එජාප සහ සජබ සන්ධානගත වීම ළඟදීම සිදු වෙයි නේද?
එය තවමත් සාකච්ඡා මට්ටමින් පවතින්නේ. දැනට පක්ෂ දෙකේම මහලේකම්වරුන් දෙදෙනා සහ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් දෙපාර්ශ්වයේම කමිටුවක් සුහදව මේ ගැන සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබෙනවා. ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් නිල වශයෙන් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරනවා. ඉදිරියේදී දෙපාර්ශ්වය එකට එකතු වී වැඩ කිරීමට නම් පක්ෂ දෙකෙහිම ව්‍යුහාත්මක එකඟතා පමණක් නොවෙයි, රටට අවශ්‍ය වැඩපිළිවෙළක් සහ නව මතවාදයක් ඒ පිළිබඳ එකඟතාවක් තිබිය යුතුයි. මේ සාකච්ඡාවලදී එවැනි කරුණු ගැන අවධානයක් යොමු කර තිබෙනවා. ඒ වගේම, නුදුරේදී එන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එකට වැඩ කරන්න හැකිද යන මූලික කරුණ සලකා බැලීමත් මෙහිදී සිදු වනවා.
මන්ත්‍රීවරුන් කිහිප දෙනකු එකතු වී සිදු කරන මේ සන්ධානගත වීම සම්බන්ධ වැඩපිළිවෙළට සජබ නායක සජිත් ප්‍රේමදාසගේ එතරම් ප්‍රසාදයක් නෑ කියලයි ආරංචිය. මොකක්ද ඒකට හේතුව?
එහෙම විරෝධයක් නැහැ. ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කණ්ඩායමකට මේ සාකච්ඡාව කරන්න කියලා නායකතුමා නිර්දේශ කළා. ඒ නිසා අපේ සජබ කොන්දේසි සහ එකඟතාවලට අනුව මෙය කරන්න පුළුවන්ද කියලා මුලින්ම බලන්න අවශ්‍යයි. ඒ අනුවයි මේ සාකච්ඡා දිගින් දිගටම සිදු කරන්නේ.
ඒ දෙපාර්ශ්වය විසින් ගොඩනඟන අලුත් සන්ධානයේ නායකයා කවුද?
අප තවමත් එහෙම එකඟතාවකට ඇවිල්ලා නැහැ. එච්චර දුරට අපි තාමත් කතා කළේ නැහැ. සන්ධානගත වෙන්න පුළුවන්ද අපට එකට වැඩ කළ හැකි පොදු වේදිකාවක් හදන්න පුළුවන්ද? එවැනි දේවල් පිළිබඳවයි; අපි තවමත් සාකච්ඡා කරමින් සිටින්නේ.
දෙපාර්ශ්වය එකතු වුණොත් ජාතික ජන බලවේගයට ඉදිරි මැතිවරණයේදී අභියෝගයක් වෙන්න පුළුවන් කියලා ඔබ හිතනවාද?
අපට කාටවත් අභියෝග කරන්න, ඒ අය පරද්දන්න අවශ්‍ය නැහැ. දෙපැත්තෙම බෙදිලා තියෙන ඡන්ද පදනම එකතු කිරීම මූලික අරමුණ. රජය ගෙන යන වැඩපිළිවෙළ නිසා ඉක්මනින්ම අපට නැඟිටින්න පුළුවන් වෙයි කියලා අප හිතනවා. දැනට අපට තිබෙන්නේ අපේ කඳවුර එකතු කිරීමයි.
ඔබේ පක්ෂ සන්ධානගත වීමෙන් ආණ්ඩුට අභියෝග කරන්න අවශ්‍ය නැති නම්, ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන්නද මේ සන්ධානගත වීම සිදු වෙන්නේ?
පක්ෂයක් ලෙස අප දේශපාලනය කරන්නේ විපක්ෂයේ ඉන්න නොවෙයි. ඉදිරියේදී මේ රටේ ආණ්ඩුවක් හදන විට ශක්තිමත් කණ්ඩායමක් ඉන්න අවශ්‍යයි. අප විශ්වාස කරන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න නම් බලය ගන්න අවශ්‍යයි. සාකච්ඡා කොයි තරම් දුරට සාර්ථක වෙයිද කියලා අපට නිගමනයකට එන්න බැහැ. සමහර විට එජාප වගේම තවත් පක්ෂත් සමඟ සන්ධානගත වීමට ඉඩ තියෙනවා.
පළාත් පාලන මැතිවරණයට මුහුණ දෙන්නේ තනි පක්ෂ ලෙසද?
ඒ කරුණු පිළිබඳ තවම කෘත්‍යාධිකාරි මණ්ඩලවල අනුමැතිය ගෙන නැහැ.
නව ආණ්ඩුවේ නව අයවැය සෑම ජන කොටසක්ම රටේ ආර්ථිකයට සම්බන්ධ කරගන්නා අයවැයක් බවයි කියන්නේ?
