මේ මස 29 දා සිට ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය සඳහා පැමිණෙන ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ වැඩබලන නායකයා ලෙස ස්ටීව් ස්මිත් පත් කර ඇතත්, ඔහු සහ වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක මැතිව් කුනමන් හදිසි ආබාධයන්ට ලක් වීම ඔස්ට්‍රේලියානු බලධාරීන්ට මහත් හිසරදයක් ගෙන දෙන කරුණක් විය. එහෙත් මේ වනවිට නායක ස්මිත් ලක්ව සිටි වැළමිටේ ආබාධය සුව අතට හැරී ඇතැයි වෛද්‍යවරුන් නිගමනය කොට ඇති අතර, දඟපන්දු යවන්නකු වන මැතිව් කුනමන්ගේ තුවාල වී ඇති දකුණතේ මාපටැඟිල්ලේ තත්ත්වය තවමත් අසාධ්‍ය බැවින් ඔහුට ශ්‍රී ලංකා සංචාරයේ මුල් අදියරට සහභාගි වීමට නොහැකි වනු ඇතැයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආරංචි මාර්ගවලින් පැවසේ.

මංගල ටෙස්ට් වරම් බලාපොෙරාත්තුවෙන් ශ්‍රී ලංකාවට එන කූපර් කොනොලි
මේ දිනවල ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන දේශීය තරගාවලියක් වන ‘බිග් බෑෂ් ලීග්’ ක්‍රිකට් තරගාවලියේ පසුගිය සතියේ තරග දෙකකදී පන්දු රැකීමේදී ස්ටීව් ස්මිත් එසේ වැළමිටේ ආබාධයකට ලක් වූ අතර, මැතිව් කුනමන්ටද ඔහුගේ දකුණතේ මාපටැඟිල්ලේ සන්ධි බිඳීමක් සිදුව ශල්‍යකර්මයකට භාජනය කිරීමට නියමිතව තිබිණි. කෙසේ වෙතත් ආබාධයකට ලක්ව සිටින මැතිව් කුනමන් හැර සම්පූර්ණ ඔස්ට්‍රේලියානු සංචිතය දැන් ඩුබායිහි සිටින අතර බියු වෙබ්ස්ටර් හා මිචෙල් ස්ටාක් යන ක්‍රීඩකයෝ දෙදෙනාද පසුගිය අඟහරුවාදා (21) නායක ස්මිත් සමඟ ඩුබායි වෙත පැමිණියහ.
මෙසේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් ඩුබායි වෙත පැමිණ ඇත්තේ ශ්‍රී ලංකාවේදී මුහුණ දීමට අපේක්ෂා කරන තත්ත්වයන් අනුකරණය කිරීම සඳහා සුදුසු තණතීරු මත අයිසීසී ඇකඩමියේදී සිදු කරනු ලබන විශේෂ පුහුණුවක් සඳහාය.
වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක මැතිව් කුනමන්ගේ ආබාධය සිදුව ඇත්තේ දකුණතේ වුවද ශල්‍යකර්මයෙන් පසුව ඔහුව ඔස්ට්‍රේලියාවේ රැඳී සිටිනු ඇති බවත්, ඔහු හොඳින් ඉදිරියට ගියහොත් ශ්‍රී ලංකාවේදී සංචිතයට එක්වීමේ අරමුණින් ඔහු මේ සතියේ නැවත පන්දු යැවීම ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් වැඩිදුරටත් පැවසේ.
කෙසේ වෙතත් කුනමන්ට ශ්‍රී ලංකා සංචාරයට සහභාගි වීමට නොහැකි වුවහොත් සංචිතයේ සිටින තවත් දඟපන්දු යවන්නකු වන තුන් ඉරියව් ක්‍රීඩක කූපර් කොනොලිට ශ්‍රී ලංකාවේදී මංගල ටෙස්ට් වරම් හිමි කර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
ඔස්ට්‍රේලියානු 19න් පහළ කණ්ඩායමේ නායකත්වය දැරූ කූපර්ට එරට පළමු පෙළ තරග හතරකට සහභාගි වී තවමත් කඩුල්ලක් දවාගැනීමට නොහැකි වුවද මේ දිනවල පැවැත්වෙන බිග් බෑෂ් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී ඔහු දක්වන දස්කම් නිසාම නායක ස්මිත්ගේ දැඩි අවධානය කූපර් වෙත යෙදී ඇති බවද පැවසේ.
