Home » මන්ත්‍රීවරුන් තමන්ට බෙදාගත් හැටි

මන්ත්‍රීවරුන් තමන්ට බෙදාගත් හැටි

by Mahesh Lakehouse
January 25, 2025 12:30 am 0 comment

1931 වසරේ සිට අද දක්වා ලාංකික ජනතාවගේ ඡන්දයෙන් මහජන නියෝජිතයෝ රැසක් පාර්ලිමේන්තුවට සුදුසුකම් ලබා සිටිති. එලෙස පාර්ලිමේන්තු ගිය අපේක්ෂකයකුට යම් රජයක් තුළ හිමි වන අවම තනතුර වන්නේ මන්ත්‍රී තනතුරය. වර්තමානය වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට වරප්‍රසාද රැසක් ලැබුණත්, ඈත අතීතයේදී ඔවුන්ට එවැනි ප්‍රතිලාභ ලැබුණේ නැත. එහෙත් ක්‍රමයෙන් දේශපාලන පිටිය දූෂිත එකක් වන විට මන්ත්‍රීවරුන්ගේ වැටුප සහ ඔවුන්ට ලැබෙන වරප්‍රසාද ප්‍රමාණය වැඩි විය.

වැටුප් පිළිබඳව මුල්ම යෝජනාව ඩී.බී. ජයතිලකගෙන්

1931 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී කැලණිය අසුන ජයග්‍රහණය කළේ ඩී.බී. ජයතිලකයි. එවර රාජ්‍ය මන්ත්‍රණ සභාවේ උප සභාපති සහ ස්වදේශ කටයුතු ඇමති යන තනතුරු හෙබවූ ඩී.බී. ජයතිලක එකල බලවත් පුද්ගලයකු බවට පත්ව සිටියේය. රාජ්‍ය මන්ත්‍රණ සභාවට යෝජනාවක් ඉදිරිපත් කළ ඔහු මන්ත්‍රීවරුන්ට රුපියල් 400ක දීමනාවක් දෙන ලෙස ඉල්ලා සිටියේය.

ඩී.බී. ජයතිලක ඉදිරිපත් කළ යෝජනාවට සොලමන් බණ්ඩාරනායක තදින්ම විරුද්ධ වූ නමුත් රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළ ඩී.එස්. සේනානායක ඇතුළු බහුතර නියෝජිත පිරිසක් එම යෝජනාවට සහයෝගය පළ කළහ. ඒ අනුව යෝජනාවට බහුතර කැමැත්ත ලැබුණු නිසා 1933 වසරේ සිට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිටි මන්ත්‍රීවරුන්ට රුපියල් 400ක මාසික දීමනාවක් හිමි විය. ඒ දීමනාව 1947 වසර දක්වා අඛණ්ඩව දීමට කටයුතු කරනු ලැබීය.

1947 වසරේ සිට මන්ත්‍රීවරුන්ට දීමනා රැසක්

ලංකාවේ පළමු මහමැතිවරණය 1947 වසරේදී පැවැත්විණි. එම මහමැතිවරණයෙන් ජයග්‍රහණය ලබා පාර්ලිමේන්තුවට පිවිසි මහජන නියෝජිතයන්ට මෙන්ම, පත් කළ මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවට පිවිසි අයට දීමනා රැසක් ලැබිණි. රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ දී මන්ත්‍රීවරුන්ට ලැබුණු රුපියල් 400ක වැටුප රුපියල් 600ක් දක්වා එහිදී වැඩි වී තිබිණි.

