– මීගමුව ඒත්තුකාලේ ගෙයක් රු. හතළිස් දාහකට අරන් ගංජා විකුණූ පුද්ගලයා අල්ලන්නේ මීගමුව කොට්ඨාස බුද්ධි අංශයෙන්
– රුපියල් එක්කෝටි පන්ලක්ෂයක ගංජාත් සොයා ගනී
– මහනුවරින් නුගේගොඩට පැන්න කුඩු කප්පිත්තා නවාතැනට රුපියල් විසිදාහක් ගෙවලා
අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයන් තමන්ගේ ස්ථිර පදිංචි ප්‍රදේශවලින් ඉවත්ව පිට ප්‍රදේශවලට ගොස් තාවකාලිකව ලැගුම්හල්, නිවාස, බෝඩිං කාමර විවිධ මිල ගණන්වලට ගෙන ජාවාරම් ඇතුළු අපරාධවල නිරත වීම අලුත් කතාවක් නොවේ. එලෙස කුලී පදනම මත නවාතැන්පොළවල් ලබාගෙන මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධවල ද නිරත වන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසිහතර පැයේම මෙහෙයුම්වල නිරත වන්නේ එවැනි පුද්ගලයන්ට නවාතැන් ලබා දෙන අයද නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහාය.
කුලී පදනම මත නිවාස, ලැගුම්හල් ලබාගෙන මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධවල නිරත වන පුද්ගලයන් ගණනාවක් පසුගිය දිනවල පොලිස් අත්අඩංගුවට පත්වන්නේ පොලීසිය සිදුකරන ලද දීර්ඝ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙසය.
එලෙසම නිවාස සහ ලැගුම්හල් කුලී පදනම මත ලබාගෙන මහා පරිමාණයෙන් ගංජා, හෑෂ් සහ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන ලද ජාවාරම්කරුවන් දෙදෙනෙකු මීගමුවේදී සහ පිටකෝට්ටේ බැද්දගානේදී අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි වීම සුවිශේෂීය. ඒ මීගමුව කොට්ඨාස බුද්ධි අංශයේ නිලධරයන් සහ නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධරයන් සිදු කරන ලද මෙහෙයුම් දෙකක ප්‍රතිඵලයක් ලෙසය.
මීගමුව ප්‍රදේශයේ පවත්වාගෙන යන සංචාරක හෝටල් සමූහයක අයිතිකරුවකුගේ ඥාතියෙකු මහා පරිමාණයෙන් ගංජා ජාවාරමක නිරතව සිටින බවට මීගමුව කොට්ඨාස බුද්ධි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සරත් ඇතුළු කණ්ඩායමට තොරතුරු ලැබෙන්නේ පසුගියදාය. මේ ගැන විමර්ශන සිදු කරන පොලිස් පරීක්ෂක සරත් ඇතුළු කණ්ඩායම මෙහි ප්‍රධාන සැකකරු පිළිබඳව තොරතුරු රැසක් සොයාගෙන තිබුණි.
මීගමුව කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන් මීට පෙර ලැබී තිබුණ තොරතුරුවලට අනුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධරයන් සාර්ථක වැටලීම් ගණනාවක් සිදුකර සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගෙන ඇත.
මේ අනුව විමර්ශන සිදු කළ කොට්ඨාස බුද්ධි අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සරත් ඇතුළු කණ්ඩායම හෙළිකර ගන්නේ අදාළ සැකකරු මාසයකට රුපියල් හතළිස් දහසක කුලි පදනම මත නිවෙසක් ලබාගෙන මේ ජාවාරම සිදු කරගෙන යන බවයි.
එසේ සියලු තොරතුරු එක්කාසු කරගත් බුද්ධි අංශ නිලධරයින් මේ වැටලීම සිදු කරන්නේ පසුගියදාය. එහිදී අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු සන්තකයේ තිබී රුපියල් එක්කෝටි පන්ලක්ෂයක් පමණ වටිනා ගංජා කිලෝ 35යි ග්‍රෑම් 505ක් අත්අඩංගුවට ගැනීමට හැකි විය. සැකකරු රැඳී සිටි මීගමුව, ඒත්තුකාලේ නිවෙස අයිතිකාර කතද සැකපිට අත්අඩංගුවට ගැනෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට නිෙවස කුලියට දීමේ චෝදනාව යටතේය. එලෙස අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු මඩකළපුව, කාත්තන්කුඩි ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකි. ඔහුගේ වයස අවුරුදු 21කි. පොලීසිය ඒත්තුකාලේ අදාළ කුලී නිවෙස වටලන ලද අවස්ථාවේදී ප්‍රදේශ කීපයකට බෙදා හැරීම සඳහා ගංජා තොගය පාර්සල් වශයෙන් සකස් කරමින් තිබුණු බව බුද්ධි අංශ නිලධරයන් විසින් නිරීක්ෂණය කරන ලදි.
