Home » හිරේදී හමු වූ මිතුරාගේ බිරියට මරු කැඳවූ ඝාතකයා කොටුකළ ගමන්මල්ලේ හෝඩුවාව

හිරේදී හමු වූ මිතුරාගේ බිරියට මරු කැඳවූ ඝාතකයා කොටුකළ ගමන්මල්ලේ හෝඩුවාව

by sachintha
January 25, 2025 12:29 am 0 comment

පොලිස් නිලධාරින්ගේ කැපවීම කොතෙක් ද යන්නත්, ඒ අනුව ඕනෑම අපරාධයක සුලමුල කඩිනමින් විසඳිය හැකි බවද පසක් වන විමර්ශනයක් ඉකුත්දා මැදවච්චිය පොලීසියේ නිලධාරින් විසින් සිදු කරන ලදි. ඒ කාන්තා ඝාතනයක සුලමුල දින 5ක් වැනි කෙටි කාලයකදී හෙළිකරගෙන එම ඝාතනයේ සැකකරු අත්අඩංගුවට ගෙන එහි සියලු තතු අනාවරණය කරගනිමිනි. මැදවච්චිය පොලීසියේ පොත්වල එම විමර්ශනය සටහන් වන්නේ මෙලෙසිනි.

ඉකුත් ජනවාරි 9දා සවස 3.15ට පමණ මැදවච්චිය පොලීසියට 119 පොලිස් හදිසි ඇමතුම් අංකය ඔස්සේ තොරතුරක් ලැබිණි.

“සර්… කටුවෙල බොරලුකණ්ඩියේ මිනී පිට්ටනියට යන පාරේ අඳුරන්නේ නැති ගෑනු කෙනෙකුගේ බොඩි එකක් තියෙනවා…“ යැයි එම ඇමතුමෙන් කියැවිණි.

බොරලු කැපීමෙන් පසු අත්හැර දමා ඇති ළඳු කැලෑවලින් ගහණ බොරලුකණ්ඩිය ප්‍රදේශයට එළුවන් බැඳීමට ගිය පුද්ගලයකුගෙන් ලද එම 119 ඇමතුමට අනුව මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. ඒ. කේ. එස්. අධිකාරිගේ මෙහෙයවීමෙන් මැදවච්චිය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සී. ජේ. එස්. ඇන්තනී ඇතුළු කණ්ඩායමක් මළසිරුර තිබෙන බවට කී කටුවෙල, බොරලුකණ්ඩිය ප්‍රදේශයට යන්නේ විනාඩි කීපයක් ඇතුළතදීය.

එහිදී පොලිස් නිලධාරින් දුටුවේ මුනින් අතට වැටි තිබූ කාන්තා මළසිරුරකි. මූලික විමර්ශන අරඹමින් මැදවච්චිය පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ගේ උපදෙස් මත එම මළසිරුර පිළිබඳ විමර්ශන සඳහා කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර (SOCO) නිලධාරින්, මැදවච්චිය නිල සුනඛ සහ ඇඟිලි සලකුණු නිලධාරින් ද එහි කැඳවීය.

මැදවච්චිය පොලීසියේ නිලධාරින් විසින් එම මළසිරුර පිළිබඳව මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමත් සමඟ මැදවච්චිය මහේස්ත්‍රාත්වරිය ද මළසිරුර තිබූ ස්ථානයට පැමිණ මළසිරුර පරීක්ෂා කර ස්ථානීය පරීක්ෂාවක් සිදු කළාය. මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මහේස්ත්‍රාත්වරියගේ නියෝග මත මළසිරුර පිළිබඳ අනුරාධපුර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සිදුකළ වෛද්‍ය පරීක්ෂණයෙන් හෙළි වූයේ එම කාන්තාව දූෂණය කර ගෙල සිර කර ඝාතනය කර ඇති බවයි.

ඉදිරි විමර්ශන සඳහා එම මළසිරුර හඳුනා ගැනීමට පොලිස් නිලධාරින්ට කිසිම සාක්ෂියක් නොතිබුණේ එම කාන්තා මළසිරුර එම පළාතේ කාන්තාවකගේ ද නොවූ නිසාය. මළසිරුර තිබූ කැලෑබද ස්ථානයේ පිටේ එල්ලාගෙන යන දුඹුරු පැහැති ගමන් බෑගයක් තිබී විමර්ශන නිලධාරීන්ට හමු විය. එම බෑගය වැඩිදුරටත් පරීක්ෂා කරද්දී ලංගම බස්රථයක ටිකට්පතක් සහ ජංගම දුරකතන නව සිම්පත් බහාලනු ලබන හිස් කඩදාසි කවරයක් ද හමු විය.

