Home » සොරකම් කළ මෝටර් බයිසිකල් පාතාලයට වික්ක ගාල්ලේ ‘ගඩ්ඩා’

සොරකම් කළ මෝටර් බයිසිකල් පාතාලයට වික්ක ගාල්ලේ ‘ගඩ්ඩා’

by Mahesh Lakehouse
February 8, 2025 12:30 am 0 comment
විනීතා මානෙල් ගමගේ හල්තොට සමූහ

– සොරකම් කළ මෝටර් බයිසිකල් 5ක් දැනටමත් සොයාගෙන
– මෝටර් බයිසිකල් පදින්න හදන්න උස්සන්න ‘වැඩ්ඩෙක්’

පාතාල ක්‍රියාකාරකම් රැසක් සිදු කෙරෙන්නේ ඉතා රහසිගතවය. ඒ බළලුන් ලවා කොස්ඇට බෑවීමේ න්‍යාය අනුගමනය කරමිනි. එකිනෙකා නොහඳුනනා පුද්ගලයන් පිරිසකගේ දායකත්වයෙන් සිදු කෙරෙන අපරාධයකදී ඒ සඳහා යොදාගන්නා මෝටර් බයිසිකල් ද කිසිවකුටත් සම්බන්ධ නොමැති ඒවාය. ඒ ඒවා කාගෙන් හෝ සොරා ගන්නා ඒවා නිසාය.

මෙලෙස පාතාල අපරාධ සිදු කිරීම සඳහා මෝටර් බයිසිකල් සොරකම් කර ඒවා ද පාතාල කල්ලිවලට දෙන පුද්ගලයකු පසුගියදා අත්අඩංගුවට ගත්තේ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසිනි. ඒ එම නිලධරයන් සිදු කරන ලද දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසය.

කවුරුත් ‘ඔහු’ හැඳින්වූයේ ‘ගඩ්ඩා’ යන අන්වර්ථ නාමයෙනි. නම ‘ගඩ්ඩා’ වුවත් ඔහු ඉතා කඩවසම් ප්‍රියමනාප පුද්ගලයෙකි. ඕනෑම තරුණියක් දුටු වනම ඔහුට වශී වන තරමේ පෙනුමකින් යුතු මෙම පුද්ගලයා තවමත් විසි අට හැවිරිදි වියේ පසුවන අවිවාහකයෙකි.

කුඩා කාලයේදීම මව ඔහු අත්හැර දමා ගොස් ඇති අතර පියා වෙනත් විවාහයක් කරගැනීම නිසා දෙමාපිය රැකවරණය මෙන්ම දරුවකුට ලැබිය යුතු සෙනෙහස ද ඔහුට අහිමි වී ඇත්තේ දෛවයේ සරදමකට විය යුතුය. මේ නිසා පාසල් ගමන ද අතරමඟ කඩාකප්පල් වී ඇති ඔහු පාසල් ගොස් ඇත්තේ පහ වසර දක්වා පමණි. සහෝදර සහෝදරියන් ද කිසිවකුත් නොමැතිව හැදී වැඩුණු ඔහු හොරකම ඉගෙන ගෙන ඇත්තේ තනිවමය. සිංහල පමණක් නොව ඉංග්‍රීසි භාෂාවද ලිවීමට සහ කතා කිරීමට හැකියාව ඇති මොහු ජංගම දුරකතන පිළිබඳ ලබා ඇත්තේ හසළ දැනුමක් යැයි කීවොත් එය නිවැරදිය. එයද ‘පරතෙර ඉක්මවා’ යන අයුරිනි. ඔහුගේ මෙම හැකියාව ගැන දැනගත් පොලිස් නිලධාරීන් පවා විමතියට පත් වූයේ ඔහු එවැනි දැනුමක් ලබා ගත්තේ කෙසේදැයි කියාය.

මීට අමතරව ඔහු ඉතා දක්ෂ ‘රයිඩර්’ කෙනෙකි. එසේත් නැත්නම් මෝටර් බයිසිකල් පැදිකරුවෙකි. ඕනෑම ධාවන පථයක මෝටර් බයිසිකල් ධාවනය කර ඉතා හොඳ පළපුරුද්දක් ඇති මෙම පුද්ගලයා තරඟ සඳහාද යතුරුපැදි ධාවනය කර ඇති බව අනාවරණය වී තිබේ. ඕනෑම වර්ගයක මෝටර් බයිසිකලයක් කිසිම පැකිළීමකින් තොරව ධාවනය කිරීමේ හැකියාව ඇති ඔහු ඒවා පිළිබඳවද විශේෂිත කාර්මික දැනුමක් ද ඇති අයෙකු බවට පොලීසිය අනාවරණය කරගෙන තිබේ. ඔහුගේ මෙම දැනුම් සම්භාරය යහපත් දිශානතියකට හැර වූයේ නම් ඔහු සමාජයේ ඉහළ තලයක වැජඹෙන චරිතයක් වීමට හොඳටම ඉඩ තිබුණි. එහෙත් ඔහු යොමු වී ඇත්තේ වැරදි ක්‍රියා වෙතය.

