මීට අඩ සියවසකට පමණ පෙර කැලණි පුරවර මහා මංගල්‍යය හෙවත් දුරුතු පෙරහර කැලණියේ ජීවත් වූ සියලු දෙනාගේම ජීවිතවලට බලපෑවේය. පෙරහර බලන්න දුර-බැහැරින් ඥාතීහු එති. ඇතැම් අය දින කිහිපයක් නතර වී හිඳිති. එකල ඇතැම් විවාහ යෝජනා ඉදිරිපත් වූයේද ස්ථිර වූයේද පෙරහර කාලවලය. කැලණි වැසියෝ නිවාස හුනුපිරියම් කළේ අලුත් අවුරුද්දටවත් සිංහල අවුරුද්දටවත් නොව, පෙරහරටය.
එකල අපේ තාත්තා සහ බාප්පා පෙරහරේ සක්‍රිය දායකයෝය. ඔවුන් දෙදෙනා නිසා මටත් මගේ ඥාති සහෝදරයන්ටත් පෙරහර සමඟ කිට්ටු සබඳතාවක් තිබිණි. පෙරහර සංවිධානය වන ආකාරය විහාර මළුවේ සිට දැක බලා ගැනීමේ දුර්ලභ භාග්‍යය එකල අපට හිමිය. පෙරහරේ අලියකු පිට ගමන් කිරීමේ ආශාව මට ඇති වුණේ මේ භාග්‍යය අත්විඳින අවස්ථාවේදීය. මම මගේ ආශාව ගැන තාත්තාට කීවෙමි.
“ඕක හරියන වැඩක් නෙවෙයි.”
තාත්තා මගේ ඉල්ලීම තඹයකට ගණන් ගත්තේ නැත.
අලි ඇතුන් පිට ගමන් කරන්නේ රජවරුය. ඒ නිසා ‘අලියෙක් පිට යනවා’ යනු රජ වෙනවා වගේ වැඩක්ය. සියනෑ කෝරලයේ හත් පත්තුවටම පෙනෙන සේ අලියකු පිට යෑම මගේ සිහිනයකි. ඒත් තාත්තාට ඒ බව වැටහෙන්නේ නැත.
මේ වගේ වේලාවට පිහිටට එන්නේ බාප්පාය. මම ඔහුට කීවෙමි. ‘මටත් ඕනෑ’ යැයි කියමින් මගේ ඥාති සහෝදරයාද ඉදිරිපත් විය. බාප්පා ඔළුව වැනුවේය. මේ එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල මැද භාගයය.
අවසන් පෙරහර දවසේ මා කැලණි විහාරයට ගියේ පාසලට අඳින්න තිබූ හොඳම කලිසම සහ කමිසයෙන් සැරසිලාය. පොඩි අයියාද ඒ විදිහටම සුදු ඇඳගෙන ආවේය. අපි විහාර මළුවේ රඳවා සිටි අලි ඇතුන් අතර ඇවිදිමින් අපට සුදුසු අලියා තෝරන්න වීමු. එහෙත් ඒ වැඩේ හරියන්නේ නැත. ඒ සඳහා නියමිත ක්‍රියාපටිපාටියක් තිබේ.
අප දෙදෙනා කැටුව ගිය බාප්පා කැලණියේ සුප්‍රකට විල්බට් අලි වෙද මහතාට අප භාර කළේය. එකල පෙරහරේ සියලු අලි ඇතුන් භාරව කටයුතු කළේ ඔහුය. අඹතලේ කුමරාගේ භාරකාරත්වය තිබුණේද ඔහුටය. ‘අඹතලේ කුමරා’ යනු එක සමාන විශාල දළ දෙක නිසා අනන්‍ය වූ කීර්තියක් ලබා සිටි, 1968 පමණ වන තුරු කැලණි විහාරයේ කරඬුව වැඩම කරවූ හස්තිරාජයාය.
වෙද මහතා අප දෙදෙනා කැටුව විහාර මළුවේ රවුමක් ඇවිද්දේය; ඊළඟට අලියකු ළඟ නතර විය.
“මේ දෙන්නා දානව මේකට!” ඇත් ගොව්වාට නියෝගයකි.
ඇත් ගොව්වා බොහෝ යටහත් පහත්ව නියෝගය පිළිගත්තේය. අපි ඒ අලියා අසල නතර වුණෙමු.
“මේ තමයි උසම අලියා.” පොඩි අයියාගේ නිරීක්ෂණය හරියටම හරිය. මගේ සතුට ඉහවහා ගොසිනි. උසම අලියා පිට යන්න ලැබුණේ පෙර පිනක් පලදීමෙනැයි මට සිතිණි. මා අපේක්ෂා කළ රජකම ඒ ආකාරයටම ලැබී තිබේ.
මම අලියා වටේ ඇවිද්දෙමි. රන්වන් ලියකමින් හැඩ කළ අලංකාර සේලයකි. රන් පැහැ බොත්තම් අල්ලන ලද රක්ත වර්ණ නෙත්තිමාලයකි. මේ නම් රජකුටම සුදුසු හස්තිරාජයෙකි. මට මහත් අභිමානයක් ඇති විය. හස්ති රාජයා අතගා බලන්න හිතුණත් ඒ වැඩේ කරන්න තරම් හිතට ධෛර්යයක් ආවේ නැත.
පෙරහර සංවිධානයේ එකල මුල්තැන ගෙන සිටියේ වත්තල සීලරතන හාමුදුරුවෝය. උන් වහන්සේ අතේ කඩදාසියක්වත් නැතිව නම් අඬ ගසමින් පෙරහර සංවිධානය කරන ආකාරය සිත් ගන්නාසුලුය. වත්තල හාමුදුරුවන්ගේ හස්ත සංඥාවෙන් කොඩි කණ්ඩායම්, නැටුම් කණ්ඩායම් සහ අලි ඇතුන් නිසි පිළිවෙළට පෙරහරට එකතු වෙති. වත්තල හාමුදුරුවෝ වැඩම කළ විගස ඇත් ගොව්වා මා දෙසට හැරිණි.
