මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය අතරින් සින්ධු කියන්නේ බොහෝ ප්‍රේක්ෂකයින් ආදරේ කරන නාට්‍යයක්. එහි එන සින්ධු සහ පවන් ආදර කතාව කොයි දිශාවට ගමන් කරයිද කියන එක ගැන තමයි මේ වෙද්දී ප්‍රේක්ෂක කුතුහලය වැඩි වෙලා තියෙන්නේ. සින්ධුහි අධ්‍යක්ෂවරයා වන්නේ ලසිත කාරියවසම්. අද මේ කතාබහ ලසිත කාරියවසම් සමඟ සින්ධු ටෙලිනාට්‍යය ගැන.
සින්ධු ඔබේ කී වෙනි නාට්‍ය නිර්මාණය ද?
සින්ධු කියන්නේ මගේ තුන්වෙනි නාට්‍යය. මම මුලින්ම දීර්ඝ නාට්‍යයක් විදිහට කළේ ගේට්ටුවා. නමුත් ඒ නාට්‍යය තවම විකාශය වුණේ නැහැ. ඊට පස්සේ කළේ ඔෆිස් ලන්තේ. ඒ නාට්‍යය තාමත් විකාශය වෙනවා.
ලසිත කොහොමද අධ්‍යක්ෂණයට එන්නේ ?
මම මේ ගමන ආරම්භ කරන්නේ සංස්කරණ ශිල්පියෙක් විදිහට. මම අවුරුදු හතරක කාලයක් සංස්කරණ ශිල්පියෙක් විදිහට රූපවාහිනී නාළිකාවක වැඩ කළා. මම හිතන්නේ එතැනදී හැමෝගෙම අඩුපාඩුකම්, හොඳ නරක දකින්න ලැබුණා. ඒකත් එක්ක තමයි මට තේරුණේ මටත් අධ්‍යක්ෂණය කරන්න පුළුවන් වෙයි කියලා. ඊට පසුකාලීනව මම බර්ට්‍රම් නිහාල් මහතාගේ නාට්‍යයක තුන්වන සහාය අධ්‍යක්ෂවරයෙක් විදිහට වැඩ කළා. එතැනින් මම මෙහි හතර කොණ හොයා ගත්තා. ඊට පස්සේ ගීත රූප රචනා කළා. මේ වෙද්දී ගීත රූප රචනා හතළිහක් විතර කරලා තියෙනවා. ඒකාංගික ටෙලි නාට්‍යවලට තමයි මුලින්ම එන්නේ. මේ වෙද්දී ඒකාංගික ටෙලි නාට්‍ය හතළිහකට ආසන්න ප්‍රමාණයක් කරලා තියෙනවා. ඒ එක්කම මගේ ඒකාංගික ටෙලි නාට්‍ය වෙනුවෙන් 2017 හොඳම ඒකාංගික ටෙලි නාට්‍යයට හිමි රාජ්‍ය සම්මානය සහ 2018 හොඳම ඒකාංගික ටෙලි නාට්‍යයට හිමි සුමති සම්මානයත් දිනා ගන්නවා. ඒ දේවල් එක්ක ලැබුණු අත්දැකීම් එක්ක තමයි දීර්ඝ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරගෙන යන්නේ.
කොහොමද සින්ධු නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර
ඇත්තටම හිතුවට වඩා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. දෙස් විදෙස් ප්‍රේක්ෂකයින් සින්ධුව ඉතා ආදරෙන් වැලඳ ගෙන තියෙනවා කියලා හිතෙනවා. පෞද්ගලිකව මට ලැබෙන ප්‍රතිචාරවලින් ඒ බව මට දැනෙනවා. නාට්‍යයේ රඟපාන සුහන්දී උපෙත්මාට මේ වෙද්දී සින්ධු කියන තැනටත් චතුරංගට පවන් කියන තැනටත් දැන් නිතැතින්ම ප්‍රේක්ෂකයෝ හුරුවෙලා.
තව කොටස් කීයක් විකාශය වෙන්න තියෙනවද?
මේ වෙද්දී අපි කොටස් සීයකට ආසන්න ප්‍රමාණයක් රූගත කර අවසන්. නමුත් රසික ප්‍රතිචාර අනුව අවසන් වන ප්‍රමාණය කියන්න බැහැ. රසික ප්‍රතිචාර හොඳින් තියෙනවා. ඒ නිසා ඉතා ඉක්මනින් නතර කරන්න නම් හිතලා නැහැ.
මේ ඉන්දියානු සිනමා නිර්මාණයක කොපියක් ද?
