කිනිගම ආරච්චිගේ කුසුමාවතී 74 හැවිරිදි කාන්තාවකි. ඇගේ පදිංචිය පල්මඩ කන්දේය. සැමියා මියගියේ කලකට ඉහතදීය. සැමියාගේ බාල මල්ලිගේ රැකවරණය මේ පවුලට ලැබුණේ ඉන් අනතුරුවය. තම දරුවන්ට රැකවරණය ලබා දුන් ‘බාල මස්සිනා’ කුසුමාගේ වැඩිමල් දියණියට වඩා වසර හතරකින් පමණ වැඩි අයෙක් විය.
කුසුමාගේ ‘බාල මස්සිනා’ වෘත්තියෙන් කම්මල්කරුවෙකි. ඔහුගේ කම්මල පිහිටියේ කල්එළිය ගල්අමුණ හන්දියේය. ඔහු නමින් එන්.එන්.කේ.ඒ. නිමල් ගුණරත්න 58 හැවිරිදිය. හෙතෙම ඒ වෘත්තියේ මනා දක්ෂතාවයෙන් හෙබි චරිතයක් විය. අසල්වාසීන්ට අවශ්‍ය වූයේ පිහියක් කැත්තක් නම් ඒ සඳහා පිහිට වූයේ නිමල් බාසුන්නැහැමය. ඔහු අවිවාහකයෙකි.
නෑනණ්ඩිය සහ දරුවන් බලා කියාගෙන සිටි නිමල් කිසියම් හේතුවක් මත කම්මලේම නතර වූයේ කලකට ඉහතදීය. මේ වන විට අයියාගේ දියණියක්වූ පනස් හතර හැවිරිදි එන්.එන්.කේ.ඒ. පුෂ්පා චාන්දනී ගඩලාදෙණිය උඩගම්මැද්දවත්ත ප්‍රදේශයේ පුද්ගලයකු සමඟ විවාහවී එහි පදිංචියට ගියාය. ඇයට දරුවෝ දෙදෙනෙකි.
පල්මඩ ප්‍රදේශයේ පදිංචි ඇය විවාහයෙන් පසු ගඩලාදෙණියේ පදිංචියට ගියාය. වසරකට පමණ ඉහත දී ඇය ඇඟලුම් රැකියාවකට යෑම සඳහා පැමිණ හාපිටිගම කුලී නිවසක පදිංචි වූවාය. ඇගේ පියාගේ මල්ලි වන බාප්පාද ඇගේ කුලී නිවසට යමින් එමින් කාලය ගත කරන්නට වූයේ මේ අතරය.
පුෂ්පා ඉකුත් 19 දා පුරුෂයා සහ දරුවා බැලීමට ගොස් පස්වරුවේ යළි කුලී නිවසට පැමිණියාය. ඇය නිවසට ආවේ බලාපොරොත්තු රැසක් ද ඇතිවය. ඇගේ පැමිණීම සැලවූ වහාම බාප්පාද නිවසට ආවේය. ඇගේ කාමරයේ තිබූ පිරිමි සහ ගැහැනු යට ඇඳුම් කිහිපයක් සම්බන්ධයෙන් දෙදෙනා අතර කිසියම් කතාබහක් ඇතිවූයේ ඉන් පසුවය. තමන්ගේ බඩුමුට්ටුද රැගෙන තමන් සැමියාගේ ගමට යන බව ඇය බාප්පාට කිවුවාය. බඩුමුට්ටු ගෙන යාමට කුලියාපිටියෙන් ලොරියක් එන බවද මෙහිදී පැවසිණි. එයින්ද බාප්පා කිපුණේය. නුවර යන ගමනට කුලියාපිටියෙන් ලොරියක් ගෙන ඒම පිටුපස කිසියම් වෙනත් සැඟවුණු අරමුණක් ඇති බව බාප්පාට වැටහිණි.
මේ හේතු නිසා දෙදෙනා අතර ඇති වූයේ බහින්බස් වීමකි. 19 දා රාත්‍රී ඇතිවූ මේ කතාබහ පසුදා අලුයම වෙද්දීත් පැවති නිසා අල්ලපු නිවසේ පදිංචි දිනේෂ් නමැති පුද්ගලයා ද සිටියේ කල්පනාවෙනි. බාප්පා සමඟ මෙම බහින්බස් වීම අතරවාරයේ පුෂ්පා කැපුම් කෙටුම් තුවාල ලැබුවාය. පිහි ප්‍රහාරය එල්ල කළ බාප්පා ඇඳ සිටි ඇඳුම් ගලවා දමා නා පිරිසිදුවී පිටත්ව යද්දී දිනේෂ් මේ සිද්ධිය පුෂ්පාගේ අම්මාට දැනුම් දීමට කටයුතු කළේය.
