ඇස් වහර නිවැරදි විය යුතු අන්දම ගැන පළ වන ලිපිවල අඩුවක් නැත. එහෙත් එසේ වූ පමණින්, දෛනිකව දක්නට ලැබෙන බස් දොස්වල අඩුවක් නැති සේම, දොස් දක්වමින් පළ වන ලිපි වුවද සියල් දොසින් තොර නොවන වග වෘත්තීය සංස්කාරකයකු සේ දසක දෙකක් පුරා අපගේ ප්රත්යක්ෂයයි.
වෙදුන් කොපමණ සිටියද ලෙඩුන්ගෙන් තොර රටක් ලොව කවර නම් දෙසක වේද? අනෙක් අතට වෙදුන් වුව විටක ලෙඩුන් විය නොහැකිද?
ඒ එසේ වුව, වෙදකුට වැරදුණ හොත් හානි වන්නේ ලෙඩකුට පමණක් වන කල, ලේඛකයකුට නොහොත් ගුරුවරයකුට වැරදුණ හොතින් වරදිනුයේ පරපුරකටමය. මුද්‍රිත ලේඛනයක් වැරදුණ හොත්, එහි අවසන් පිටපත ලොව පවතින තාක් එය පරිශීලනය කරන ගිණිය නොහැකි තරම් දුහුනෝ අහිනක්ම නොමඟ යත්!
මෙකරුණුවලට ඌනපූරණයක් සේ, අපේ අත්දැකුම් ත්රිකයක් මෙහි දක්වනුයේ තතුවෙහි බරපතළකම හඟවනු පිණිසය.
සිංහල ටියුෂන් ඇදුරකු සේ රට පුරා පතළව සිටි මහතකු නමින් අගනුවර වසා කලකට පෙර ඇලවුණු තඩි පෝස්ටරයකි. එහි අග පොල්ගෙඩි අකුරින් දැක්වුණු පණිවිඩය මෙන්න: ‘සිසුන් බඳවා ගැනේ’ නමේ පතළකම වැඩි වන්නට වන්නට හානියේ බරපතළකමද ඉහළ නඟින සැටි සිහි වී මසිත කම්පනයද ඉහළ ගියේය. මෙවන් අය සිර කිරීම සඳහා හොඳම මඟ ලෙස, මහෞෂධ පඬිද කිහිප විටක්ම වහලට ගත් ‘සමාන ප්‍රශ්න’ ක්‍රමවේදය මගේද පිහිටට ආයේ මෙතැන්හිදීය.
අදාළ මහතා දුරකතනය ඔස්සේ සබඳ කර ගත් ඉක්බිති අප අතර දිගහැරුණු දෙබස මෙසේය:
“මහත්මයා, මම … පුවත්පතේ උපකතුවරයෙක්. මේ වේලාවේ මට ඔබ හා මඳක් කතා කළ හැකිද?”
(අනුකූලතාව පළ වේ)
“අපේ පත්‍රයේ ප්‍රධාන ශීර්ෂපාඨය ලෙස ඉහළින් වැකියක් ලැබී තිබෙනවා. එහෙත් එහි වියරණය වරද සහගත බව මට හැඟී යනවා. තහවුරු කරගන්නයි ඔබට කතා කළේ…”
“ඔව්, කියන්න බලන්න.”
“රැඳවියන් ඝාතනය කෙරේ.” (ඒ වැලිකඩ කුප්‍රකට සමූහ සිරකරු ඝාතනය සිදු වූ සමයයි).
“කවුද ඔය කතා කරනවැයි කිවුවෙ?”
(මම මගේ නොපළ පෙළපත් නම පවසමි)
“කවුද ඕක ලිවුවෙ? මොන පත්තරේද ඔය?”
(ඔහුගේ හඬ නොසන්සුන් ස්වරයකට පෙරළේ. මම වෑයමින් ඔහු ආපසු මාතෘකාව වෙත කැඳවාගෙන එමි. කර්තෘකාරක කර්මකාරක භේදය පහදමින් ඔහු මා ඇමට දැමූ වැකියේ වරද හා නිවැරදි රූපය මට කියා දෙයි. දැන් මගේ වාරයයි):
“එතකොට මහත්මයා, කොළඹ පුරා ඇලවී ඇති ඔබේ පන්ති පෝස්ටරයේ ‘සිසුන් බඳවා ගැනේ’ කියා තිබෙන්නේ…?”
