Home » අනුරාධපුරය මැද කොන්ක්‍රීට් නටබුන්

අනුරාධපුරය මැද කොන්ක්‍රීට් නටබුන්

by Mahesh Lakehouse
January 25, 2025 12:30 am 0 comment
අනු­රා­ධ­පුර පළාත් අධ්‍යා­පන දෙපා­ර්ත­මේන්තු භූමියේ ගොඩ­නැ­ඟිල්ලේ වැඩත් අත­ර­මඟ නැව­තිලා

ශ්‍රී ලංකාවේ පළමු රාජධානිය වන අනුරාධපුයේ බිඳවැටීමත් සමඟ එකල පෞරාණික වටිනාකමකින් යුත් පැරණි රජදරුවන් විසින් ගොඩනඟන ලද නටබුන් වූ ගොඩනැඟිලි සහ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති බෞද්ධ සිද්ධස්ථාන රැක ගැනීමට පැරණි රජදරුවෝ සමත් වූහ. එබැවින්ම ඒවා නෂ්ටාවශේෂ වශයෙන් හෝ අද ද අපට දැකගත හැකිය.

මේ අතර මෑත ඉතිහාසයේ රට පාලනය කළ පාලකයෝ ද තම සමයේ ආරම්භ කළා යැයි පැවසීමට බොහෝ ව්‍යාපෘති ආරම්භ කළහ. එහෙත් විශාල මුදලක් වැය කර අරඹන ලද ඒවායින් ඇතැම් ව්‍යාපෘති මුල්ගල්වලට පමණක් සීමාවී අතර මැද නතර කරනු ලැබීය. එවැනි ගොඩනැඟිලි විශාල ප්‍රමාණයක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද දැකගත හැකිය. එහි පාදම දමා, කොන්ක්‍රීට් කණු කිහිපයක් පමණක් නංවා ඇත.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොඩනැඟිලි ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භයේදී සුබ නැකතින් මුල්ගල් තැබීමේ උත්සවයට ද විශාල මුදලක් වැය කොට වැඩ ඇරඹුවත්, ප්‍රදේශයේ ජනතාවට බලාපොරොත්තුවක් පමණක් ඉතිරි කර, ඒ බොහෝ ගොඩනැඟිලි අතරමැද නතර කර දමා ඇති අයුරු දැකගත හැකිය. මේවා සංරක්ෂණය කිරීමට ‌හෝ ඉදිකිරීම් අඛණ්ඩව කරගෙන යෑමට කිසිවකු කටයුතු කර නැත. මේ ව්‍යාපෘති සඳහා වෙන් කළ මුදල්වලට සිදු වූ දෙයක් ද නැත.

මේ ලෙස පසුගිය පාලන සමයේ ආරම්භ කෙරුණු ‘ළඟම පාසල හොඳම පාසල’ ව්‍යාපෘතිය යටතේ උතුරු මැද පළාතේ රජයේ පාසල්වල ඉදිකිරීම් ආරම්භ කර අතරමඟ නතර කර දමා ඇති ගොඩනැඟිලි සංඛ්‍යාව තිහකට වැඩිය. මින් ඇතැම් ගොඩනැඟිලිවල වැඩ 50%ක ප්‍රමාණයකට නිම කර ඇතත් ඒ සඳහා සමස්ත වියදමෙන් 80%ටත් වඩා වැඩි මුදල් ප්‍රමාණයක් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවා අවසන්ව ඇත. පදවිය මහසෙන් මහා විද්‍යාලය, තන්තිරිමලය විමලඤාන විද්‍යාලය, අනුරාධපුර නිවත්තකචේතිය විදුහල, තිරප්පනේ මහානාම මහා විද්‍යාලය එවැනි අතරමඟ නතර කර ඇති ගොඩනැඟිලි සහිත පාසල් කිහිපයකි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව, මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘතියක් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය පෞද්ගලික සමාගමක් සමඟ එක්ව 2021 වර්ෂයේ මාර්තු මස ආරම්භ කළ මහල් 10කින් යුතු නිවාස 135ක ව්‍යාපෘතියේ වැඩ කටයුතු අතරමඟ නතර වී, එහි කොන්ක්‍රීට් කණුවල කම්බි දිරාපත් වෙමින් පවතී. අනුරාධපුර නගර මධ්‍යයේ අභය පෙදෙස, 6 වැනි පටුමඟ, අංක 1 ඉඩමේ ඉදි කිරීම් ආරම්භ කෙරුණු මේ නිවාස ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු මුදල රුපියල් මිලියන 1,600කි. 2021 මාර්තුවේ ආරම්භ කර, වසර එකහමාරක කාලයක් තුළ වැඩ කටයුතු අවසන් කිරීමට නියමිතව තිබුණ ද මෙය දැනට නතර වී ඇත්තේ එහි නිවාස සඳහා අයදුම්පත්‍ර භාර දුන් මධ්‍යම පාන්තික ජනතාවගේ බලාපොරොත්තු සුන් කරමිනි.

