Home » කපුවා කපෝති වෙයිද?

කපුවා කපෝති වෙයිද?

by Mahesh Lakehouse
January 25, 2025 12:30 am 0 comment

භානායක බිමල් රත්නායකගේ කාල කළමනාකරණය මේ වන විට පාර්ලිමේන්තුවේ කොයිකාගේත් කතාබහට ලක් වී තිබේ. පාර්ලිමේන්තුවේ කතා කිරීමේදී වගේම ප්‍රශ්න පිළිතුරු සැපයීමේදීද බිමල් බලන්නේ ප්‍රශ්නවල ඇති වැදගත්කම හා ඒ සඳහා දෙන පිළිතුරුවල ප්‍රමාණාත්මක බව නොව, කාලය ඉතිරි කරගන්නේ කොහොමද යන කාරණාව පිළිබඳයි. මේ නිසා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් නඟන ප්‍රශ්නවලටද යම් යම් සීමාවන්ට යටත් වීමට සිදුව තිබේ. ප්‍රශ්න ඇසුවත් අතුරු ප්‍රශ්න නැඟුවත් ඒවා යම් කාල සීමාවකට යටත්ව කිරීමට සිදුව තිබේ. එහෙත් ප්‍රායෝගික භාවිතාවේදී ඒක එතරම් සාර්ථක ක්‍රමයක් නොවුණත් මොනම විදිහකින්වත් කාලය වැඩි වෙනවාට බිමල් කැමැති නැත.

අගමැතිතුමියට පවා බිමල්ගේ නීතිය සමානය. පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී අගමැතිතුමියගෙන් විමසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දීමේදී මේ බව පෙනෙන්නට විය. සාමාන්‍යයෙන් අගමැතිවරිය කතා කිරීමේදී මෙන්ම පිළිතුරු දීමේදී ද කිසියම් කාලයක් ගනියි. ඒ ඇයගේ හැටිය. එහෙත් අගමැතිවරිය පිළිතුරු දෙන සෑම අවස්ථාවකම වගේ බිමල් ඔරලෝසුව දිහා මෙන්ම අගමැතිතුමියගේ මුහුණ දිහා බලන ආකාරය කැපීපෙනෙන සිදු වීමක් විය.

සභානායක ලෙස බිමල් රත්නායක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ කාලය කළමනාකරණය කිරීමට දරන වෙහෙස පිළිබඳ ආණ්ඩු පක්ෂයේ පමණක් නොව විරුද්ධ පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ද සිටින්නේ ප්‍රසාදයකිනි.

අඩු වීම පෙනෙන්නේ නැත්තේ ඇයි?

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිකුත් කළ චක්‍රලේකයක් නිසා ඊයේ (23) පාර්ලිමේන්තුවත් උණුසුම් වුණි. පොදුජන පෙරමුණ නියෝජනය කරන ඩී වී චානක මන්ත්‍රීවරයා මෙම චක්‍රලේකය ගැන සඳහන් කරමින් කියා සිටියේ “වර්තමාන ආණ්ඩුව වරප්‍රසාද කප්පාදු කරනවා කිව්වට කරලා තියෙන්නේ වරප්‍රසාද වැඩි කර ගැනීමක්. ඉන්ධන සහනය වැඩි කරගෙන අතිකාල වැඩි කරගෙන දුරකතන දීමනාත් අරගෙන” කියාය. මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව ඉලක්ක කර ගනිමින් දැඩි ප්‍රහාරයක් එල්ල කළේය. “මේක අහගෙන හිටපු ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතරේත් කසුකුසුවක් ඇතිවිය. “අලුත් චක්‍රලේඛය හොයාගෙන මේ කියන්නේ ඇත්තද කියලා හොයලා බලමු.” මන්ත්‍රීවරු පිරිසක් අලුත් චක්‍රලේඛය හොයන්න පටන් ගත්තේය. “මන්ත්‍රීතුමා අර මොනවද කියන්නේ. වරප්‍රසාද වැඩිකරගෙන කියලා. අපිට නම් ඒක බොරුවක් කියලා තේරෙනවා. මේ බොරු සමාජගත කරන්න දෙන්න එපා. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න” තවත් සමහර ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට දුරකතන ඇමතුම් ගලා ආවේය.

