රට වටා පිහිටි මුහුදු තීරයේ ආරක්ෂාව භාරව පවතින්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව සතුවය. එලෙස පිහිටි මුහුදු තීරය නිසා මෙරටට ලැබෙන අලංකාරය ඉහළ යද්දී එතුළින් රට ඇතුළට එන මත්ද්‍රව්‍ය ඇතුළු නීතිවිරෝධි දේවල ද අඩුවක් නම් නැත. විශේෂයෙන් ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය බෙදාහරින මාර්ගවලින් ප්‍රධානම මාර්ගයක් වන මුහුදු මාර්ගයේ පිහිටි රටක් හෙයින් ඒ තත්ත්වය තව තවත් තීව්‍ර වී තිබේ.
කෙසේ හෝ රට ඇතුළට මත්ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් නීතිවිරෝධි දේ පැමිණීමට එරෙහිව දිවා රෑ වෙහෙසෙන ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරින් ගිය වසර තුළ වෙරළාරක්ෂාව තර කරමින් ඉමහත් කාර්යභාරයක් සිදුකර ඇති බව පෙනෙන්නේ නාවික හමුදා දත්තවලිනි. ඉන් අනාවරණය වන පරිදි එලෙස අත්අඩංගුවට ගෙන ඇති දේශීය සහ විදේශීය පුද්ගලයන් ඇතුළු මත්ද්‍රව්‍ය, ගංජා, මත්පෙති, නීතිවිරෝධි දුම්වැටි සහ මදනමෝදක ප්‍රමාණයන් ඉතා විශාලය.
ඊට අමතරව රජයට බදු නොගෙවමින් නීතිවිරෝධි ලෙස මුහුදු මාර්ග ඔස්සේ රට ඇතුළට ගෙන ඒමට තැත් කළ රත්රන් මෙන්ම මෙරටින් පිටමං කිරීමට තැත් කළ ගජමුතු වැනි දෑ ද විශාල ප්‍රමාණයක් නාවික හමුදාව ගිය වසර තුළදී අත්අඩංගුවට ගෙන තිබුණේ සැකකරුවන් රැසක් ද සමඟිනි.
තවද බීඩි කොළ, වියළි කහ, ඉඟුරු, කෘෂි රසායනික දියර වර්ග සහ රූපලාවණ්‍ය නිෂ්පාදන වර්ග ද රට ඇතුළට නීතිවිරෝධීව ගෙන ඒමට සහ ගෙන යාමට තැත් කළ සැකකරුවන් විශාල සංඛ්‍යාවක්ද ගිය වසරේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවික හමුදාව කරන කාර්යභාරය ගැන ජනතාවගේ ද විශ්වාසය තහවුරු කරමිනි.
ඉන්දීය නාවික හමුදාව සහ මෙරට නාවික හමුදාව එක්ව බුද්ධි තොරතුරු හුවමාරුවක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ධජය සහිතව අරාබි මුහුදේ ගමන් කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රා දෙකක් ඉන්දීය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදි. ඒ ඉකුත් නොවැම්බර් 24 සහ 25 යන දිනයන්හි සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීය.
එහිදී එම යාත්‍රාවල තිබී රසායනික විෂ මත්ද්‍රව්‍යයක් වන වර්තමානයේ තරුණයන් දැඩි සේ ඇබ්බැහි වී ඇති ක්‍රිස්ටල් මෙතැම්පිටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 355යි ග්‍රෑම් 828ක් එහි තිබී සොයා ගැනීමට හැකිවිය. ඉකුත් 2 වැනිදා එම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගජබාහු නෞකාව මඟින් කොළඹ වරායට රැගෙන එන ලදි.
මේ මත්ද්‍රව්‍යවල දළ වීදී වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 3380ක් පමණ බව සඳහන් වේ. එම මත්ද්‍රව්‍ය තොගය සමඟ එම බහුදින යාත්‍රා දෙකේ සිටි සැකකරුවන් 11 දෙනෙකු ද ඉන්දීය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. එම මත්ද්‍රව්‍ය තොගය සහ අත්අඩංගුවට ගත් සැකකරුවන් 11 දෙනා ඉන්දීය නාවික හමුදාව විසින් ඉකුත් නොවැම්බර් 29 දා ශ්‍රී ලංකා නාවික හමුදාවට භාර දීමෙන් පසු ගජබාහු නෞකාවෙන් මෙරටට රැගෙන ඒම සිදු විය.
