Home » ත්‍රීවීල් කොල්ලකන වරකාපොළ ‘ඩබල’

ත්‍රීවීල් කොල්ලකන වරකාපොළ ‘ඩබල’

by thanushika
January 11, 2025 12:30 am 0 comment

වරකාපොළ පොලිස් බලප්‍රදේශයේ ත්‍රිරෝද රථයක් සොරකම් කිරීම සහ තවත් ත්‍රිරෝද රථයක් මංකොල්ල කෑමක් සම්බන්ධයෙන් පොලිසියට අදාළ ත්‍රිරෝද රථ හිමියන් විසින් මීට මාස දෙකකට පමණ ඉහතදී පැමිණිලි ඉදිරිපත්කර තිබිණි. මෙම පැමිණිලි සම්බන්ධයෙන් වාර්තාවක් වරකාපොළ පොලිසිය මඟින් කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ද යොමුකර තිබිණි.

වරකාපොළ පොලිසිය සහ කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් ද මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කරන්නේ ඉන් අනතුරුවය.

වරකාපොළ, උඩුවක මාර්ගයේ ඇත්නාවල ප්‍රදේශයේ නි‍ෙවසක පදිංචිව සිටින 59 හැවිරිදි පුද්ගලයෙකුට අයත් රුපියල් ලක්ෂ හයහමාරක් වටිනා ත්‍රිරෝද රථයක් ඉකුත් ඔක්තෝබර් මස 21 වැනිදා රාත්‍රී නි‍ෙවසේ ගේට්ටුව කඩා බිඳ දමා ඇතුළට පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් විසින් ගෙහිමියා බලා සිටියදීම කොල්ලකා රැගෙන ගොස් තිබිණි. ගෙහිමියා කොල්ලකරුවන්ට එල්ල කරන ලද විදුලි පන්දමෙන් එක් සැකකරුවෙක් එහිදී හඳුනාගෙන තිබුණි. පසුව ගෙහිමියා විසින් පසුදා එනම් ඔක්තෝබර් 22 වැනිදා වරකාපොළ පොලිසියට ත්‍රිරෝද රථය ⁣පැහැරගෙන යාම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

යළි ඔක්තෝබර් මස 23 වැනිදා ද වරකාපොළ – අඹේපුස්ස ඔස්සේ කුරුණෑගල මාර්ගයේ තුල්හිරිය, මංගෙදර ප්‍රදේශයේ ත්‍රිරෝද රථ ගාලක ගාල්කර තිබුණු ත්‍රිරෝද රථයක් වරකාපොළ, අල්ගම ඇල්ල නැරඹීමට යාමට අවශ්‍ය බව පවසා දෙදෙනෙකු විසින් රැගෙන ගොස් අල්ගම ඇල්ල ආසන්නයේදී ත්‍රිරෝද රථ හිමිකරුට අතින් පයින් පොලුවලින් පහර දී ත්‍රිරෝද රථයෙන් එළියට ඇද දමා රුපියල් ලක්ෂ දහහතරහමාරක් වටිනා එම ත්‍රිරෝද රථය ද පැහැරගෙන ගොස් තිබිණි. පසුව ත්‍රිරෝද රථ හිමිකරු විසින් එදිනම සිද්ධිය සම්බන්ධයෙන් වරකාපොළ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

මෙම පැමිණිලි දෙක සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම අවශ්‍ය බව දන්වා වරකාපොළ පොලිසිය මඟින් මේ සම්බන්ධ තොරතුරු කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට යොමුකර තිබිණි.

කෑගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි වයි. එල්. ලීලවංශගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂිකා අප්සරා ක්‍රිෂාන්ති අබේසේකර, සැරයන්වරුන් වන රොෂාන් (69319), බණ්ඩාර (75291), කොස්තාපල්වරුන් වන උපුල් (78543), ගිහාන් සමරනායක (85316), කසුන් (91060) යන නිලධාරින් කණ්ඩායම දුරකතන අංක ඔස්සේ දීර්ඝ ලෙස සිදු කරන ලද විමර්ශනයකදී මෙම ත්‍රිරෝද රථ දෙක සම්බන්ධයෙන් තොරතුරක් අනාවරණය කරගෙන තිබිණි. ඒ අනුව එම ත්‍රිරෝද රථ දෙක ගම්පහ, මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ නි‍ෙවසක සඟවා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබුණි.

