කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ නීතිවේදී ගෞරව උපාධි පරීක්ෂණයේ 2024/25 වර්ෂයේ පාරිසරික නීතිය සහ ප්‍රතිපත්තිය (Environmental Law and Policy) විශයට නියමිත ඇගයීමක් ලෙස පරිසර නීතිය හා පාරිසරික ගැටලු සම්බන්ධයෙන් බලපාන නීති තත්ත්වයන් පිළිබද ව මහජනතාව සහ බලපෑම් සහගත පාර්ශව දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීමට නියමිතය.
එහි අරමුණ වන්නේ පරිසර ආරක්ෂාව සහ පවත්නා පාරිසරික ගැටලු පිළිබඳ මහජනතාවගේ අවධානය යොමු කිරීමයෙ. ඒ හා සමගාමීව කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ දෙවන වසර විද්‍යාර්ථ කණ්ඩායමක් වන “Echoes of Nature” විසින් කලපු සංරක්ෂණය සහ ඒ ආශ්‍රිතව පවතින ගැටලු විශේෂ වශයෙන් අවධානයට ගත් අතර ඒ සඳහා මීගමුව කලපුව තෝරා ගනු ලැබීය.
මෙහිදී මෙම විද්‍යාර්ථ කණ්ඩායම විසින් 2024 දෙසැම්බර් මස 17වැනිදා, මීගමුව සිරිවර්ධන පෙදෙසේ පදිංචි කලපු ධීවර ප්‍රජාව සමඟ සාකච්ඡා කිරීමේ අරමුණින් ගෙයින් ගෙට ගොස් ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරමින් තොරතුරු එක්රැස් කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කළේය. එමගින් මීගමුව කලපුව ආශ්‍රිතව පවතින ප්‍රධාන ගැටලු හඳුනා ගැනීම සහ ඒවා ගැන ප්‍රජාවේ දෘෂ්ටිකෝණය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබිණි. එමෙන්ම කලපුවේ නිරීක්ෂණ චාරිකාවක් ද සිදු කරමින් කලපු පරිසරයට හානිකරව පවතින ක්‍රියාකාරකම් පිළිබඳවද හදුනා ගැනීමට හැකිව ඇත.
පසුව, එලෙස කලපුව හා ආශ්‍රිතව පවතින හඳුනා ගත් ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා 2025 ජනවාරි 08 වන දින මීගමුව ධීවර කාර්යාලයේදී “මීගමුවේ හුස්ම” නමින් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්විණි.
මෙම අවස්ථාවේදී, කලපුව ආශ්‍රිතව පවතින මූලික පරිසර ගැටලු සහ ඒවා නිරාකරණය සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව විද්‍යාර්ථ කණ්ඩායම විසින් ධීවර ප්‍රජාවට පැහැදිලි කරනු ලැබිනි. මෙහිදී විශේෂයෙන්ම,
කලපු සංරක්ෂණය සඳහා පවතින ජාතික හා ජාත්‍යන්තර නීතිමය තත්ත්වයන් මෙන්ම කලපු ධීවර ප්‍රජාව ලෙස ඔවුන්ගේ වගකීම් සහ සංරක්ෂණ කටයුතුවලදී ඔවුන්ට ඉටුකළ හැකි භූමිකා පිළිබඳව අවධානය යොමු කළේය.
එමෙන්ම, පවතින පරිසර නීති පිළිබඳ වගකීම් සහ නව ක්‍රියාමාර්ග පිළිබඳව අන්තර්ගත කල අත්පත්‍රිකා බෙදාදීමත්, ඔවුන්ගේ ප්‍රශ්න සහ අදහස් මෙන්ම යෝජනා ලබා ගැනීමද සිදු කරනු ලැබිණි. මෙහිදී මෙම දැනුවත් කිරීමේ වැඩසටහන හා මීගමුව ධීවර දිස්ත්‍රික්කයේ සහකාර අධ්‍යක්ෂක ටී.එම්.ඩී.ටී.පීරිස් මහතා, වෙරළ සංරක්ෂණ හා සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ මීගමුව ප්‍රාදේශීය කාර්යාලයේ සංවර්ධන නිලධාරීනී ඩබ්ලිව්.එච්.මල්කාන්ති මහත්මිය සහ සිරිවර්ධන පෙදෙසේ කලපු ධීවර සමිති සභාපති එම්.ඒ.බී.ආර්.එස්.අප්පුහාමි මහතාද සහභාගි වූ අතර ඔවුන්ද කලපුව හා ආශ්‍රිතව පවතින ගැටලු පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක නිරත විය.
මෙහිදී, ඉහත වැඩසටහන මගින්, මීගමුව කලපුව ආශ්‍රිතව පවතින පරිසර ගැටලු හඳුනා ගැනීමේ හා ඒවා නිරාකරණය කිරීමේ දී මහජන සහභාගීත්වය වැඩි දියුණු කිරීමටත්, පාරිසරික සංරක්ෂණය පිළිබඳ අධ්‍යාපනය සහ දැනුවත් කිරීමේ වැදගත්කම අවධාරණය කිරීමටත් අවස්ථාව සැලසුණි. එමෙන්ම, මෙම ගැටලු සඳහා නීතිමය, තාක්ෂණික, සහ සංවිධානමය විසඳුම් ලබා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට පහසු අවස්ථාවන් සකස් කළ අතර, මෙය මීගමුව කලපුවේ පරිසරය හා ආශ්රිත ප්‍රජාවන් සඳහා ස්ථායී අනාගතයකට නව මඟ පෙන්වන්නකි.