Home » අපරාධ වළකන පොලිස් ‘උකුසු ඇස’

අපරාධ වළකන පොලිස් ‘උකුසු ඇස’

by Mahesh Lakehouse
January 18, 2025 12:30 am 0 comment
දීපාල් සමරසේකර

– කොළඹ මධ්‍යම එස්. අයි. තමාල් අයිස් එක්ක ඇල්ලූ සැකකරුගෙන් කෝටියක් වටිනා ත්‍රිරෝද රථ සොයාගනී
– නෝවුඩ් කඩ කඩාගෙන යමින් සිටි හොරෙකුත් කොටුවන්නේ අයි.පී.ගේ උකුසු ඇස නිසා
– අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් එක්ක සැකකරුවකු අල්ලා ගන්නේ අලුත්ගමින් හැටන් ගිය අයි.පී. නිශාන්ත සිල්වා
– හතර වටේම ත්‍රීවීල් සොරකම් කර විකුණන ජාවාරම හෙළි වේ

අපරාධ විමර්ශනයේ දක්ෂතා දක්වන පොලිස් නිලධාරිහු පොලිස් දෙපාර්තමේන්තුවේ ඕනෑ තරම් සිටිති. ඉතාම සුළු හෝඩුවාවක් පසුපස ගොස් මහා අපරාධවල සැකකරුවන් කොටුකරගෙන ඔවුන් නීතිය හමුවට ගෙන ආ දක්ෂ පොලිස් නිලධරයන්ගේ සේවය ඇගැයූ අවස්ථා ද විරල නැත.

අපරාධ විමර්ශනයේ අතිදක්ෂ පොලිස් නිලධරයන්ට ඇත්තේ ‘උකුසු ඇස්’ යැයි කීවොත් වැරදි නැත. දහස් සංඛ්‍යාත ජනකායක් අතර සිටින ‘නියම අපරාධකාරයා’ අල්ලා ගැනීමට තරම් ඒ ‘උකුසු ඇස’ බලවත්ය. එවැනි අවස්ථා ඕනෑ තරම් තිබේ. මෑතකදී එවැනි සිදුවීම් දෙකක් හැටන් ප්‍රදේශයෙන් වාර්තා විය.

කළුතර කොට්ඨාසයේ අලුත්ගම පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයේ එවකට සිටියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාය. අපරාධ මර්දනය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට තිත තැබීම සඳහා ඔහු ලොකු වැඩ කොටසක් සිදු කළ අයෙකි. ඒ සඳහා ඔහුට හොඳ ‘උකුසු ඇසක්’ ද තිබිණි. අපරාධකාරයා කවුද? සාමාන්‍ය මිනිසුන් කවුද? යන්න බැලූ බැල්මට පැවැසීමේ සුවිශේෂී හැකියාවක් පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට තිබිණි. ඒ ඔහු වසර ගණනාවක් තිස්සේ අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරමුන් සම්බන්ධව සිදු කරන ලද විමර්ශන නිසාය.

පොලිස් දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය ස්ථාන මාරුවීම් යටතේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට ස්ථාන මාරුවීමක් ලැබිණි. ඒ හැටන් පොලිස් කොට්ඨාසයටය. හැටන් මූලස්ථාන පොලීසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස ඔහු පත්කෙරිණි. ඒ හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකරගේ උපදෙස් මතය.

පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා හැටන් පොලීසියට රාජකාරි වාර්තා කර දිනක් දෙකක් ගතවෙද්දී ශ්‍රීපාද සමය ආරම්භ විය. ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන බැතිමතුන් අතර සිටින මත්ලෝලීන් අල්ලා ගැනීම සඳහා ද මෙහෙයුම් ඇරඹිණි. ඒ පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකරගේ උපදෙස් මතය. පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මේ අතර හැටන් නගරයට යන්නේ කිසියම් රාජකාරි කටයුත්තක් සඳහාය. එහිදී ඔහුගේ ඇස ගැටෙන්නේ සැක කටයුතු පුද්ගලයෙකි. මොහු නිසැකවම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව පොලිස් පරීක්ෂකවරයා ක්ෂණයකින් තීරණය කළේ ඔහු සතු පළපුරුද්ද නිසාමය. සැකකරු අල්ලා පරික්ෂා කරද්දී ඔහු සතුව තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සොයා ගැනිණි. එය මෑතකදී හැටන් ප්‍රදේශයෙන් අල්ලා ගැනුණු ප්‍රමාණයෙන් වැඩිම අයිස් මත්ද්‍රව්‍යයයි. ඒ අතරේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට තවත් ‘චාන්ස් එකක්’ උදාවිය. එයත් අහම්බෙනි. හැටන් නගරයේදී පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාගේ උකුසු ඇසට හසුවුණ තවත් සැක කටයුතු පුද්ගලයකු පරීක්ෂා කරද්දි ඔහු නෝවුඩ් ප්‍රදේශයේ නිවාස දෙකක් බිඳ භාණ්ඩ සොරකම් කරගෙන පැමිණෙමින් සිටි අයකු බවට තොරතුරු හෙළිවිය. එම භාණ්ඩ ද සොයා ගැනිණි.