එසේ ඝාතනය කරනු ලැබ සිටි කත එම පළාතේ පදිංචිකාරියක නොවූ හෙයින් එම බස් ටිකට්පත සහ සිම්පත් කවරයේ පෑනෙන් ලියා සඳහන්ව තිබූ ජංගම දුරකතන අංකය ඔස්සේ විමර්ශන සිදු කිරීමට පොලිස් නිලධාරින් කටයුතු කළේය. එහිදී බස් ටිකට්පත වෙන්නප්පුව ඩිපෝවට අයත් බසයකින් නිකුත් කළ ටිකට්පතක් බව හෙළි විය. එසේම එම ටිකට්පත ඉකුත් ජනවාරි 8 වැනිදා පෙරවරු 10.11ට රුපියල් 893ක් ගෙවා ලබාගෙන එකී කාන්තාව හෝ කිසියම් අයෙක් වවුනියාව දක්වා ගමන්කර ඇති බව හෙළි විය. අනතුරුව විමර්ශන නිලධාරින් කාන්තා මළසිරුරේ මුහුණු කොටසේ ඡායාරූපයක් ගෙන මැදවච්චිය නගරයේ ත්‍රිවිල් අංගණවල සිටින අය ඇතුළු තොරතුරුකරුවන් ඔස්සේ ද විමර්ශන සිදු කළේ ඇය දුටු අයෙක් සොයා ගැනීමේ අටියෙනි.

“සර්… අටවැනිදා රෑ අටට විතර මේ හැඩරුව තියෙන ගෑනු කෙනෙක් තව පිරිමි කෙනෙක් එක්ක මගේ වීල් එකේ හයර් එකක් ගියා… ඒ අය ගියේ කටුවෙල පැත්තට… එයාලා දෙන්නා කටුවෙල කනත්තට හැරෙන පාර ළඟින් බැස්සා…“ යැයි කීවේ පොලිස් නිලධාරින්ගේ විමර්ශනවලදී හමු වූ මැදවච්චිය නගරයේ ත්‍රිවිල් අංගණයක සිටින රියැදුරෙකි.

මැදවච්චිය නගරයේ සිට කිලෝමීටර් දෙකහමාරක පමණ දුරක් එම ත්‍රිරෝද රථ රියැදුරු සමඟ කුලී ගමන යද්දී ඒ මොහොතේ පිරිමි පුද්ගලයා රියැදුරු සමඟ සිංහල බසින් කතා කරද්දී කාන්තාව සමඟ ඔහු දමිළ බසින් කතා කරමින් ගිය බවද ත්‍රිරෝද රථ රියැදුරු හෙළි කළේය. ඊට අමතරව එම පුද්ගලයා බීර බෝතලයක් ද නගරයේ මත්පැන් අලෙවිසලෙන් ගත් බව ත්‍රිරෝද රථ රියැදුරු පොලීසියට කීවේය. වැඩිදුරටත් විමර්ශන සිම්පත් බහාලුම් කවරය පරීක්ෂාවේදී එහි ඇතුළු පැත්තේ පෑනෙන් ලියන ලද දුරකතනය අංකය ඔස්සේ ද ඇරැඹිණි. එම දුරකතන අංකයේ තොරතුරු පරීක්ෂාවේ දී හෙළි වූයේ ජාතික හැඳුනුම්පත් අංකයක් පමණි. අනතුරුව එම ජාතික හැඳුනුම්පත් අංකයේ තොරතුරු පරික්ෂාවේදී සිම්පතේ හිමිකාරිය බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාසයට අයත් බෝගහකුඹුර පොලිස් වසමේ ගුරුතලාවේ පදිංචිකාරියක වන රාසික් සිනතුල් මුනම්මරා නමැත්තිය බව හෙළි විය.

