Home » මල්වානට නැවතත් වසන්තය උදා වන ලකුණු

මල්වානට නැවතත් වසන්තය උදා වන ලකුණු

by Mahesh Lakehouse
January 25, 2025 12:30 am 0 comment
ගොවි මහ­තෙක් ව්‍යස­නය නිසා මිය­ගිය රඹු­ටන් ගසක් පෙන්ව­මින්

ඹුටන් නම් මල්වානය. මල්වාන නම් රඹුටන්ය. මල්වානට රඹුටන් ගස කප් රුකක්යැයි කීමේ වරදක් නැත. මල්වාන ප්‍රදේශවාසීන්ගේ ප්‍රධානම ආදායම් මාර්ගය රඹුටන් බවට පත් වූවේ අද ඊයේ නොවේ. රඹුටන් වගාවේ ආදායමින් ගෙවල් දොරවල් තනා, යානවාහන ගෙන, සුඛෝපභෝගී ජීවිත ගත කරන පිරිස් ඕනෑ තරම්ය. තම දියණියන් දෙදෙනාට හොඳින් උගන්වා, ඔවුන් දීග දෙන්නට පිහිට වූවේ රඹුටන් ගසයැයි කියූ කාන්තාවක ගැන වාර්තා වී තිබුණේද මල්වානෙනි.

පෘතුගීසි ආක්‍රමණයත් සමඟ මෙරටට පැමිණි රඹුටන් ගස තම නිජබිම ලෙස තෝරාගෙන තිබුණේ මල්වාන ප්‍රදේශයයි. එහි සරු පස රඹුටන් වගාවට කදිම තෝතැන්නක් වූ බව එහි පල දරා ඇති රඹුටන් ගස් දකින ඕනෑම අයකුට නිගමනය කළ හැකිය.

ගුල්ලන් ගැසූ රඹු­ටන් ගසේ කොට­සක් පෙන්වන ගොවි­යෙක්

ගුල්ලන් ගැසූ රඹු­ටන් ගසේ කොට­සක් පෙන්වන ගොවි­යෙක්

ජූලි-අගෝස්තු යනු මුළු මල්වානම රතු පැහැයෙන් බබළන කාලයයි. ‘මල්වානේ මල්වානේ’ යැයි කොළඹ දෙවනත් කරන වෙළෙඳුන්ගේ හඬ ඒ රඹුටන් සමය බවට අපට ඉඟි පළ කරයි. ගාණ කීය වුවද එහි රස නොබලන්නකු සොයාගත නොහැකි තරම්ය. රඹුටන් වගාවට කණකොකා හඬා ඇතැයි මල්වාන දෙසින් ඇසෙන පුවත් ගණන එන්න එන්නම ඉහළ යමින් තිබේ. මල්වානේ රඹුටන් ගෙඩියක රස දන්නා අයකු මෙය තවත් එක් පුවතක් ලෙස ඉවත නොදමන බව දන්නා අපි ඒ ගැන සොයා බලන්නට වෙහෙසුණෙමු.

පුවත සත්‍යයකි. දිගු කලක පටන් රඹුටන් වගාවෙන් දිවි සරි කරගන්නා ගොවීන් කිහිප දෙනකුගේ මැසිවිලි අපට අසන්නට ලැබිණි. ඔවුන් පවසන්නේ දැනට වසර කිහිපයක සිට ගංවතුරට යට වන ප්‍රදේශවල රඹුටන් ගස් මෙලෙස මියයෑමේ බරපතළ තත්ත්වයකට මුහුණ දී ඇති බවයි. ඇතැම් රඹුටන් ගස්වල අතු ක්‍රමයෙන් මියයෑමට පටන් ගෙන ඇති අතර, ඒවා කපාදැමූ පසු ඇතැම් ස්ථානවලින් අතු නැවත ලියලුවද බොහෝ අවස්ථාවල කැපූ ස්ථානයෙන් ගුල්ලන් ගසා ගස සම්පූර්ණයෙන්ම මිය යන අතර, ඇතැම් ගස්වල පොත්ත තැම්බී, ගුල්ලන් ගසා පසුව ගස සම්පූර්ණයෙන්ම මියයන බව ඔවුහු පවසති. එයට ප්‍රධාන හේතුව ලෙස ඔවුන් සඳහන් කරන්නේ නිදහස් වෙළෙඳ කලාපයේ ඇතැම් කර්මාන්තශාලාවල බොයිලේරුවලින් ඉවතලන අළු හා අපද්‍රව්‍ය ගෙනැවිත් මල්වාන ප්‍රදේශයේ ඕවිටිවල වළවලට සහ ගොඩබිමට දමන අතර, ගංවතුර කාලයට ඒවා වතුර හා මුසු වී තෙල් තට්ටු වශයෙන් ගස්වල තැන්පත් වී ඒවා විෂ වීමෙන් රඹුටන් ගස්වලට මෙම ව්‍යසනය සිදු වන බවයි.

