Home » කන්තලේ රන් කොල්ලයේ කට්ටියම කොටු කළ දුරකතන ඇමතුම

කන්තලේ රන් කොල්ලයේ කට්ටියම කොටු කළ දුරකතන ඇමතුම

by sachintha
February 1, 2025 12:32 am 0 comment

කොල්ලකෑම් සම්බන්ධයෙන් සැකපිට පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කලක් බන්ධනාගාරගත කර සිටි අයකු එළියට ඇවිත් නැවතත් මහා පරිමාණ කොල්ලකෑමක් සිදු කර පලාගොස් සිටියදී ඔහු ඇතුළු සිවුදෙනෙකු පොලීසියට කොටු වීමේ සිද්ධියක් පසුගියදා වාර්තා වූයේ කන්තලේ ප්‍රදේශයෙනි.

මේ කතාව මුල මැද අග සටහන් වන්නේ මෙසේය.

කන්තලේ නගරාසන්නයේ ආපණ ශාලාවක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයකුගේ නිවෙසකට සන්නද්ධ කල්ලියක් කඩා වදින්නේ පසුගිය දිනෙක අලුයම් කාලයේය. එදින අලුයම 1.30ට පමණ ව්‍යාපාරිකයාගේ නි‍ෙවසට කඩා වැදුණු සන්නද්ධ කල්ලියේ සිව්දෙනාම මුහුණු ආවරණය කරගෙන සිටියේ කිසිවකුට ඔවුන් දැන හඳුනා ගැනීමට නොහැකි ලෙසය.

එලෙස ව්‍යාපාරිකයාගේ නිවෙසට කඩා වැදුණු සිව්දෙනා ව්‍යාපාරිකයා සහ ඔහුගේ බිරියගේ දෑත් දෙපා ගැටගසන්නේ ඔවුන් භීතියට පත්ව සිටියදීය. මේ කල්ලිය තමුන් ඝාතනය කරන්නට හදනවාදැයි යුවළට සිතිනි. කොල්ලකරුවෝ සිව්දෙනා ව්‍යාපාරික යුවළගේ කටට ප්ලාස්ටර් අලවන්නේ ඔවුනට කෑගැසීමට නොහැකි ලෙසය. ඉන් අනතුරුව දෙදෙනාටම පහර දෙන කොල්ලකරුවන් සිව්දෙනා ඔවුන්ගෙන් විමසන්නේ රන් බඩු තිබෙන ස්ථාන පිළිබඳවය.

තවත් වේලාවක් නිවස ඇතුළේ ගත කළ කොල්ලකරුවෝ සිව්දෙනා ව්‍යාපාරික යුවළට අයත් රුපියල් ලක්ෂ 70කට ආසන්න වටිනාකමින් යුත් රන් ආභරණ පැහැර ගන්නේ නිවස ඇතුළත සැරිසරමිනි.

එම රන් ආභරණ පැහැර ගැනීමෙන් අනතුරුව කොල්ලකරුවන් සිව්දෙනාගෙන් අයකු කිසිවකුට දුරකතන ඇමතුමක් ගන්නේ සිය ජංගම දුරකතනයෙනි. “අපේ වැඩේ දැන් ඉවරයි. දැන් උඹ ඉක්මනට වරෙන්“ යැයි ඔහු කීවේය. ව්‍යාපාරිකයාට මේ ගැන හොඳින් නිරීක්ෂණය විය. කොල්ලකරු කියූ ‘වචන ටික’ ඔහුට හොඳින් ඇසිණි. ඉන් අනතුරුව නිවස අසලට කාරයක් පැමිණි අතර කොල්ලකරුවෝ සිව්දෙනා රන් බඩුත් රැගෙන එහි නැඟී පලා ගිය බව ව්‍යාපාරිකයා හොඳින් දැක තිබිණි.

කොල්ලකරුවන් පලා ගිය පසු බැමි ලිහා ගත් ව්‍යාපාරිකයා කන්තලේ පොලීසියට ඒ ගැන පැමිණිල්ලක් කළේය. කන්තලේ පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් යාබද පොලිස් ස්ථානවලට ද මේ බව දන්වා ප්‍රධාන සහ අතුරු මාර්ගවල ද මාර්ග බාධක යොදා කොල්ලකරුවන් පලාගිය කාරය සොයා ගැනීමට උත්සාහ කළහ. ඒ වන විටත් කොල්ලකරුවෝ පලාගොස් තිබුණි.

ත්‍රිකුණාමලය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික විරසේකරගේ උපදෙස් මත තිස්ස විතානගේ කන්තලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මෙහෙයවීමෙන් මේ ගැන විමර්ශන ආරම්භ කරන්නේ කන්තලේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් වික්‍රමසිංහ, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් මුණසිංහ සහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මලින්ද සෙනෙවිරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායම් විසිනි.

ව්‍යාපාරිකයාගේ නි‍ෙවසට ගිය පොලිස් කණ්ඩායම් ව්‍යාපාරිකයාගෙන් සහ බිරියගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඇඟිලි සලකුණු අංශයේ නිලධාරීන් ස්ථානීය පරීක්ෂණය සිදු කරන ලදි.

පොලිස් නිලධාරීන්ගේ ප්‍රධාන අරමුණ වූයේ කොල්ලකරුවන් පලාගිය කාරය ගිය දිසාව පිළිබඳව තොරතුරු සොයා ගැනීමයි. ප්‍රධාන සහ අතුරු මාර්ග දෙපස ඇති සී.සි.ටී.වී. කැමරා දර්ශන පරීක්ෂා කරන්නට පොලිස් කණ්ඩායම් පියවර ගන්නේ ඒ අනුවය. එලෙස සී.සී.ටී.වී. කැමරා දර්ශන නිරීක්ෂණය කරන පොලිස් නිලධරයන්ට අදාළ කාරය ගැන හෝඩුවාවක් සොයා ගැනීමට හැකි විය. එම කාරය සාම්පූර් ප්‍රදේශය වෙත ගමන් කරන අයුරු සී.සි.ටී.වී. කැමරා දර්ශන නිරීක්ෂණයේදී පොලීසියට දක්නට ලැබිණි.