කෙසේ වෙතත් මේ ගැන පාර්ලිමේන්තුවේ පැහැදිලි කිරීමක් අවශ්‍ය බව ආණ්ඩු පක්ෂයට වැටහී ගිය බැවින් පාර්මේන්තු කටයුතු අමාත්‍යවරයා ලෙස ආනන්ද විජේපාල පැහැදිලි කිරීමක් කළේය. “මේ වරප්‍රසාද ගැන චානක මන්ත්‍රීවරයා කිව්වේ බොරුවක්. අපි සියලු දීමනා අඩු කරන්න කටයුතු කරලා තියෙනවා. ඇමතිවරයෙකුට වාහන 3ක් කලින් වෙන් වුණා. අපි දෙන්න යෝජනා කරලා තියෙන්නේ 2ක්. එහෙම කරන්නේ එක වාහනයක් කැඩුණොත් ඒ වෙනුවට තව වාහනයක් භාවිත කිරීමේ අරමුණෙන්. මීට පෙර එක වාහනයකට ඩීසල් ලීටර් 700ක් වෙන් කරලා තිබුණා. මුළු එකතුව 2,100යි. පෙට්‍රල් නම් එක වාහනයකට ලීටර් 650 වෙන් කරලා තිබුණා කලින් ආණ්ඩු. මුළු එකතුව ලීටර් 1,950යි. නමුත් දැන් අපි ලබාදෙන්නේ වාහන දෙකටම ලීටර් 900යි. ඩීසල් නම් ලීටර් 1,200ක් පෙට්‍රල් නම් ලීටර් 1,050 ක් කපා හැරලා තියෙනවා. කොහොමද කියන්නේ වැඩිකරලා කියලා. මේ විදියට අනෙකුත් දීමනා අඩු කරලා තියෙන්නේ. විවාදයක් ඕන නම් අපි කරමු.” ඇමතිවරයා කියා සිටියේය.

සේවකයන්ගේ කාමර ප්‍රශ්නයට හඳුන්ගෙන් විසඳුම්

ස්වර්ණාභරණ ලියාපදිංචි කිරීම, බලපත්‍ර නිකුත් කිරීම, අපනයනය කිරීම, ස්වර්ණාභරණ පරීක්ෂා කිරීම හා තක්සේරු කිරීම, මැණික් හා පතල් උපදේශනය ආදී සේවා රැසක් සපයන ආයතනය වන්නේ මැණික් හා ස්වර්ණභරණ අධිකාරියයි. එම ආයතනය අයත් වන්නේ සුනිල් හඳුන්නෙත්ති ඇමති ධුරය දරන කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයටය.

