– ඩී.අයි.ජී. කෙනෙකුගේ රූපය වට්ස්ඇප් ගිණුමට දමාගෙන රූපලාවණ්‍යය ශිල්පිනියක බිය ගන්වා රු 50,000ක් කප්පම් ඉල්ලලා
– විසිපන්දාහක් අරගෙන තවත් ගේමක් ගහන්න හදද්දී කොටුවෙලා
– සැකකරු මීතොටමුල්ල ඩිපෝවේ සේවකයෙක්
– අල්ලන්නේ සී.අයි.ඩී.ය කළ විමර්ශනයකදී
අපරාධකරුවන් බොහෝ අවස්ථාවල විවිධ ‘වෘත්තීන්වල’ නිරත වන අයගේ වෙස් ගන්නා බව අමුතුවෙන් කිව යුතු කතාවක් නොවේ. ව්‍යාපාරිකයන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ආයතන ප්‍රධානීන්, රාජ්‍ය නිලධරයන් ඇතුළු විවිධ වෘත්තිකයන් ලෙස පෙනී සිටින අපරාධකරුවෝ අහිංසක අසරණ මිනිසුන් රවටා ඔවුන් සතු මිල මුදල් ඉතා සූක්ෂ්මව සොරකම් කරන්නේ කිසිම බියක් සැකක් නැතිවය. විශේෂයෙන් ඔවුන් ඒ සඳහා ප්‍රධාන වශයෙන් ම යොදා ගන්නේ අන්තර්ජාලයයි.
අන්තර්ජාලය, ෆේස්බුක් සහ වට්ස්ඇප් ගිණුම් භාවිත කරමින් මෙලෙස විවිධ තනතුරු දරන පුද්ගලයන් ලෙස පෙනී සිටින මේ අපරාධකරුවන්ට රැවටී අතේ තිබෙන මුදල් පමණක් නොව ගේදොර, යාන වාහන, රන් ආභරණ, හරකබාන, වතුපිටි පවා නැති කරගත් පුද්ගලයන් එමට සිටිති.
නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස වෙස්වළාගෙන අන්තර්ජාලය ඔස්සේ කප්පම් ගැනීමේ නිරතව සිටි පුද්ගලයකු ද රහස් පොලීසිය සිදු කරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබුවේද පසුගියදාය. මේ කතාව පෙළ ගැසෙන්නේ මෙසේය.
ඇය රූපලාවණ්‍යය ශිල්පිනියකි. පදිංචිය කොලොන්නාව ප්‍රදේශයේය. ඇයට වට්ස්ඇප් ගිණුමක් ද තිබිණි. මේ රූපලාවණ්‍යය ශිල්පිනිය අන්තර්ජාලය නිතර පරිශීලනය කළාය.
මේ අතර දවසක් ඇගේ වට්ස්ඇප් ගිණුමට පණිවුඩයක් ලැබිණි.
“ඔයා… ඔය ජොබ් එක පරෙස්සමෙන් කරගෙන යන්න…” යැයි එම කෙටි පණිවුඩයේ සඳහන් විය. මේ පණිවවුඩය වැරදීමකින් කිසිවකු තමාට එවූ එකක්දැයි සිතූ ඇය චකිතයටද පත් වූවාය. පණිවුඩය එවූ පුද්ගලයා ගැන සොයන විට ඇය දැනගන්නේ එම පුද්ගලයා පොලිස් නිල ඇඳුමෙන් සැරසී සිටින අයකු බවයි. එම නිල ඇඳුම නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ නිල ඇඳුමට සමාන එකක් බවද රූපලාවණ්‍යය ශිල්පිනිය දැනගන්නේ අනතුරුවය.
මේ අවස්ථාව වන විට අදාළ රූපලාවණ්‍යය ශිල්පිනියට කොළඹ අපරාධ කොට්ඨාසය සිදු කරන විමර්ශනයකට අදාළ නඩුවකට පෙනී සිටීමට ද සිදු වී තිබුණි. ඇය අනතුරුව සිදු කරන්නේ අපරාධ කොට්ඨාසයේ නිලධරයකු තමන්ට අදාළ නඩුව සම්බන්ධයෙන් තමන්ට කිසියම් පණිවිවුඩයක් දීමට උත්සාහගෙන ඇත්දැයි සොයා බැලීමයි. ඒ අනුව ඇය ඉන් අනතුරුව සිදු කරන්නේ නියෝජ්‍ය පොලිස්පතිගේ නිල ඇඳුමින් සැරසී තමන්ට වට්ස්ඇප් ඔස්සේ පණිවුඩයක් තැබූ නිලධරයාට වට්ස්ඇප් ඇමතුමක් ගැනීමයි.
එහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පෙනී සිටින පුද්ගලයා පවසන්නේ අදාළ රූපලාවණ්‍ය ශිල්පිනිය සම්බන්ධයෙන් රතු නිවේදනයක් අත්සන් කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවයි. එය අත්සන් කළහොත් ඇය අනිවාර්යයෙන්ම බන්ධනාගාරගත කරන බවද එය වැළැක්වීමට තමාට හැකි නිසා ඒ සඳහා රුපියල් පනස් දහසක් තමාට අවශ්‍ය බවයි.
