Home » අවුල විසඳමින් ශිෂ්‍යත්ව ප්‍රතිඵල එයි

අවුල විසඳමින් ශිෂ්‍යත්ව ප්‍රතිඵල එයි

by Mahesh Lakehouse
January 25, 2025 12:30 am 0 comment

– වැඩිම ලකුණ 188ක්
– කඩඉම් ලකුණු ගත් සිසුන් ප්‍රමාණයේ වැඩි වීමක්
– අඩුම කඩඉම් ලකුණු මෙවර

හත් අවුලෙන් අවුලකට පත් වූ 2024 ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කෙරුණේ පසුගිය බ්‍රහස්පතින්දා (23) සවස් වරුවේය. කිසිවකුත් අපේක්ෂා නොකළ මොහොතක විභාග දෙපාර්තමේන්තුව සිය උපරිම කාර්යක්ෂමතාව යොදවමින්, අභියෝග රැසක් මධ්‍යයේ වුවද ප්‍රතිඵල නිකුත් කළේය. නව පාසල් වාරය ආරම්භයට පෙර කුඩා දරුවන්ගේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලබාදීම ගැන කවුරුත් සතුටට පත්වූහ. එනම් ලබන සඳුදා (27) නව පාසල් වාරය ආරම්භ වීමට නියමිතය. ප්‍රතිඵල පමාව මෙන්ම ඇති වූ ගැටලුකාරි තත්ත්වය හේතුවෙන් ශිෂ්‍යත්වයට පෙනී සිටි දරුවන්ගේ මවුපියන් පසු වූයේ මහත් නොසන්සුන් බවින් හා දෙගිඩියාවෙනි.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ 2024 ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් 18 දෙනකු ඉහළම ලකුණු ලබා සිටින බවයි. එහෙත් මෙවර ඒ දරුවන්ගේ නම් වශයෙන් ඉදිරිපත් නොකිරීමට විභාග දෙපාර්තමේන්තුව ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබිණි. බොහෝ විට ඉදිරි ශිෂ්‍යත්ව විභාගවල ප්‍රතිඵල නිකුත් කිරීමේදීද ඒ තීරණයේම සිටිනු ඇතැයි වාර්තා වෙයි. වැඩිම ලකුණු හිමි කරගත් සිසුවා ලකුණු 188ක් ලබා තිබෙන බවත්, ඊට අමතරව දරුවන් 17 දෙනකු ලකුණු 187-186 සීමාවේ පසු වන බවත් විභාග දෙපාර්තමේන්තුව පවසයි. එසේ වැඩිම ලකුණු ගත් දරුවන් 18 දෙනාගෙන් 11 දෙනකු පිරිමි දරුවන් බව පැවසේ.

මෙවර ආන්දෝලනයට තුඩුදුන් 2024 ශිෂ්‍යත්ව විභාගයට 319,284ක අපේක්ෂක පිරිසක් පෙනී සිටියහ. එයින් මෙවර කඩඉම් ලකුණින් එහා සමත් වූ පිරිස 51,244කි. එය 16.05 %ක ප්‍රතිශතයකි. 2019 වසරේ සිට කඩඉම් ලකුණින් එහා වැඩිම සමත් පිරිසක් වාර්තා වූයේ මේ වසරේය. විභාග දෙපාර්තමේන්තු දත්තවලට අනුව එක් විෂයයකට ලකුණු 35 බැගින් වන ලෙස ලකුණු 70ක් ගෙන ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන් ප්‍රමාණය 248,912ක් වන අතර, එය 77.96 %ක ප්‍රතිතයකි. එක් පත්‍රයකට ලකුණු 50 බැගින් වන ලෙස ලකුණු 100ක් ගත් සිසුන් ප්‍රමාණය 120,370ක් එනම් 37.70 %කි. එය පසුගිය වසර 5ට සාප්ක්ෂක අඩු අගයකි.

2024 ශිෂ්‍යත්ව විභාගයට සඳහා වැඩිම විභාග අපේක්ෂක පිරිසක් මුහුණ දී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. ඒ 27,823කි. දෙවැනිව 26, 858ක් ලෙස කොළඹ දිස්ත්‍රික්කයෙන්ද, තෙවනුව 26, 589ක් ලෙස කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්ද වාර්තා වේ. අඩුම අපේක්ෂක පිරිසක් පෙනී සිට ඇත්තේ කිලිනොච්චි දිස්ත්‍රික්කයෙනි. ඒ 1,731 දෙනෙකි.

ඒ ඒ දිස්ත්‍රික්කයන්යෙන් විභාගයට පෙනී සිටි සිසුන්ට සාපේක්ෂව කඩඉම් ලකුණින් එහා සමත් වැඩිම සිසු පිරිසක් නියෝජනය කර ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයයි. එය 22.97%කි. දෙවනුව රත්නපුර දිස්ත්‍රික්කයෙන් වන අතර, එය 21.11%කි. තෙවනුව කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි. ඒ 20.09%කි. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ සිංහල මාධ්‍ය ඉහළම කඩඉම් ලකුණ 143කි. දෙමළ මාධ්‍යයේ එය 141කි. 2015 වසරේ සිට 2024 දක්වා අඩුම කඩඉම් ලකුණක් වාර්තා වී ඇත්තේ මෙවරය. 2023 වසරේ කඩඉම් ලකුණ වූයේ 154කි.

