– අත්හදා බැලීම ඇසුරින් ලංකාවේම ඉලෙක්ට්‍රොනික් ගිටාර් නිපදවන අපේ තරුණයා
– පුංචිම කාලෙ පොර පොල් කට්ටක් ආධාරයෙන් හිතේ තිබුණු රූපෙක ගිටාර් එකක් හැදුවා මෑතකදි තමයි දන්නේ ඒක රාවණාහත්ත කියලා
ප්‍රේක්ෂක සිත් මන්මත් කරවන සුවිශේෂීම කලා අංගයක් ලෙස සංගීතයට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. ගීත රචනය, තනු නිර්මාණය, සංගීත නිර්මාණය, ගායනය, වාදනය ආදි ලෙස එය විවිධ දිශාවන්හි විහිද යයි. ගායනය සහ වාදනය සංගීතයේ අනිවාර්ය අංගයන්ය. ඒ සඳහා පසුබිම සකසන මෙවලම සංගීත භාණ්ඩ ලෙස හැඳින්විය හැකිය. ස්වර සප්තකයේ මිහිර මවන භාණ්ඩ අතරින් ගිටාරය, සිතාරය, වයලීනය, මැන්ඩලීනය අයත් වන්නේ තත් භාණ්ඩ ගණයටය. ලොව ජනප්‍රියම භාණ්ඩ අතර ඉදිරියෙන්ම සිටින්නේ ගිටාරයයි. ආනයනික භාණ්ඩයක් ලෙස ජනප්‍රියව තිබූ ගිටාරය මේ වන විට ලංකාවේ නිපදවන භාණ්ඩයක් බවට පත්වී තිබීම ලාංකේය අපට ද මහත් ආඩම්බරයකි. අද අප හා එක්වන ඔහු එම වෑයමේ ප්‍රධාන කොටස්කරුවෙකි. ඔහු නමින් විහඟ ප්‍රමුදිත්‍යය.
බොහෝ දෙනෙක් කැමති ගිටාරය වාදනය කරන්න. ඒත් ඔබ තෝරගන්නේ එහි නිර්මාණකරණය පැත්ත?
ඒ සඳහා මම යොමුවෙන්නේ උසස් පෙළ කරන කාලෙමයි. මුලින්ම මං සාර්ථකව ගිටාර් එකක් හදන්නේ 2003දී පාසලේ ප්‍රොජෙක්ට් එකකට. ඊටත් කලින් හරියටම මං හත වසරෙ ඉද්දි ගිටාර් ගැන කිසිම අදහසක්වත් නැති කාලෙක පොර පොල්කට්ටක් ආධාරයෙන් හිතේ ඇඳිල තිබුණු රූපෙක ගිටාර් එකක් හැදුවා. මෑතකදී තමයි දන්නේ ඒක රාවණාහත්ත කියන එක කියලා. ඒක තමයි මගේ මුල්ම අත්දැකීම. කිසිම දෙයක් දැනගෙන කරපු එකක් නෙවෙයි. දැන් ඒක ආයෙම ප්‍රසිද්ධ වේගෙන යනවා. වයලීන් එක වගේ ගහන තත් දෙකක් තියෙන භාණ්ඩයක්. අදටත් මගේ ළඟ ඒකෙ කොටස් තියෙනවා. ඒක ඉන්දියාවෙ ගොඩක් ජනප්‍රිය සංගීත උපකරණයක්. ලංකාවෙත් ප්ලේ කරනවා.
ඔබ සංගීතය පිළිබඳව හැදෑරීමක් කරල තියේද?
සංගීතය විෂයක් විදිහට මං ඉගෙන ගෙන නැහැ. හිතේ තිබුණු ආසාවට අත්හදාබැලීම් කරලා තමයි මේ වගේ දෙයක් පටන් ගත්තේ. මට වාද්‍ය සයොනාරා කියල සංගීත කණ්ඩායමක් තිබුණා. අවුරුදු දොළහක් විතර අපි ප්ලේ කළා. ගිටාර් හදන්න පටන් ගත්තට පස්සේ කාලය කළමනාකරණය කර ගන්න බැරි වුණු නිසා ඒක නතර කරන්න වුණා. දැන් සම්පූර්ණ කාලය යොදවන්නේ මේ කාර්යයට.
විහඟ හදන්නෙ මොන වගේ ගිටාර් ද කිව්වොත්?