පසුගිය දවසක මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිතුමාව හමු වෙන්න ආව ආයතනයේ සේවක පිරිසක් දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කළහ. “අපි තමයි සර් මේ ආයතනයේ දත්ත පරිගණකගත කරන කණ්ඩායම හැබයි, අපිට හරියට වැඩ කරන්න නැනක් නැහැ. අපි හත්දෙනාටම දීලා තියෙන පොඩි ඉඩේ මේස ටික දාගත්තට පස්සේ අපට හැරෙන්නවත් ඉඩක් නැහැ.” සේවකයෝ තමන්ට සිදු වී තිබෙන අපහසුතාවය සභාපතිවරයාට පැහැදිළි කළහ. “හැබැයි සර් කලින් සභාපතිතුමා ඉන්න කාලේ ඇමැතිතුමාටයි, පෞද්ගලික ලේකම්ටයි වෙනම කාමර දෙකක් වෙන් කරලා තියෙනවා. ඒ අය කවදාවත් මේ කාමර පාවිච්චි කළේ නැහැ. ඇමැතිතුමාට කිව්වොත් අපිට ඒ කාමරය ඉල්ලා ගන්න පුළුවන් වෙයිද?” සේවකයෝ යෝජනාවකුත් ඉදිරිපත් කළහ. දුක්ගැනවිල්ල අහගෙන හිටපු සභාපතිතුමා ඇමතිතුමාට ඇමතුමක් ගත්තේය. සභාපතිවරයා කාමර ප්‍රශ්නය ඇමතිතුමාට කෙටියෙන් විස්තර කළේය. ඒ කතාව අහගෙන හිටපු සුනිල් හඳුන්නෙත්ති කිව්වේ “බිල්ඩින් හදල තියෙන්නේ වැඩ කරන මිනිස්සුන්ට දෙන්න තමයි. ලේකම්ලාට කාමර වෙන් කරලා, ඒවා වහගෙන ඉඳල වැඩක් තියෙනවද? දොරවල් ඇරලා සේවකයන්ට වැඩ කරන්න පහසුකම් සපයලා දෙන්න. වැඩකරන අය සතුටින් නැත්නම් කරන වැඩේ සාර්ථක වෙන්නේ නැහැ.” ඇමතිවරයා ප්‍රශ්නයට විසඳුම දුන්නේය.

පොදු ප්‍රවාහනයේදී හිංසනයට වැට

පසුගිය 21 දා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේදී අලුත් වැඩක් ආරම්භ විය. සුරක්ෂිත සහ සුව පහසු පොදු ප්‍රවාහන සේවාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් තබන පළමු පියවර ලෙස අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර නියෝජනය කරමින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන් සහ සමාජ ක්‍රියාකාරීන් පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම මූලික සාකච්ඡාව පැවැත්වුණේ නාරාහේන්පිට ජාතික ගමනාගමන කොමිසන් සභාවේදීය.

“පොදු ප්‍රවාහන සේවාව තුළ කාන්තාව සහ දරුවන් හිංසනයට පත්වන ආකාර බොහෝ වෙලාවට ප්‍රවෘත්ති විදියට අපි දැක තියෙනවා. ඒ ගැන ලොකු සංවාදත් අපි අහලා තියෙනවා. ඒත් ඒ හිංසනය නවත්වන්න පත් වුණු ආණ්ඩු කිසිවක් පියවර ගත්තේ නැහැ. අද ඒක ලොකු සමාජ ප්‍රශ්නයක් වෙලා තියෙනවා.” ජාතික ගමනාගමන කොමිසමේ සභාපතිවරයා සාකච්ඡාව ආරම්භ කරමින් කරුණු පැහැදිලි කළා. “ගොඩක් අවස්ථාවල කාන්තාවන් මේ විදියට අපහසුතාවයට පත්වෙන එක ගැන පැමිණිල්ලක් කරන්න පෙළඹෙන්නේ නැහැ. එකක් ඒක ලැජ්ජාවට කරුණක් වෙන නිසා. තවත් පැත්තකින් අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන ආකාරය ගැනත් ජනතාවට කුකුසක් තියෙනවා. මෙවැනි දේවල් විභාගයට ලක්වීමේදී නැවතත් අපහසුතාවයට පත්වෙන්නේ කාන්තාවන්.” සමාජ ක්‍රියාකාරීන්ගේ අදහස විය.

“පොදු ප්‍රවාහනය ශක්තිමත් කරන අතරේ මේ සම්බන්ධයෙන් ප්‍රායෝගික ඉක්මන් විසඳුමක් අපි හදාගන්න ඕනෑ.” බොහෝ දෙනාගේ අවශ්‍යතාව විය. ඒ වෙනුවෙන් ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව පොදුජනතාව දැනුවත් කිරීමටත් තම තමන්ට අදාළ ආයතනවලින් පොදු ප්‍රවාහන සේවාවල සුරක්ෂිත බව සුරැකීමට ගතහැකි පියවර සම්බන්ධවද කරුණු රැසක් නිලධාරීන්ගෙන් ඉදිරිපත් කෙරුණි. අදාළ අමාත්‍යාංශවල මාධ්‍ය ඒකක මගින් මේ සම්බන්ධයෙන් පුළුල් ප්‍රචාරණ වැඩසටහනක් සකස් කර ගැනීමටද ඒවා ප්‍රචාරය කර ගැනීමට රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන සම්න්ධ කර ගන්නා ආකාරය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.

