මඩ සෝදාගත් කල රජකමටද සුදුසු යැයි කී ගොවියා ගොවිතැන නිසාම සිය දිවි නසාගත් අභාග්‍ය සම්පන්න සිදුවීම් පසුගිය කාලය පුරා අසන්නට ලැබිණි. බලයට පත් හැම ආණ්ඩුවක්ම වාගේ ගොවියාගේ ප්‍රශ්නවලට දුන්නේ වක්කඩේ සැඟවූ හකුරු මෙන් ක්ෂණිකව දිය වී යන පිළිතුරු මිස, තිරසර විසඳුම් නොවේ.
තම අස්වනු සඳහා ‘හොඳ මිලක්’ – එනම්: නිෂ්පාදන වියදම ඉක්මවා උපරිම ලාභයක් – ලැබෙන මිලක් පිළිබඳ මෙරට ගොවියෝ ද කාලයක් පුරා අපේක්ෂා දල්වාගෙන සිටියෝය. රජය විසින් ඉකුත් 5 දා වී අලෙවි මණ්ඩලය හරහා 2025 වසරේ මහ කන්නයේ වී මිල දී ගැනීමේදී වී කිලෝවක් සඳහා ගෙවන මිල ගණන් පිළිබඳ නිවේදනය කළේ එවැනි පසුබිමක් යටතේය. ඒ අනුව වී අලෙවි මණ්ඩලය විසින් ගොවියාගෙන් මිල දී ගන්නා නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 120ක්, සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 125ක් සහ කීරි සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 132ක් ලෙස මිල නියම කෙරිණි.
මෙම නව මිල ගණන් පිළිබඳ අදහස් දක්වමින් කෘෂිකර්ම හා පශු සම්පත් ඇමැති කේ.ඩී. ලාල්කාන්ත පැවසුවේ වී ගොවියා සහ සහල් පාරිභෝගිකයා යන දෙපාර්ශ්වයන් ගැනම සිතා බලා වී වගාව සඳහා යන සියලු පිරිවැය හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය හරහා ගණනය කිරීමෙන් අනතුරුව මෙම මිල ගණන් තීරණය කර ඇති බවයි.
“මේ වෙද්දි සහල් මාෆියාවක් තියෙනවා වගේම වී මාෆියාවකුත් ඇතිවෙමින් තිබෙනවා. වී මිලදී ගැනීම සඳහා කුඩා වෙළෙඳපොළක් තිබීම නිසා එහි ඒකාධිකාරයක් බිහි කර ගැනීම පහසුයි. ඒ නිසා බොහෝ අවස්ථාවල ගොවියාට වී අලෙවි කරන්න වෙන්නෙ අඩු මිලට. ඒ වගේම සහල් මිල නිසා පාරිභෝගිකයාත් දැවැන්ත ලෙස පීඩාවට පත් වෙනවා. ඒ කරුණු දෙක ගැනම හිතලයි ගොවියාටත් පාරිභෝගිකයාටත් සාධාරණයක් වන ආකාරයට වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීමේ මිලක් නියම කළේ.”