ලංකාවේ ගිටාර් හදන අය ඉන්නවා. එකෝස්ටික් බොක්ස් ගිටාර් හදන අය තමයි ගොඩක්ම ඉන්නේ. ඒත් ඉලෙක්ට්‍රොනික් බේස් ගිටාර් හදන අය නැති තරම්. මං වැඩිපුරම හදන්නේ ඉලෙක්ට්‍රොනික් බේස් ගිටාර්. මං ගිටාර් වර්ග හතරක් හදනවා. තව විශේෂ වර්ග දෙකකුත් හදනවා. ඔක්කොම වර්ග හයක් හදනවා. ඉලෙක්ට්‍රොනික් ගිටාර් සාමාන්‍යයෙන් ගෙන්වන්නේ පිටරටින්. ඒත් දැන් 75%කටත් වඩා ලංකාවේ හදනවා. ගොඩක්ම අපි අතින් හදන්නේ. පිත්තල සහ සමහර දැව වර්ග අපි භාවිතා කරනවා. අමුද්‍රව්‍ය ඔක්කොම වගේ මෙහේ තියෙනවා. නැතිම දෙයක් විතරයි අපි රටින් ගෙන්වගන්නේ. අපි වැඩ කරන CNC පරිගණකය අපිම ප්‍රෝග්‍රෑම් කර ගනිපු එකක්. ඒක ලෝකෙ ගොඩක් ජනප්‍රිය මැෂින් එකක්. ඒත් මිල අධික නිසා අපිට ගන්න බෑ. ඒ නිසා අපි අපිට ඕන විදිහට ප්‍රෝග්‍රෑම් කරගෙන ඒ වගේ හදාගත්තා. මාත් එක්ක තව තුන්දෙනෙක් වැඩ කරනවා.
ඔබේ නිර්මාණ අපේ සංගීත කණ්ඩායම්වල භාවිත කරනවද?
ඔව්. සීදූව සකුරා බෑන්ඩ් දෙකේම මගේ ගිටාර් ප්ලේ කරනවා. ඒ වගේම අම්බලන්ගොඩ මචානෝ, බණ්ඩාරගම ප්ලෙමින් ගෝ කණ්ඩායම්වල ප්ලේ කරන්නේ මං හදපු බේස් ගිටාර්. ඒ වගේම ඇඹිලිපිටිය ෆේස් ටු ෆේස්. මීට අවුරුදු 6කට විතර කලින් ලස්සන හංසයෙක් කැටයම් කරපු ගිටාර් එකක් හැදුවා. ඒක ඇරෝස්ටා බෑන්ඩ් එකේ ප්ලේ කරනවා. මේ වගේ ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායම්වල මං හදපු ගිටාර් ප්ලේ කරනවා. මේ වෙද්දි රටවල් හතරක වගේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ මගෙන් ගිටාර් අරන් ගිහින් තියෙනවා. අපි හදන්නේ ඔරිජිනල්ම ඒවා. මගේ ඊළඟ උත්සාහය පිටරටවලට අපනයනය කිරීම. ඒකට අවශ්‍ය මූලික පියවර මේ වන විටත් කරගෙන යනවා. අත්කම් විදිහට හදන ගිටාර්වලට පිටරටවලින් හොඳ ඉල්ලුමක් තියෙනවා.
ගිටාර් එකක් හදන්නත් සංගීත ස්වර පිළිබඳ හොඳ දැනුමක් තියෙන්න ඕනෑ නේද?
අනිවාර්යයෙන්ම. ගිටාර් හදන අයට කියන්නේ ලුතියර් කියලා. ගොඩක් අය ඒ නම දන්නෙ නෑ. පාසල් කාලෙ ඉඳන්ම මට ඒ ගැන දැනුමක් තිබුණා. මං අධ්‍යයනය කරලා අන්තර්ජාලයෙනුත් දැනුම අරගෙන ගොඩක් කල් අත්හදා බැලීම් කරලා තමයි මේ දේ පටන් ගත්තේ. ගිටාර් එකක් හදන්න පුළුවන් වුණාට විතරක් මදි. ඒක ටියුන් කරන්නත් දැනගෙන ඉන්න ඕන. ඒ සඳහා විශාල පරාසයක් අධ්‍යයනය කරන්න ඕන. අහල පුරුදු ශබ්ද අරන් මං ඒවා ගැන රිසර්ච් කරලා දිගු කාලයක් අත්හදාබැලීම් කරලා තමයි ඉගෙන ගත්තේ. මට සංගීත භාණ්ඩ ගොඩක් ප්ලේ කරන්නත් පුළුවන්.
ඔබ මේ වගේ වෘත්තියක් තෝරගන්න හේතුව?
මං සංගීතයට ගොඩක් කැමැතියි. මුලින්ම මං මෝටර් මැකෑනික් පාඨමාලාවක් හැදෑරුවා. ඊට පස්සේ ටෙලිකොම් එකේ රැකියාවක් කළා. ඒ අතරේ තමයි මේ දේට යොමු වුණේ. කාලය මදිකම නිසා මං රැකියාවෙන් ඉවත් වෙලා පූර්ණකාලීනව මේ දේටම යොමු වුණා. මේ වෙද්දි හොඳ කස්ටමර් බේස් එකක් තියෙනවා. ඉල්ලුම අනුව සැපයුම කරන්න දැනුම තිබුණට උපකරණ තමයි ගැටලුව. මුලින්ම මට ගිටාර් එකක් හදන්න මාස දෙකක් විතර ගියා. දැන් නම් මාසෙකට 50-60 විතර හදනවා. මගේ ඉලක්කය මාසෙට 100-200ක් හදන්න. මං හරිම කැමතියි මගේ දැනුම තව කෙනෙකුට දෙන්න. ඒක පාඨමාලා හෝ පාසල් මට්ටමින් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අවස්ථාවක් ලැබෙනව නම් මං කැමතියි ඒ සඳහා දායක වෙන්න.
නාමලී ගමගේ