ඊට අමතරව මන්ත්‍රීවරුන්ට රාජකාරි කටයුතු සඳහා ලිපිකරුවකු තබාගැනීම වෙනුවෙන් රුපියල් 75ක දීමනාවක්, වාහන බලපත්‍රයක්, පෙට්‍රල් සඳහා මසකට රුපියල් 50ක කූපනයක්, මන්ත්‍රීවරුන්ට සිය මෝටර් රථය දුම්රියෙන් කොළඹට ගෙන ඒම සහ ආපසු ගෙන යෑම සඳහා දීමනාවක්, මන්ත්‍රීවරයාට පළමු පන්තියේ දුම්රිය ගමන් බලපත්‍රයක් හා සේවකයාට තුන්වැනි පන්තියේ දුම්රිය ගමන් බලපත්‍රයක්, මන්ත්‍රීවරයකුට සිය මැතිවරණ බල ප්‍රදේශය තුළදී දුරකතන, තැපැල් සහ විදුලි පණිවිඩ වැනි සේවා නොමිලේ, මන්ත්‍රීවරයකුට රුපියල් 2ක් වැනි මුදලකට පාර්ලිමේන්තු ආපන ශාලාවෙන් ආහාර වේලක් ගැනීමේ අවස්ථාව යන දීමනා කිහිපයද හිමි විය.

වසර 26ක් ඇතුළත දීමනා තවත් ඉහළට

1958 වසර එළඹෙන විට මෙරට ක්‍රියාත්මක වෙමින් තිබුණේ සොලමන් බණ්ඩාරනායකගේ ආණ්ඩුවය. මේ ආණ්ඩුව යටතේ මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප රුපියල් 825 දක්වා වැඩි කරනු ලැබීය. එසේම ලිපිකරුවාට ගෙවූ දීමනාව රුපියල් 100 දක්වා ඉහළ දැමිණි. ඊට අමතරව පාර්ලිමේන්තු සභාවාරවලට සහභාගි වීම සඳහා දිනකට රුපියල් 50ක දීමනාවක් පිරිනමනු ලැබීය.

මේ වැටුප් වැඩි වීමෙන් වසර 15ක් යන තුරු යළි මන්ත්‍රී වැටුප් වැඩි වුණේ නැත. එහෙත් 1973 වසරේදී සිරිමා බණ්ඩාරනායක රජය විසින් මන්ත්‍රී වැටුප රුපියල් 1000 දක්වා වැඩි කර, පාර්ලිමේන්තු සභාවාරයකට සහභාගි වීම සඳහා දුන් දීමනාව රුපියල් 100 දක්වා වැඩි කරනු ලැබුවා.

ජයවර්ධන රජයෙන් වරප්‍රසාද රැසක්

1977 මහමැතිවරණයෙන් පසුව බලයට පත් වුණු එක්සත් ජාතික පක්ෂ රජයට පාර්ලිමේන්තුව තුළ 5/6ක බලයක් හිමි වී තිබිණි. මේ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබුණු වරප්‍රසාද ප්‍රමාණය වැඩි විය. එහි දී මුලින්ම සිදු වුණේ මන්ත්‍රීවරුන්ට ගෙවූ දීමනා ආදායම් බද්දෙන් නිදහස් කිරීමයි. ඉන් පසු රාජ්‍ය සේවකයන්ට පඩි වැඩි කරන සෑම අවස්ථාවකදීම මන්ත්‍රීවරුන්ගේ පඩි වැඩි කිරීමට තීරණය කෙරිණි. එසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම ක්‍රමයක් ආරම්භ කරනු ලැබීය. එම විශ්‍රාම වැටුප ලබාදීමේදී අවුරුදු 5ක කාලයක් මන්ත්‍රී තනතුර හෙබවූ කෙනෙකුට මන්ත්‍රී වැටුපෙන් 1/3ක මුදලක් ලබාදෙන විට වසර 15කට වැඩි කාලයක් මන්ත්‍රී තනතුර හෙබවූ කෙනකුට මන්ත්‍රී වැටුපෙන් 2/3ක මුදලක් හිමි විය.

ඊට අමතරව එම යුගයේදී මත්පැන් බලපත්‍ර, දැව ප්‍රවාහන බලපත්‍ර සහ බස් මගී ප්‍රවාහනය සඳහා මාර්ග බලපත්‍ර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හරහා බෙදා දෙන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විය. එමඟින් මන්ත්‍රීවරුන්ට විශාල ආදායමක් ඉපැයීමට හැකි විණි.

