Home » පුංචි පහේ තරුව හොරණ බිසඳි

පුංචි පහේ තරුව හොරණ බිසඳි

මගේ ලොකුම ඉලක්කය වුණේ විභාගය සමත් වෙලා කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුළත් වීම

by Mahesh Lakehouse
January 25, 2025 12:30 am 0 comment
සුරේකා නිල්මිණි ඉලංකෝන්

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 188ක් ලබා ගනිමින් මෙවර දිවයිනේ ප්‍රථමයා බවට පත් වූයේ හොරණ රාජකීය විද්‍යාලයේ (ජාතික පාසල) දැරියකි. ඇය බිසඳි යෙවින්යා ය. හොරණ රාජකීය විද්‍යාලයේ විදුහල්පති රංගන විතාරනගේ පැවසුවේ ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ ප්‍රථමයා බිහි වූයේ එම පාසල් ඉතිහාසයේ පළමුවරට බවය.

හොරණ රාජකීය විද්‍යාලයේ සිසු සිසුවියන් 236 දෙනකු ඉකුත් වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි බවත් ඒ අතරින් සිසු සිසුවියන් 83 දෙනකු එනම් 35%කට වැඩි ප්‍රතිශතයක් කඩඉම් ලකුණු ඉක්මවමින් විභාගය සමත්ව ඇති බවත් විදුහල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

“විදුහල්පතිවරයා සහ ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් බිසඳි දියණිය ඇතුළු සියලුම දරු දැරියන්ට පාසල වෙනුවෙන් අපගේ සුබ පැතුම් එක්කරනවා. මේ ජයග්‍රහණය අපේ පාසලට සුවිශේෂියි. ශිෂ්‍යත්ව විභාගය සමත් සෙසු දරුවන් අතර ලකුණු 185ක් සහ ලකුණු 180ක් ලබාගත් දරුවන් දෙදෙනකු ද සිටිනවා. මෙම ජයග්‍රහණය ලබා ගැනීම සඳහා අපගේ ආචාර්ය මණ්ඩලය ඉතා කැපවීමෙන් කටයුතු කළා. විභාගයට අදාළ විෂය නිර්දේශය කලට වේලාවට උගන්වා අවසන් කර විභාගය සඳහා අදාළ වන සියලුම විභාග සහ සම්මන්ත්‍රණ වගේම විභාගය ඉලක්ක කරගත් ආදර්ශ ප්‍රශ්න පත්‍ර ලබා දෙමින් දරුවන් විභාගය සඳහා හොඳින් සූදානම් කළා. ඒ වගේම දරුවන්ට විෂය දැනුම වගේම සමබර පෞරුෂයක් ඇති කිරීම සඳහා ඉවහල් වන සියලුම වැඩසටහන් වගේම ප්‍රාථමික අංශයේ තිබිය යුතු සියලුම වැඩසටහන් මේ දරුවන් වෙනුවෙන් පවත්වන්නට කටයුතු කළා. මේ ජයග්‍රහණය සඳහා ඒවා ද ඉවහල් වන්නට ඇති කියා මම විශ්වාස කරනවා. එම නිසා මේ ජයග්‍රහණයේ ගෞරවය බිසඳි දියණියගේ පන්තිභාර ගුරුතුමිය මානෙල් අමරතුංග මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලයට හිමි විය යුතුයි. “විදුහල්පති රංගන විතාරනගේ පැවැසීය.

හොරණ රාජකීය විද්‍යාලයට අගනා කීර්තියක් අත්කර දෙමින් මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානයත් කළුතර දිස්ත්‍රික් ප්‍රථම ස්ථානයත් දිනාගත් රණතුංග ලියනගේ බිසඳි යෙවින්යා දියණිය උපත ලබා ඇත්තේ 2014 ජූලි මස 19 වැනිදාය. හොරණ මුණගම නිවාස යෝජනා ක්‍රමයේ පදිංචි ව්‍යාපාරිකයකු වන දිලුම් මදුරංග සහ සජානා අබේසිංහ යුවළගේ දරුවන් තිදෙනකුගෙන් යුතු පවුලේ දෙවැනි දරුවා වන බිසඳිගේ ජයග්‍රහණය පිළිබඳ ඇයගේ මව සතුටින් සිළුමිණට මෙසේ අදහස් දැක්වූවාය.

” දුව අපේ පවුලේ දෙවැනි දරුවා. එයාට වැඩිමහල් සහෝදරයෙක් සහ බාල සහෝදරයෙක් ඉන්නවා. දුව පුංචි කාලයේ ඉඳලම ඉගෙන ගන්න ගොඩක් උනන්දු දරුවෙක්. විශේෂයෙන්ම එයා ගුරුවරු උගන්වන වෙලාවට ඉතා අවධානයෙන් සවන් දීලා විෂය කරුණු හොඳින් ග්‍රහණය කරගන්නවා. අපි ඒක කුඩා කාලයේ ඉඳලම දුවගෙන් දැක්ක විශේෂ දෙයක්. ඒ වගේම එයා ඉගෙනීමේ වැඩවලට ඉතාම උනන්දුයි. ඒ නිසාම ශිෂ්‍යත්ව විභාගයෙන් දුව ඉහළ ප්‍රතිඵලයක් ගනියි කියන විශ්වාසය අපි තුළ තදින්ම තිබුණා. නමුත් මේ විදිහට ලංකාවෙන්ම පළමුවැනියා වෙයි කියලා නම් හිතුවෙ නැහැ.

ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් දුවට ලොකුම ඉලක්කයක් තිබුණා. ඒ තමයි විභාගය සමත් වෙලා කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුළත් වෙන එක. ඒ ඉලක්කය හිතේ තියාගෙනම තමයි දුව වැඩ කළේ. ඒ වෙනුවෙන් එයා ගොඩක් මහන්සි වුණා. මවුපියෝ විදිහට අපි දුවට උපරිම සහයෝගය දුන්නා මිසක් දුවට විභාගය ගැන පීඩනයක් ඇති කළේ නැහැ. නමුත් දුව එයාගේ ඉලක්කය හිතේ තියාගෙන එයාගෙම උත්සාහයෙන් ඒ වෙනුවෙන් කැප වුණ නිසා මේ ජයග්‍රහණය ලැබුණා කියලා අපිට විශ්වාසයි. දුවගේ අයියට ශිෂ්‍යත්ව විභාගය සමත් වෙන්න එක ලකුණයි අඩු වුණේ. ඒ නිසා බිසඳි දුවගේ මේ ජයග්‍රහණය ගැන පවුලක් විදිහට අපි ගොඩක් සතුටු වෙනවා.”

බිසඳිගේ මවගේ එවදන්වලින් සතුට උතුරා යද්දී සිය දියණියගේ දක්ෂතා ගැන ඇය තවදුරටත් කතා කළේ අවිහිංසක ආඩම්බරයක් සමඟිනි.

“දුව ඉගෙනීමේ වැඩවල වගේම බාහිර ක්‍රියාකාරකම්වලත් නිරත වුණා. දුව චිත්‍ර විෂයට වගේම සංගීතයටත් දක්ෂයි. ඒ නිසාම විවිධ අංශවලින් ජයග්‍රහණ රාශියකුත් ලබා ගෙන තිබෙනවා. ඒ ජයග්‍රහණ අතර ඉංග්‍රීසි භාෂා පළාත් තරගයෙන් අත්අකුරු අංශයේ පළමු ස්ථානයත් තිබෙනවා. දුව පොත් කියවන්න හරිම කැමතියි. දැනටමත් එයා පොත් ගොඩක් කියවලා තියෙනවා. මම හිතනවා විෂය දැනුමට අමතරව පොතපතින් ලබාගත් දැනුමත් ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ජයග්‍රහණය ලබා ගන්න දුවට උපකාර වුණා කියලා. ”

පහේ ශිෂ්‍යත්ව කඩඉම ඉහළින්ම සමත් වූ බිසඳි දියණියගේ ජයග්‍රහණය පමණක් නොව ඇය ඒ සඳහා කැපවූ ආකාරය ඇයගේ වයසේ දරු දැරියන්ට ආදර්ශයක් යැයි සිතෙන්නේ එකම ඉලක්කයක් වෙනුවෙන් ඇය කළ කැපවීම සහ උත්සාහය නිසාය.

“ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවෙන්ම පළමුවැනියා වෙයි කියලා හිතුවේ නැහැ. මගේ හිතේ තිබුණු ලොකුම බලාපොරොත්තුව විභාගෙ පාස්වෙලා කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුළත් වෙන එක. ඒ බලාපොරොත්තුව ඉටු කරගන්න මට පුළුවන් උපරිමයෙන් මහන්සි වෙලා වැඩ කළා. ඒ බලාපොරොත්තුව ඉටු වුණ එක ගැන මට ගොඩක් සතුටුයි.”බිසඳි දියණියගේ එවදන් කුඩා කල සිට ඉලක්කයක් අනුව වැඩ කිරීමේ වැදගත්කම පිළිබඳ අපූරු පාඩමක් බඳුය. වෛද්‍යවරියක් වී රටට සේවය කරන්නට බලාපොරොත්තුවෙන් සිටින බිසඳි දියණියගේ ඒ පැතුමත් සැබෑ වන්නට සිළුමිණෙන් ද සුබපැතුම්!

බිසඳි  දිය­ණිය හොරණ රාජ­කීය  ජාතික පාසලේ විදු­හ­ල්පති රංගන විතා­ර­නගේ ඇතුළු ආචාර්ය මණ්ඩ­ලය සමඟ

බිසඳි දිය­ණිය හොරණ රාජ­කීය ජාතික පාසලේ විදු­හ­ල්පති රංගන විතා­ර­නගේ ඇතුළු
ආචාර්ය මණ්ඩ­ලය සමඟ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division