වී අලෙවි මණ්ඩලයේ මිලදී ගැනීම් මධ්‍යස්ථාන හරහා වී මිලදී ගැනීම් සිදු වන අතර, වී අලෙවි මණ්ඩලය මඟින් මිලදී ගන්නා වී සඳහා නියමිත ප්‍රමිතීන් පවත්වා ගැනීමේ අවශ්‍යතාව ද අමාත්‍යවරයා පැවසීය. එනම්, වී අලෙවි මණ්ඩලයට තෙත වී මිලදී ගැනීමේ හැකියාවක් නොමැති අතර, නීත්‍යනුකූල හැකියාව ඇත්තේ නිසි වියළි බර පවතින ප්‍රමිතිගත වී මිලදී ගැනීමට පමණි. මෙම නව මිල ගණන් ක්‍රියාත්මක වීමත් සමඟ රටේ සහල් සැපයුම ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමටත් ගොවි ජනතාවට සාධාරණ ආදායමක් ලබාදීමටත් හැකි වනු ඇති බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ගොවීන්ගෙන් වී අස්වනු මිලදී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 05ක් වෙන්කර ඇති අතර, වී මිලදී ගැනීම සඳහා ඉකුත් 6 වැනිදා සිට තොග ගබඩා විවෘත කළ බව වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද පැවසීය.මේ වන විට ගොයම් කැපෙන ප්‍රදේශ වන කිලිනොච්චි, මඩකලපුව, අම්පාර, කුරුණෑගල, පුත්තලම යන ප්‍රදේශවල එම තොග ගබඩා විවෘත කර ඇත. සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ වී මිලදී ගැනීමේදී ක්‍රියාවලියේදී පසුගිය වසරට වඩා මෙම වසරේදී නාඩු, සම්බා සහ කීරි සම්බා සඳහා වැඩි මිලක් ගොවීන් වෙත වී අලෙවි මණ්ඩලය වෙතින් ලබාදී ඇති බවය. 2020 වසරේ සිට 2024 දක්වා වී අලෙවි මණ්ඩලය විසින් වී මිලදී ගත් මිල ගණන් මෙහි වගුවකින් දක්වා ඇති අතර, 2024 වසරේදී වී අලෙවි මණ්ඩලය විසින් නාඩු වී කිලෝවක් රුපියල් 105කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 120කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130කටත් මිලදී ගෙන ඇත.
වී අලෙවි මණ්ඩලයේ සහාපති මංජුල පින්නලන්ද වැඩිදුරටත් සඳහන් කළේ දැනට වී මිලදී ගන්නා මධ්‍යස්ථාන 166ක් ඇති බවත් ප්‍රමාණවත් තරම් ගබඩා පහසුකම් ද ඇති බවය. මේ වන විට මහ කන්නයේ අස්වනු නෙළීම සුළු වශයෙන් සිදු වුවත් ඉදිරි දින කිහිපයේ මහා පරිමාණයෙන් අස්වනු නෙළීමේ කටයුතු ආරම්භ වුවත් වෙළෙඳපොළ පාලනය කිරීමට සමත් වී ප්‍රමාණයක් මිලදී ගැනීම සඳහා අවස්ථානුකූලව කටයුතු කරන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. දැනට වී මිලදී ගැනීම සඳහා ලබාදී ඇති මුදල දින කිහිපයක දෛනික වී අවශතාව සපිරීමට පමණක් ප්‍රමාණවත් බවට ඇතැමුන් පළ කරන අදහස් සම්බන්ධයෙන් සභාපතිවරයා පැවසුවේ එම මුදල් නිදහස් කිරීම අවශ්‍ය පරිදි පියවරෙන් පියවරට සිදු වන බවය. කෙසේ වෙතත් වී මිල සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විවිධ අදහස් දක්වන අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ භෝග විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ ඒ පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.
