැටහෙන බවට ට්‍රම්ප්ගේ සතිය මුලදී කළ ප්‍රකාශය යුක්රේන ආධාරකරුවන් අතර කැලඹීමක් ඇති කළ අතර, ඔහුගේ අනාගත විශේෂ නියෝජිතයා බ්‍රහස්පතින්දා කළ ප්‍රකාශය තරමක අස්වැසිල්ලකට හේතු විය.
ට්‍රම්ප් ‘පුටින්ට හෝ රුසියානුවන්ට කිසිවක් දීමට උත්සාහ නොකරන’ බවත් , ‘යුක්රේනය බේරා ගැනීමට සහ එහි ස්වෛරිභාවය ආරක්ෂා කිරීමට හෙතෙම උත්සාහ කරන’ බවත් කීත් කෙලොග් පැවසීය. තේරී පත් වූ ජනාධිපතිවරයා සිය දිවුරුම් දීමෙන් දින 100ක් ඇතුළත, වසර තුනකට ආසන්න කාලයක් පවතින යුක්රේන-රුසියා යුද ගැටුමට විසඳුමක් සෙවීමට උත්සාහ කරමින් සිටි බව කෙලොග් වැඩිදුරටත් පැවසීය.
ලොව උෂ්ණත්වය අධිකම වසර ලෙස 2024 ඉතිහාසයට එක් වෙයි
පූර්ව කාර්මික යුගයට වඩා ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 ඉක්මවූ පළමු පූර්ණ වසර ලෝකය මේ වන විට අත්විඳ ඇති බව විද්‍යාඥයෝ පවසති. යුරෝපීය සංගමයේ කොපර්නිකස් දේශගුණික විපර්යාස සේවාව විසින් ඉකුත් සිකුරාදා මේ සන්ධිස්ථානය තහවුරු කරන ලද අතර, දේශගුණික අර්බුදය විසින් පෘථිවියේ උෂ්ණත්වය මානවයන් විසින් පෙර අත්නොවිඳි මට්ටමකට තල්ලු කොට ඇතැයි විද්‍යාඥයෝ පවසති. “මේ ගමන් පථය ඇදහිය නොහැකි තරම්ය!” කොපර්නිකස් දේශගුණික විපර්යාස සේවාවේ අධ්යක්ෂ කාර්ලෝ බුවොන්ටෙම්පෝ රොයිටර් පුවත් ඒජන්සියට ප්‍රකාශ කොට ඇත.
2024 වසරේදී පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1850-1900 වකවානුවට වඩා අංශක 1.6කින් ඉහළ ගොස් ඇති අතර, මිනිසුන් මහා පරිමාණයෙන් කාබන් ඩයොක්සයිඩ් විමෝචනය මීට හේතු වී තිබේ.
විජය දිසානායක