Home » මාරාන්තික කිඹුල් කටින් බේරුණු ශෂික සිළුමිණට කියූ කතාව

මාරාන්තික කිඹුල් කටින් බේරුණු ශෂික සිළුමිණට කියූ කතාව

by Mahesh Lakehouse
January 25, 2025 12:30 am 0 comment

පි හැමදාම වතුරට පැනලා අල්ලන සෙල්ලම් කරනවා. එදත් මං වෙනද වගේම බෝක්කුව ළඟින් වතුරට පැනලා වතුර යටින් පීනගෙන ගියා. ටික දුරක් යද්දි එක පාරටම කළුවර වුණා. මට තේරුණේ මොකක් හරි එකක හිර වුණා වගේ. කටු ඇනෙනවා වගෙත් දැනුණා. ඇස් ඇරල බලද්දි සුදුම සුදු පාටයි. මං අත් දෙකෙන් අතගාලා බලද්දි රබර් පටි දෙකක් වගේ අහු වුණා. මං ඒ දෙකෙන් හයියෙන් ඇද්දා. එතකොට පොඩ්ඩක් බුරුල් වුණා වගේ දැනුණා. ඊට පස්සේ මං අත් දෙකෙන් දෙපැත්තට ඇද්දා. ඊට පස්සෙ ටිකක් ඇරුණා. ඒත් එක්කම මං ඔළුව එළියට ඇදගෙන පීනන්න ගත්තා…”

ඒ පසුගියදා රට පුරා පැතිර ගිය කිඹුලකු සමඟ සටන් වැද බිහිසුණු අත්දැකීමකට මුහුණදුන් පාසල් සිසුවාය. කිඹුල් කටින් බේරී ජීවිතය ගලවාගත් ඔහු තම බිහිසුණු අත්දැකීම අප හා විස්තර කළේ එසේය.

මේ සිදුවීමට මුහුණදී තිබුණේ අනුරාධපුර, මහඉලුප්පල්ලම, කඩියන්ගල්ල පදිංචි ශෂික නිරෝෂන් බාලසූරිය සිසුවාය. ඔහු මහඉලුප්පල්ලම මහා විද්‍යාලයේ 7 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දොළොස් හැවිරිදි පාසල් සිසුවෙකි. ශෂිකගේ පියා 32 හැවිරිදි හමුදා නිලධාරියකු වන ප්‍රසන්න බාලසූරිය වන අතර මව 31 හැවිරිදි සුවිමාලා ජයතිලකය. ශෂික ඔවුන්ගේ වැඩිමහල් පිරිමි දරුවාය.

කිසිදිනෙක හැබැහින් කිඹුලකු දැක නොසිටි ශෂික තමන් කිඹුල් කටින් බේරී පලා ආ බිහිසුණු ක්‍රියාව අප හා පැවසුවේ කතාන්දරයක් මෙනි. තම මිතුරා සමඟ සෙල්ලමට වතුරට පැන්න ශෂික සෙල්ලම් කර තිබුණේ කිඹුලකු සමඟ බව ගොඩට එන තෙක්ම ඔහු දැන නොසිටියේය.

“මං පීනගෙන එද්දී පන්සලට වතුර ගන්න දාපු ෆුට් වෑල් එකේ බටේ අහු වුණා. ඒකෙ එල්ලිලා උඩට එන්න හදද්දි වැලක් අහු වුණා. ඒකෙ එල්ලිලා උඩට ආවා. වේදනාව නිසා ඔළුව අල්ලල බලද්දී මට තේරුණා සාක්කුවක් වගේ ඔළුව ඉරිල ගිහිල්ල කියලා. එහෙමම මං පන්සලට ඇවිදන් ගියා. ගිහින් සාධුටත් කියලා ගෙදර ආවා. ඊට පස්සේ ගමේ අයත් ගෙදරට එකතු වුණා. සේනපුර ඉස්පිරිතාලෙ වැඩකරන අපේ අක්ක කෙනෙක් හිටියා. එයා බයික් එකෙන් ඉක්මනටම මාව සේනපුර ඉස්පිරිතාලෙට අරන් ගියා.

ශෂිකට මේ සියල්ල සිදුවීමට ගත වී තිබුණේ විනාඩි දෙක-තුනක කාලයකි. ශෂිකගේ ධෛර්යවන්තකම හා කල්පනාකාරි ක්‍රියා කලාපය නිසා වාසනාවකට මෙන් සිය දිවි ගලවා ගැනීමට ඔහුට හැකි වී තිබිණි.

ශෂික එදින යෝධ ඇළේ දිය නෑමට ගොස් තිබුණේ සිය මිතුරු පවන් පැහැසර සමඟිනි. දිය යටින් පිහිනීමේ දක්ෂයකු වූ ශෂික ජයගංගාරාමය අසල බෝක්කුවෙන් දියට පැන පීනන්න පටන් ගෙන තිබුණේ වෙනදා පරිද්දෙනි. අඩි තුන හතරක් පිහිනාගෙන යද්දී ශෂික මුහුණදුන් මේ ත්‍රාසජනක සිදුවීම සියැසින් දුටු පවන් පැහැසර තවමත් දැඩි කම්පනයකින් පසු වෙයි. ඔහු තමා දුටු සිදුවීම විස්තර කළේය:

“එක පාරටම ශෂික වතුර යටට යනව මං බලාගෙන හිටියා. වෙනද වගේ එයා උඩට ආවෙ නැති නිසා මං දිගටම බලාගෙන හිටියා. ටික වෙලාවකින් එතන වතුර බොර වෙලා කැලතුණා. එක පාරටම ලොකු කිඹුලකුගේ කටක් වතුරෙන් උඩට ආවා. මං දැක්කා කිඹුලගේ කටේ ශෂිකගෙ ඔළුව හිර වෙලා තියෙනවා. ඒත් එක්කම ශෂිකත් අරගෙන කිඹුලා ආයෙම වතුර යටට ගියා.