“කාලයකට පස්සේ ගොවියන්ගේ විවිධ අෙඳා්නා, මැසිවිලි මැද ගොවියන් ඉල්ලපු ප්‍රමාණයටම නොවුණත් රජය මඳක් පමා වී හෝ සාධනීය පියවරක් ඉදිරියට ගෙන තිබෙනවා. නාඩු කිලෝ එකකට රුපියල් 120ක් කියන්නේ මුලින් පැවති තත්ත්වයයි දැනට ගොවින් ඉල්ලපු තත්ත්වයයි අතර අතරමැදි අගයක් විදිහටයි මම දකින්නේ. වී මිල නියම කිරීමේදී සාමාන්‍යයෙන් නිෂ්පාදන වියදම වගේම වී අස්වැන්නත් එම ගණනය කිරීමට ඇතුළත් වෙලා තියෙනවා. ඒ අනුව අපිට හිතන්නට පුළුවන් වීවල නිෂ්පාදන වියදම ලෙස රුපියල් 92.30ක් ගෙන එයට සියයට 30ක් එකතු කිරීමෙන් තමයි රුපියල් 120ක මිලට පැමිණිලා තියෙන්නෙ කියලා. මේ මිල නියම කර තිබෙන්නේ වී අලෙවි මණ්ඩලය මඟින් මිලට ගන්නා මිල මිසක් සමස්තය ලෙස හා පුද්ගලික අංශය වී මිලට ගත යුතු මිල ලෙස නොවෙයි. මේ අවස්ථාවේදී විශේෂයෙන් තෙත වී සම්බන්ධයෙන් කිසිදු මිලක් නියම කර නැති නිසා ක්ෂේත්‍රය තුළදී ඔවුන්ට තමන්ගේ වපසරිය සහ අත්දැකීම් අනුව වී මිලදී ගන්නට හැකි තත්ත්වයක් උදා වෙනවා. මෙය සාධනීය මිල වැඩි වීමක් වුවත් මේ ලබා දී ඇති බිලියන පහක මුදලින් සහල් ඒකාධිකාරය බිඳ වැටීමට තරම් දායකත්වයක් දෙන්නට නොහැකි වුවත් කෙටි කාලයකට හෝ සහල් මිල ස්ථායිතාව පවත්වාගෙන යාමට ඉඩ ලැබෙන බවයි මගේ අදහසයි.”
වී මිල සම්බන්ධයෙන් ඍජු බලපෑම ඇති ගොවියන් නියෝජනය කරමින් අප ඊළඟට අදහස් විමසුවේ ගොවිජන සේවා පොලොන්නරු දිස්ත්‍රික් සභාපති කේ.ජී. අශෝක කරුණාසේනගෙනි.
“වීවලට සාධාරණ මිලක් ලබා දෙන්න කියලා පසුගිය ආණ්ඩුවලට අපි දිගින් දිගටම කතා කළත් ඇහුම්කන් දුන්නෙ නැහැ. වී මිලට සහතික මිලක් ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කළා. ගොවි මහත්වරු නම් කියන්නෙ මීටත් වඩා මිල ඉහළ යන්නෙ ඕනෙ කියලා. නමුත් පාරිභෝගික ජනතාව විදියට බලනකොට මේ මිල ඉතාමත්ම සාධාරණයි. පසුගිය කාලෙ රුපියල් 105 තමයි වී කිලෝ එකක සහතික මිල තිබුණෙ. එතකොට පොහොර මිටියක මිල රුපියල් 12000 ක් 13000 ක් වගේ වෙනවා. වල් තෙල් සහ කෘමිනාශක තෙල් වගේම යන්ත්‍රසූත්‍රවල මිලත් ඉහළ ගිහින් තිබෙනවා. නමුත් ගොවි ජනතාව ලෙස අපි හඳුනා ගෙන තිබෙනවා. ලාභයක් ලබන්න නම් අක්කරයකින් වී බුසල් 150න් එහාට අපි ගන්න ඕනෙ කියලා. ගොවියගෙ අස්වැන්න වැඩි කිරීම සඳහා රස පරීක්ෂා කරලා ඒවට අදාළ පොහොර වර්ග මොනවද, වී වර්ග මොනවද කියලා ආණ්ඩුව හඳුන්වා දී තිබෙනවා. ගොවි ජනතාවගේ සැබෑ ප්‍රශ්නය හඳුනාගෙන ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ආණ්ඩුවට අපි ස්තූතිවන්ත වෙනවා. දැන් මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා කතා කරන ගොවි නායකයන් පසුගිය යල කන්නයේ වී ඇටයක්වත් මිලදී ගත්තෙ නැහැ. වී අලෙවි මණ්ඩලය, ලක් පොහොර සමාගම විකුණන්න දාලා තිබුණා. දැන් කෑ ගහන ගොවි නායකයන්ට අපි කියන්නෙ ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි කෘෂි රක්ෂණ මණ්ඩලය විසින් වගා වන්දි මාස එකහමාරක් ඇතුළත ලබා දුන්නෙ. මේ ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ ඉතාමත්ම ශක්තිමත් වගේම සාධාරණයි.”