1985 වසරේ දී මන්ත්‍රී වැටුප රුපියල් 7,020 දක්වා වැඩි කරන විට පාර්ලිමේන්තු සභාවාරවලට සහභාගි වීම සඳහා ගෙවනු ලැබූ දීමනාව රුපියල් 200 දක්වා වැඩි කළා. එසේම මන්ත්‍රීවරුන්ට බදු රහිත වාහන බලපත්‍ර පිරිනැමිණි. ඊට අමතරව රුපියල් 20,000කට අධික මිලකින් යුත් ලෑන්ඩ් රෝවර් හෝ පැජරෝ වර්ගයේ ජීප් රථයක් කොටස් වශයෙන් ගෙවීමේ පදනම මත මිලදී ගැනීමට අවස්ථාව උදා විය. තවද, එම යුගය වන විට මසකට රුපියල් 1,500ක ඉන්ධන දීමනාවක් ද මන්ත්‍රීවරුන්ට හිමිව තිබිණි.

ප්‍රේමදාස යුගයේ දී මන්ත්‍රී වැටුප් තවත් ඉහළට

1989 වසරේ පෙබරවාරි මස 15 වැනිදා පැවති මහමැතිවරණයෙන් ජයග්‍රහණය කළේ රණසිංහ ප්‍රේමදාස ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයයි. මේ මහමැතිවරණ ප්‍රතිඵලයට අනුව ඔවුන්ට ආසන 125ක බහුතර බලයක් හිමි විය. එලෙස ප්‍රේමදාස රජය බලයට පත් වුණු 1989 වසරේදී රුපියල් 7,020ක් ලෙස සටහන් වුණු මන්ත්‍රී වැටුප රුපියල් 10,000ක් දක්වා වැඩි විණි. එසේම ඉන්ධන දීමනාවත් රුපියල් 2,000 දක්වා වැඩි විණි. ඉන් පසුව 1993 වසරේදී යළි මන්ත්‍රී වැටුප රුපියල් 13,250 දක්වා ඉහළ ගියේය.

2007 වසරේ දී මන්ත්‍රී වැටුප රුපියල් 50,000 ඉක්මවා යයි

1993 වසරේ සිට ක්‍රමයෙන් වැඩි වුණු මන්ත්‍රී වැටුප 2005 වසර වන විට රුපියල් 22,100ක් දක්වා ඉහළ ගොස් තිබිණි. එසේම ඉන්ධන දීමනාවද එම කාල සමය වන විට රුපියල් 7,500 දක්වා ඉහළ නංවා තිබිණි. එලෙස ක්‍රමයෙන් වැඩි වුණු මන්ත්‍රී වැටුප 2006 වසරේ දී රුපියල් 38,192ක් දක්වා වැඩි කරනු ලැබීය. ඉන් පසුව යළි 2007 වසරේදී එම වැටුප රුපියල් 54,285 දක්වා ඉහළ ගියේය.