රඹුටන් වගාවේ නියැළෙන මල්වාන ගොවීන් පත්ව ඇති මේ ව්‍යසනකාරි තත්ත්වය සම්බන්ධයෙන් මල්වාන සමඟි ගොවි සමාජයේ ලේකම් තිලක් වසන්ත කුමාර පෙරේරාගෙන් අපි විමසීමක් කළෙමු. “දැනට අවුරුදු හත-අටක වෙලේ ඉඳන්ම අපේ වගාවන්ට මේ තත්ත්වය උද්ගත වෙලා තියෙනවා. මෙතෙක් කාලෙකට මේ ව්‍යසනයට හේතුව මොකක්ද කියලා අපට හොයාගන්න බැරුවයි හිටියේ. ඉකුත් වසරේ (2024) ගංවතුර ආව වෙලාවේ ඔරුවකින් ගමන් කරද්දී අපි දැක්කා ගංවතුරට යම්කිසි තෙල් වර්ගයක් මිශ්‍ර වෙලා තියෙනවා. ඒ නිසා අපට සැකයක් ඇති වුණා මේ විෂ තෙල් නිසා තමයි රඹුටන් ගස් මැරෙන්නෙ කියලා. එහෙම හිතන්න අපට සාධාරණ හේතුවක් තිබුණා. හැම සැරේම මෙහෙම මැරෙන්නේ ගංවතුරට යට වුණු ප්‍රදේශවල රඹුටන් ගස් විතරයි. අනෙක් පැතිවල එහෙම ගැටලුවක් නැහැ. දැන් අවුරුදු දහයක විතර ඉඳන් වෙළෙඳ කලාපයේ ඇතැම් කර්මාන්තශාලාවල බොයිලේරුවලින් ඉවත ලන අළු සහ අපද්‍රව්‍ය මේ ප්‍රදේශයේ ඕවිටිවල වළවලට වගේම ගොඩබිමටත් ගෙනැවිත් දානවා. ගංවතුර කාලෙට ඒවා වතුරට මිශ්‍ර වෙනවා. ඒ ගංවතුරට රඹුටන් ගස් යටවිමෙන් රඹුටන් ගස් මැරෙනවා. ගංවතුරකට පස්සේ මේ තත්ත්වය උද්ගත වන නිසා අපට ඒක තහවුරු වෙනවා.

ගොවිජන සංවිධානයේ ලේකම් විදිහට අපේ ගොවි සංවිධානය මඟින් මේ පිළිබඳව සඳහන් කරලා දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත් ලිපියක් භාර දුන්නා. හොරණ පලතුරු පර්යේෂණාගාරයටත් දැනුම් දීමක් කළා. මේ වෙද්දි ඔවුන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. පසුගිය සතියේ හොරණ පලතුරු පර්යේෂණාගාරයේ නිලධාරීන් පිරිසක් ඇවිත් අපේ රඹුටන් ගස් පරීක්ෂාවට ලක්කළා. ඔවුන් ඇවිත් ගස්වල ගුල්ලන් ගහපු තැන්වලින් කොටස් කපාගෙන ගියා. ගස්වල පොතුත් අරන් ගියා. ඒවා පරීක්ෂා කරලා ඉක්මනින් විසඳුමක් දෙන්නම් කිව්වා. ගම්පහ ගොවිජන සේවා ආයතනයෙනුත් මිස් කෙනෙක් ආවා. ඒ වගේම අපේ පළාතට අයත් දෙකටන ගොවිජන සේවා ආයතනයෙනුත් නිලධාරී මහත්වරුන් තුන් දෙනෙක් ආවා. කොහොම වුණත් මේ පළාතට අපද්‍රව්‍ය ගෙනත් දැමීම තහනම් වැඩක්. මේ පළාතෙම මිනිස්සුන්ට පානීය ජලය සපයන කැලණි ගඟ ගලන්නේ මේ සීමාවෙන්. මේ ඔක්කොම අපද්‍රව්‍ය මිශ්‍ර වෙන්නේ කැලණි ගඟට. ඒ නිසා ඒ ගැනත් අවධානය යොමු කරලා ඒ සඳහාත් සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නව නම් හොඳයි.”