ඔහු එසේ කියද්දී සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් නියෝජනය කරමින් හිඟුරක්ගොඩ සම්පත් හාල් මෝලේ හිමිකරු සම්පත් ප්‍රියංග පැවසුවේ මෙවැන්නකි:
“වී මිලදී ගන්න වෙන් කරලා තියෙන මුදල ප්‍රමාණවත් වෙන්නේ ලංකාවේ මිනිස්සුන්ට දවස් හතරක් පහක් කන්න ප්‍රමාණවත් වන සහල් ප්‍රමාණයකට විතරයි. ආණ්ඩුව හිතන විදියට මේ මිල නියම කිරීමෙන් විතරක් සහල් මිල පාලනය කර ගන්න බැරි වෙයි. නමුත් සාර්ථක වුණොත් හොඳයි.”
ඔහු ඇතුළු ඇතැම් මෝල් හිමියන් සහ ගොවියන්ගේ සිතේ ඇති ඒ අවිනිශ්චිත භාවයට පිළිතුරු දෙමින් කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න පැවසුවේ, වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීමේ මිල නියම කළේ, ගොවි නායකයන් හා එම සංවිධාන නියෝජිතයන්ගෙන් අදහස් හා යෝජනා ද සැලකිල්ලට ගනිමින් බැවින් ඒ සම්බන්ධයෙන් ගැටලු උද්ගත වුවහොත් ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය සුදුසු විසඳුම් ලබා දෙන බවය. අවම මිලකට වී මිලදී ගැනීම සම්බන්ධයෙන් ඇතැමුන් විසින් අසත්‍ය ප්‍රචාර පදනම් විරහිත බවත් වී ගබඩා භාරකරුට අමතරව, සංවර්ධන නිලධාරියකු සහ ගොවි නියෝජිතයකුගේ අධීක්ෂණය යටතේ වී මිලදී ගැනීම ඉතා විනිවිද භාවයෙන් යුක්තව සිදු කරන බවද ඔහු අවධාරණය කළේය. මිලදී ගන්නා වී තොග සඳහා දිගු ප්‍රමාදවීම්වලින් තොරව ඉතා කෙටි කාලයක් ඇතුළත මුදල් ලබා දෙන බවද හෙතෙම පැවසීය.
ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන්ගෙන් ද අපි මේ පිළිබඳ අදහස් විමසුවෙමු:
“සියලු ගොවි සංවිධාන සහ ගොවි නායකයො ඒකාබද්ධ වෙලා සියලු දෙනාම සාධාරණ සහතික මිලක් ඉල්ලුවා. නාඩු කිලෝ එකක් රුපියල් 130- 140ත් අතර මුදලක් දෙන්න කියලා ඉල්ලුවත් අපිට ලැබුණෙ රුපියල් 120ක මිලක්. සමාජ සාධාරණත්වය ගැන හිතලා, ආණ්ඩුව අපහසුතාවට පත් කරන්නෙත් නැතුව, පාරිභෝගිකයා අපහසුතාවයට පත් කරන්නෙත් නැතුව, ගැසට් මිල වෙනස් කරන්නෙත් නැති වෙන්න, ඒ මිලටම සහල් පාරිභෝගිකයා වෙත සැපයිය යුතුමයි කියන උපකල්පනය මත අපි 120 වී මිලට එකඟ වුණා. වේළපු වී නාඩු කිලෝවක් සඳහා රුපියල් 120ක්, සම්බා කිලෝවක් සඳහා රුපියල් 125ක්, කීරි සම්බා සඳහා රුපියල් 132ක් ආණ්ඩුව විසින් නියම කළා. තෙත වී කිලෝ එකක් මිලදී ගන්නවා නම් කුමන පදනමින්ද, කුමන මිල ගණන් යටතේ ද මිලදී ගන්නේ කියන එක මගහැරුණා. මේ මොහොතේ ආණ්ඩුවයි, රටයි, පාරිභෝගිකයයි මුහුණ දී තිබෙන තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ මිලට අපි එකඟ වුණාට භූමිතෙල් ගෑවුණ ගැරඩියා වගේ දඟලන්නෙ මහා පරිමාණ සහල් කර්මාන්තකරුවන්.”