2020 වන විට මන්ත්‍රීවරයෙකුට හිමි වරප්‍රසාද

ඉකුත් වසර 13ක කාලය තුළ මන්ත්‍රී වැටුප ඉහළ නොගියද සෙසු දීමනා වැඩි විය. 2020 වන විට මන්ත්‍රීවරයෙකුට හිමිව තිබෙන මාසික වැටුප සහ මාසික අනෙකුත් දීමනා මෙසේය: මාසික වැටුප ලෙස රුපියල් 54,285ක්, රැස්වීම් දීමනාව ලෙස පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම වෙනුවෙන් දිනකට රුපියල් 2500ක්, කාරක සභා දීමනාව ලෙස පාර්ලිමේන්තු රැස්වීම් නොමැති දිනවල රැස්වෙන කාරක සභා සඳහා සහභාගි වීම වෙනුවෙන් රුපියල් 2,500ක්, කාර්යාල දීමනාව ලෙස කාර්යාලයක් පවත්වාගෙන යෑම සඳහා මසකට රුපියල් 100,000ක්, සංග්‍රහ දීමනාව ලෙස රුපියල් 1,000ක්, රියැදුරු දීමනාව ලෙස රුපියල් 3,500ක් (රජයෙන් වැටුප් ලබන රියැදුරකු නැති නම් පමණක්), ඉන්ධන දීමනාව (එක් එක් මන්ත්‍රීවරයා තේරී පත් වුණ දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුවට ඇති දුර අනුව මෙය ගෙවනු ලබයි), දුරකතන දීමනාව ලෙස ස්ථාවර සහ ජංගම දුරකතන සඳහා මසකට රුපියල් 50,000ක්, පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රවාහන දීමනාව ලෙස රුපියල් 10,000ක්, නිදහස් තැපැල් පහසුකම් ලෙස වාර්ෂිකව රුපියල් 350,000ක් වටිනා මුද්දර වශයෙන් මේ දීමනා පෙළගැස්විය හැකිය.

තෙල් දීමනාවෙන් පඩිය වැඩි කරගත් හැටි

රටම ආර්ථික උගුලකට හසු කර මහජනතාවගේ ආදායම් මාර්ග ඇහිරී තිබියදී 2021දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පමණක් වැටුප් වැඩි කරගෙන ගනු ලැබීය. එහිදී 2021 ජූලි මස සිට මන්ත්‍රී වැටුප් එක්ලක්ෂයේ සිට දෙලක්ෂය දක්වා වැඩි කර ගැනිණි. රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට ලැබිය යුතු ඉන්ධන දීමනා, අතිකාල දීමනා වැනි සාධාරණ දීමනා සියල්ල ආර්ථික අර්බුදය පෙන්වමින් නවතා දැමීමට චක්‍රලේඛ නිකුත් කළ ආණ්ඩුව මන්ත්‍රීවරුන්ගේ වැටුප් හොර රහසේ වැඩි කිරීමට නීති සකස් කළේය. 2021 ජූලි සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන්ට ඉන්ධන මිල රුපියල් 430 ගණනේ ගණන් හදා, ඔවුන්ගේ දුර අනුව වැටුප් වැඩි කිරීමක් සිදු කෙරුණා. ඒ අනුව පඩිය රුපියල් ලක්ෂයක් එකහමාරක සිට ලක්ෂ දෙක දක්වා පරාසයක් දක්වා දුර අනුව ගණන් වැඩි කෙරිණී.

මන්ත්‍රීවරුන්ට හිමිවන දීමනා අතර ඉන්ධන දීමනාව වැදගත්ම දීමනාව වන අතර හොර රහසේ වැඩි කරගෙන ඇත්තේද ඉන්ධන දීමනාවයි.

එක් එක් මන්ත්‍රීවරයා/වරිය තේරී පත්වුණ දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුවට ඇති දුර පදනම් කර ගණනය කළ ඩීසල් ලීටර ප්‍රමාණය සඳහා එම දීමනාව ගෙවනු ලැබිණ. (උදා: කොළඹ ලී‍ටර් 283.94, ගම්පහ සහ කළුතර ලී‍ටර් 355.58) එහිදී ඉන්ධන දීමනාව ඉහළ දැමීමත් සමඟ වාර්ෂිකව රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ඉන්ධන දීමනා පමණක් 49,650,000 (හතළිස්නව කෝටි හැටපන් ලක්ෂයක්) දක්වා වැඩි වුණා.