මීගමුව කොට්ඨාස බුද්ධි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සරත් කොස්තාපල්වරුන් වන (86500) සේනාධීර, (33113) සජීව, (34531) බණ්ඩාර, (37927) දිසානායක, (37925) වන්නිනායක යන නිලධරයන් විසින් එම වැටලීම සිදු කරන ලදි.
මහනුවර ප්‍රදේශයේ ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු පොලීසියෙන් ගැලවීම සඳහා පිටකෝට්ටේ බැද්දගාන ප්‍රදේශයට පලාවිත් අයිස් සහ හෑෂ් මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතව සිටියදී අත්අඩංගුවට ගැනීමට නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධරයන් කණ්ඩායමකට හැකි වන්නේ පසුගියදාය.
නුගේගොඩ කලාපය ඇතුළත මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමක් සිදු කරමින් සිටි නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන නිලධරයන්ට සැකකරු කොටුවන්නේ ද අහම්බෙනි. පිටකෝට්ටේ, බැද්දගාන ප්‍රදේශයේ ගැවසෙමින් සිටියදී සැකපිට අත්අඩංගුවට ගන්නා ලද එම සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 630ක් මුලින්ම සොයා ගැනුණු අතර ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් පසු සැකකරු කුලී පදනම මත ලැගුම්ගෙන සිටි නවාතැන්පොළ පරීක්ෂා කරද්දී හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20ක් සොයා ගැනීමට පොලිස් නිලධරයන්ට හැකි විය. ඒවා සඟවා තිබුණේ ඔහු රැඳී සිටි කාමරයේය.
එලෙස අත්අඩංගුවට ගනු ලැබු සැකකරුගෙන් ප්‍රශ්න කරද්දී හෙළිවී ඇත්තේ ඔහු පොලොන්නරුව ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු බවය. අනතුරුව මහනුවරට පැමිණි සැකකරු එහි සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතව සිට ඇති අතර පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5ක දඩයකට යටත්ව මුදාහැර ඇති අයකු බවද විමර්ශනවලදී හෙළි විය. ඊට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා යටතේ ඔහුට විරුද්ධව නඩු කීපයක්ම විභාග වන බවද පොලිස් නිලධරයන් විසින් සොයා ගන්නේ ඉන් අනතුරුවය.
මෙලෙස මේ සැකකරු මහනුවර මත්ද්‍රව්‍ය ජාලයක ප්‍රධානියා ලෙස ක්‍රියා කරමින් සිටියදී විටින් විට පොලීසියට හසුවීම සහ පොලීසිය ඔහු පසුපස හඹා ඒම හේතුවෙන් පොලීසියෙන් ගැලවී මත්ද්‍රව්‍ය ජාවාරම රිසි සේ සිදු කරගෙන යෑම සඳහා කොළඹට පැමිණ නුගේගොඩ බැද්දගාන ප්‍රදේශයේ නවාතැන්පොළක් කුලියට ගෙන එහි රැඳී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරගෙන ගොස් ඇති බවද පොලීසිය සොයා ගන්නේ සිදු කරන ලද විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙසය.
එලෙස අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු තවත් අපරාධවලට සම්බන්ධදැයි සොයා ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක වෙයි. නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණියගේ උපදෙස් මත නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනකාන්ත කහටදෙණිය, ඒකක අංක 01 භාර සැරයන් (54418) වසන්ත, කොස්තාපල් (71980) චේනක, (82936) මධුෂංක, (11528) චන්ද්‍රකුමාර යන නිලධරයෝ වැඩිදුර විමර්ශන සිදු කරති.
ඡයාරූප – නුගේගොඩ – සමීර අබේසිංහ
කොච්චිකඩේ – ඩී. මිහිඳුකුල