ඔහුගේ කතාවේ සත්‍යතාවක් ඇතැයි හැඟුණේ මේ මිල පිළිබඳ විමසීමේදී ප්‍රකට මහා පරිමාණ සහල් මෝල් හිමියකු දැඩි ආවේගශීලීව කළ ප්‍රකාශයක් නිසාය. වී අලෙවි මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කළ නව මිල ගණන් සම්බන්ධයෙන් එක් එක් ගොවි සංවිධාන විවිධ අදහස් දැරීමට හේතුව මහාචාර්ය බුද්ධි මාරඹේ පළ කළේ මෙවැනි අදහසකි:
“මේ මිල ප්‍රමාණවත් නැහැ කියලා ඇතැම් ගොවියන් පවසන්නේ ඔවුන් දරා තිබෙන නිෂ්පාදන වියදම නිසයි. සාමාන්‍යයෙන් යෙදවුම් මිල ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වනවා. ඒ හේතුව නිසා තමයි ඇතැම් පළාත්වල ගොවි ජනතාව තමා අපේක්ෂා කළ ආකාරයේ මිල වැඩි වීමක් සිදු වුණේ නැහැ කියලා මැසිවිලි නැඟීමට මූලික හේතුව.”
එහෙත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න සඳහන් කළේ කර්මාන්ත සඳහා විදුලි බිල 30%කින් අඩු වීමේ වාසිය ද මෙම නව මිල ගණන් නියම කිරීමේදී සැලකිල්ලට ගත් බැවින් එම සහනය ද සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් වෙත හිමිවන බවය.
ගල්ඔය වම් ඉවුර, දකුණු ඉවුර අක්කරපත්තුව මහා වාරිමාර්ග උප සභාපති සහ දඹේ ඇළ ව්‍යාපාරයේ ලේකම් වයි. පී. ආනන්ද ජයරත්න ද මෙම නව වී මිල ගැන කතා කළේ සුබවාදී අපේක්ෂා පෙරදැරි කරගෙනය. “ලංකාවේ සියලුම පළාත් එකතු කරලා අපි ගොවිජන සභාව පිහිටෙවුවා. ඒකෙදි හැම පළාතකම අක්කරයකින් වෙන නිෂ්පාදනයයි, අක්කරයක් සඳහා යන වියදමයි එකතු කළා. එකතු කරලා ඒ ඔක්කොම මධ්‍යම අගයකින් බෙදුවා. බෙදුවට පස්සෙ රුපියල් 116.93 ක් ආවෙ. ඒකට ලාභය තුනෙන් එකක් එකතු කළා. එතකොට එන්නෙ රුපියල් 146යි ශත ගානක්. ඒකෙන් අපි පොහොර සහනාධාරයත් අයින් කළා. සාමාන්‍යයෙන් රජයෙන් පොහොර සහනාධාරය අයින් කරන්නෙ නැහැ. පොහොර සහනාධාරය අයින් කළාට පස්සෙත් අපිට එන්නෙ රුපියල් 140 ක මිලක්. නැඟෙනහිර පළාත වෙනුවෙන් අමාත්‍යාංශයට ගියෙ මමයි. ඒක ඇමැතිවරයාට භාර දුන්නා.