මැදවච්චිය පොලිසියේ විමර්ශන නිලධාරින් ක්ෂණයෙන් එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියා සමඟ සම්බන්ධ වී මුනම්මරාගේ ඥාතීන් සම්බන්ධ කරගැනීමට සමත් විය. ඒ අනුව ඝාතනය වී සිටින්නේ මුනම්මරාම ද යන්න තහවුරු කරගැනීම සඳහා ඇගේ මව මොහොම්මදු ඉස්මයිල් උම්මු සහ මාමා කෙනෙකු වන එම්. අයි. ජවුෆර් මැදවච්චිය පොලීසියට කැඳවනු ලැබූහ.

ඝාතනය වී සිටින්නේ සිය දියණිය මුනම්මරා බව එම දෙදෙනා තහවුරු කළහ. මුනම්මරා 36 හැවිරිදි කතකි. විවාහක කාන්තාවක වන ඇය වයස අවුරුදු 14ක දරුවකුගේ මවකි. ඇගේ සැමියා සජාද් මුහම්මදු ෆසිල් මේ වන විට වවුනියාව බන්ධනාගාරයේ රැඳවියකු ලෙස සිටින බවද ඇගේ මව ඇතුළු ඥාතීහු හෙළි කළහ. ඒ, මන්නාරම, සිලාවතුර ප්‍රදේශයේ දී සිදුකළ ස්ත්‍රී දූෂණයකට අදාළවය.

“සර්… මගේ දුව රට ඉඳලා ආපු කෙනෙක්… එයා ආයිත් රට යන්න පහුගිය ජනවාරි 5 වැනිදා ගෙදර ඉඳලා කොළඹ ආවා… වීසා හදාගන්න… 8 වැනිදා මට කෝල් කරලා කිව්වා, මහත්තයා බලන්න වවුනියාවේ හිරගෙදර යනවා කියලා…“ යැයි මුනම්මරාගේ මව පොලිස් නිලධාරින් ඉදිරියේ හෙළි කළාය.

මුනම්මරා ඒ වන විට භාවිත කළ ජංගම දුරකතන අංකය ද මුනම්මරාගේ මව පොලීසියට ලබා දුන්නාය. එහි දුරකතන විශ්ලේෂණ වාර්තාවක් ගෙන පරික්ෂාවේදී ඉකුත් 8 වැනිදා පෙරවරුවේ සිට සවස 6.36 තෙක් දිගින් දිගටම සම්බන්ධ වූ දුරකතන අංකයක් අනාවරණය විය. වැඩිදුරටත් එම දුරකතන විශ්ලේෂණ පරීක්ෂාවේදී එම දුරකතන අංකය සහ මුනම්මරාගේ දුරකතන අංකය අතර මුල්ම සබඳතාව ආරම්භ වී තිබුණේ ඉකුත් දෙසැම්බර් 25 වැනි දින සිටය. එම දුරකතන අංකය ‘ට්‍රෘ කෝලර්‘ යෙදවුම ඔස්සේ පරීක්ෂාවේ දී සඳහන් වූයේ රියාස් නමැති නමකි.

එම දුරකතන අංකය පරීක්ෂාවේදී එම සිම්පත කැකිරාවේ මුස්ලිම් කාන්තාවක වන නාගොර් සෙයිතුම් උම්මා නමැත්තියගේ නමට අයත් බව හෙළි විය. පොලිසිය ඇය ගැන සොයද්දී ඇයට රියාස් නමැති පුතෙක් සිටින බව හෙළිවූ අතර ඔහු කැකිරාව පොලීසියේ අයිආර්සී හෙවත් ලියාපදිංචි අපරාධකාරයෙක් බවද හෙළි විය. පොලීසිය රියාස් ගැන වැඩිදුරටත් සොයා බලද්දී හෙළිකර ගන්නේ රියාස් කලක් මැදවච්චිය, බොරලුකන්ද ප්‍රදේශයේ පිහිටි ‘ඩොක්ටර්ගේ‘ වත්ත ලෙස ප්‍රචලිත ඉඩමක වැඩ කළ තැනැත්තෙක් බවය. රියාස් 39 හැවිරිදි බුහාරි මුහම්මදු රියාස්දීන් බව හෙළි විය. රියාස් ගැන වැඩිදුරටත් සොයද්දී ඔහු රඹෑව පාර, ගනේවල්පොළ, කැකිරාව ලිපිනයේ පදිංචිකරුවකු බවට තොරතුරු අනාවරණය විය. එසේම ඔහුට විවාහ දෙකකින් දරුවන් හයදෙනකු සිටින බව හෙළි විය. එක් විවාහයක් ගලේවෙල, පුවක්පිටියේ කාන්තාවක සමඟය. එම විවාහයේ දරුවන් දෙදෙනෙකි. අනෙක් විවාහය මුලතිව්, මුල්ලියාවෙලි ප්‍රදේශයේ කාන්තාවක සමඟය. එම විවාහයෙන් ද ඔහුට දරුවන් සිවුදෙනෙකි.