‘ළඟම පාසල හොඳම පාසල’ ව්‍යාපෘතිය යටතේ උතුරු මැද පළාතේ නිශ්චිත සංවර්ධන ව්‍යාපෘතිය යටතේ උතුරු මැද අධ්‍යාපන දෙපාර්තමේන්තු කාර්යාල භූමිය තුළ අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාල සංකීර්ණය ඉදිකිරීම් 2017 වර්ෂයේ ආරම්භ කෙරුණ ද, දැනට වසර 8ක කාලයක් ගතව ඇතත් එහි වැඩකටයුතු අතරමඟ නතර කර දමා ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ, මේ ගොඩනැඟිල්ල සඳහා රුපියල් ලක්ෂ 1,100ක් ඇස්තමේන්තු කර, පළමු වටයේදී රුපියල් මිලියන 80ක මුදලක් ගෙවා ඇති බවයි. එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කර මේ වන විට වසර 8ක කාලයක් ගත වීම හේතුවෙන් වර්තමානයේ එහි වැඩ අවසන් කිරීමට තවත් විශාල මුදලක් වැය කිරීමට සිදුව ඇති බවද ඒ මහතා පැවසීය.

උතුරු මැද පළාතේ මේ සියලු ව්‍යාපෘති සඳහා මිලියන 500ක පමණ මුදලක් අවභාවිත වී තිබෙන බව පසුගියදා ආණ්ඩුකාරවරයාට පෙන්වා දුන් බවත්, සමහර ගොඩනැඟිලිවලට මුදල් වියදම් කර කිසිදු ඉදිකිරීමක් සිදු කර නැති බවත්, ඊට වගකිවයුතු අදාළ නිලධාරීන් නීතිය හමුවට පමුණුවා ඒ සඳහා වැය වූ මුදල් ඔවුන්ගෙන් අයකරගත යුතු බවත් ඒ මහතා වැඩි දුරටත් අවධාරණය කළේය.

මහල් 10කින් යුත් නිවාස 135ක නිවාස සංකී­ර්ණයේවැඩ අත­ර­මඟ නතර කර ඇති අයුරු

මහල් 10කින් යුත් නිවාස 135ක නිවාස සංකී­ර්ණයේ වැඩ අත­ර­මඟ නතර කර ඇති අයුරු

ඉදි කිරීම් අත­ර­මඟ නතර වී ඇතිඅනු­රා­ධ­පුර නිව­ත්තක චේතිය මහා විද්‍යා­ලයේ
ගොඩ­නැ­ඟිල්ල

ඉදි කිරීම් අත­ර­මඟ නතර වී ඇති අනු­රා­ධ­පුර නිව­ත්තක චේතිය මහා විද්‍යා­ලයේ ගොඩ­නැ­ඟිල්ල

බී.ජී. චතුරංග – අනුරාධපුර සංචාරක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division