එහෙම කරනවා නම් හොඳයි. සියලු දෙනාම සහභාගි වන ක්‍රමවේදයක් ඇති කරගන්නවා නම් හොඳයි. ජාජබ ආණ්ඩුව විසින් මැතිවරණ සමයේ වේදිකාවේ සිටගෙන කතා කළේ ජනප්‍රියවාදය ගැනයි. සමාජවාදි ප්‍රතිපත්ති පදනම් කරගත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ඔවුන් කිවුවා. පැවති ක්‍රමවේදය නිසා මේ රට බංකොලොත් වුණා නම් මේ ක්‍රමවේදය වෙනස් කරන්න අවශ්‍යයි. ඒ අය කතා කළේ මේ පවතින සිස්ටම් එක වෙනස් කිරීමක් ගැන. අප සිතුවා ජනාධිපතිගේ මූලාසන කතාවෙන්ම ඒ වෙනස කියයි කියලා. අතුරු සම්මත ගිණුම ප්‍රකාශයට පත් කරන වේලාවෙදිත් අප සිතුවා වෙනසක් කරයි කියලා. ඒත් එහෙම වුණේ නැහැ.
මැතිවරණයට පෙර ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය චෝදනා කළේ ජාජබ ආණ්ඩුවක් බලයට ආවොත් IMFඑකෙන් ඉවත් වෙයි කියලා නේද? ඒත් අද ජාජබ ජනතාවට සහන සලසමින් IMF සමඟ පැවැති රජයටත් වඩා හොඳින් කටයුතු කරගෙන යනවා නේද?
එහි අපට ලොකු ප්‍රශ්නාර්ථයක් තිබෙනවා. අපේ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අප බලයට පත් වුණා නම් IMF සමඟ සකස් කර තිබෙන මාර්ග සිතියමක් ගැන පැහැදිලි කළා. එහිදී IMF අභ්‍යන්තරයේ සිටිමින්, එය ක්‍රියාවට නංවන ක්‍රමවේදය, ඉලක්කවලට යන මාර්ග පිළිබඳව අපට තිබෙන ගැටලු නිරාකරණය කරගන්න සාකච්ඡා කරන්න අප සැලසුම් කරමින් සිටියා. ජනතාවට පීඩාකාරි කොන්දේසි සංශෝධනය කරන්න බලාපොරොත්තුවෙන් සිටියා. ඒ අනුව ඡන්දයට පෙර අප IMF දැනුවත් කළා.
සැලසුම් පමණයි, එහෙත් කිසිදු පක්ෂයක් එය ක්‍රියාත්මක කළේ නැති බවයි ආණ්ඩුවේ චෝදනාව…
ජාජබ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහත්තයා ගිය පාරේමයි යන්නේ. ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් කළේ නෑ. ජාජබ ණය ප්‍රතිව්‍යුහගත කිරීම විවේචනය කරමින් හිටියා. එය ආපහු අනිවාර්යෙන් සාකච්ඡා කරනවා කියලා කිවුවා. ඒත් ඔවුන් කියපු දේ කළේ නැහැ.
ජාජබ බලයට එන විටත් ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත අත්සන් කර තිබුණේ නෑ. සංශෝධනය කරන්න නව ආණ්ඩුවට ඉඩ තිබිලත්, ඒ අය එය කළේ නෑ. පසුගිය රජය වෙනත් සුපිරි ලාබ උපයන බැඳුම්කර ලබා ගත් බැංකු ප්‍රාථමික ගනුදෙනුකරුවන් කෝටිපති ව්‍යාපාරිකයන්ගේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම් නොකර, කටයුතු කළා. එදා ජාජබ අර්ථසාධක අරමුදලේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට විරුද්ධ වෙලා හිටියා. මේ දේවල් සියල්ලට දැන් එකඟතාව පළ කර අත්සන් කර තිබෙනවා; ජනතාවට ආණ්ඩුව ගැන විශ්වාසයක් තියාගන්න බැහැ. ගොඩක් දේවල් සංශෝධනය වෙන්න අවශ්‍යයි. ප්‍රගතිශීලි ප්‍රතිපත්ති හැදෙන්න අවශ්‍යයි. මේ සියල්ල අබිබවා ජනප්‍රියවාදය වෙනුවෙන් ජාජබ ස්ථාවරයක් ගත්තා නම්, වැඩ කරන්න අවශ්‍යයි. ඒ අය නියෝජනය කරන සමාජවාදි කඳවුරේ ස්ථාවරය පාවා දීලා කටයුතු කරන්නේ.
ඔබ වත්මන් ආණ්ඩුවට චෝදනා කරනවා, IMF ගිවිසුම ඒ ආකාරයෙන්ම ක්‍රියාවට නංවනවා කියලා. ආණ්ඩුව ජනතාව පීඩාවට පත් කරන, පසුගිය රජය ගෙන ගිය ප්‍රතිපත්ති යම් ප්‍රමාණයක් වෙනස් කර තිබෙනවා නේද?