ඒ අනුව කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂිකා අප්සරා ක්‍රිෂාන්ති අබේසේකර ඇතුළු නිලධාරින් කණ්ඩායම ඉකුත්දා ගම්පහ, මල්වතුහිරිපිටිය ප්‍රදේශයට ගොස් එහි නි‍ෙවසක සඟවා තිබුණු ත්‍රිරෝද රථ දෙක සහ ගෙහිමියා වන 43 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නා ලදී. ඔහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් මත එම නි‍ෙවසේ ලියකියවිලි සහ අයිතිකරුවන් නොමැති තවත් ත්‍රිරෝද රථ 4ක් සමඟ ත්‍රීරෝද රථ 6ක් අත් අඩංගුවට ගැනිණි. පසුව අත්අඩංගුවට ගත් සැකකරු⁣ට ත්‍රීරෝද රථ දෙක කොල්ලකා ගෙනත් දී ඇතැයි කියන වරකාපොළ, තුල්හිරිය ප්‍රදේශයේ 38 හැවිරිදි සැකකරුවෙක් ද පසුව සැකපිට අත්අඩංගුවට ගන්නා ලදි.

අත්අඩංගුවට ගෙන තිබුණු වරකාපොළ, තුල්හිරිය ප්‍රදේශයේ පදිංචි සැකකරු ත්‍රිරෝද රථ සොරකම් කර රුපියල් 50,000ට සහ 75,000ට මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ සැකකරුට අලෙවිකර ඔහු එම ත්‍රිරෝද රථ සම්පූර්ණයෙන්ම කොටස් ගලවා චැසි අංකය වෙනස්කර නවීන පන්නයට ත්‍රිරෝද රථ නිෂ්පාදනය කර ලියාපදිංචි අංකයක් යොදා ව්‍යාජ ලියකියවිලි සකස්කොට ඉහළ මිලකට අලෙවි කරන බව පොලිසිය පැවසීය.

මෙම ජාවාරම කාලයක සිට සිදු කරගෙන ගොස් ඇති බවත් අත්අඩංගුවට ගෙන ඇති සෙසු ත්‍රිරෝද රථ ද එවැනි ආකාරයටම කොල්ලකන ලද බවට පොලිසිය තහවුරු කරගෙන ඇති අතර එම ත්‍රිරෝද රථවල හිමිකරුවන් ද මේ වන විට සොයාගෙන ඇති බවත් පොලිසිය පැවසීය. ඔවුන් කුරුණෑගල, රුවන්වැල්ල, කොළඹ, ගලපිටමඩ ප්‍රදේශවල පුද්ගලයන් බවට කරුණු අනාවරණය කරගෙන ඇති අතර එම පුද්ගලයින් මේ වන විට දැනුම්වත් කර ඇති බවත් පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා තුල්හිරිය මහේස්ත්‍රාත් ලුෂාකා කුමාරි ධර්මකීර්ති වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව හඳුනාගෙන ගැනීමේ පෙරෙට්ටුවක් ද පවත්වන ලෙස මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය. එහිදී ඇත්නාවල පදිංචිව සිටින 59 හැවිරිදි පැමිණිලිකරු විසින් ත්‍රිරෝද රථය සොරකම් කරන ලද සැකකරු හඳුනාගෙන තිබුණු අතර පසුව සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ත්‍රිරෝද රථ සොරකම් කිරීමට සහභාගී වී ඇති සෙසු සැකකරු ද මේ වන විට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර දැනට රක්ෂිත බන්ධනාගාරගතකර ඇති බවත් පොලිසිය පැවසීය.

චමින්ද ජයලත් - කෑගල්ල විශේෂ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division