පොලීසිය එලෙස රියාස් ගැන හෙළිකර ගැනීමත් සමඟ ඔහු සොයා විමර්ශන නිලධාරින් කණ්ඩායම් දෙකක් කැකිරාවට සහ මුලතිව්, මුල්ලියාවේලි ප්‍රදේශයට යැවීමට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයෝ තීන්දු කළහ. ඒ අනුව කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හේමන්ත ධර්මසිරි ඇතුළු කණ්ඩායම කැකිරාව ලිපිනයට ගොස් රියාස් සොයද්දී මැදවච්චිය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක සී.ජේ.එස්. ඇන්තනී ඇතුළු කණ්ඩායම මුල්ලියාවෙලි ප්‍රදේශයට ගිය අතර එස්.අයි. ඇන්තනි කලක් මුලතිව් පොලීසියේ අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කර තිබූ හෙයින් එම ප්‍රදේශය ගැන ඔහු හොඳින් දැන සිටියේය. පොලිස් කණ්ඩායම් දෙක රියාස් සොයා ගියේ ඉකුත් 12 වැනිදා රාත්‍රී කාලයේය.

මුල්ලියාවෙලි ගිය පොලිස් නිලධාරින් කණ්ඩායමට එදින රාත්‍රියේ රියාස් ගැන සැල වූයේ ඔහු 12 වැනිදා පෙරවරුවේ මුල්ලියාවෙලි පොලීසියේ පෙනී සිටි බවයි. ඒ අධිකරණ නියෝග මත සෑම ඉරු දිනකම මුල්ලියාවෙලි පොලීසියේ පෙනී සිටිය යුතු හෙයිනි. ඒ, ඔහු මුල්ලියාවෙලි බිරියගේ පළමු විවාහයේ දියණියකට අතවර කිරීම නිසාවෙනි. රියාස් බන්ධනාගාරගතව සිට ඇත්තේ ද එම අපරාධය නිසාය.

රියාස් පොලීසියට පැමිණ නැවත පිටවී ගොස් තිබුණ අතර වැඩිදුර ඔහු ගැන තොරතුරු සොයද්දී හෙළි වූයේ රියාස් මුල්ලියාවෙලි ප්‍රදේශයේ සිටින බවය. ඒ අතර තවත් තොරතුරකින් මැදවච්චිය පොලිස් නිලධාරීන්ට හෙළි වූයේ 12 වැනිදා සවස් යාමයේ රියාස් මාන්චෝලේ රෝහල ඉදිරිපිටින් යතුරුපැදියක නැඟි ගිය බවයි. පසුදා එනම් 13 වැනිදා පොලිස් නිලධාරින් කණ්ඩායම ඒ අවට සීසීටීවී කැමරා පරීක්ෂා කරමින් සිටියදී එදින සවස 4ට පමණ රියාස් කොටුවන්නේ මුල්ලියාවෙලි, මාන්චෝලේ රෝහල ඉදිරිපිට කොන්ක්‍රිට් මාර්ගයේ පා ගමනින් යමින් සිටියදීය. විමර්ශන නිලධාරීන්ට රියාස් හඳුනා ගැනීමට පහසු වූයේ ඔහු අයිආර්සීකාරයකු නිසා ඔහුගේ ඡායාරූප ද ඒ වනවිට පොලීසිය සතුව තිබූ හෙයිනි.

එලෙස අත්අඩංගුවට ගත් රියාස්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරද්දී මුනම්මරා ඝාතනයේ සියලු තතු හෙළි වූයේ මෙලෙසිනි.