බදු සංශෝධනය කිරීමට අපෙත් යෝජනා තිබුණා. මේ ආණ්ඩුව පැවති බදු ලක්ෂයේ සීමාව, ලක්ෂ දෙකක සීමාව දක්වා අඩු කරනවා කියලා කිව්වා, අස්වැසුමින් දෙන මුදල් පහුගිය කාලයේ දුන්න මුදල් වෙනුවට යම් මුදලක් වෙනස් කරලා පාසල් ළමයින්ට පාසල් පොත් දෙන එකට එකතු කරලා තිබෙනවා; පාසල් පොත් ගන්න යම් සහනයක් දෙන එක හොඳ දෙයක්. ආණ්ඩුවට ප්‍රතිපාදන තියෙනවා, නම් සහනාධාර දීම හොඳයි; මේ රටේ විශාල පීඩාවක් ඇති වෙලා තියෙනවා. මේ සිස්ටම් එක ඇතුළේ ආදයම් බෙදී යෑමේ පරතරයක් තියනවා. එක පෙළැන්තියකට සීමා වූ මේ ධනය, අනිත් පාර්ශ්ව අතරත් බෙදී යෑමට කටයුතු කළ යුතුයි. ආදායම් බෙදා දීමේ පරතරය වෙනස් කිරීමට කටයුතු කිරීම මේ ආණ්ඩුවේ වගකීමක්. දේශපාලන බලවතුන්, ව්‍යාපාරික බලවතුන් තමන්ගේ පෞද්ගලික ධනය රැකගැනීම සඳහා මේ රටට අවශ්‍ය ප්‍රගතිශීලි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවලට පසුගිය කාලයේදීම ඉඩ දුන්නේ නෑ. අප විශ්වාස කළා ජාජබ රජයක් යටතේ මේ මාෆියාව සුද්ධ කරයි කියලා. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කිවුවා පසුගිය කාලයේදීම මේ රටේ හාල් මාෆියාව කඩන්න පුළුවන් වෙන්නේ ඒ අයට විතරයි කියලා. එය අසාර්ථක වුණා. මෙ රටේ විදුලි ක්ෂේත්‍රය තුළ ඇතැම් පිරිස් විදුලි බල මණ්ඩලය ආක්‍රමණය කරමින් සිටි නිසා නිෂ්පාදන වියදම වැඩි වුණා. එය පාරිභෝගිකයා පිට පටවන ක්‍රමවේදයක් තිබුණා. මේ අවස්ථාවේදී මහජන උපයෝගිතා කොමිසමට බලය තිබුණ නිසා විදුලි ගාස්තු අඩු වුණේ ඒ නිසයි. එසේ නැති නම් විදුලි බල ගාස්තුව අඩු වෙන්නේ නැහැ.
මහජන උපයෝගිතා කොමිසම කියන්නේ ආණ්ඩුව විසින් පත් කරන ලද කොමිසමක් නේද? පසුගිය ආණ්ඩු සමයේදී මහජන උපයෝගිතා කොමිසම විදුලි බිල අඩු කරන්න කිවුවත් ආණ්ඩුව එය කළේ නැහැ නේද?
2003දී එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩු සමයේදී කරු ජයසූරිය හිටපු අමාත්‍යවරයා අංක 28 දරන විදුලිබල පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළා. එයත් සමඟ අංක 35 දරන මහජන උපයෝගිතා පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළා. දේශපාලන බලපෑමකින් තොරව, ඇමැතිවරයා අතට යන්නේ නැතුව මහජන උපයෝගිතා කොමිසන් සභාවට විගණනයක් කර, විදුලි ගාස්තු අඩු වැඩි කරන්න යෝජනා වුණේ ඒ කාලයේ. ඒ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, ගැසට් කරන්න කලින් ජවිපෙ එදා විරුද්ධ වුණා. මිනිස්සු පාරට බැස්සුවා. එදා ඒ පනත් ටික ගැසට් වුණේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා 2009දි කරු ජයසූරිය මහත්තයා ගෙන ආව අණපනත් සංශෝධන කර මහජන උපයෝගිතා කොමිසන් සභාවට විදුලි ගාස්තු අඩු වැඩි කිරීමේ බලය දෙනවා. ඒ නිසා ඔවුන්ට පුළුවන් වුණා විදුලි බල මණ්ඩලයේ විගණනය අනුව උපයා ඇති ලාබය අනුව විදුලි බිල අඩු කරන්න නිර්දේශය කරන්න. එයට ඇමැතිවරයාට අතගහන්න බැහැ නේ. විදුලි ගාස්තු අඩු වීම සිදු වන්නේ එදා එක්සත් ජාතික පෙරමුණින් මේ ප්‍රගතිශීලි පියවර ගත් නිසයි. මේ විදුලි බිල අඩු වීමත් වසර 76ක සාපයේ ප්‍රතිඵලයක්ද? මේ දේවල් අමතක කරලයි ආණ්ඩුව වැඩ කරන්නේ. ජවිපෙ මේවා නවත්වන්න එදා ක්‍රියා කළේ. මේ ආණ්ඩුව යන්නෙත් අර එදා වැල් පාලමේම තමයි. මේ රටේ තුනෙන් දෙකේ බලයක් ජනතාව දුන්නේ ඒ වැල් පාලමේ යන්න නොවෙයි.
සුභද්‍රා දේශප්‍රිය