ඵලදායී තොරතුරු හුවමාරුවකින් අනතුරුව, පොදු ප්‍රවාහන සේවා තුළදී හිංසනයට පත් වන අයට යුක්තිය ඉටු කරගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීම ඩිජිටල්කරණය වැඩපිළිවෙළ යටතේ සුහුරු ක්‍රමවේදයකට අනුගත කිරීම, සමාජ දැනුවත් කිරීම් සහ ආකල්ප සංවර්ධන ව්‍යාපෘති සැළසුම් කිරීම පිළිබඳව ද මෙහිදී වැඩි අවධානයක් යොමු විය.

මෙම ව්‍යාපෘති මාලාව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දිලීප විතාරණ මහතාගේ මග පෙන්වීම යටතේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් දියත් කිරීමට නියමිතයි.

ගිය නුවණ යළි අද්දවාගැනීමට ඇතුන්

සමස්ත විපක්ෂයේ බලය සෙමෙන් සෙමෙන් එක ලක්ෂයකට ගොනු වෙමින් තිබේ.

ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවා ගන්නට බැරි යැයි කිවුවත් අවසානයේ ගිය නුවණ ඇදගන්නට සිදු වන්නේ ඇතුන් ලවා බව විපක්ෂයේ සී සී කඩ ගිය පක්ෂ බොහොමයකට දැන් තේරුම් ගොස් ඇතැයි රුවන් ප්‍රකාශ කළේ මහ පොළොවේ පෙනෙන්නට තිබෙන ඇත්තකි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඇතුළු පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද දේශපාලන නායකයන්ද මල් පාරේ කාර්යාලයට රැස් වූයේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සැලසුමක් සඳහාය.

ඉකුත් සතියම රනිල්ට නම් ඉස්පාසුවක් තිබුණේ නැත. විවිධ දේශපාලන නායකයන් ඔහු හමුවෙන්නට එන බැවිනි. ඒ අතරතුර වෙනත් විවිධ උත්සව සඳහාද ඔහුට ආරාධනා ලැබෙයි.

“දැන් රටේ තියෙන ලොකුම ප්‍රශ්නෙ විශ්‍රාමික ජනාධිපතිවරු නේදැ?“ යි වජිර ප්‍රශ්න කළේ ඒ මොහොතේත් රූපවාහිනියේ විකාශය වෙමින් තිබූ හිටපු ජනපතිවරුන්ගේ බර ගැන රටට කියන ආණ්ඩුවේ දේශපාලනඥයකුගේ ප්‍රකාශයක් දැකීමෙන් අනතුරුවය.

මහින්ද ගැන රනිල් කිව්වේ මොනවාද?

“ජනාධිපති වරප්‍රසාද පනත වෙනස් කරන්න යනවාලු නේද?“ තලතා විමසූයේ ජනපති අනුර කළ ප්‍රකාශයක් උපුටා දක්වමිනි.

“ඒක කරන්නේ කොහොමද? මේවයින් වෙන්නේ මහින්දටත් තව සිම්පති එකක් දෙන එක. යට ගිය රාජපක්ෂලා ආණ්ඩුවේ මේ හැසිරීම නිසා ආපහු උඩට එනවා. සජිත්ලා නිශ්ශබ්ද නිසා නාමල්ලා මතුවෙනවා. රාජපක්ෂලා ආපහු එන්නේ මේ අයගේ වැඩ නිසාමයි“ රනිල් කීවේ දුර දිග සිතිය යුතු කතාවකි.