මුනම්මරා බදුල්ල දිස්ත්‍රික්කයේ බෝගහකුඹුර පොලිස් වසමේ පදිංචිකාරියකි. මුනම්මරාගේ සැමියා ෆසිල් මේ වන විටත් වවුනියාව බන්ධනාගාරයේ පසුවේ. ඒ, මන්නාරම, සිලාවතුර ප්‍රදේශයේදී සිදුවූ ස්ත්‍රී දූෂණයකට අදාළවය. රියාස් ද එම බන්ධනාගාරයේම සිටියේ මුල්ලියාවෙලි බිරියගේ පෙර විවාහයේ දියණියකට අතවර කිරීමේ වරදටය. ෆසිල් සහ රියාස් බන්ධනාගාරයේ ගජමිතුරන් ලෙස ගත කර තිබිණි. රියාස්ට ඉකුත් දෙසැම්බර් 23දා ඇප නියම විය. ඔහු ඇප ලබාගෙන එළියට යන නිසා ෆසිල්, රියාස්ට කීවේ ඔහුට ද ඇප ලබා ගැනීමට උදවු කරන ලෙසයි.

ඒ අනුව ඒ සඳහා කතාබස් කිරීමට රියාස්ගේ දුරකතන අංකය ලබාගත් ෆසිල් එය ඔහුගේ බිරිය මුනම්මරාට දුන් අතර බිරියගේ දුරකතන අංකය ලබාගත් ෆසිල් එය රියාස්ට ලබා දුන්නේය. රියාස් දෙසැම්බර් 23දා ඇප මත එළියට පැමිණීමෙන් පසු දෙසැම්බර් 25 වැනිදා ෆසිල්ගේ බිරිය මුනම්මරා සමඟ දුරකතනය මඟින් සම්බන්ධ වී කතාබස් කර තිබිණි.

අනතුරුව දින කීපයක් ගත විය. ඉකුත් දිනෙක මුනම්මරා රියාස්ගේ දුරකතනයට ඇමතුමක් ගෙන කීවේ අට වැනිදා සැමියා බැලීමට වවුනියාවට එන බවයි. අට වැනිදා රියාස්ට ද වවුනියාව අධිකරණයේ නඩු කටයුත්තක් තිබිණි. එදින සවස 5.30ට පමණ දෙදෙනා මුණ ගැසී තිබුණේ වවුනියාව බස් නැවතුම්පොළේදීය. ඒ වන විට බන්ධනාගාරයේ ‘විසිට්‘ යෑම අවසන් වී තිබූ හෙයින් මුනම්මරාට සැමියා බැලීමට නොහැකි විය. පසුව මුනම්මරා සහ රියාස් නොයෙක් දේ කතාබස් කරමින් මිතුරු විය. මඳ වේලාවක් ගත විය. දෙදෙනා වවුනියාවෙන් අනුරාධපුර බස් රථයකට ගොඩවී මැදවච්චිය නගරයෙන් බැස්සේය. ඒ වන විට වේලාව රාත්‍රී 7.30ට පමණය. දෙදෙනා මැදවච්චියෙන් බැසීමෙන් පසු රියාස් යෝජනා කළේ එදින රාත්‍රිය හෝටල් කාමරයක ගත කිරීමටය. එහෙත් ඊට මුනම්මරා අකැමැති වූයේ පොලීසිය හෝ පැමිණියහොත් ගැටලුවක් පැන නැඟිය හැකි යැයි වූ බිය නිසාය.

“තවුෆික් කියලා මගේ යාළුවෙක් ඉන්නවා… කටුවෙල, ඩොක්ටගේ වත්තේ තමයි එයා ඉන්නේ… අපි එහේ යමු…“ යැයි මැදවච්චියෙන් බැසගත් දෙදෙනාගෙන් රියාස් ගෙන ආ එම යෝජනාවට මුනම්මරා ද කැමැති වූවාය.