ඒ ආකාරයෙන් නාවික හමුදාව ගිය වසර ඇතුළත මහමුහුද සහ වෙරළාශ්‍රිතව සිදුකළ මෙහෙයුම් තුළින් මත්ද්‍රව්‍ය, මත්පෙති, අනවසර භාණ්ඩ ජාවාරම් සහ අනවසර සංක්‍රමණ ඇතුළු නීතිවිරෝධී කටයුතු සිදුකළ දේශීය සහ විදේශීය පුද්ගලයන් 407ක් සමඟ රුපියල් මිලියන 28158කට අධික දළ වීදි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සහ මත්පෙති අත්අඩංගුවට ගැනීමට සමත් විය.
ඒ අනුව ගිය වසර ඇතුළතදී නාවික හමුදාව, ඉන්දිය නාවික හමුදාව සහ මාලදිවයින් වෙරළාරක්ෂක බළකාය සමඟ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුම් මඟින් රුපියල් මිලියන 15554කට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 622කට අධික තොගයක්ද, රුපියල් මිලියන 11508කට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1211කට අධික තොගයක් ද අත්අඩංගුවට ගැනිණි. ඊට අමතරව රුපියල් මිලියන 700කට අධිකව වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් 1752ක තොගයක්ද රුපියල් මිලියන 23කට අධික වටිනා ගංජා කිලෝග්‍රෑම් 119ක් සහ රුපියල් මිලියන 373ක් පමණ වටිනා මත්පෙති 1,179,746ක්ද ගිය වසර තුළ නාවික හමුදාව සිදුකළ වැටලීම්වලින් අත්අඩංගුවට ගෙන ඇත.
නාවික හමුදාව වෙරළාරක්ෂාව තර කරන අතරේ බුද්ධි තොරතුරු ද ලබා දෙමින් මත්ද්‍රව්‍ය වැටලීම්වලට ඉමහත් දායකත්වයක් ලබා දී තිබේ. ඒ, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ වැටලීම් සඳහාය. ඒ අනුව නාවික හමුදාව ලබා දුන් බුද්ධි තොරතුරු ඔස්සේ ද ගිය වසර ඇතුළත පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය වැටලීම් රැසක් සිදු කරමින් කංසා පැළ 107626ක්ද අත්අඩංගුවට ගෙන විනාශ කිරීමට සමත්ව තිබේ.
තවද නාවික හමුදා බුද්ධි තොරතුරු ඔස්සේ පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදු කරන ලද මෙහෙයුම්වලින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ධීවර යාත්‍රා 21ක් ගිය වසර තුළ අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරුවන් 230ක් සමඟිනි.
එමෙන්ම පසුගිය වසර තුළ සිදු කළ මෙහෙයුම් මඟින් නාවික හමුදාව නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමට තැත් කළ මත්පැන් බෝතල් 226ක තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක්ද, නීතිවිරෝධී දුම්වැටි 234670ක තොගයක්, මදනමෝදක 972ක තොගයක් සමඟ සැකකරුවන් 52ක්, ගජමුතු 11ක් සහ නීතිවිරෝධී ලෙස විදේශගත කිරීමට සූදානම් කර තිබූ රත්රන් කිලෝග්‍රෑම් 4කට අධික තොගයක් අත්අඩංගුවට ගැනුණේ සැකකරුවන් 14 දෙනෙක් සමඟිනි. ඊට අමතරව මෙරට මුහුදු කලාපය ඔස්සේ වන සතුන් ජාවාරම් කළ යාත්‍රාවක් ද අත්අඩංගුවට ගැනුණේ පුද්ගලයන් 5 දෙනෙකු සමඟිනි.
පසුගිය වසර තුළදී නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට තැත් කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 65687කට අධික තොගයක්, වියළි කහ කිලෝ 7272ක්, ඉඟුරු කිලෝග්‍රෑම් 368ක්, කෘෂි රසායනික දියර බෝතල් 8330ක් සහ පැකට් 56786ක්, රූපලාවණ්‍ය නිෂ්පාදන 727ක් සමඟ ශ්‍රී ලාංකික සැකකරුවන් 81 දෙනෙකු සහ ඉන්දීය ජාතික සැකකරුවන් තුන්දෙනෙකු සමඟින් ඉන්දීය යාත්‍රාවක් ද නාවික හමුදාව අත්අඩංගුවට ගත්තේ මහමුහුද මැද සිදු කළ විශේෂ මෙහෙයුමකිනි.
නීති විරෝධි සංක්‍රමණ සහ මිනිස් ජාවාරම් මැඬපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් සිදු කරනු ලැබේ. ඒ අනුව ගිය වසර තුළ සිදු කළ එවැනි මෙහෙයුම් මඟින් ඉන්දියාවේ සිට මෙරටට නීතිවිරෝධිව සංක්‍රමණය වීමට තැත් කළ පුද්ගලයන් 20ක් රැගත් යාත්‍රාවක් ද නාවික හමුදා භාරයට ගැනිණි.
අමිල මලවිසූරිය