“අන්න හුරතල් සතුන්ට කෑම දීපු නිසා හාල් හිඟ වෙලා කියලා දැන් ජනාධිපති කියනවා. අපේ ලොක්කා දුප්පත් මිනිස්සුන්ට හාල් දීපු නිසා හාල් හිඟ වුණා කියලා එක පාරක් වසන්ත ඇමතිවරයා කිව්ව නේද?“ චාමර විමසූයේ උපහාසය මුසු හඬකිනි.

“සතුන්ට කෑම දෙන එකත් වරදක්. දුප්පත් මිනිසුන්ට කෑම දෙන එකත් වරදක්.අනේ මන්දා ඊළඟට බුද්ධ පූජාව තියෙන එකටත් මොනවා හරි කියයිද දන්නේ නෑ“ වජිර පැවසූයේ තෝන්තු හඬකිනි.

රනිල්ගේ විකල්ප පාර්ලිමේන්තුව

විපක්‍ෂයෙන් විකල්ප පාර්ලිමේන්තුවක් යන කතාව මේ දිනවල කනින් කොනින් ඇසෙන්නට පටන්ගෙන තිබේ. මේ අලුත් පාර්ලිමේන්තුව ගැන කාටත් තිබෙන කුකුස දුරු කරන්නට රනිල් කීවේ මෙවැනි කතාවකි.

“මේක පාර්ලිමේන්තුවේ නැති අයටත් මාසෙකට සැරයක් මුණ ගැහිලා රටේ ප්‍රධාන ප්‍රශ්න ගැන කතා කරන්න වේදිකාවක්. ඒ වැඩේ රාජිත භාර ගත්තා. අනික දැන් මේ පාර්ලිමේන්තුවේ විපක්ෂය ශක්තිමත් නෑ. අපේ විකල්ප පාර්ලිමේන්තුව විපක්ෂයටත් විකල්පයක් ලෙස සලකන්න පුළුවන්“

එක්සත් ජාතික පක්ෂය යළි බල ගැන්වීමේ වැඩසටහන ගාල්ල දිස්ත්‍රික්කයෙන් සෙනසුරාදා ඉරිදා දෙදින ඇරැඹිණි.ඒ සභාපති වජිරගේ මූලිකත්වයෙනි.එහිදී ගාල්ල දිස්ත්‍රික්කයේ ආසන බල මණ්ඩල රැසක් යළි පිහිටුවිණි.

සජිත්ට ඉම්තියාස්ගෙන් උත්තර

පසුගියදා ඉම්තියාස් බාකීර් මාකාර්ගේ යෝජනාවලිය ගැන සාකච්ඡා කිරීමට කළමනාකරණ කමිටුවේ විශේෂ රැස්වීමක් කැඳවනු ලැබීය. රැස්වීම පැවැත්වුවේ විපක්ෂ නායක කාර්යාලයේදීය. මෙම සාකච්ඡාවට පක්ෂ නායක සජිත් ලේකම් රජ්ජිත් මද්දුම්බණ්ඩාර ඉම්තියාස්, තිස්ස අත්තනායක, කිරිඇල්ල, ඉරාන්, ගයන්ත, මුජිබර්, බුද්ධික, හර්ෂණ, නලීන්, මරික්කාර් ඇතුළු දොළොස් දෙනෙකුගෙන් පමණ යුතු කළමනාකරණ කමිටුව පැමිණ සිටියේය.

“අද රැස්වුණේ අපේ සභාපතිතුමා ඉදිරිපත් කරලා තියෙන යෝජනාවලිය ගැන සාකච්ඡා කරන්න ඒ ගැන සාකච්ඡා කරමු. හැබැයි මේවා මාධ්‍යවලට නිකුත් කරන්න බෑ.“ සජිත් එසේ කියන විටම ඊට ඉම්තියාස් උත්තර දෙමින්ම කතාව පටන් ගත්තේය.