දේශීය මෙන්ම විදේශීය වශයෙන් ද ඉහළ ආදායම් ලබන මල්වාන රඹුටන් වගාව පත්ව ඇති මේ ව්‍යසනකාරි තත්ත්වය පිළිබඳව අපි හොරණ පලතුරු පර්යේෂණාගාරයෙන් විමසීමක් කළෙමු. එහි නිලධාරීනියක අප හා පැවසුවේ මෙවැන්නකි:

“මල්වාන ප්‍රදේශයේ රඹුටන් ගොවීන් මුහුණදී තියෙන මේ තත්ත්වය ගැන අපට වාර්තා වුණේ මෑතකදී. පලතුරු වගාව සම්බන්ධ ඕනැම ගැටලුවක් දැනුම් දෙන්න තියෙන්නේ අපේ හොරණ පලතුරු පර්යේෂණාගාරයට. අපේ ආයතනයට කතා කරලා හරි ලිඛිතව හරි මුලින්ම දැනුම් දීමක් කළාට පස්සේ අපි ෆීල්ඩ් එකට ගිහින් පරීක්ෂා කරලා බලලා, ගොවීන් එක්ක කතා කරලා සුදුසු විසඳුමක් දෙනවා.

මොන ගොවියා ගාවටද යන්න ඕනෑ, ගස් කීයක් මේ ව්‍යසනයට මුහුණදීල තියේද, ඇත්තටම මේකට හේතුව ගංවතුරද, හැමදාම ගංවතුරට අහුවෙන පැත්තක්ද එහෙම නැත්නම් මේ පළවෙනි වතාවටද, මීට කලින් ගංවතුරට අහුවෙලා ගස් ටික රිකවර් වුණාද… මේ වගේ මූලික තොරතුරු දැනගන්න අපි ෆීල්ඩ් එකට යන්න ඕනෑ. ඒ ගොවීන් එක්ක කතා කරන්න ඕනෑ. මල්වාන ගොවීන්ගේ රඹුටන් වගාව සම්බන්ධ ගැටලුවට අපි මේ වෙද්දි සොයා බැලීමක් කර තිබෙනවා. අපේ නිලධාරීන් පිරිසක් ෆීල්ඩ් එකට ගිහින් පරීක්ෂා කරලා, මේ ව්‍යසනයට ලක් වුණු ශාකවල අදාළ සාම්පල ‍වෙන් කරගෙන ඇවිත් තියෙන්නේ. ඒවා පරීක්ෂාවට ලක් කරලා, මොකක්ද මේ තත්ත්වය කියලා දැනුම් දීමක් කරලා, නිසි විසඳුමක් දෙන්න කටයුතු කරනවා.” වසර ගණනාවක් තිස්සේ මල්වාන ගොවීන්ට හිසරදයක්ව පැවැති රඹුටන් ගැටලුවට ඉක්මන් විසඳුමක් ලැබෙනු ඇත. එය මල්වාන ගොවින්ට මෙන්ම මල්වාන රඹුටන්වල ප්‍රණීත රසය දන්නා අයට ද සතුටුදායක පුවතක් වනු ඇත.

වෙළෙඳ කලා­පයේ කර්මා­න්ත­ශා­ලා­ව­ලින් ගෙනැ­විත් දැමූ අප­ද්‍රව්‍ය

වෙළෙඳ කලා­පයේ කර්මා­න්ත­ශා­ලා­ව­ලින් ගෙනැ­විත් දැමූ අප­ද්‍රව්‍ය

ඡායාරූප- මල්වාන සමූහ 
මහානාම විතානගේ

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division