2015 වසරේ සිට විභාගයට පෙනි සිටි අපේක්ෂක ප්‍රමාණය සන්සන්දනයේදී පෙනී යන්නේ 2024 වසරේ අඩු අපේක්ෂක පිරිසක් විභාගයට මුහුණ දුන් බවකි. එහෙත් එය සුළු අඩු වීමක් බව පෙනී යන අතර, වසර ගණනාවක් මුළුල්ලේම ලක්ෂ තුනකට අධික සිසුන් පිරිසක් මේ විභාගයට මුහුණ දී ඇත. එසේ අපේක්ෂකයින්ගේ සුළු අඩුවක් පෙන්නුම් කළද පසුගිය 2015 සිට මේ දක්වා වසර සන්සන්දනයේදී වැඩිම කඩඉම් ලකුණන් එහා සමත් ප්‍රමාණයක් මෙන්ම වෙනත් පාසලකට අතුළත් වීමේ හා ශිෂ්‍යාධාර ලැබීමේ වැඩිම සුදුසුකම් ලබා ඇත්තේද මේ වසරේදීය. එය 2022 වසරේ 14.64%ක්ද, 2023 වසරේ 15.22%ක්ද 2024 වසරේ 16.05%ක්ද වෙයි.

2015 වසරේ සිට මේ දක්වා ශිෂ්‍යත්ව කඩ­ඉම් ලකුණු හා ඒ ඒ වස­ර­වල පෙනි සිටි අපේ­ක්ෂ­ක­යින් ප්‍රමා­ණය

2015 වසරේ සිට මේ දක්වා ශිෂ්‍යත්ව කඩ­ඉම් ලකුණු හා ඒ ඒ වස­ර­වල පෙනි සිටි අපේ­ක්ෂ­ක­යින් ප්‍රමා­ණය

පළාත් වශයෙන් වැඩිම කඩඉම් සමත් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේද බස්නාහිර පළාතෙනි. ඒ 10, 613කි. එහෙත් විභාගයට පෙනී සිටි සිසු ප්‍රමාණයට සාපේක්ෂව ගත් කල වැඩිම කඩඉම් සමත් සිසුන් ප්‍රතිශතය වාර්තා වන්නේ සබරගමුව පළාතෙනි. පසුගියදා පැවැති ශිෂ්‍යත්ව විභාගයෙන් ඒ ඒ දිස්ත්‍රික්කවලින් පෙනී සිටි සිසුන්ට සාපේක්ෂව ලකුණු 70කට වඩා ගෙන සමත් වූ වැඩිම ප්‍රතිශතයක් වාර්තා වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි. එය 84.25%කි. දෙවනුව හම්බන්තොටින් හා තෙවැනුව කෑගල්ලෙනි. ලකුණු 70කට වඩා ගෙන සමත් වූ අඩුම ප්‍රතිශතයක් වාර්තා වන්නේ ත්‍රිකුණාමල දිස්ත්‍රීක්කයෙනි. එම ප්‍රමාණය සියයට 66.38 කි.

අධ්‍යාපන කොට්ඨාස වශයෙන් ගත් කල ලකුණු 70ට වඩා ගෙන සමත් ප්‍රතිශතයක් වාර්තා වන්නේ කෑගල්ල අධ්‍යාපන කොට්ඨාසයෙනි. දෙවනුව නුවරඑළිය හා තෙවනුව වලස්මුල්ල අධ්‍යාපන කොට්ඨාස වෙයි. අඩුම සමතුන් ප්‍රතිශතයක් වාර්තා වන්නේ කින්නියා දිස්ත්‍රික්කයෙනි.

දිස්ත්‍රික් වශයෙන් ඒ ඒ දිස්ත්‍රික්කවලට අනුව පෙනී සිටි සිසුන්ට සාපේක්ෂව කඩඉම් ලකුණින් එහා සමත් වූ වැඩිම සමත් ප්‍රතිශතයක් වාර්තා වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙනි. එය 22.97%කි. දෙවනුව රත්තපුරයෙන්ද, තෙවනුව කුරුණෑගලින්ද, සිව්වැනිව යාපනයෙන්ද වෙයි. විභාගයට පෙනී සිටි සිසු ප්‍රමාණයට සාපේක්ෂව කඩඉම් සමත් ප්‍රතිශතය අනුව ගම්පහ දිස්ත්‍රික්කය 10 වැනි ස්ථානයේද කොළඹ දිස්ත්‍රික්කය 16 වැනි ස්ථානයේද සිටියි.