අනතුරුව දෙදෙනා මැදවච්චිය නගරයෙන් ත්‍රිරෝද රථයකට ගොඩ වූහ. රථයේ යන අතර මත්පැන් අලෙවිසලකට ගොස් රියාස් බීර බෝතලයක් ද මිලදී ගත්තේය. කිලෝමීටර් දෙකහමාරක පමණ දුරක් ගොස් කටුවෙල, සුසාන භූමියට යන මාර්ගයට හැරෙන ස්ථානයෙන් ත්‍රිරෝද රථයෙන් බැස ගත් දෙදෙනා පා ගමනින් ඩොක්ටගේ වත්තේ පිහිටි තවුෆික්ගේ නිවෙසට පා නැඟූහ. දෙදෙනා තවුෆික්ගේ නි‍ෙවසට ආසන්න වෙද්දී දුටුවේ නි‍ෙවස ආසන්න මෝටර් රථ කීපයක් ද නතරකර ඇති ආකාරයයි. එම නිසා තවුෆික්ගේ නි‍ෙවසට යාමට මුනම්මරා අදිමදි කළාය.

ඒ අනුව එදින සඳ ද මෝදු වෙමින් තිබූ ඒ රාත්‍රියේ දෙදෙනා එම මාර්ගය යාබද ලඳු කැලෑවේ යහන් ගත වූයේ දෙදෙනාගේම කැමැත්තෙන් බව රියාස්ගේ ප්‍රකාශවලින් හෙළි විය.

“අපි දෙන්නා එහෙම හිටියට පස්සේ මුනම්මරා කලකිරිලා වගේ කතා කළා… අන්තිමට අපි දෙන්නා අතර බහින්බස් වීමක් වුණා… ඒ වෙලාවේ මං එයාගේ නහයයි කටයි අතින් තද කරගෙන හිටියා…“ යැයි කී රියාස් ඒ සමඟම ඇගේ කරේ තිබූ සළුපට ගෙන ඇයගේ ගෙල තද කළ බව පොලීසියට කීවේ මුනම්මරාගේ ඉරණම් ගමන කෙළවර වූ ආකාරය ද හෙළි කරමිනි. ඒ එදින රාත්‍රී 9.00ට පමණය.

“සර්… මම එයාව මරන්න නෙවෙයි ඒ දේ කළේ… ඒත් එයා කෑගහලා කාටහරි ඇහුණොත් ප්‍රශ්නයක් වෙයි කියලා මං බය වුණා…“ යැයි රියාස් පොලිස් නිලධාරීන් ඉදිරියේ පැවැසීය.

අනතුරුව ක්‍රියාත්මක වූ රියාස් මුනම්මරාගේ ජංගම දුරකතනය සහ මුදල් පසුම්බිය ද ගෙන කැකිරාවේ, ගනේවල්පොළ පිහිටි සිය මවගේ නිවෙස බලා පිටත්ව ගියේය. ඒ යන අතර මගී බස්රථ තේ පානය සඳහා නතර කරන ගල්කුලම, රාත්‍රී වෙළෙඳසලට ගිය මොහොතේ එම වෙළෙඳසල පිටුපස ඇති මාන පඳුරු අතරට මුනම්මරාගේ ජාතික හැඳුනුම්පත සමඟ මුදල් පසුම්බිය විසිකළ බව ඇගේ ජංගම දුරකතනය කැකිරාවේ නිවෙසට රැගෙන ගොස් සිම්පතක් ද යොදා දින දෙක තුනක් භාවිත කළ බව ද රියාස් හෙළි කළේය.

එලෙස අත්අඩංගුවට ගත් රියාස්ඩීන් මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැය 48ක රැඳවුම් නියෝගයක් ගත් මැදවච්චිය පොලිස් නිලධරයෝ අනතුරුව සැකකරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළහ. එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය. ඊට අමතරව ඉදිරි විමර්ශන සඳහා මුනම්මරාගේ සහ රියාස්ගේ ඩීඑන්ඒ පරීක්ෂාවක් ද සිදු කිරීමට කටයුතු කරන ලදි.

කැබිතිගොල්ලෑව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බැසිල් ක්‍රිෂාන්ත ජයවර්ධනගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චින්තක පීරිස්ගේ අධීක්ෂණයෙන් මැදවච්චිය පොලීසියේ ස්ථානාධිපති ඒ. ඒ. කේ. එස්. අධිකාරිගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක සී.ජේ.එස්. ඇන්තනී, සැරයන් 68548 තරිඳු, කොස්තාපල්වරුන් වන 81303 සෙනෙවිරත්න, 102652 සුජිත් කුමාර සහ කොස්තාපල් රියැදුරු 85664 වික්‍රමසිංහ යන නිලධාරිහු විමර්ශන සිදු කළහ.

අමිල මලවිසූරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division