ශ්‍රී ලාංකේය සිනමාවට ජනවාරි 21 වැනිදාට වසර හැත්තෑඅටක් සහ ජාතික චිත්‍රපටි සංස්ථාවට වසර පනස්තුනක් සපිරීම නිමිත්තෙන් ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කෙරේ.
මෙරට ප්‍රථම කතානාද චිත්‍රපටය ලෙස 1948 ජනවාරි 21 වැනිදා ‘කඩවුණු පොරොන්දුව’ප්‍රදර්ශනය කෙරුණු අතර, එය චිත්රකලා මුවිටෝන් වෙනුවෙන් එම්.එස්. නායගම්ගේ නිෂ්පාදනයක් විය. එහි අධ්යක්ෂවරයා වූයේ ජෝතිශ් සිං නම් ඉන්දියානුවෙකි. මෙම චිත්‍රපටය එකල මිනර්වා නාට්‍ය සමාගම ලෙසින් ප්‍රකට බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ ජනප්‍රිය වේදිකා නාට්‍යයක් ඇසුරෙන් නිර්මාණය වූවකි. ඉන්දියාවට ගොස් සම්පූර්ණයෙන් ම ඉන්දියානු චිත්‍රාගාරයක නිපද වූ ‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටයේ රුක්මණී දේවි, බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න, එඩී ජයමාන්න, හියුගෝ ප්‍රනාන්දු, ස්ටැන්ලි මල්ලවාරච්චි, පීටර් පීරිස්, බර්ට්‍රම් ප්‍රනාන්දු, ජෙමිණි කාන්තා ප්රමුඛ නළුනිළි රැසක් රංගනයෙන් දායක විය. එදා සිට ප්‍රදර්ශනය කෙරුණු මුල්කාලීන චිත්‍රපට ඉන්දියානු ආකෘතියෙන් තැනුණු ඒවා විය. මේ කාලයේදී සිනමා සමාගම් තුනක් ස්ථාපිතව පැවති අතර, කමක්රමයෙන් සිනමාව ඔවුන්ට නතු විය. ඒ ගුණරත්නම් පවුලට අයත් සිනමාස් සමාගම, ගාඩ්නර් පවුලට අයත් සිලොන් තියටර්ස් සමාගම සහ කාදර් පවුලට අයත් සිනමා එනටර්ටේයින්මන්ට් සමාගමට ය.
නවසිය හැත්තෑ දෙක වසරේ රාජ්‍ය චිත්‍රපට සංස්ථාව ආරම්භ වනතෙක්, ඒ අතර කාලය තුළ සිනමා කර්මාන්න්තයේ ස්ථාවර වූ මෙම සමාගම් කිහිපය ඉන්දියානු චිත්‍රපට ගෙන්වීමෙන් විශාල මුදලක් උපයාගත් අතර, මෙරට තුළ ජනප්‍රිය සිනමා සංස්කෘතියක් බිහි කිරීමට ඔවුන් දායක විය. සිනමාවේ මෙම අවධිය වූ කලී ජාතික රාජ්‍ය කර්මාන්ත නියාමනය සඳහා මැදිහත් වීමට ප්‍රථමව බිහි වූ ප්‍රාථමික විවෘත්ත වෙළඳපළ මාදිලියක් විය. පසුව මෙම වෙළඳ සමාගම් තුනේ ඒකාධිකාරයට බලපෑම් සහගත ලෙස මුහුණ දීමට හැටේ දශකය වන විට විවිධ පාර්ශ්වයන් සක්‍රීය ලෙස මැදිහත් විය. සිනමාවට කිසියම් දේශීය මුහුණුවරක් ලැබුණේ නම් ඒ 1950 දශකයෙන් පසුව බව කව හැකිය. ඊට දේශීය ආයෝජකයන්ගේ සිනමා ආගමනය කිසියම් දුරකට බලපා තිබුණි.
නවසිය හැත්තෑව දශකය ආරම්භයේ දී සමගි පෙරමුණු ආණ්ඩුව විසින් සිනමා කර්මාන්තය රාජ්‍ය සුභසාධන ආකෘතිය තුළ ස්ථාපිත කළේය. ඒ අනුව 1971 අංක 45 දරණ පනතින් රාජ්‍ය චිත්‍රපට සංස්ථාව ස්ථාපිත කරන ලද අතර එහි ප්‍රථම සභාපතිවරයා ලෙස පත් වූ යේ ඩී.බී නිහාල්සිංහය. 1972 සිට 1977 දක්වා කාලය ලංකාවේ සිනමා කර්මාන්තයට අදාළ ඉතා තීරණාත්මක රෙගුලාසි බොහොමයක් හඳුන්වාදුන් කාලයකි. මෙමඟින් චිත්රපටකරණයට අදාළ කොන්දේසි ගණනාවක ස්ථාපිත වූ අතර, සංවෘත චිත්‍රපට කර්මාන්තය සශ්‍රීකව පවත්වාගෙන යාමේ අපේක්ෂාව පෙරදැරිව චිත්‍රපට බෙදාහැරීම සහ ආනයනය මුල්කරගෙන රෙගුලාසි බොහොමයක් සැකසුනු අතර, දේශීය චිත්‍රපට සඳහා සීයට හැටපහක තිර කාලයක් වෙන් කෙරිණි. විදෙස් චිත්‍රපට ආනයනයට සීමා පැනවිණ. මෙම කාල පරිච්ඡේදය ඇතැමුන් හඳුන්වන්නේ සිනමාවේ ස්වර්ණමය යුගය ලෙසය.
එලෙස කතානාද චිත්‍රපටිවලින් ඇරඹි ශ්‍රී ලාංකේය සිනමාවට ජනවාරි 21 වැනිදාට වසර හැත්තෑඅටක් සහ ජාතික චිත්‍රපටි සංස්ථාවට වසර පනස්තුනක් සපිරීම නිමිත්තෙන් ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට මේවනවිට සියලු කටයුතු සූදානම්ව තිබේ.
ඒ අනුව බහු සංස්කෘතික සිනමා උළෙල 2025 .01 .14 දින සිට 2025. 01.19 දින දක්වා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වේ.
එසේම එහි තවත් අදියරයක් දළුගම සරසවි චිත්‍රාගාරයේදී 2025.01. 27 දින සිට 2025.01 .29 දක්වා පැවැත්වීමට සියලු කටයුතු සංවිධාන කර ඇත.
2025 ජනවාරි 21 වැනිදා සවස 3 ට විෂයභාර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සංවත්සර උත්සවය තරංගනී ශාලාවේදී පැවැත්වීමට නියමිත අතර එම උත්සවය ආරාධිතයන්ට පමණක් සීමාවන බව සංවිධායකයින් පවසයි.
රසික කොටුදුරගේ