රුපියල් පනස්දහසක් තමාට ලබා නොදෙන්නේ නම් රූපලාවණ්‍යය ශිල්පිනියට හෙරොයින් ග්‍රෑම් 5ක් ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ද බන්ධනාගාරගත වීමට සිදුවන බවද පවසා ඇයට පරුෂ වචනයෙන්ද බැණ වැදීමට නියෝජ්‍ය පොලිස්පති නිල ඇඳුමෙන් සැරසි සිටි පුද්ගලයා කටයුතු කර තිබිණි.
මේ සිද්ධියෙන් භීතියට පත් රූපලාවණ්‍යය ශිල්පිනිය නියෝජ්‍ය පොලිස්පති ලෙස කතා කළ පුද්ගලයාට බැගෑපත් වී ඇත්තේ එදින තමාට රුපියල් පනස්දහසක් සොයා ගත නොහැකි නිසා රුපියල් විසිපන් දහසක් ඔහුගේ ගිණුමට බැර කරන බවයි. නියෝජ්‍ය පොලිස්පති ලෙස කතා කළ පුද්ගලයා ඊට එකඟ වීම නිසා රූපලාවණ්‍යය ශිල්පිනිය කරන්නේ රුපියල් විසිපන් දහසක් ඔහු දුන් බැංකු ගිණුමට බැර කර ලදුපතේ ඡායාරූපයක් ගෙන වට්ස්ඇප් අංකයට යොමු කිරීමය.
අනතුරුව තවත් ටික වේලාවකින් රූපලාවණ්‍යය ශිල්පිනිය ඇමතූ නියෝජ්‍ය පොලිස්පති වෙස්ගත් පුද්ගලයා රූපලාවණ්‍යය ශිල්පිනියගේ මිතුරියකගේ නමක් කියා ඇගේ වට්ස්ඇප් අංකය ඉල්ලා ඇති අතර එහිදී රූපලාවණ්‍යය ශිල්පිනියට ඇති වූ සැකය මත මිතුරියගේ අංකය ඔහුට නොදී අදාළ වට්ස්ඇප් අංකය විසන්ධි කර වහාම ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළාය.
රහස් පොලීසිය මේ ගැන සිදු කරන ලද දීර්ඝ විමර්ශනයේදී අදාළ රූපලාවණ්‍යය ශිල්පිනියගෙන් තොරතුරු ලබා ගනිද්දී නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පෙනී සිටින පුද්ගලයා සිය වට්ස්ඇප් ගිණුමේ ඡායාරූපය ලෙස යොදාගෙන ඇත්තේ දැනටමත් පොලිස් සේවයේ නිරත නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ ඡායාරූපයක් බවය.
මේ පුද්ගලයා අල්ලා ගැනීම සඳහා සී.අයි.ඩී.ය කළ විමර්ශනයේදී හෙළිවන්නේ ඔහු ගමනාගමන මණ්ඩලයේ සේවකයකු බවය. ඊට අමතරව ඔහු පාපන්දු ක්‍රීඩකයකු බවද හෙළි විය. සැකකරු කාර්යාල කාර්ය සහායකයකු ලෙස සේවය කරන අයෙක් බවද හෙළි විය.
සැකකරු ඉන් අනතුරුව අත්අඩංගුවට ගන්නේ මීතොටමුල්ල ඩිපෝවේ විවේක කාමරයක් ඇතුළේ සිටියදීය.
එලෙස අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කරද්දී හෙළිවී ඇත්තේ ඔහු වට්ස්ඇප් ගිණුම සකස් කිරීම සඳහා අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඡායාරූපය ලබාගෙන ඇත්තේ අන්තර්ජාලයෙන් බවය. ඒ සඳහා භාවිත කළ සිම්පත මීතොටමුල්ල ඩිපෝවේ රියැදුරෙකුට අයත් එකක් බවද හෙළි විය. රූපලාවණ්‍යය ශිල්පිනියගෙන් ලබාගත් මුදල් තැන්පත් කරවාගෙන ඇත්තේ එම ඩිපෝවේම සේවයේ නියුතු සේවකයකුට අයත් බැංකු ගිණුමකටය.
මේ සැකකරු රියැදුරු මිතුරාගේ සිම්පත සහ සෙසු සේවකයාගේ බැංකු ගිණුම් අංකය ලබාගෙන ඇත්තේද ඉතා සූක්ෂ්මවය. ඒ ඔවුන් දෙදෙනා නොමඟ යවමිනි.
සැකකරු සන්තකයේ තිබුණු අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 3000ක් ද සොයා ගැනීමට පොලිස් නිලධරයන්ට හැකි වන්නේ ඉන් අනතුරුවය. එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුගේ වයස අවුරුදු 34කි.
අන් අයකු ලෙස පෙනී සිටීම, සාපරාධි බිය ගැන්වීම සහ කප්පම් ගැනීමේ චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කැරිණි.