එම වාකවානුවේ නිකුත් කෙරුණු චක්‍රලේඛනය අනුව රාජ්‍ය ඇමැතිවරයකුට වාහන තුන සඳහා ලීටර් 500ක් බැගින් ලීටර් 1500යි. ඇමැතිගේ ලේකම්වරු 04 දෙනෙකුට වාහන 04ක් දෙනු ලැබුවා. එවකට ලේකම්ලා කියන්නෙත් පුතයි නෝනයි වැනි අයවළුන් වුණා. එවක පෞද්ගලික ලේකම්ගේ වාහනයට මාසකට ලීටර් 245ක් දෙනු ලැබුවා. ඉතිරි ලේකම් 03 ගෙන් එක් අයකුට ලීටර් 225 ගණනේ ලීටර් 675යි. ඒ අනුව ලේකම්වරු 04 දෙනාට තෙල් ලීටර් 920යි. ඇමැතිගේ වාහනයට ලීටර් 1500යි. එක් ඇමැතිවරයෙකුට ඉන්ධන 2420යි. 2420 රාජ්‍ය ඇමැතිවරු 38න් වැඩි කර මාස 12න් වැඩි විට එක් අවුරුද්දකට 49 කෝටි හැටපන් ලක්ෂයයි. තෙල් දීමනා පමණක් ලෙසින් වියදම් කෙරිණා.

වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන වරප්‍රසාද

ජනාධිපතිවරණයේදී මෙන්ම මහමැතිවරණයේදීද වත්මන් රජය මැතිවරණ වේදිකාවල දුන් එක් ප්‍රධානතම පොරොන්දුවක් වූයේ, පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමැතිවරුන්ගේ ඇතැම් වරප්‍රසාද කප්පාදු කිරීම හෝ සම්පුර්ණයෙන්ම අහෝසි කිරීමය.

මන්ත්‍රීවරුන්ට හිමි තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම, මහජන නියෝජිතයන්ට සුඛෝපභෝගී වාහන ලබා නොදීම, නිල නිවාස භාවිත නොකිරීම ජාතික ජන බලවේගය දුන් පොරොන්දු අතර ප්‍රධානය.

අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු පැවති පළමු කැබිනට් රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, ඇමැතිවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම්, දීමනා සහ වරප්‍රසාද නැවත සලකා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට පියවර ගත්තේය. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිංහගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්වරයකු වන ඩී. දිසානායක සහ විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම්වරියක වන ජයන්තා සී.ටී. බුළුමුල්ල කටයුතු කරති.

ජනතාවගේ ඡන්දයෙන් පත් වන මන්ත්‍රීවරුන්ට, ඇමැතිවරුන්ට සහ හිටපු ජනාධිපතිවරුන්ට වැටුප්, දීමනා, විශ්‍රාම වැටුප්, නිල නිවාස, වාහන, කාර්යමණ්ඩල, කාර්යාල උපකරණ සහ ආරක්ෂක නිලධාරීන් ආදි විවිධ හිමිකම්, දීමනා සහ වරප්‍රසාද තාර්කික පදනමක් මත සීමා කිරීම හෝ සුදුසු විකල්ප ක්‍රමවේද හඳුන්වා දීම පිණිස යෝග්‍ය නිර්දේශ සහිත සවිස්තර වාර්තාවක් මාස දෙකක් ඇතුළත ඉදිරිපත් කිරීමේ වගකීම මේ කමිටුවට පැවරී ඇත.

කැබිනට් සහ නියෝජ්‍ය ඇමතිවරුන්ගේ පහසුකම් සහ දීමනා ගැන ජනාධිපති ලේකම්ගෙන් නිවේදනයක්

නව රජයේ අමාත්‍යවරුන්ගේ කාර්ය සහ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා පහසුකම් සැලසීම සඳහා උපදෙස් දෙමින් ජනාධිපති ලේකම් සනත් කුමානායක විසින් ලිපියක් නිකුත් කර තිබේ. ඒ අනුව, අමාත්‍යාංශ සඳහා ස්වේච්ඡා සහ පූර්ණ කාලීන උපදේශකවරයන් පත් කරගැනීම, අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහාය කාර්ය මණ්ඩල, වාහන සහ ඉන්ධන දීමනා, දුරකතන දීමනා සම්බන්ධයෙන් එයින් දැනුම් දී තිබේ.

අසන්ත මාරතුගොඩ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division