ඕනෑම ව්‍යාපාරයක් පවත්වා ගෙන යන්න නම් සාමාන්‍යය ලාභයක් තියෙන්න ඕනෙ. ඒ ලාභය නැති වුණොත් ඒ ව්‍යාපාරය පවත්වාගෙන යන්න බැහැ. අවුවෙ පිච්චිලා, වැස්සෙ තෙමිලා, ගං වතුරෙ පීනලා, අලින්ගෙන් බේරිලා ජීවත් වෙන ගොවියො අපි. මම තමයි ගොවි රජා සම්මානයෙනුත් තේරුණේ. ඒ නිසා අපි හොඳට ඒ ගැන දන්නවා. වීවලට සාධාරණ සහතික මිලකුයි අවශ්‍ය වෙන්නෙ. බොහොම අමාරුවෙන් අපි මේ රජය පත් කර ගත්තෙ. ඒ නිසා මේ වගේ අපහසුතා වෙනවට අපි කැමති නැහැ. පුද්ගලික මෝල් හිමියන් වැඩි මිලට වී ටික අරන් ගියොත් රජයට වී ඉතුරු වෙන්නෙ නැති වෙයි. ඒ නිසා ඉදිරියේදී හෝ ඒ සහනය ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා.”
මෙවර මහ කන්නයේ හෙක්ටයාර 750,000ක් පමණ වී වගා කර ඇති අතර, ඉන් හෙක්ටයාර 70,000ක් පමණ අධික වර්ෂාව හේතුවෙන් විනාශයට පත් වුවද මෙවර වී මෙට්‍රික් ටොන් මිලියන 3ක පමණ අස්වැන්නක් බලාපොරොත්තු වේ. රජය විසින් මිල දී ගැනීමට සැලසුම් කර ඇත්තේ ඉන් කොටසකි. රජය සතුව වී මෙට්‍රික් ටොන් 540,000ක් පමණ ගබඩා කළ හැකි ගබඩා පැවතිය ද භාවිතයට ගත හැකි ධාරිතාව 340,000ක් පමණ වූ බැවින් මෙට්‍රික් ටොන් 36,000ක පමණ ධාරිතාවක් ඇති තවත් ගබඩා 5ක්ද වී අලෙවි මණ්ඩලය ලබාගෙන ඇත. රජය මේ අභියෝගාත්මක කාර්යය සඳහා සූදානම් වූයේ එවැනි සැලසුම් මතය. එසේ වුවද මෙම මිල නියම කිරීම මඟින් රටේ දෛනික සහල් අවශ්‍යතාව වන හාල් කිලෝ ලක්ෂ 65ම රජයට සැපයිය හැකි දැයි ඇතැමුන් කරන ප්‍රකාශ පිළිබඳ කෘෂිකර්ම හා පශු සම්පත් ඇමැති කේ.ඩී. ලාල්කාන්ත මෙසේ පැවසීය:
“පහුගිය කන්න හතර, අවුරුදු දෙක ඇතුළත රජයේ ගබඩාවල තිබුණේ හාල් මෙට්‍රික් ටොන් හාරසිය ගානක්. ගබඩා දිරාපත් වෙලා වහලා දාලා තිබුණේ. ඒවා නැවත සක්‍රිය කරලා අරගෙන හාල් වෙළෙඳපොළේ යම්කිසි ප්‍රමාණයක් රජය විසින් නියෝජනය කිරීමේ අරමුණිනුයි මේ පියවර ගත්තේ. එයින් අපි අදහස් කරන්නෙ නැහැ රටේ දෛනික හාල් අවශ්‍යතාව වන හාල් කිලෝ ලක්ෂ 65 රජය විසින්ම සපයනවා කියලා. අපේ අවශ්‍යතාව වී අලෙවි මණ්ඩලය යටතේ වී සංචිත එක්රැස් කර ගැනීමයි. ඒ වගේම වී අලෙවි මණ්ඩලය හරහා ගන්න වී හාල් බවට පත් කරලා හාල් මාෆියාව කඩලා ජනතාවට සාධාරණ මිලකට සහල් ලබාදෙන්න අපි මැදිහත් වෙනවා”