දියණිය කපාකොටා දැමූ ‘බාප්පා’ නිවසින් පිටව ගියේ ඔහුගේ යතුරුපැදිය ඇගේ නිවසේ නවතා තිබියදීමය. දියණිය කිසියම් කරදරයක බවට ලැබුණු පණිවිඩය අනුව එහි දිව ආ මව කුසුමාවතී සුවසැරිය ගිලන් රියකින් දියණිය ඇඳ ඉහපත් අංක 19854 යටතේ මීරිගම මූලික රෝහලට යැවීමට පියවර ගත්නේ දාරක ප්‍රේමය ඉස්මතු වූ නිසය. ඇගේ තත්ත්වය බරපතළ වූයෙන් අලුයම 3.55ට තුවාලකාරිය කොළඹ ජාතික රෝහලට මාරු කැරිණි. එහිදී ඇය දිවි සැරිය නිම කළේ සිතේ තිබූ දහසක් බලාපොරොත්තු ඉටුකර ගත නොහැකිවය.
දියණිය කපාකොටා දැමූ ‘පාපතර බාප්පා’ කොළඹ – මහනුවර මාර්ගයේ බටලීය ඉන්ධන පිරවුම් හල අසලට ගියේ කිසිම අදහසක් නැතිවය. අනතුරුව කොළඹ දෙසට ආවේ මාතර බලා යන බසයකි. ඔහු ඊට ගොඩවී මාතර යාමට ටිකට්පතක් ද ලබා ගත්තේ කිසිවකුට සැක නොසිතෙන පරිදිය. මාතර ගිය ඔහු පසුදා පොලොන්නරුව බලා ගියේය. ඉන්ද නොනැවතුණු ‘බාප්පා’ බදුල්ලට ගියේද බස් රියෙනි.
සිද්ධිය සැලවූ වහාම පල්ලෙවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් ශ්‍රී රාජපක්ෂගේ මෙහෙයවීම යටතේ පරීක්ෂණ ආරම්භ විය.
අත්තනගල්ල මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න සිද්ධිය වූ ස්ථානයේ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීය. මරණ පරීක්ෂණය කොළඹ ජාතික රෝහලේදී පවත්වා දේහය ඥාතීන්ට භාර දීමට නියෝග කරන ලද්දේ ඉන් අනතුරුවය. ගෙල සහ දකුණු අතට සිදුවූ කැපුම් තුවාල නිසා සිදුවූ අධික ලේ වහනය හේතුවෙන් පුෂ්පාගේ මරණය සිදුව ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වූයේය. පසු දින පස්වරුවේ ඇගේ දේහය බාර කෙරුණේ පුෂ්පාගේ සැමියාටය. ඒ අනුව පුෂ්පාගේ දේහය සැමියා සිය නිවසට ගෙන ගොස් වතාවත් පවත්වා අවසන් කටයුතු කරනු ලැබීය.
බදුල්ලට ගිය බාප්පා දුම්රියෙන් පොල්ගහවෙලට පැමිණ සහෝදරයකු හමුවිය. අනතුරුව ඔහු පසුගිය 22 දා දහවල් පල්ලෙවෙල පොලිසියට පැමිණියේය. අයියාගේ දියණියගේ මරණයට සැකපිට බාප්පා පොලිස් අත්අඩංගුවට පත්විය.
ඉකුත් 19 දා රාත්‍රියේ දෙදෙනා අතර බහින්බස් වීමක් සිදුවූ බව සැකකරු අනාවරණය කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමෙන් පසු මරණකාරියට කෙටූ බව කියන පිහිය සහ සැකකරු ඇඳ සිටි ඇඳුම් කොහිල කොටුවක සඟවා තිබියදී සොයා ගැනීමට පොලිසියට හැකිවිය.
ගඩලාදෙණිය, උඩගම්මැද්දවත්ත ස්ථිර පදිංචිකාරියක වූ 54 හැවිරිදි එන්.එන්.කේ.ඒ. පුෂ්පා චාන්දනීගේ ඝාතනය සම්බන්ධයෙන් මෙසේ අත්අඩංගුවට ගෙන අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු එන්.එන්.කේ.ඒ. නිමල් ගුණරත්න නමැති 58 හැවිරිදි අවිවාහකයා රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.
පල්ලෙවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් ශ්‍රී රාජපක්ෂගේ මෙහෙයවිම යටතේ පරීක්ෂණ පැවැත්වේ.
එම්. පුෂ්පකුමාර- කොටදෙණියාව සමූහ