“මට කිසිම දෙයක් හිතාගන්න බැරි වුණා. මම දිගටම බලන් හිටියා ශෂික කොයි වෙලාවෙ හරි ආයෙ උඩට ඒවි කියලා. ටික වෙලාවකින් ශෂික ඔළුවෙන් ලේ පෙරාගෙන වතුරෙන් උඩට ආවා. උඩට ඇවිල්ලා පන්සලේ ඉඩම පැත්තට පීනගෙන ගියා. ඊට පස්සේ එතැන තිබුණු වැලක එල්ලිලා ඉවුරට ගොඩ වුණා. මට ගොඩක් බය හිතුණා. මං එහෙමම බලාගෙන හිටියා.”

කිඹුල් ප්‍රහාරයට ලක් වූ ශෂික සේනපුර රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබිණි. කිඹුල් කටින් බේරීමට උත්සාහ කිරීමේදී කිඹුල් දත්වලට ඉරී යෑමෙන් සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් ඔහුගේ හිස ඇතුළු පිටුපස කොටසට මැහුම් 28ක් දැමීමට සිදු විය. ජීවිතයට බරපතළ හානියක් නැති බව සනාථ වීමෙන් අනතුරුව සිය නිවෙස කරා පැමිණි ශෂික මේ වන විට නිවෙසේ සිට ප්‍රතිකාර ලබමින් සිටියි.

සිය පුතු මුහුණ දී තිබූ බිහිසුණු තත්ත්වය පිළිබඳව ශෂික පුතුගේ පියා වන ප්‍රසන්න බාලසූරිය මහතාගෙන් අපි විමසීමක් කළෙමු.

“මම සේවය කරන්නේ හමුදාවේ. එදා මම හිටියේ කෑම්ප් එකේ. දරුවගේ අම්මා ඉඳලා තියෙන්නේ ගේ පිටිපස්සේ. සාමාන්‍යයෙන් පුතාගේ යාළුවෝ ඇවිත් වෙනදත් මෙයාව සෙල්ලම් කරන්න එක්ක යනවා. අපි එපා කිව්වත් ළමයි සෙල්ලම් කරන්න ආවම මෙයා යනවා. එදත් පුතාලා නාන්න ගිහින් තිබුණා. පන්සල ගාව කිඹුලෙක් ඉන්නවා. ඒ එන්නේ රිළව් කන්න. පන්සලේ බුද්ධ පූජාව කන්න එන රිළව් පන්සල් වත්තේ එහා පැත්තට මෙහා පැත්තට පනිනවා. උන් අල්ලගන්න තමයි කිඹුලා රැකගෙන ඉන්නේ. එදත් බුදු මැඳුර පැත්තෙ රැකගෙන ඉඳල තියෙන්නේ රිළව් අල්ලගන්න. මෙයාලත් වතුරට බැහැලා තියෙන්නේ ඒ වෙලාවේ.

“පුතාගේ යාළුවා දැකලා තිබුණා කිඹුලා පුතාව අරන් එක පාරක් උඩට ඇවිත් කැරකිලා ආයෙම යටට යනවා. ඒ ළමයා බය වෙච්චි පාර ගොඩක් කම්පනයට පත් වෙලා ඉන්නේ. කතා කරගන්නත් බැරුව දවස් දෙක තුනක් හිටියා. පුතාගේ ඔළුව තමයි ගොඩක්ම තුවාල. බෙල්ලෙත් දත් පාරවල් දෙකක් තියෙනවා. උරපතු නියපොතුවලට තුවාල වෙලා. අත යටතේ ඉරිල ගිහින්. ඔක්කොම මැහුම් 28ක් දැම්මා. දැන් නම් පුතාට ලොකු ජීවිත අවදානමක් නැහැ. ඒ නිසා ගෙදර තියන් බෙහෙත් කරන්නේ.

“අපි තාමත් පාරම්පරික දේවල් විශ්වාස කරනවා. අර කතාවක් තියෙනවානේ කිඹුලා කියනවලු මගෙන් බේරිලා ගියත් ගෙදර ගිහින් මල්ලිගෙන් බේරිලා ඉන්න බෑ කියලා. ඒ කතාව අදටත් ගම්වල මිනිස්සු විශ්වාස කරනවා. ඒ නිසා අපි වියන් බැඳලා, පිරිත් කියලා, තිර ඇදලා කිඹුල් හූනන්ගෙන් ගොඩක් ආරක්ෂිතව පුතා ගෙදර තියලා තියෙන්නේ. මේ වෙද්දි පුතාට ගොඩක් දුරට සනීපයි.”

කිඹුල් ප්‍රහාරයන්ට ලක් වන දරුවන් මෙන්ම වැඩිහිටියන් පිළිබඳ විටින් විට මෙවන් පුවත් වාර්තා වුවද එය නිසි විසඳුමක් දිය හැකි ගැටලුවක් ද නොවේ. පසුගිය දිනවල ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කලාවැව වාන් දැමීමත් සමඟින් මෙම කිඹුලන් යෝධ ඇළට පැමිණෙන්නට ඇතැයි මහඉලුප්පල්ලම ප්‍රදේශවාසීහු සැක පළ කරති. අනතුරුදායක දිනයන්හි අනතුරුදායක ස්ථානවල දිය නෑමට යෑමෙන් වැළකී සිටීමෙන් මෙවන් අනතුරු යම්තාක් දුරකට හෝ අවම කර ගැනීමට උත්සාහ කළ යුතුය.

lනාමලී ගමගේ

අනුරාධපුර – හේෂාර සේනාල් සෝමරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division