Home » කොළපතින් රටා මවන අපූර්ව සිත්තරා

කොළපතින් රටා මවන අපූර්ව සිත්තරා

by Mahesh Lakehouse
January 25, 2025 12:30 am 0 comment

මෙතෙක් කිසිවෙක්ම වටිනාකමක් නොදුන් ගස් යට වැටී දිරා ගිය පුවක් කොළපතට වටිනාකමක් දී විශාල විදේශ විනිමයක් රටට උපයා දෙන්නට සමත් වූ අද්විතීය නිර්මාණකරුවෙක් පිළිබඳව අපට අසන්නට ලැබුණේ ගාල්ල හියාරේනි. නමින් ඔහු අබේලාල් ගුරුසිංහය. නිහඬව මේ නිර්මාණ කාර්යේ බොහෝ කලක් නිරත වී සිටි ඔහුගේ නිර්මාණ පසුගිය දිනක ඇගැයීමට ලක් වී ඇති ආකාරයත් පිළීබඳව අපට දැන ගැනීමට ලැබිණි. අපි ඔහු සොයා පසුගිය දිනක ඔහුගේ නිවසට ගොඩවැදුණෙමු.

ඔහුගේ නිවසට ගොඩවදින මොහොතේම දීම දක්නට ලැබෙන නිර්මාණ දකින්නකුට ඔහු විශ්මිත නිර්මාණකරුවකු බවට තවත් සාක්ෂි තවත් අවැසි නැත. ඉතාම දැකුම්කලු ලෙස නිමා කර ඇති මේ නිර්මාණ දෙස් විදෙස් සියලු දෙනාගේ සිත් ඇදබැඳ ගන්නට සමත් වී ඇත.

කල් පවත්නා ලෙස කොළපතක විවිධාකාරයෙන් හැඩ වූ නිර්මාණ බිහි කරමින් වෙළෙඳපොළට ලබා දෙමින් තම හැකියාවන් පෙන්නුම් කරන ඒ අපූරු නිර්මාණකරුවා තම නිර්මාණ බිහි කිරීම සිදු කරන අයුරු අපට පැහැදිලි කළේය.

“මෙම නිර්මාණ සඳහා මම උපයෝගී කර ගන්නේ පුවක් කොළපත්. මේ කොළපතට මෙතෙක් කවුරුවත් වටිනාකමක් නොදුන්නට මට උපරිම වටිනාකමක් දෙන්න පුළුවන් වුණා. මේ නිර්මාණ කාර්යයට අතගැසීමට පෙර මම කරන්නේ පළමුවෙන්ම කොළපත් ගෙන පදම් කර ගැනීමයි. එනම්, තම්බා අවශ්‍ය පරිදි කල් පවතින ආකාරයෙන් නිර්මාණ තබා ගැනීමට තාක්ෂණික ක්‍රමවේදයන්ද උපයෝගී කර ගනිමින් කොළපත පදම් කර ගන්නවා. කල් පවතින ආකාරයට නිර්මාණ තබා ගැනීමට ඒ ඒ නිර්මාණයට කොළපත පදම් කර ගැනීම සිදු කර අවසානයේදී මම නිර්මාණය කිරීම සිදු කරනවා. පසුව එසේ කර ගෙන කොළපත නිර්මාණය කරන්නට අවශ්‍ය දේ එකතු කර ගනිමිනුයි නිර්මාණය බිහි කරන්නේ. මෙම නිර්මාණවල වර්ණ ගැන්වීමක් නෑ. එය පදම් කරගත් කොළපත්වල කරනු ලබන නිර්මාණය පිලිස්සීම තුළින් තමයි නිර්මාණයේ වර්ණ ගැන්වීම සිදු වන්නේ. ඒ වර්ණ ගැන්වීමට මම උපයෝගී කර ගන්නේ තඹ කූරු, පිත්තල කූරු, සුදු යකඩ කූරු. මේවයින් පිලිස්සුවාම එන්නෙ විවිධ වූ වර්ණ. තඹ කූරෙන් පිච්චුවම එක වර්ණයක්, සුදු යකඩ කූරෙන් පිච්චුවම තවත් වර්ණයක්, පිත්තල කූරෙන් පිච්චුවම තවත් වර්ණයක් ලැබෙන්නෙ. ඒ සඳහා අවශ්‍ය පරිදි එම කූරු මම සකස් කරගෙන තිබෙනවා. මම හිතන්නෙ සැලසුම් කරලා කරන නිර්මාණයක් නිසා එහි වර්ණ ගැළපීමද මා විසින්ම සැලසුම් කිරීම මගේ නිර්මාණ සාර්ථක වෙන්න හේතුවුණා කියලා. ඒ අනුව තමයි මම මේ වගේ විවිධ කූරු රත් කර මාගේ හිතේ සැලසුම් වී ඇති නිර්මාණය බිහි වන්නේ. ඒ වගේම එම වර්ණ සංකලනය සඳහා උපයෝගී කර ගන්නා කූරු විවිධ මට්ටම් යටතේ රත් කර පිලිස්සීම තුළින් මට අවශ්‍ය, මගේ හිතේ ඇති සැලැස්මට අවශ්‍ය වර්ණය මා සකස් කර ගන්න. ඒ ආකාරයට තමයි නිර්මාණය කරන්නෙ. ඕනෑම නිර්මාණයක් මෙලෙස කරන්න පුළුවන්. එසේම මේ නිර්මාණයන් සඳහා සෑම කොළපතක්ම උපයෝගී කර ගන්නට බැහැ, ඒ සඳහා සුදුසු කොළපත තොරාගත යුතුයි.”