ඉන් අනතුරුව දුරකතන ඇමතුම් පරීක්ෂාව සඳහා දුරකතන කුලුනු ආශ්‍රයෙන් ද කළ විමර්ශනයේදී කොල්ලයට පැමිණි කල්ලියේ අයෙකු දුන් ඇමතුමට සම්බන්ධ වී ඇති පුද්ගලයා ගම්පොළ අයකු බවට තොරතුරු හෙළිකර ගැනිණි. පොලිස් කණ්ඩායමක් ඉන් අනතුරුව මේ ගැන සොයා බැලීම සඳහා කන්තලේ සිට ගමන් කරන්නේ මහනුවර සහ ගම්පොළ ප්‍රදේශවලටය.

මහනුවර ගම්පොළ සහ කටුගස්තොට පොලිස් ස්ථානවල බුද්ධි නිලධරයන්ගේද සහයෝගයෙන් පොලිස් නිලධරයන් දින 6ක් පුරා සිදු කරන ලද විමර්ශනයෙන් අනතුරුව සැකකරුවන් ගැන තොරතුරු රැසක් හෙළි කර ගැනිණි.

පොලීසිය එම ප්‍රදේශවල සිදු කරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව එක් කොල්ලකරුවකු අත්අඩංගුවට ගනු ලැබුවේ කොල්ලය සඳහා යොදාගත් කාරය ද සමඟිනි. ඒ ඉන්ධන පිරවුම්හලක් අසලදීය. එම සැකකරු සහ කාරය අත්අඩංගුවට ගත් පොලිස් නිලධරයන් ඔහුගේ මාර්ගයෙන් සෙසු පිරිස අල්ලා ගැනීම සඳහා සැලසුම් සකස් කළහ.

ඒ අනුව අදාළ කාරයේ හිමිකරුද අත්අඩංගුවට ගැනිණි. ඒ අල්ලාගත් පුද්ගලයා ලවා ඔහුට දුරකතන ඇමතුමක් දී එම ස්ථානයට ගෙන්වා ගැනීමෙන් අනතුරුවය. කාරය අනතුරකට ලක් වූ නිසා වහාම පැමිණෙන බව කියමින් සැකකරු කාරයේ අයිතිකරුට කෝල් කළේය. එලෙස ආ සැකකරු පොලීසියට කොටු විය. සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කරද්දී පොලීසිය හෙළි කර ගන්නේ කාරයට ඉන්ධන පුරවද්දී අල්ලා ගැනුණු පුද්ගලයා කන්තලේ රන් ආභරණ කොල්ලයේ ප්‍රධානියා බවයි. කොල්ලය සඳහා ‘සිතියම’ ඇඳ ඇත්තේ එම පුද්ගලයාය. ඔහු ත්‍රිමලේ සාම්පූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු ඊට පෙරද කොල්ලයකට සම්බන්ධ වී හිරේ විලංගුවේ වැටුණු අයෙකි. ඒ පසුගිය වසරේදීය. ඉන් අනතුරුව ඔහු කොරියාවට ගොස් ඇති අතර නැවත මෙරටට පැමිණ ඇත්තේ නඩු කටයුත්තක් සඳහාය. මේ සැකකරුගෙන් ප්‍රශ්න කරද්දී රන් කොල්ලයට ආ සෙසු දෙදෙනා ද අල්ලා ගැනිණි. ඔවුන් ද ත්‍රිමලේ සාම්පූර් ප්‍රදේශයේ පදිංචිකරුවෝය.

සැකකරුගෙන් ප්‍රශ්න කළ පොලීසිය කන්තලේ රන් කොල්ලයේ මුල සිට අගට සියලු තොරතුරු හෙළි කර ගත්තේය. කොල්ලකෑ රන් ආභරණවලින් රන් පවුම් 14ක් උණුකර තිබියදී සොයා ගැනිණි. ඒ ගම්පොළ ප්‍රදේශයෙනි. උණු කිරීමට සූදානම් කර තිබුණ රන් වළල්ලක් ද සොයා ගන්නේ අනතුරුවය. පවුම් 19ක රන් මේ වන විට සොයාගෙන තිබේ.

සැකකරුවන් සිවුදෙනා කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කැරිණි.

ත්‍රිකුණාමලය දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික වීරසේකරගේ උපදෙස් මත කන්තලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිස්ස ගමගේගේ මෙහෙයවීමෙන් සහකාර පොලිස් අධිකාරි අකිල කරුණාරත්නගේ නිරීක්ෂණයෙන් කන්තලේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් වික්‍රමසිංහ, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් මුණසිංහ කොට්ඨාස අපරාධ විමර්ශන එකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මලින්ද සෙනෙවිරත්න, සැරයන්වරුන් වන (57794) කරුණාරත්න, (37217) බණ්ඩාර, (68209) සංජීව, (71003) නිලන්ත, (71648) ධම්මික,කොස්තාපල්වරුන් වන (83276) ධම්මික, (37951) කුලතුංග, (92008) ඉසුරු යන නිලධරයෝ මේ විමර්ශනය සිදු කරන ලදි.

දීපාල් සමරසේකර

ඡායාරූප – ත්‍රිකුණාමලය ප්‍රියාන් මලින්ද

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division