එනම් තුන් ඉරියව් දක්ෂතා පෙන්වා ඇති කූපර් ලීග් තරගාවලියේ තරග 10කදී ලකුණු 351ක් ලබා පිතිකරුවන් අතර පළමු ස්ථානයට පත්ව ඇති අතර ප්‍රතිවාදී කඩුලු 6ක් ද දවාගෙන ඇත.
එම තරගාවලියේ ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් පිලට එරෙහිව පර්ත් ස්කෝචර්ස් පිලේ ජයග්‍රහණයට උරදීමෙන් පසු කූපර් කොනොලි පැවසුවේ “මම එම ආබාධිත ප්‍රශ්න වලට වැඩි අවධානයක් යොමු කළේ නැහැ. එහෙත් මට මගේ මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන්න ලැබුණොත් මම එයින් උපරිම ප්‍රයෝජන ගැනීමට උත්සාහ කරනවා. එම උප මහාද්වීපයේදී මට ගොඩක් දේ ඉගෙන ගන්නව වගේම විනෝද වෙන්නත් අවස්ථාවක්ද ලැබේවි” යනුවෙනි.

ආබාධය බාධාවක් වී ඇති වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක මැතිව් කුනමන්
ශ්‍රී ලංකාවට පැමිණෙන ඔස්ට්‍රේලියානු සංචිතයේ සිටින කෝඩුකාරයාට එවැනි සිතුවිලි පහළ වුවද කණ්ඩායමේ ප්‍රවීණයා හෙවත් නායකයාට, ස්මිත්ට ඇත්තේ වෙනත් හිසරදයකි. මීට සති 2කට පමණ පෙර ඉන්දියාවට එරෙහිව සිඩ්නිහිදී පැවති අවසන් ටෙස්ට් තරගයේදී ලකුණු 10,000 පෙනි පෙනී දෙවරක්ම දැවී ගිය ස්මිත් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ඒ කඩඉම පසුකිරීමේ බලාපොරොත්තුවෙනි.
තවත් විදිහකින් කිව හොත් ජනවාරි 29 දා ස්මිත් ගාලු ක්‍රිකට් පිටියට බහින්නේ ටෙස්ට් ලකුණු 9999ක් අතැති පිතිකරුවකු ලෙසයි.
පිතෘ නිවාඩු මත සිටින පැට් කමින්ස් වෙනුවෙන් පැමිණ ගාල්ලේ ටෙස්ට් තරගාවලියේදී ඔස්ට්‍රේලියාවට නායකත්වය දෙන ස්මිත් මේ වනවිට ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග 5කට ක්‍රීඩා කර ඇති අතර, ඒ ටෙස්ට් තරග 5 ම ශ්‍රී ලංකාව තුළදී වීමද විශේෂත්වයකි.
තවද එම ටෙස්ට් තරග 5ක ඉනිම 9කදී ලකුණු 398ක් රැස් කර ඇති ස්ටීවන් ස්මිත් ශතක 2ක් හා අර්ධ ශතකයක් සමඟින් ලකුණු 49.75ක සාමාන්‍යයක් සටහන් කරගෙන සිටින අතර, ශ්‍රී ලංකාවට එරෙහිව ලබා ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව නොදැවී 145කි.
මේ ලකුණු 145 ස්මිත් රැස් කළේ ද ගාල්ලේදී වීම තවත් විශේෂත්වයකි. 2022 ජූලි මස 8 දා ස්මිත් ඒ දස්කම කළද එදා පැට් කමින්ස්ගේ නායකත්වයෙන් තරග කළ ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ඉදිරියේ ඉනිමකින් සහ ලකුණු 39කින් පරාජය වන්නට සිදු විය. ඒ පරාජයෙන් පසු ප්‍රථම වරට දෙපිල ටෙස්ට් තරගයකදී හමු වන්නේ 29 දා නැවතත් ගාල්ලේදීමය.