අධ්‍යාපන කොට්ඨාස වශයෙන් ගත් විට වැඩිම කඩඉම් සමත් සිසුන් ප්‍රතිශතයක් වාර්තා වන්නේ යාපනය අධ්‍යපන කොට්ඨාසයෙනි. දෙවනුව වලස්මුල්ල හා තෙවනුව තංගල්ලෙනි. එසේම අඩුම කඩඉම් සමත් ප්‍රතිශතයක් වාර්තා වන්නේ කින්නියාවෙනි.

විභාග කාලසටහනේ පමාව නිසා පසුගිය වසරට අදාළ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වූයේ සැප්තැම්බර් 15 වැනිදා ය. ඒ මැතිවරණ රාජකාරි උණුසුම මැදය. එදින විභාග දෙපාර්තමේන්තුව විසින් ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව අවසන් කළද ඊට පසු දින පළමු ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙන්නට වූයේ විභාග කොමසාරිස් ජනරාල්වරයාටමය.

ඒ, විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ සඳහන්ව තිබූ ප්‍රශ්න කිහිපයකට සමාන ප්‍රශ්න සහිත අනුමාන ප්‍රශ්න පත්‍රයක් අලව්ව ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයකු විභාගයට පෙර ප්‍රසිද්ධ කර තිබූ බවට චෝදනා එල්ල වෙමිනි. විභාග දෙපාර්තමේන්තුව විසින් ඊට පසුදිනම මේ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් ආරම්භ කෙරිණි. මීට අමතරව අනුරාධපුර ප්‍රදේශයේ පාසල් විභාග මධ්‍යස්ථානයක පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ඡායාරූපගත කර බෙදාහරින ලද බව පැවැසෙන ශාලාධිපතිවරයකු ඇතුළු ගුරුවරුන් හය දෙනකු පිළිබඳ චෝදනාවක්ද විභාග දෙපාර්තමේන්තුවට ලැබිණි. විභාගය ආරම්භ වීමට විනාඩි දහයකට පෙර මේ විභාග මධ්‍යස්ථානයේ සහකාර විභාග ශාලාධිපතිවරයා විසින් පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයෙන් ඡායාරූපගත කොට තවත් ගුරුවරුන් කිහිප දෙනෙකුට යැවීම සම්බන්ධයෙන් එම සහකාර විභාග ශාලාධිපතිවරයා සමඟ ගුරුවරු හය දෙනකු ජංගම දුරකතනද සමඟ විභාග දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගෙන තිබිණි. මේ පිළිබඳ දරුවන්ට සාධාරණයක් ඉල්ලමින් සටන් කළ මවුපියන්ට විභාග දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණ පවත්වමින් තීන්දු කළේ විභාගය කිසිසේත් අවලංගු නොකරන බවත් ප්‍රශ්න පත්‍රය සකස් කළ විද්වත් මණ්ඩලයේ එකඟතාව මත අදාළ ප්‍රශ්න 3 ඉවත් කර, අවසන් ලකුණු දෙන බවත්ය.

කෙසේ වෙතත් කුඩා දරුවන්ගේත් මවුපියන්ගේත් ඉතා සංවේදි විභාගයක් වූ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ගැටලුවට සාධාරණයක් ඉල්ලමින් සටනේ නිරත වූ මවුපියන්ට ශ්‍රේෂ්ඨාධිකරණය අවසන් තීන්දුව දුන්නේ 2024 දෙසැම්බර් 31 වැනිදාය. එහිදී, පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිට වූ ප්‍රශ්න 3 සඳහා නිදහස් ලකුණු දීමට ගෙන තිබෙන තීරණයෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත්, ඒ අනුව මෙම ගැටලුව නිරාකරණය කිරීම සඳහා විශේෂඥයන් විසින් ඉදිරිපත් කර තිබෙන නිර්දේශ තුන අතුරින් සුදුසු නිර්දේශයක් තෝරා, වහා එය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාග කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබිණි. ඒ අනුව මීට දිය හැකි සුදුසුම විසඳුම වශයෙන් අදාළ ප්‍රශ්න තුන සඳහා සියලු විභාග අපේක්ෂකයින්ට නිදහස් ලකුණු ප්‍රදානය කිරීමේ තීන්දුව ජනවාරි මස 1 වැනිදා දෙනු ලැබූ අතර, විභාග ඇගැයීම් කටයුතු ආරම්භ වූයේ පසුගිය 8 වැනිදාය.

මේ අර්බුදකාරි පරිසරයක, නව පාසල් වාරයට පෙර ප්‍රතිඵල නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව ක්‍රියා කිරීම සැබැවින්ම ප්‍රශංසනීයය.

2019-2024 වසර දක්වා ශිෂ්‍යත්ව විභා­ගයේ ලකුණු 70 ට වඩා ගත් සිසුන්ගේ ප්‍රති­ශ­තය

2019-2024 වසර දක්වා ශිෂ්‍යත්ව විභා­ගයේ ලකුණු 70 ට වඩා ගත් සිසුන්ගේ ප්‍රති­ශ­තය

 

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division