Home » දරුණු භූමිකම්පාවකට ගොදුරු වූ ටිබෙටය

දරුණු භූමිකම්පාවකට ගොදුරු වූ ටිබෙටය

by Mahesh Lakehouse
January 11, 2025 12:30 am 0 comment

21 වැනි සියවස, සන්නද්ධ ගැටුම්වලින් පිරුණු අරගලකාරි මාවතකට මෙන්ම ස්වාභාවික ව්‍යසනවලට ද ගොදුරු වී ඇත්තේ පෙර නොවූ විරූ අන්දමිනි. දේශගුණික විපර්යාසය ගෝලීය තලයේ දරුණුතම ගැටලුවක් බවට පත්ව ඇති වකවානුවක පාරිසරික විද්‍යාඥයන් ඉදිරි සියවසේ මානව වර්ගයාගේ පැවැත්ම පිළිබඳ දැඩි අනතුරු ඇඟවීමක් කොට ඇත.

පාරිසරික තත්ත්ව පිළිබඳ මෙවැනි පසුබිමක් පවතිද්දී පසුගිය අඟහරුවාදා චීන දේශසීමාවේ ටිබෙටයට ආසන්න ගම්බද භූමි ප්‍රදේශයක් වූ ෂිගස්තේ (Shigaste) කලාපය ඉතා දරුණු භූකම්පනයට මුහුණ දී ඇත. එය කොතරම් ප්‍රබල ද යත්; රික්ත මාපක 7.1 ට ආසන්න අගයක් ලෙස සටහන් වී තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මේ භූමිකම්පාවෙන් මේ වන විටත් පුද්ගල ජීවිත 126කට වඩා බිලි ගෙන ඇති අතර, 180 දෙනකුට වැඩි ප්‍රමාණයකට දරුණු තුවාල සිදු වී ඇති බව වාර්තා වේ. ගෝලීය පාරිසරික විශේෂඥයන් ටිබෙට් භූ කම්පනය මේ කලාපයේ සිදු වූ බරපතළම අනතුරුදායක භූකම්පන තත්ත්වය ලෙස විස්තර කර ඇත.

ෂිගස්තේ කලාපය, චීනය යටතේ පවතින ටිබෙට් ස්වයංපාලිත ප්‍රදේශයක් වන අතර, ටිබෙට් බෞද්ධාගම සැලකිය යුතු අන්දමින් පූජනීයත්වයට පත් වූ කලාපයකි. පංචෙං ලාමාතුමා වෙනුවෙන් කැප වූ ෂිගස්තේ කලාපය, දෙවැනි වන්නේ දලෙයි ලාමාතුමාට පමණක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එවරස්ට් කන්ද පාමුල ප්‍රදේශයේ චීනය දෙසට වන්නට පිහිටා ඇති ෂිගස්තේ කලාප වැසියන් 800,000කට පමණ වාසස්ථානය සපයා ඇත. අඟහරුවාදා සිදු වූ හදිසි භූමිකම්පාවෙන් මේ ප්‍රදේශයේ නිවාස හා ගොඩනැඟිලි 3,000ක් පමණ විනාශ වී ඇති බව සඳහන් වේ. මේ අතර චීන භූකම්පන ජාල මධ්‍යස්ථානයේ පර්යේෂකයකු පවසා ඇත්තේ තවමත් රික්ත මාපක 5කට පමණ ආසන්න අගයක් සටහන් වන තවත් භූ කම්පනයක් සක්‍රීයව මේ ප්‍රදේශයේ පවතින බවයි.

ලෝකයේ මේ වන විට වාර්තා වන ප්‍රබලතම භූ කම්පනය වාර්තා වී ඇත්තේ 1960 අවුරුද්දේ චිලී Valdivia හි ඒ රික්තමාපකයේ 9.5ක භූකම්පනයකි. විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට 400කට අධික පිරිසක් ඒ භූමිකම්පාවෙන් මරණයට හා තුවාල ලබා අනතුරට පත්ව ඇත. එක්සත් ජනපද භූ විද්‍යාත්මක සමීක්ෂණ විශ්ලේෂකයන්ට අනුව එය කොතරම් ප්‍රබලද වී ද යත්, සැපයුම් 50ක් පමණ වපසරියකින් යුතු ප්‍රදේශයක අඩි 5.2ක පමණ ගැඹුරු අාගාධයක් නිර්මාණය වී තිබූ බවද සොයාගෙන ඇති බව විස්තර වේ. ජීවිතාරක්ෂක කණ්ඩායම් ඉතා කාර්යක්ෂමතාවෙන් යුතුව විපතට පත් වූවන් මුදාගැනීමේ කාර්යයේ නියුක්තව ඇති බව විදෙස් මාධ්‍ය දිගින් දිගටම වාර්තා කරයි. නේපාල-ටිබෙට් දේශසීමාවටද මෙම භූමිකම්පාවේ බලපෑමක් එල්ල වී ඇති බව වාර්තා වන අතර, එවරස්ට් කන්ද ආසන්නයේ විදුහලක් ද භූමිකම්පනයෙන් විනාශ වී ඇති නමුදු ඒ අවස්ථාවේ පාසලේ කිසිවකු නොසිටීම භාග්‍යයක් වී ඇත.

ටිබෙට් භූකම්පනයෙන් විපතට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම්වලට එම නිලධාරින් 14,000කට අධික ප්‍රමාණයක් යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මේ කලාපයට භූමිකම්පා පොදු තත්ත්වයක් වුවද අඟහරුවාදා ඇති වූ භූකම්පනය මෑතකාලීනව මෙම කලාපයේ ඇති වූ මාරාන්තිකම භූමි කම්පාව ලෙස ගෝලීය භූ විද්‍යාඥයන් පෙන්වා දී ඇත.

මේ වන විට ටිබෙටයේ අන්තර්ජාල පහසුකම් මුළුමනින්ම සීමා කර ඇති අතර බෙයිජිංවලින් එය දැඩිවම පාලනකට හසු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කරන ආකාරයට එම කලාපයේ නැවත පුද්ගලයන් 30,000ක් පමණ ස්ථානගත කර ඇති අතර, ඔවුන්ට අවශ්‍ය ජලය, විදුලිය පහසුකම් ලබා දීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පී. ආර්. දුෂාන්ති සිල්වා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division