Home » ජංගම දුරකතන සොරකමට සැක ‘අමුත්තාට’ ලැබුණු දඬුවම

ජංගම දුරකතන සොරකමට සැක ‘අමුත්තාට’ ලැබුණු දඬුවම

by sachintha
February 1, 2025 12:30 am 0 comment

වර්තමාන සමාජයේ බොහෝමයක් අපරාධවලට අඩිතාලම වැටී ඇත්තේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය පානය කිරීම නිසා සිදුවන ආරවුල් බව නම් නොරහසකි. මේවාට ඇබ්බැහි වූ පුද්ගලයින් ඒ සඳහා මුදල් සොයා ගැනීමට නොයෙක් ආකාරයේ සොරකම් සිදු කිරීමද සුලබ කරුණක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එසේ සොරකමක් නිසා පුද්ගලයකුට දිවි අහිමි වීමේ සිද්ධියක් පසුගියදා වාර්තා වූයේ පාණදුර උතුර පොලිස් බල ප්‍රදේශයෙනි.

පාණදුර උතුර පොලීසියට නිර්ණාමික දුරකතන ඇමතුමක් ලැබුණේ ගොම්මං අඳුර පරිසරය වෙළාගන්නා මොහොතේදීය.

“සර්… හොරේතුඩුවේ චන්ද්‍රසේකර පාරේ කෙනෙක් ලේ පෙරාගෙන වැටිලා ඉන්නවා… පිහි ඇනුමක් සිද්ධ වෙලා වගෙයි පෙනෙන්නේ…

පාණදුර උතුර පොලීසියේ නිලධාරීන් පාණදුර, කෙසෙල්වත්තේ හොරේතුඩුව, චන්ද්‍රසේකර පාරේ නො. 24/9 දරන අදාළ ස්ථානයට යන්නේ මේ අනුවය.

එම නිවෙසට යන මාර්ගයේ ගේට්ටුව අසල මියගොස් සිටි පුද්ගලයා කාගේ කවුදැයි කිසිවකුත් දැන සිටියේ නැත. මේ නිසා පොලීසිය එම නි‍ෙවස අයත් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය. එහිදී ඔහු තමන් දන්නා සහ දුටු සියල්ල පොලිස් නිලධාරීන් හමුවේ ප්‍රකාශ කිරීමට කටයුතු කළේ මේ මරණයට වගකිවයුත්තා තමන්ගේ ඥාති සහෝදරයා බව හෙළි කරමිනි.

පසු දින චන්ද්‍රසේකර පාරේ ඝාතනයට සැක ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඔහුගේ අයියා මුදා හැරීමට පොලීසිය කටයුතු කළේ එබැවිනි. 63 හැවිරිදි වියේ පසුවන මේ පුද්ගලයා හොරේතුඩුව නිවෙසේ පදිංචිව සිටින්නේ තනිවමය. ඔහුගේ දරුවන් දෙදෙනා සිටින්නේ ඩුබායිවලය. අකුරැස්ස, වැලිපොත හන්දිය ප්‍රදේශයේ පදිංචි විවාහකයෙකු වන 54 හැවිරිදි සහෝදරයා පාණදුර ප්‍රදේශයට පැමිණ මෙම ඥාති ‘අයියාගේ’ නිවෙසේ නතර වීමට කටයුතු කර ඇත්තේ අයියා එහි තනිවම සිටින නිසා විය යුතුය.

කෙසේ වුවද මොවුන් නීති විරෝධී මත්පැන් පානයට යොමුවී ඇත. 64 හැවිරිදි පුද්ගලයා සේ මත්පැන් පානයට ගිය අවස්ථාවක තවත් පුද්ගලයකු ද එම ස්ථානයට මත්පැන් පානය කිරීමට පැමිණ තිබේ. ‘එක ජාතියේ අය එකට එක් වේ’ යන කියමන සනාථ කරමින් 64 හැවිරිදි පුද්ගලයා සමඟ මිතුරු වන කසිප්පු පානය කිරීමට පැමිණි පුද්ගලයා එම නිවෙසට යන එන තත්ත්වය දක්වා මෙම ඇසුර වර්ධනය වී තිබේ. ක්‍රමයෙන් මෙම මිතුරුකම ‘දළු ලියලා’ යාමේදී මෙම පුද්ගලයා අයියාගේ නිවෙසේ දින කීපයක් නතර වී සිටීමටද කටයුතු කර තිබෙන්නේ එකට කන බොන මිතුරන් වන බැවිනි. එහෙත් ඔහු කාගේ කවුදැයි කිසිම විස්තරයක් කිසිවකු දැන සිට නැත.

මේ අතර ඒ නිවෙසේ තිබී ජංගම දුරකතන දෙකක් සහ ඔරලෝසුවක් අස්ථානගත වන්නේ මෙම පුද්ගලයා දින තුනක් එහි නැවතී සිට ආපසු ගොස් ඇති අතරවාරයේදීය. මෙම ජංගම දුරකතන දෙකෙන් එකක් අයියාගේත් අනික මල්ලීගෙත් වීම විශේෂිතය. ඔවුන් සෑම තැනකම සොයා බැලුවද නැති වූ බඩු කිසිවක් හමු වූයේ නැත.