ඔහුගේ පැහැදිලි කිරීම දීර්ඝ වෙයි.

“මෙම නිර්මාණ තුළින් මම බිත්ති සැරසිලි , කාඩ් වර්ග , පොත්වල පිටකවර ඇතුළු විවිධ දේ නිර්මාණය කරනවා. ඒ වගේම එක කොළපතකින් එක් නිර්මාණයක් කරන්න ඕන. පිරිද්දුම් කරලා නිර්මාණ කරන්න බෑ. එහෙම වුණොත් ඒ පිරිද්දුම පෙනෙනවා. පිරිද්දුම පෙනුණොත් නිර්මාණයේ වටිනාකම ගුණාත්මකභාවය අඩු වෙනවා. එහෙම වූ විට නිර්මාණය මිල කරන්න අපහසුයි. බිත්ති සැරසිල්ලක් වගේ හොඳ නිර්මාණයක් කරන්න සතියක් වගේ කාලයක් ගත වෙනවා. මේ සඳහා ඉතා නිස්කලංකව කටයුතු කරන්න ඕනෙ. නිර්මාණයක් කරද්දි පොඩි හෝ වැරදීමක් වෙන්න බැහැ. එහෙම වුණොත් ඒ නිර්මාණය නැවත නිවැරදි කර ගන්න අමාරුයි. එය පැත්තකට දමන්න අමාරුයි. ඒ නිසා ඉතාම සැලකිල්ලෙන් කළ යුතු කාර්යයක්. එම නිසා මහන්සියට, නිර්මාණයේ වැදගත් බවට මිල කරන්න වෙනවා. එබැවින් හොඳ බිත්ති සැරසිල්ලක් රුපියල් 10 000 වැනි මිලකටත්, පොත් කවරයක් රුපියල් 3000 වැනි මිලකටත්, සටහන්පොතක ප්‍රමාණයේ කවරයක් රුපියල් 800 වැනි මිලකටත්, පින්තූර කාඩ් පතක් රුපියල් 250 වැනි මිලකටත් මිල කරන්න සිදු වනවායැයි ඔහු පැවසීය.

ඒ සඳහා හොඳ ඉල්ලුමක් සහ වෙළෙඳපොළක් ඇති බව ඔහු පවසයි. නමුත් ඒ ඉල්ලුමට සැපයීමක් ලබා දීමට අපහසු බවත් සියුම්ව මේ නිර්මාණයන් කළ යුතු බව ඔහුගේ නිර්මාණ පිරික්සන්නකුට ඉතා පැහැදිලි කරුණකි.