මේ අතර මත්ද්‍රව්‍යවලට ද ඇබ්බැහි වී ඇති ඔහු ඒ සඳහා මුදල් සොයා ගැනීමට මෝටර් බයිසිකල් සොරකම් කර පාතාල අපරාධකරුවන්ට විකිණීමේ ජාවාරම සිදු කළේය. ඔහු වසර කීපයක් ගාල්ල බන්ධනාගාරයේ ගත කර ඇති අතර පාතාල නායකයකු වන ‘කොස්ගොඩ සුජීගේ’ මාමා සිට ඇත්තේ ද එම බන්ධනාගාරයේය. එවිට ඔහුගෙන් ලද ‘කොන්ත්‍රාත්තුවකට’ අනුව තවත් රැඳවියකු සමඟ එකතුව ඔහු විසින් සකස්කර ගත් ආයුධයකින් කොස්ගොඩ සුජීගේ මාමාගේ ගෙල කැපීමේ සිද්ධියකට සම්බන්ධ වී ඇත්තේ ද මොහු බව පොලීසිය අනාවරණය කරගෙන තිබුණේ පසුවය.

මොහු සිදු කරන ලද අපරාධ නිසා දඬුවම් නියම වී බන්ධනාගාරගත වීම මෙන්ම රක්ෂිත බන්ධනාගාරගතවද සිටි ඇති මෙම පුද්ගලයා ඇප මත මුදා හැරීමෙන් පසු පැමිණ ගතවී ඇත්තේ තවමත් මාසයකුත් දින ගණනකි.

පසුගියදා කළුතර දකුණ පොලිස් වසමේ උක්වත්ත ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ යුවළක් අත්අඩංගුවට පත්වන්නේ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදීය. මෙම යුවළගෙන් ලද තොරතුරු අනුව මේ පුද්ගලයා පිළිබඳවද තොරතුරු අනාවරණය විය.

ඒ අනුව එම ඒකකයේ විෂ මත්ද්‍රව්‍ය විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පී.ආර්. වීරසේන සමඟ කොස්තාපල් (24504) ඉහළගේ විසින් ආවේක්ෂණ රාජකාරි සිදු කරන්නේ මෙම තොරතුරු නිවැරදිදැයි තහවුරු කරගැනීමටය.

එහිදී අනාවරණය වන්නේ ගාල්ල, කිතුලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මේ පුද්ගලයා කළුතරට පැමිණ ඇත්තේ කලක් බන්ධනාගාරගතව සිටි පුද්ගලයෙකු හමුවීමට බවය. මෙලෙස සිටියදී ඔහු අත්අඩංගුවට පත්වන්නේ කළුතර, පන්විල, හේනවත්ත ප්‍රදේශයේදීය.

රැඳවුම් නියෝග මත සිටි මෙම පුද්ගලයාගෙන් දීර්ඝ ලෙස සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වූයේ මෝටර් බයිසිකල් සොරකම් කර අපරාධ සඳහා පාතාල ක්‍රියාකාරීන්ට විකුණා ඇති බවය.

බේරුවල සහ ගාල්ල ප්‍රදේශවලින් මෙලෙස මෝටර් බයිසිකල් සොරකම් කර ඇති බව පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

ගාල්ල, බේරුවල සහ පෝද්දල යන පොලිස් වසම්වල තිබියදී සොරා ගන්නා ලද මෝටර් බයිසිකල් 5ක් සොයා ගැනීමට පොලීසියට හැකි විය. එලෙස සොරා ගන්නා ලද මෙම මෝටර් බයිසිකල් ඉතා සුළු මුදලට පාතාලයට විකුණා ඇති මොහු එම මුදල් වැය කර මත්ද්‍රව්‍ය මිලදී ගෙන තිබෙන්නේ ඔහු ඒවාට තදින්ම ඇබ්බැහි වී සිටින නිසාය.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේත් මේ සැකකරු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1750ක පමණ ප්‍රමාණයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. රුපියල් පනස් දාහක් පමණ වටිනා ඔහුගේ ජංගම දුරකතනය ද රුපියල් දස දහසකට උකස් කර ඇත්තේ මත්ද්‍රව්‍යවලට තිබූ කෑදරකම නිසාය.

තවදුරටත් සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ ඔහු අලුත්ගම ප්‍රදේශයේ රන්මාල කොල්ලකෑමක් ද සිදු කර ඇති බවය. සුළු මුදලකට විකුණා තිබූ එම රන්මාලය උණු කර තිබියදී රන් ගුළියක් ලෙස පොලීසිය විසින් සොයාගෙන ඇත්තේ පවුම් දෙකකට වැඩි ප්‍රමාණයකිනි.

කළුතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන සහ කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකරගේ උපදෙස් මත පොලිස් අධිකාරී රවින්ද්‍ර සිල්වාගේ අධීක්ෂණයෙන් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාරගේ මෙහෙයවීමෙන් කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පී. ආර්. වීරසේන, සැරයන්වරුන් වන (11700) කුමාර, (4298) කුමාරසිරි, (88702) සිල්වා, කොස්තාපල්වරුන් වන 85848 ගුණවර්ධන, (24504) ඉහළගේ, (95627) උපුල් යන නිලධාරීහු මේ පිළිබඳ විමර්ශන සිදු කළහ.

අත්අ­ඩං­ගු­වට ගත් මෝටර් බයි­සි­කල්

අත්අ­ඩං­ගු­වට ගත් මෝටර් බයි­සි­කල්

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division