“ඔබතුමා එහෙම කියන එක වැරදියි. ඒක හරියට මම පත්තරවලට විස්තර දුන්න වගේ මම සද්භාවයෙන් ඔබතුමාට ලිපියක් ඉදිරිපත් කළා. පක්ෂය ඒ පිළිබඳ ප්‍රතිචාරයක් නැති නිසයි මම නැවත වතාවක් තව නිලධාරීන් දෙදෙනෙකුටත් එක්ක නැවත සිහිකැඳවීමක් කළෙත්.“ ඉම්තියාස් උත්තර දුන්නේය. ඒත් සමඟ අනිත් අයද කතා කරන්න පටන් ගත්හ.

“ප්‍රබලව හිටපු අපි විපක්ෂයට මේ විදියට යන්නත්, සියයට තුනක් හිටපු අය ආණ්ඩුවක් කරන්නත් හේතුව අපි බෙදුණ නිසා.“ තිස්ස අත්තනායක කීවේය.

“අපි විපක්ෂය එකතු වෙන්න ඕනෑ. එජාපය සජබය වගේ අපේ බලවේග වෙන්විලා ඉන්න තාක්කල් අපට කවදාවත් ආයෙත් ආණ්ඩුවක් පිහිටුවා ගන්න බෑ.“ තවත් අයෙක් කීවේය.

“අතීතයේ ඉඳලා පක්ෂයක් හැටියට අපි වැඩ කළේ එකතු වෙලා සාකච්ඡා කරලා කළමනාකරණ කමිටුව බදාදා රැස් වුණා. හැම බදාදාම ඒක තිබුණ නිසා ඉස්සර අපි කිවුවේ වෙන්ස්ඩේ මීටින් කියලා. මාසෙකට සැරයක් කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙනවා. විධායක කමිටුව මාස හයකට වරක්. මහා සමුළුව අවුරුද්දකට වරක්. මෙහෙමයි අපි ප්‍රජාතන්ත්‍රවාදීව එක්ව සාකච්ඡා කරල තීරණය අරන් දිගු ගමනක් ආවේ.“ ඉම්තියාස් කීවේය. ඉන් පසුව තීරණය කෙරුණේ කමිටුවක් පත් කර, ඉම්තියාස් බාකීර් මාකාර්ගේ යෝජනා 12 පිළිබඳ සාකච්ඡා කර තීරණයක් ගැනීමටය.

තලතාගේ කපුකම

තලතා අතුකෝරල එජාප මහලේකම් වීමත් සමඟ සජබ බහුතර අදහස වී ඇත්තේ එකතු වීමක් සිදු විය යුතුය යන්නයි. එහෙත් මේ මොහොතේ ප්‍රසිද්ධියේ එකතු වීමෙන් කිසිදු දේශපාලන වැදගත්කමක් නැති බැවින් යටිගත සාකච්ඡා පමණක් මේ වන විට ආරම්භ වී තිබේ.

ඉදිරි මැතිවරණවලට එන්නේ අලියා ලකුණින්ද? නැති නම් පෙරමුණකින්ද? පක්ෂ මහලේකම් ධුරය වෙනස් වන්නේ කෙලෙසද? නාම යෝජනා සකස් කරගත යුත්තේ කෙසේද? ආදිය ගැන මේ වන විට සාකච්ඡා වෙමින් තිබේ. කුමනාකාරයේ වෙනසක් වුවත් මෙහෙම එකක් වෙනවා කියා එළියට නොපෙන්වා සිටිය යුතු බව දෙපාර්ශ්වයේම අරමුණ වී තිබේ.

එහෙත් මේ සම්බන්ධයෙන් සජිත් සිටින්නේ උභතෝකෝටිකයකය. මෙතුවක් කල් සජිත් කියන විදිහටම කටයුතු කළ රංජිත් මද්දුමබණ්ඩාර දැන් ස්වාධීන මත දැරීමට පටන්ගෙන තිබේ. තලතා හා රංජිත් යනු ඉතා හොඳ දීර්ඝකාලීන මිතුරන් නිසා රංජිතුත් දැන් දැන් මිනිස්සු ඉල්ලන්නේ ඒක ඒ නිසා කරන්න ඕන කියන තැනට කතා කිරීමට පටන් ගෙන තිබේ. එමෙන්ම තිස්ස අත්තනායක හා ඉම්තියාස් බාකීර් මාකාර් ද මේ දේම නොකියා කියයි. ඒ අනුව එජාපය හා එකතුවීමේ කැමැත්ත සජබ ඇතුළේ දලුලමින් වැඩෙමින් පවතී.