‘මා මගේ නිර්මාණ ශිල්ප සභාව වැනි ආයතනවලට ලබා දෙන්නෙ. ඊට අමතරව සංචාරකයින් සඳහා සංචාරක හෝටල් කිහිපයක්ම මගෙන් නිර්මාණ ලබා ගන්නවා.ඊට අමතරව දේශීයව බොහෝ අය පැමිණ මේ නිර්මාණ මිලදී ගන්නවා. තවත් පිරිසක් මා කරන නිර්මාණ මිලදී ගෙන සංචාරකයින්ට විකුණනවා එයින් ඒ අයත් මුදලක් උපයා ගන්නවා. ඒ නිසා වෙළඳ පොළ නම් ඉතාම හොඳයි.ගැටළුව ඉල්ලන තරමට නිෂ්පාදන කර ගන්න නොහැකි වීමයි.මොකද මෙවන් නිෂ්පාදනයක් ලංකාවේ තවත් කිසිදු අයෙක් නොකරන නිසා. මෙම නිර්මාණය ලංකාවෙන්ම මා විතරයි සිදුකරන්නේයැයි ද පැවසීය.

මේ වන විට මේ නිර්මාණ සඳහා සම්මාන රාශියක් මට ලැබී තිබෙනවා. පළාත් මට්ටමින්, ජාතික මට්ටමින් තරග සඳහා අපව යොමු කරනවා. මේ සඳහා සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශය, කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යංශය, අපනයන නිෂ්පාදන සංවර්ධනය කිරීමේ ආයතනය, කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව, හස්ත කර්මාන්ත දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන රාශියක් මාව දිරිගන්වනවා. ඒ සඳහා මාගේ නිර්මාණ යොමු කරවනවා. ඒ අනුව ඒ ඒ ප්‍රදර්ශන සඳහා මෙම නිර්මාණ යොමු කිරීමෙන් තෝරාගන්නා හොඳ නිර්මාණ වශයෙන් බණ්ඩාර නායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ තිබෙන ප්‍රදර්ශනවලදී මාගේ නිර්මාණවලට ප්‍රථම ස්ථානය හිමිවීම මා ලද හොඳම ඇගැයීමක්. මේ වනවිට ජනාධිපති සම්මාන තුනක් මා ලබාගෙන තිබෙනවා. තවත් එවැනි පළාත් මට්ටමේ, ජාතික මට්ටමේ ඇතුළු සම්මාන රැසක් ලැබී තිබෙනවා යැයි පැවසීය.’

“කෙසේ වෙතත් මගේ මේ නිර්මාණ තව තවත් වැඩි දියුණු කර ගැනීමට නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් වැඩි දියුණු කර ගැනීම මේ වන විට උත්සාහ දරමින් සිටින්නේ යැයි ද, මේ සියල්ලම මගේ දැනුමෙන් සිදුකළ ස්වතන්ත්‍ර නිර්මාණ. ඒ නිසා මගේ නිර්මාණ පිළිබඳව ආත්ම තෘප්තියක් අපිට තියෙනවා. එසේ ම ඒ තුළින් රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලබා දීමට හැකියි. මේ ව්‍යාපාරය පුළුල් කරගැනීමට මට අවකාශයක් ලැබෙනවා නම් එය ජාතික මට්ටමේ තැනකට ගෙන යා හැකි බව මාගේ හැඟීම. මේ වන විට සම්මාන ත්‍යාග මුදල් පවා ලැබී තිබෙනවා. මෙවැනි නිර්මාණ කරන්නකුට විශාල ආත්ම තෘප්තියක් තියෙනවා. මම ඉතාම සතුටින් නිර්මාණ කරන්නේ. තව තවත් වැඩි දියුණු කරමින් අනාගතයේ රටට විශාල විදෙස් විනිමයක් ගෙන ඒමට මට හැකියාව තියෙනවා. ඔහුගේ උත්සාහය රට වෙනුවෙන් විදෙස් විනිමය උපායා රටේ සංවර්ධනයට ඔහුට හැකි පමණින් දායක වීම බව අවසන් වශයෙන් පැවසීය.

 

අක්මීමන විශේෂ - සුනිල් ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division