අපරාධ විමර්ශනයේ අතිදක්ෂ පොලිස් නිලධාරියාගේ හැටි එහෙමය. ඕනෑම පුද්ගලයකු දෙස බැලූ සැණින් ඔහු අපරාධකාරයකු ද මත්ලෝලියකු ද එසේත් නැත්නම් අහිංසක මිනිසකු ද යැයි කියන්නට එම නිලධාරියාට සුවිශේෂී හැකියාවක් ඇත.

‘උකුසු ඇසකින්’ හෙබි තවත් පොලිස් පරීක්ෂකවරයකු සිදු කරන ලද සාර්ථක විමර්ශනයක් ගැන තොරතුරු හෙළි වූයේ පසුගියදාය. කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂක තමාල් එම නිලධරයාය. උප පොලිස් පරීක්ෂක තමාල් ඇතුළු කණ්ඩායමට පසුගියදා තොරතුරු ලැබෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු පිළිබඳවය. මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා පිළිබඳ සියලු තොරතුරු හෙළිකරගත් උප පොලිස් පරීක්ෂක තමාල් ඇතුළු කණ්ඩායම වැටලීම සැලැසුම් කරන්නේ පියවරෙන් පියවරය.

කොළඹ බාලදක්ෂ මාවතේ රථ ගාලකදී සැකකරු අත්අඩංගුවට ගැනීමට උප පොලිස් පරීක්ෂක තමාල් ඇතුළු කණ්ඩායමට හැකි විය. එලෙස අල්ලාගත් සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය යම් ප්‍රමාණයක් ද සොයා ගැනිණි.

එලෙස අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා බැලූ බැල්මට අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට වඩා ‘වැඩි දෙයක්’ සිදු කරන අයකු බවට වටහා ගැනීමට උප පොලිස් පරීක්ෂක තමාල්ට හැකි වන්නේ ඔහු ඒ වන විටත් අපරාධකරුවන් රැසක් සම්බන්ධයෙන් සිදු කරන ලද දීර්ඝ විමර්ශනවලදී ලැබූ පළපුරුද්ද නිසාමය.

එම සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරද්දී උප පොලිස් පරීක්ෂක තමාල්ගේ සිතුවිල්ල නිවැරදි විය. මේ පුද්ගලයා ත්‍රිරෝද රථ සොරකම් කර වර්ණය, අංක තහඩු වෙනස් කර අඩු මිලට අලෙවි කරන මහා පරිමාණ ජාවාරමකට සම්බන්ධ අයකු බව හෙළිවන්නේ එම ප්‍රශ්න කිරීමේදීය.

එම සැකකරු පසුගිය කාලයේ කොළඹ කොටුව, වත්තල, කිරිබත්ගොඩ, බොරැල්ල පොලිස් වසම්වලදී මහමඟ අයිනේ නවතා තිබුණු ත්‍රිරෝද රථවල යතුරුවලට සම්බන්ධ වයර් පිටතට ගෙන එකිනෙක සම්බන්ධ කර ඒවා නියම යතුර නැතිව පණ ගැන්වීමට හැකි අයුරින් සකස් කිරීමෙන් අනතුරුව ඔහු සමඟ පැමිණෙන පුද්ගලයන්ට ලබාදී ඇති අතර ඔවුන් ඒවා රැගෙන ගොස් ඇති බව විමර්ශනවලදී හෙළිවිය.

ඒ අනුව මෙසේ සොරකම් කරන ලද රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් ත්‍රිරෝද රථ නවයක් සන්තකයේ තබාගෙන සිටි ගරාජ් හිමියකු සහ තවත් අයකු ඔරුගොඩවත්තේදී අත්අඩංගුවට ගැනුණු අතර, එලෙස වර්ණය වෙනස් කළ ත්‍රිරෝද රථ නවයක් ද සොයා ගැනීමට උප පොලිස් පරීක්ෂක තමාල් ඇතුළු කණ්ඩායමට හැකිවිය.

සැකකාර ‘ගරාජ් බාස්’ පවසා ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය සමඟ අල්ලාගත් පුද්ගලයා එම ත්‍රිරෝද රථ නවය තමාට ගෙනැවිත් දී එහි වර්ණය, චැසි අංක,‍ ඇන්ජින් අංක වෙනස් කරන ලෙස පැවසූ බවය. අදාළ ත්‍රිරෝද රථ නවය පොලීසිය සොයා ගන්නේ ග්‍රෑන්ඩ්පාස්, මාලිගාවත්ත සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවලිනි.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 21 – 54 අතරේ පසුවන්නන් වන අතර, ඔවුන් ඔරුගොඩවත්ත කොළඹ 10 සහ 14 ප්‍රදේශවල පදිංචිකරුවෝය.

සැකකරුවන් සහ ත්‍රිරෝද රථ වැඩිදුර විමර්ශන සඳහා කොළඹ කොටුව පොලිසියට භාර දී ඇත.

උජිත් ලියනගේ කොළඹ දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත සුගත් ගලගමගේ කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මෙහෙයවීමෙන් කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.එම්.එස්.පී. අත්තනායක, උප පොලිස් පරීක්ෂක තමාල් ඇතුළු නිලධරයන් කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරති.

ඡායාරූප : බණ්ඩාරගම – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division