සජිත්ට ඇත්තේ එකතු වීමේ ගැටලුවක් නොව, නායකත්වය පිළිබඳ ප්‍රශ්නයයි. එහෙත් සජබ මන්ත්‍රීවරුන්ගේ දැන් මතය වී ඇත්තේ ඕක ඇදගත්තොත් ආයෙත් මහා ගාලගෝට්ටියක් ඒ නිසා රනිල් එජාප නායකත්වයේ ඉන්න විදියටම ඔහේ හිටපුවාවේ සජිත් සජබ නායකත්වයේ හිටපුවාවේ. අපි බලන්න ඕනෑ එකතු වුණොත් මහෙලේකම්කමට සුදුසු දෙපැත්තටම පිළිගන්න පුළුවන් කෙනා කවුද? රණ්ඩු නොවී නාම යෝජනා ලැයිස්තු හදාගන්නේ කොහොමද? කියන කාරණා ගැනය. ඒ අනුව ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන හා පළාත් සභා මැතිවරණවලදී පක්ෂයේ දෙවැනි පෙළ නායකයන් නිර්මාණය කිරීම හැර භේදයට තුඩු දුන් නායකයා හා මහලේකම් කවුරුන්ද යන්න පිළිබඳව සාකච්ඡා නොකර සිටීමට මන්ත්‍රීවරුන් තීන්දුවක් ගෙන තිබේ.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය සමඟි කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නව මහලේකම් තලතා අතුකෝරල ගන්නා උත්සාහය දෙපාර්ශ්වයේම ජේෂ්ඨයින්ගේ පැසසුමට ලක්ව තිබේ. එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන ඇතුළු පිරිසකුත් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසකුත් තලතාගේ උත්සාහයට ප්‍රසංශා කර ඇත.

මීට අමතරව තවත් පිරිසක් ප්‍රකාශකර ඇත්තේ කපුකම හරියට සිදුවුවහොත් තලතා ඉතිහාසගතවන බවයි. එසේ නොවුණහොත් කපුවා කපෝතිවීමටද ඉඩ ඇති බව එම පිරිස ප්‍රකාශකර ඇත්තේ කපුවා කපෝතියි යනුවෙන් රඟදක්වන ලද වේදිකා නාට්‍යක්ද සිහිපත් කරමිනි.

පොදු ලකුණ ගැන ගැටලුවක්

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය ඉදිරි මැතිවරණවලට එක්ව තරඟ කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ සාකච්ඡාවට දෙකක් මේ වනවිට පවත්වා තිබේ. අලියාත් නොව දුරකතනයත් නොව පොදු ලකුණක් යටතේ එක්ව තරඟ කිරීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් කර ඇති යෝජනාවට සමගි ජනබලවේගය එතරම් කැමැත්තක් නැති බව වාර්තා වෙයි. හර්ෂණ රාජකරුණා, එස්.එම්. මර්ක්කාර්, සුජීව සේනසිංහ යන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇත්තේ පොදු ලකුණක් යටතේ තරග කළ යුත්තේ පාර්ලිමේන්තු මහමැතිවරණයක් වැනි ප්‍රධාන මැතිවරණයකදී බවයි. ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා දුරකතනය ලකුණ යටතේ තරග කිරීම වඩා සුදුසු බව ඔවුන් ප්‍රකාශ කර ඇති බවද වර්තා වේ.

රනිල් වෙනුවෙන් වජිර පෙරට

එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ගාල්ල, උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේදී විශේෂ එජාප ක්‍රියාකාරී හමුවක් පැවැත්විණි. ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීම් පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් මෙම හමුව සංවිධානය කර තිබිණි.