වී විකිණීමේ ගැටලුව
– වරලත් ඉංජිනේරු ජේ.එස්.එස්. වීරසිංහ
අනූව දශකයේ අවසන් භාගයේ, එනම් ප්‍රධාන වී ව්‍යාපාරිකයන් අතට සහල් වෙළෙඳාම පත් වීම ආරම්භ වූ අවදියේ සිට සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් වැසීයෑම හා ඔවුන් කෙළින්ම වෙළෙඳපොළ වෙත හා මරඳගහමුල වෙළෙඳපොළ වෙත සහල් ගෙනයෑම අඩු විය. මේ තත්ත්වය හේතු කොටගෙන ගොවීන්ට සාධාරණ මිලකට අස්වනු අලෙවි කරගැනීමට දැඩි අපහසුතාවන්ට මුහුණ දීමට සිදු විය. එය කොතරම් උග්‍ර වූයේද යත්: සමහර ගොවීන් සියදිවි නසාගැනීමේ තත්ත්වයක් කරා ළඟා විය. තවද, වෙළෙඳපොළේ සහල් මිල සාධාරණ නොවූ ඉහළ යෑමක් දක්නට ලැබිණි.
අද වන විට නිෂ්පාදන වියදම සමඟ සැසඳීමේදී (පොහොර සහනාධාරය වැනි ඒවා සමඟ) වී මිල යන්තම් පාඩු නොවන තත්ත්වයකට පත් වී ඇත. මේ අනුව තෙත නාඩු වී කිලෝවක් රුපියල් 100ක මුදලකටත්, වියළි වී (14% MC) රුපියල් 120 වැනි මට්ටමකත් පවතී. ඒ අනුව වී කිලෝ 1.6ක් මඟින් සහල් කිලෝවක් නිපදවීමේදී වී සඳහා රුපියල් 192ක් වැය වන අතර යන්ත්‍ර, කම්කරු, ලාභ, ප්‍රවාහන වියදම්වල එකතුව (විදුලි ගාස්තු 30% අඩු වීමත් සමඟ) රු. 38ක් පමණ වේ. එවිට සහල් කිලෝවක් රු. 230ක තොග මිලකට විකිණීමේ හැකියාව ඇති අතර, මෙය පාලන මිල ඉක්මවන ගණනකි.
තවද, උසස් තාක්ෂණයක් යොදාගනිමින් හා මාස 8ක පමණ කාලයක් වී පැරණි කිරීම (පදම් කිරීම) මඟින් උසස් තත්ත්වයක සහල් නිපදවීම සඳහා මෙයට වඩා වැඩි වියදමක් දැරිය යුතුය. උසස් තත්ත්වයක නිමාවක් නොතිබීම නිසා කුඩා මෝල්වලින් නිපදවනු ලබන සහල්වලට හා ඉන්දියාවෙන් ආනයනය කරන සහල්වලට අඩු ඉල්ලුමක් පවතී. ගණනය කිරීම් අනුව නාඩු වී සඳහා කිලෝවකට රු. 120ක මිලක් දැමීම මඟින් සාමාන්‍ය තත්ත්වයේ සහල්, විශේෂයෙන් කුඩා මෝල් හිමියන්ට සහල් පාලන මිලකට සැපයිය හැකි තත්ත්වයක් ඇති වනු ඇත.