“ආ ළමයා නඟිනවා!”
කිසිම ගරු-සරුවක් නැත. ඔහු සිය ස්වරයෙන් මගේ අපේක්ෂිත ‘රජකම’ බල්ලාට දමා තිබේ.
මුළු ජීවිත කාලය තුළදීම අලියකු ස්පර්ශ කරවත් නැති මා මේ දැවැන්තයාගේ පිට උඩට එක්වරම නඟින්නේ කෙසේද? මේ වන විටත් අලියා ඉදිරි පාදය ඔසවාගෙනය.
“හ්ම් නඟිනවා… කනෙං අල්ලගන්නවා…!”
ඇත් ගොව්වාගේ විධානය පරිදි මම අලියාගේ පාදය මත පය තබා මඳක් ඉහළට පැන, කනේ එල්ලුණෙමි. දැන් එතැන් සිට කළ යුත්තේ කුමක්ද?
මගේ කිසි හැලහොල්මනක් නැති තැන ඇත් ගොව්වා හෙණ්ඩුවේ මිට මගේ පිටිපස්සට තබා ඉහළට එසෙව්වේය. මම අලියාගේ පිට උඩට බඩගාගත්තෙමි.
අමාරුවෙන් හෝ අලියාගේ පිට මත හිඳගත් විට මට මහත් ආඩම්බරයක් දැනුණේය. වත්තල හාමුදුරුවෝ පවා ඉන්නේ මට පහළිනි. අලියාගේ පිටට ගොඩ වෙන්න උත්සාහ කළ පොඩි අයියාට ගොඩ වෙන්නට දුන්නේ නැත.
“වෙද මහත්තයා කිව්වට, දෙන්නෙක් දාන්න බෑ.”
මට විශාල දුකක් ඇති විය. ඒත් ඒ දුක බෙදාගන්නට විදිහක් නැත. මේ වැඩේදී මට බොහෝ සෙයින් උපකාර කළ පොඩි අයියාට වඩා මා දැන් හුඟක් ඉහළින්ය.
මහා පිරිස් මැදින් පෙරහර ගමන් කරන විට මේ උස අලියා මත මට ලැබෙන ගෞරවය මහත් සතුටකි; රාජකීය සිහිනය සැබෑ වීමකි.
පෙරහර ආරම්භ විය. අලියා නළියන්න පටන් ගත්තේය. උගේ පිටේ ඇති කෙඳි මගේ කොට කලිසම පසාරු කරගෙන කකුල්වල ඇනෙයි. මුලින්ම දැනුණේ හිරියකි. ඒත් අලියා ගමන් කරන විට ඒවා ඉදිකටු වාගේය. දෑස කඳුළින් තෙමෙයි. ප්‍රීති ප්‍රමෝදය අතුරුදන්ය.
හඳුනන අය මඟ දෙපස සිටීදැයි බලන්න ඉසිඹුවක් නැත. දෑස් බොඳ වෙලාය. අලි කෙඳි ඒ තරමටම පීඩාකාරිය. වෙනත් අයට ලැබෙන ඝනකම් කොට්ටය මට ලැබී නැත.
දැන් දැන් මගේ කකුල් දෙක උකුළු ඇට ළඟින් ගල් වී ඇති බවක් දැනේ. බොහෝ වේලාවක සිට දකුණතින් ඔසවාගෙන සිටින බෞද්ධ කොඩිය නිසා උරහිසද වේදනා ගෙනදෙයි. දෙපැයක් පමණ ගත වන විට කිසිම සංවේදනයක් නොදැනෙන ලෙස කකුල් දෙකම හිරිවැටිලාය.
අලියාගේ පිටින් බැසිය යුතුයැයි කියන්නට දහස්වර හිතුණද ඇත් ගොව්වාට ඇති බය නිසා එය කීවේ නැත.
දෙනෝදාහක් විසිරුණු මහා ප්‍රදේශයක උසම උස අලියකු මතට වී අඳුර සමඟ ළතැවුණෙමි. කම්මුල් දිගේ කඳුළු බේරෙයි. බොහෝ ඉහළින් සිටින නිසා, වාසනාවට මගේ කඳුළු කාටවත් පෙනෙන්නේ නැත.
මේ වන විට මගේ පරමාපේක්ෂාව අලියා පිටින් බැසගැනීම පමණි. හෝරා කිහිපයකට පසු මගේ අති දීර්ඝ දුෂ්කර ක්‍රියාව අවසන් කරමින් පෙරහර යළි විහාරයට සේන්දු විය.
දැන් ඉතින් බැසගත යුතුය. ඇත්ගොව්වාගේ නියෝගයෙන් අලියා ඉදිරි පාදය ඉස්සුවේය. මම අලියා පිටින් බැසගන්නට උත්සාහ කළෙමි. බෞද්ධ කොඩිය දරා සිටි නිසා දකුණත හිරිවැටිලාය. කකුල් දෙක ගල්වෙලාය. මගේ අකර්මණ්‍ය ශරීරය හස්තියාගේ ඉදිරි දෙපා අසලට රූරා ඇදවැටුණේ මිනිසුන් හැරී බලන තරමේ හඬක් නඟමිනි.
ඒ පින්වත් හස්තිරාජයා මා පාගාදැම්මේ නැත. එදා සිට අද දක්වාම මා කිසි විටෙකත් යළි රජ වෙන්නට හිතුවේ නැත.
එය ඒ තරමටම වේදනාකාරි විය.