ඒ සංවිධාන කටයුතු පිළිබඳ පැමිණ සිටි පිරිස දැනුවත් කළ වජිර ඔවුන් සමග සුහද කතා බහකටද එක් විණි. මේ සාකච්ඡාව බලමණ්ඩල රැස්වීමට එහා ගිය රටේ වර්තමාන දේශපාලන තත්ත්වය සහ රටේ අනාගතය පිළිබඳ දීර්ඝ සාකච්ඡාවක් විය. පැමිණ සිටි සියලු දෙනාම පාහේ වජිරගෙන් රටේ හෙට දවස පිළිබඳ විමසන්නට විය.

“මෙතනට ආපු අය මගෙන් අහනවා ඉදිරිය රටට මොන වගේ කාලයක් වෙයිද කියලා. ඒ ගැන ඉතින් මම කියන්නම අවශ්‍ය නෑ නේ. ඔබටම පේනවා රට යන්නේ කොතැනටද කියලා.“ එම පිළිතුරත් සමග වජිර සිය අදහස් දැක්වීමට ප්‍රවිෂ්ට විය.

“ඉතින් මේ තත්ත්වය ඇති වන බව දන්න නිසා තමයි අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පුන පුනා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවට අත්දැකීම් සහිත පිරිසක් තෝරා පත් කර යවන්න කියලා. නමුත් අපේ රටේ ජනතාව මේ පළපුරුද්ද තිබෙන අයව ප්‍රතික්ෂේප කළා. ඔවුන් රටේ වගකීම පළපුරුද්දක් අත්දැකීමක් නොමැති අයට ලබා දුන්නා. දැන් මේ මොහොත වන විටත් ඇතැම් තැන්වල සුදු කැකුළු හාල් කිලෝව රුපියල් 400 සීමාවට ඇවිත් තිබෙනවා. රූපවාහිනිය බැලුවත් ජනතාව කතා වෙන්නේ මේ ගැන.

“මේ ගැන ආණ්ඩුව කියන්නේ හරි අමුතු කතාවක්. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හාල් නොමිලේ දුන්න නිසාලු රට තුළ හාල් හිඟයක් ඇති වෙලා තිබෙන්නේ. එතකොට පොල් හිඟයක් ඇති වුණෙත් ඒ නිසාද? අද ආණ්ඩුව මේ ප්‍රශ්නවලට පිළිතුරු නැති තැන හැම දේටම රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ට දොස් නඟමින් තිබෙනවා. ඔවුන් ආවේ රටේ ප්‍රශ්නවලට එක දවසින් පිළිතුරු දෙනවා කියලා. ඒත් ඔවුන් තවත් ප්‍රශ්න නිර්මාණය කරමින් තිබෙනවා.“ යනුවෙන්ද වජිර අබේවර්ධන හිටපු මන්ත්‍රිවරයා පැවසීය.

සජිත්ට මදුරුවන්ගෙන් බාධා

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රැස්වීමක් විපක්ෂ නායක කාර්යාලයේදී පසුගිය දිනයක රාත්‍රී කාලයේදී පැවැත්වී තිබේ. මෙහිදී තොරතෝංචියක් නැතිව මදුරුවන් දෂ්ට කිරීම නිසා සජිත් බලවත් අපහසුතාවට පත් වී ඇත. මදුරු කරදරින් මිදීමට පිළියමක් යොදා තිබුණද එය ක්‍රියාවිරහිතව තිබීම නිසා විපක්ෂ නායකයාට අපහසුතාවට පත් වීමට සිදුව තිබේ. මේ සම්බන්ධයෙන් සජිත් විපක්ෂ නායක කාර්යාල සේවකයන්ගෙන් විමසා ඇති අතර පිළිතුර වී ඇත්තේ එය ක්‍රියා විරහිතව ඇති බවත් තවමත් අලුත් එකක් ගෙනැවිත් සවිකර නැති බවත් යැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division