දේශගුණික හා අනෙකුත් සාධක අනුව අප රට හා සම තත්ත්වයේ වූ ඉන්දියාවේ වී නිෂ්පාදන වියදම ඉතා පහළය. අක්කරයකින් ලැබෙන අස්වැන්න ශ්‍රී ලංකාවේ මෙන් එකහමාරකට ආසන්නය. ගොයම් සිටුවීම (වැපිරීම නොවේ), වැඩි වශයෙන් යන්ත්‍ර භාවිතය, ලාභ කම්කරු ශ්‍රමය, පරිපාලන කටයුතු මනා ලෙස සිදු කිරීම ආදී අපටද ළඟා වීමට හැකි කරුණුද මෙයට හේතු වේ. අපගේ නිෂ්පාදන වියදම පහළ හෙළීමට ඇති ප්‍රධානම බාධකයක් වන්නේ අක්කර 2.5ක් හෝ ඊටත් අඩු ඉඩම් හිමි හා එවැනි ඉඩමක් කළමනාකරණයට තරම් වත්කමක් හා පරිපාලනමය හැකියාවක් නැති වැඩි පිරිසක් ගොවීන් අතර සිටීමයි. ඔවුන් නියමිත දිනට වැඩ අවසන් නොකිරීම, නිර්දේශිත ප්‍රමාණවලට හා දිනයට තෙල් පොහොර නොයෙදීම, ගොයම් සිටුවීම වෙනුවට වැපිරීම ඉහත කරුණුවලට උදාහරණ වේ. මෙයට පිළියමක් ලෙස ගොවි සමිති ක්‍රියාකාරී තත්ත්වයට පත් කොට, ඒවා මඟින් කළමනාකරණය හා ණය පදනම මත ද්‍රව්‍ය හා සේවා සැපයීම සිදු කළ යුතුය. ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවල මේ ක්‍රමය ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකාවේ වී මිල ස්ථාවර මට්ටමක පවත්වාගෙන යෑමේ පියවරක් ලෙස අතීතයේදී අස්වැන්නෙන් 5%ක පමණ ප්‍රමාණයක් වී අලෙවි මණ්ඩලය මඟින් මිල දී ගැනීම සිදු විය. තෙත ප්‍රමාණය, වී වර්ගය, පරණ වන විට වී බර අඩුවීම වැනි විනිවිදභාවය පැහැදිලිව නොපෙනෙන පරාමිතීන් තිබීම හා නිවැරදි ගබඩා පහසුකම් නොතිබීම නිසා එමඟින් රජයට විශාල පාඩුවක් සිදු විය. වී අලෙවි මණ්ඩලය මඟින් වී මිල දී ගැනීම බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබූ ක්‍රියාවක් බව පැහැදිලිය. එහෙත් දිගු කාලයක් (මාස 3කට වඩා) ගබඩා කිරීමේ නවීන පහසුකම් හැර, අනෙක් ඒවා මනා අධීක්ෂණයක් මඟින් තරමක් දුරට නිවැරදි කරගත හැකිය.
හිඟයක් නැති කාලයේ වුවත් සහල් ඉතා කුඩා ප්‍රමාණයක් හෝ රජය (සතොස) මඟින් අානයනය කොට සිල්ලරට අලෙවි කිරීම සහල් මිල ස්ථාවරව පවත්වාගෙන යෑමට හේතු වේ.
තවද, සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් නඟාසිටුවීම සඳහා පියවර ගත යුතුය. ඔවුන්ගෙන් විශාල පිරිසක් ණය පැහැර හළ අය ලෙස ලැයිස්තුගත වී ඇත. මේ අය අතර වර්ෂයක් තුළ (2014 වර්ෂය) වී මෝල් 325ක විශාල ප්‍රමාණයක් වැසී ගිය අවස්ථාවට ඇතුළත් අයද සිටිති. ඔවුන්ගේ වර්තමාන හැකියාවන් සොයා බලා, රජයේ මැදිහත් වීම සහිතව හෝ ණය ගැනීමට පහසුකම් සැලසීම විසඳුමකි.

වමේ සිට, කෘෂිකර්ම හා පශු සම්පත් ඇමැති කේ.ඩී. ලාල්කාන්ත, කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න, වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ භෝග විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ, ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් සහ ගොවිජන සේවා පොලොන්නරු දිස්ත්‍රික් සභාපති කේ.ජී. අශෝක කරුණාසේන