“එකත් එකටම ‘අරූ’ තමයි අරන් පනින්න ඇත්තේ…“

මල්ලි මේ පිළිබඳ සැක කළේ ආගන්තුක මිතුරාය. මේ නිසා ඔහුව නිවෙසට ගෙන්නා ගැනීම පිළිබඳව අයියා සමඟ ද බහින්බස් වීමට ඔහු කටයුතු කළේ අයියාගේ වරදින් තමන්ට ජංගම දුරකතනය අහිමි වීම පිළිබඳව ඇතිවූ දුක තුනී කරගැනීම සඳහාය.

අසල්වැසි නිවෙසක පාටියකට ගොස් 64 හැවිරිදි පුද්ගලයා පැමිණියේ බීමත්වය. 64 හැවිරිදි පුද්ගලයාගේ මිතුරාද මෙම නිවෙසට පැමිණි අතර අයියා තමාගේ කෑම පිඟාන ඔහුට පරිත්‍යාග කිරීමට තරම් කාරුණික විය. මේ නිසා මල්ලි සිටියේ කෝපයෙනි. මල්ලී නිවෙස පිටුපස වැසිකිළියට යන අතර මිතුරා එහි සිට පිටතට පැමිණියේ දෙදෙනාගේ විරසකය බහින්බස් වීමක් දක්වා වර්ධනය වන අතරය. වචන හුවමාරුවෙන් පසු පහරදීම දක්වා වර්ධනය වූ දෙදෙනාගේ රණ්ඩුව කෙළවර වූයේ මල්ලි විසින් නිවෙසේ තිබූ පිහිය රැගෙන ඔහුට පහර දීමෙන් අනතුරුවය. බිම වැටුණු මිතුරා අඩපණ වෙද්දී ලේ තැවරුණු ඇඳුම් ඉවත්කර සඟවා පලා යන්නේ පොලීසියට හසුවේයැයි බියෙනි.

මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමෙන් පසුව හඳුනා නොගත් මෙම සිරුර පාණදුර මල් ශාලාවේ තැන්පත් කරන ලෙසට පොලීසියට නියෝග කළ අතර ඔහු කාගේ කවුදැයි සොයා ගැනීමට පොලීසියට මහත් වෙහෙසක් දැරීමට සිදුවිය.

මේ අතර සිදුකළ විමර්ශනයේදී පොලිස් නිලධාරීන් සොයා ගත්තේ මියගිය අයගේ වැඩිමහල් සහෝදරයා මොරටුව ප්‍රදේශයේ සිටින බවය.

මේ අනුව මියගොස් ඇත්තේ සමීර සාරංග සුදුසිංහ නමැති තිස්හත් හැවිරිදි අයෙකු බව පොලිසිය විසින් අනාවරණය කරගත්තේ ඔහුගේ සහෝදරයා ගෙන්වා ගැනීමෙන් පසුවය.ඔහු කඹුරුපිටිය, මාපලාන, කෝට්ටේගහහේන පදිංචි විවාහකයෙකු වන අතර අයියා සමඟ මොරටුව ප්‍රදේශයේ තාවකාලිකව නවාතැන්ගෙන කලක් බස් රියැදුරෙකු ලෙසද පසුව මොරටුව බස් යාර්ඩ් එකේ සුළු සුළු රැකියාද, කුලී වැඩද කරමින් වසර පහ හයක සිට මොරටුව ප්‍රදේශයේ ජීවත් වී ඇති බව අනාවරණය වී තිබේ. පාණදුර මූලික රෝහලේදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී නිගමනය වී ඇත්තේ පිහි ඇනුම් තුවාලවලින් මියගොස් ඇති බවය.

අත්අඩංගුවට ගත් සැකකරුගේ ප්‍රකාශ මත මෙම අපරාධය සඳහා භාවිත කළ පිහිය එම නිවෙසේ ළිඳ අසල සඟවා තිබීයදී සොයා ගැනීමට පොලීසිය කටයුතු කරන්නේ අනතුරුවය.

අවසානයේ ඔහුට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූයේ ජංගම දුරකතන දෙකක් සහ ඔරලෝසුවක් වෙනුවෙන් වුවත් සැකකරුට කල්දේරම් බතේ රස විඳීමට සිදු වූයේ ජීවිතයක් විනාශ කිරීමේ වරදටය.

පාණදුර කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායකගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්නගේ අධීක්ෂණය මත පාණදුර උතුර පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල්ගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සෝමසිරි, උපපොලිස් පරීක්ෂක පතිරණ, කොස්තාපල්වරුන් වන 92915 මධුෂාන්, 59102 අධිකාරී, 31279 ලියනගේ යන නිලධාරීහු මේ පිළිබඳ විමර්ශන සිදු කළහ.

විනීතා මානෙල් ගමගේ හල්තොට සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division