– ජාවාරම්කාර තාත්තා මීට කලිනුත් පොලිසියට ගහපු අයෙක්
– තාත්තයි පුතයි ගමෙනුත් පැනලා
නව වසර උදාවේ ‘සැමරුම් සඳහා’ සීනි කරිඤ්ඤා සකසමින් සිටි අයකු ඇල්ලීමට ගිය ගම්පොළ පුපුරැස්ස පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝ රන්ජන් ත්‍රිරෝද රථයකට යට කර මරා දැමීමට උත්සාහ කිරීමේදී එම නිලධරයා තුවාල ලබා ගම්පොළ ශික්‍ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබුවේ පසුගියදාය.
ගම්පොළ, පන්විලතැන්න ප්‍රදේශයේ නම ගිය අපරාධකරුවකු විසින් කාලයක් තිස්සේ මහා පරිමාණයෙන් සීනි කරිඤ්ඤං සාදා අලෙවි කරන අතර එම සැකකරු මීට පෙර අවස්ථා හතරකදී ගම්පොළ සහ පුපුරැස්ස පොලිස් නිලධාරින්ට පහර දී පොලිස් ජීප් රථයකට ද අලාභ හානි කළ අයකි. ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මහනුවර මහාධිකරණයේ නඩු පවා විභාග වෙමින් තිබියදී මොහු මෙම ජාවාරම අත්නොහැර සිදු කරමින් සිටින්නේ කිසිම බියක් සැකක් නැතිවය. පොලිසියද මේ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු යොදා තිබුණි.
මොහුගේ සහෝදරයන්ද කාලයක් තිස්සේ මෙසේ සීනි කරිඤ්ඤං අලෙවියේ නිරත වන බවද හෙළි වන්නේ පොලිස් නිලධාරින් විසින් සිදු කරන විමර්ශනයේදීය.
වරක් මොහුගේ සීනි කරිඤ්ඤං වැටලීමට පොලිස් නිලධාරීන් ගිය අවස්ථාවේ දරුණු ගණයේ ‘රොට් වයලර්’ වර්ගයේ බල්ලෙක් පොලිසිය වෙත උසිගැන්වීමෙන් වෙඩි හුමාරුවක්ද සිදුවී තිබුණි.
සීනි කරිඤ්ඤං ජාවාරම පිළිබඳව ලැබුණ තොරතුරකට අනුව පුපුරැස්ස පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් හයදෙනකු එම ජාවාරම සිදු කරන ස්ථානයේ සැඟවී සිට ආවේක්ෂණ රාජකාරියේ නිරතව සිට ඇති අතර ‘නිලමේ’ නමැති මෙම සැකකරු ඔහුගේ පුතෙකු සමඟ ත්‍රිරෝද රථයකින් පැමිණ බෝතල් විස්ස බැගින් වූ කෑන් තුනක් ත්‍රිරෝද රථයට පටවමින් සිට ඇත.
පොලිසිය ඒ සමගම සැඟවී සිටි තැනින් එම ස්ථානයට කඩා පනින විට සැකකරු මාර්ගයෙන් පහළට පැන දිව ගොස් ඇත. ඒ සමඟ ත්‍රිරෝද රථයේ රියැදුරු අසුනේ සිටි සැකකරුගේ පුතා ස්ථානාධිපතිවරයා එම ත්‍රිරෝද රථයෙන් යට කිරීමට උත්සාහ දරා ඇති අතර එයින් ස්ථානාධිපතිවරයා තුවාල ලබා මාර්ගයෙන් ඉවතට පැන ඇත.
ඒ සමඟම ත්‍රිරෝද රථය රැගෙන සැකකරුගේ පුතා පැන ගොස් ඇති අතර සැකකරුද සීනි කරිඤ්ඤං කෑන් දමා අඳුරේම පලා ගොස් තිබුණි.
සෙසු පොලිස් නිලධාරීන් එතැනට පැමිණ වෙනත් ත්‍රීරෝද රථයකින් පොලිස් ස්ථානාධිපතිවරයා ගම්පොළ රෝහලට රැගෙන ගොස් ඇතුළත් කරනු ලැබුවේ ඒ වන විටත් ස්ථානාධිපතිවරයා තුවාල ලබා සිටි නිසාය.
සැකකාර පියා හා පුතා මේ වන විට සැඟවී ඇති අතර ගම්පොළ සහ පුපුරැස්ස පොලිස් ස්ථාන මඟින් පොලිස් කණ්ඩායම් යොදා ඔවුන් සොයා මෙහෙයුමක් අරඹා තිබේ.