මේක ඉන්දියානු ටෙලි කතාවක් කියන එක මමත් පසුව දැන ගත්ත කාරණාවක්. මම මට ඕනේ සංකල්පය තිර රචකයාට කිවුවම ලලිත් ගුණතුංගට, ඔහු තමයි කිවුවේ ඔය වගේම තෙළිඟු චිත්‍රපටයක් තියෙනවා. ඒ නිසා ඒකත් සම්බන්ධ කරගෙන මේ කතාව ගොතමු කියලා. ඒ නිසා ඇත්තටම කිවුවොත් මුලින්ම මගේ හිතට ආව සංකල්පයක්. මට ඕනෙ වුණා වෙඩින් එකක් දවසක වෙන්න පුළුවන් ලොකු බ්ලාස්ට් එකක්. ඒ කියන්නේ තමන්ගේ පෙම්වතියගේ විවාහ මංගල්‍යය දවසේ පෙම්වතා විසින් පැහැර ගෙන යාමකින් මේ වැඩේ පටන් ගන්න. එහෙම කිවුවම තමයි ලලිත් කිවුවේ මෙහෙම තෙළිඟු ෆිල්ම් එකක් තියෙනවා කියලා. කොහොම හරි අවසානයේ අපි අපේ විදිහට වැඩේ හදා ගත්තා. දැන් අපි අපේ කරගෙන ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව.
අමතක නොවන මතකයන් ඇති
පසුතල සොයා ගැනීම ගැන තමයි කියන්න තියෙන්නේ. අපි මෙතැනදී යොදා ගෙන තියෙන කැම්පස් එක කන්‍යාරාමයකට අයිති එකක්. හෙට ෂූටින් නම් අද කතා කරලා තමයි අපි එතැනට ගියේ. ඊට කලින් බලපු එක තැනක්වත් හරි ගියේ නැහැ. එතැන හරි ආරක්ෂාකාරි ස්ථානයක්. ඒ තැන අපිට ලබා දීම ගැන කන්‍යා සොයුරියන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ එක්කම ඔෆිස් රූම් එක පවා අපි ගන්න හිටිය එක අවසාන මොහොතේ ගන්න බැරි වෙද්දී ඒ ගන්න හිටිය එකටත් වඩා හොඳ එකක් අපිට පැයක් වගේ ඇතුළත (දැන් ඔබ දකින) ඔෆිස් රූම් එක ලැබුණේ. ඒ නිසා අමතක නොවන මතකයන් තියෙන්නේ ලොකේෂන් හොයා ගැනීම් එක්ක. ඒ හැර මට අවශ්‍ය විදියට මගේ නළු නිළි කැල සහ මගේ සහාය අධ්‍යක්ෂවරුන් සහ අනෙකුත් ශිල්පින් එක්ක කවදත් මම සුහදව වැඩ කරන කෙනෙක්.
චරිත තෝරා ගැනීම ගැන අද මොකද හිතෙන්නෙ
ඒ ගැන නම් බොහොම සතුටුයි. ලැබෙන ප්‍රතිචාර එක්ක ඒ ඒ චරිතවලට ගැළපෙනම අය තෝරා ගෙන තියෙනවා කියන දේ මට ම දැනෙනවා. කිසිම බාධාවකින් තොරව කිසි කෙනෙක්ගේ අත පෙවීමකින් තොරව මට චරිත තෝරා ගන්න ලැබුණා. පිටපත කියවද්දී මැවුණු රූප මම ටෙලි තිරයට අරගෙන ආවා. චතුරංග සහ සුහන්දී හොඳින් ගැළපුණා මේ චරිතවලට. අනෙකුත් චරිතත් ඉතාම සාධාරණයක් කරනවා.
ඔබේ ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවාද?
තව ටෙලි නිර්මාණයක් කරන්න ඊට අවශ්‍ය මූලික කටයුතු මේ දිනවල සිදු කරගෙන යනවා. අලුත් නාට්‍යයත් ඉතා ඉක්මනින් ප්‍රේක්ෂකයින් අතරට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා.
ඉදිරි බලාපොරොත්තු මොනවාද?
හැම අධ්‍යක්ෂවරයෙක්ටම වගේ මටත් තියෙනවා සිනමා නිර්මාණයක් කිරීමේ බලාපොරොත්තුව. එහිත් යම් යම් තැන් ස්පර්ශ කරමින් යනවා. ඒකට අවශ්‍ය මූලික දේවල් සකසමින් ඒ බලාපොරොත්තුව එක්ක තමයි ඉදිරියට යන්නේ.