ඔහු එතෙක් කතා කළ ස්වරය වෙනස් විය. එය තමාට නොපෙන්වා මුද්‍රණය කළ එකක් බවත්, පිටපත් ලක්ෂ ගණනක් අච්චු ගසා අවසන්ව තුබුණු බැවින් ඒවා අලවා දමන ලෙස තමා පැවසූ බවත් පාපොච්චාරණයක් සේ පැවසිණි.
1. ඒ දැනුමේ හා පැවැත්මේ වෙනසයි.
දෙවැන්නා මා දන්නා ලේඛකයකුද වන ඉහළ නිලධරයෙකි. ඔහු ලියන දෑ පළ කරන්නට පෙර සැකසුමට පත් වන්නේ මා අතටය. කිසි කලක ඔහුගේ අත් ලිපිවල ‘ඔවුහු පවසති’ ස්වරූපයේ වැකි මට හමු නොවේ. ‘ඔවුන් පවසති’ ස්වරූපයෙන් මා හමුවට විත්, ‘ඔවුහු පවසමි’ රුවින් සැරසී දොරට වැඩුම අනවරතයෙන් සිදු වේ. හැබැයි මේ නිලදරුවා වේදිකා මත පවසන්නේ අද්‍යතන භාෂාවේ ගැටලු ඇති බවයි.
2. ඒ නොදන්නා බව නොදැන්මේ විපාකයයි.
දැන් කියන්න යන්නා අප වෙතින් සැකසුම් සහය නිබඳ පතන ජ්‍යෙෂ්ඨ ලේඛකයන් අතුරින් අයෙකි. හේ ස්වකීය නිර්මාණකරණයෙහිලා අපගේ දායකත්වය ප්‍රසිද්ධියේම පළ කරයි. හොඳ ගුණයකි. වරද ඇත්තේ දහපාළොස් වසක් තිස්සේ එකම බස් දොස් ගොන්නක් යළි යළිත් එක සේ ඔහුගේ ලියවිලි සමඟ මා වෙත ලැබීමේය.
3. ඒ ඇබ්බැහියේ ආදීනවයි.
මෙරට බොහෝ ආධුනිකයෝත්, ප්‍රවීණයෝත් තමන් අතින් ලියවෙන බසෙහි දොස් ඇති බව නිහතමානිව පිළිගනිති; එහෙයින්ම තමන් ලියන දෑ පළ වීමට ප්‍රථම දෙවැන්නකුගේ ඇසින් නිවැරදි කරගැන්මට රිසි වෙති. යහපති. එහෙත් මෙහිදී ඔවුන්ගේ පිහිටට එන අය මේ බර ඉසිලුමට පොහොසත් නම් පමණක් අරමුණ නිසි සේ ඉටු වෙයි. නොඑසේව සිදු වනුයේ දෙවැන්නාගේ දැනුම් පමණට මුල් ලියවිල්ල කැපී කෙටී යෑමකි. එවන් විටක ලේඛකයාද ‘අනේ! මා මෙතුවක් සිතා සිටි සේ වැරදි නොවැ’ යි සිතා, එතැන් පටන් වැරැද්දම නිවැරදි සේ ගනී!
අපට ‘කිස නිමයි’ කියා සිතා ඉසිඹුවක් ලබන්නට ඉඩක් නොලැබෙන්නේ මේ පසුබිමෙහිය. ඉදින් නොසැලකිල්ලෙන් වේවා, නොදැන්මෙන් හෝ ඇබ්බැහියෙන් වේවා ලේඛනවල වැදගන්නා මේ බස් තුන් දොස සමනයට ‘සිළුමිණ ශාස්ත්‍රීය සංග්‍රහයේ’ මේ ඉඩ අද පටන් වෙන් වෙයි. අපගේද වරදක් දුට හොත් එය නොවළහා දන්වනු මැනවි. සැකෙවින්, සකාරණව එන එවන් විමසුමක් නොසඟවා පතෙහි පළ කරන්නට වුව මැළි නොවමු. අපගේ එකම අරමුණ බස රැකුම මිස, අනෙකක් නොවන බැවිනි.
– සකසු