Home » රාණි සමඟ කරළියට එන ප්‍රියන්ත

රාණි සමඟ කරළියට එන ප්‍රියන්ත

by Mahesh Lakehouse
February 8, 2025 12:30 am 0 comment
තුෂාරී කළුබෝවිල

– රාජ්‍ය හා යෞවන සම්මාන ලැබුවත් වසර විස්සක් නාට්‍ය කලාවෙන් ඈත්වෙලා හිටියේ
– මගේ උපරිම ශක්තියෙන් හඳගමයන්ගේ කලා කෘතියට සාධාරණය ඉටු කළා කියා සිතනවා

ලේඛකයකු, කලාකරුවකු, මාධ්‍යවේදියකු වූ රිචඩ් ද සොයිසා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සහ ඒ පසුබිම් කරගත් දේශපාලන සංසිද්ධීන් කැටිකොට ගනිමින් නව සිනමා තාක්ෂණ ක්‍රමෝපායන් ද භාවිත කරමින් හඳගමයන් සිය නවතම සිනමා කෘතියට සාධාරණත්වය ඉටු කර ඇති බව දක්නට හැකිය. කවුරුත් දන්නා අතීත සංසිද්ධියක් සිනමාත්මකව ප්‍රතිනිර්මාණය කිරීමේදී අතීත චරිත වර්තමානයට ගෙන ඒම පහසු කාර්යයක් නොවන බව හඳගම සේ ම ඒ පිළිබඳ යම් දැනුමක් ඇති කවුරුන් වුව ද දන්නා කාරණාවකි. “රාණි” සිනමා නිර්මාණය සඳහා චරිත තෝරා ගැනීමේදී ද හඳගමයන් ඉතා සියුම් අධ්‍යයනයක් කර ඇති බව එම චරිත හැඩගන්වා ඇති ආකාරය සහ රංගනයන් දැකීමෙන් පැහැදිලි වේ. ඉතා ම දක්ෂ වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙක් මෙන්ම ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය පාසල හා සම්බන්ධව වෘත්තීය කාර්ය ඉටු කරමින්, නාට්‍ය පාසලේ සම්බන්ධීකරණ කටයුතුවල නිරතව තරුණ නාට්‍යවේදීන් වෙනුවෙන් විශාල ප්‍රායෝගික වැඩ කොටසක් සිදු කරන ප්‍රියන්ත ලලිත් “රාණි” චිත්‍රපටයේ ප්‍රධාන දේශපාලන චරිතයකට තෝරා ගැනීම ද හඳගමගේ සාර්ථක තෝරා ගැනීමක් බව “රාණි” නැරඹූ කිසිවකුටත් අමුත්තක් නොවේ. ප්‍රියන්ත ලලිත් මේ රඟපෑමට එක්වන්නේ ඉතා දීර්ඝ නිහැඬියාවකින් පසුව වීම විශේෂත්වයකි.

ඇත්තටම ප්‍රියන්ත ඔබට මොකද වුණේ…?

1998 ජූලි 15 වැනිදා මම ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය පාසලේ සම්බන්ධීකාරක හැටියට රැකියාව ආරම්භ කරනවා. ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය පාසල එච්. ඒ. පෙරේරා, නිශ්ශංක දිද්දෙණිය, ඩග්ලස් සිරිවර්ධන යන ශිල්පීන් මුල් වෙලා ආරම්භ කළා. ඒ වෙද්දි මම ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය උළෙලේ හොඳම නළුවා, හොඳම සහාය නළුවා සම්මාන ලබනවා. මං නිර්මාණය කළ නාට්‍යවලට සම්මාන රැසක් හිමි වෙනවා. ඒකත් එක්ක නාට්‍ය පාසලේ සම්බන්ධීකාරක හැටියට මගේ නම යෝජනා වෙලා තිබුණා. ඒ දවස්වල ජාතික තරුණ සේවා සභාවේ සභාපති වෙලා හිටියේ සුනිල් ජයන්ත නවරත්න මහතායි. ඒ අවස්ථාවේ මගේ දක්ෂතා දැකලා මාව නාට්‍ය පාසලේ සම්බන්ධීකාරක හැටියට රාජකාරි කිරීම සඳහා රැකියාවට බඳවා ගන්නවා. වසර කිහිපයක් රාජකාරියත්, ඒ අතර නාට්‍ය කලා කටයුතුත් මම ඉතා හොඳින් කරගෙන ගියා. ඊට පස්සේ ඉහළ පුටුවලට ආව සමහර නිලධාරීන් සහ දේශපාලන බලපෑම් නිසා මගේ රැකියාව හිතට අවංකව සහ තරුණයින්ට වැඩදායී අයුරින් කරගෙනයාමේ ගැටලු මතුවෙන්න පටන් ගන්නවා. 1999දී මම විවාහ වෙනවා. 2000 සහ 2005 වසර වෙද්දි මම දූලා දෙදෙනෙකුගේ තාත්තා කෙනෙක් බවට පත්වෙනවා. පවුලේ වගකීම් හිතට දැනෙන්න පටන් ගන්නවා. දේශපාලන බලපෑම් මොන විදිහේ වුණත් ගැටීමකින් තොරව රැකියාව බේරාගෙන කටයුතු කරන්න ඕනේ කියන හැඟීම මට දැනෙන්න ගන්නවා. මාව ක්ෂේත්‍ර කටයුතු සඳහා කාර්යාලයෙන් එළියට යවනවා. මම ඉවසීමෙන් දරු පවුල ගැන හිතලා රාජකාරි මාරුව අනුව පැවරුණු කාර්යයන් නොපිරිහෙලා ඉටු කළා. නමුත් අවාසනාවකට මම කලා කටයුතුවලින් ඈත් වෙනවා. හිතේ එකයි, ගෙදර ගැනයි, එළියේ වැඩයි ගැන බලමින් නාට්‍ය කරන්න තරම් මානසික මෙන් ම කායික නිදහසක් හා ආර්ථික ශක්තියක් ඒ කාලයේ මට තිබුණේ නැහැ. තරුණ නාට්‍ය උළෙලවලදී කෙතරම් රාජ්‍ය හා යෞවන සම්මාන ලැබුවත් වසර විස්සක විතර ලොකු කාලයක් නාට්‍ය කලාවෙන් ඈත්වෙන්න සිද්ධ වුණේ අන්න එහෙමයි.

ඔබ නාට්‍ය කලාව ආරම්භ කරන්නේ තරුණ සේවා සභාවෙන් ද…?

නැහැ. දයා ශ්‍රී නරේන්ද්‍රයන් මම ඉගෙන ගත් කොටහේන මධ්‍ය මහා විද්‍යාලයට ඇවිත් නාට්‍ය වැඩමුළුවක් පවත්වලා ඔහු නිර්මාණය කළ නාට්‍යයේ ප්‍රධාන චරිතයට මාව තෝරගත්තා. ඊට පස්සේ විවිධ නාට්‍යවලට මම සම්බන්ධ වුණා. ඒ කාලේ විවිධ ප්‍රදේශවල නාට්‍ය තරග, කෙටි නාට්‍ය තරග බොහෝමයක් පැවැත්වුණා. ඇන්ටනි ප්‍රසාද් වැනි අධ්‍යක්ෂවරු සමඟ එකතුවෙලා ඒ නාට්‍ය තරගවලට නාට්‍ය ඉදිරිපත් කළා. ඒවාට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒවායින් ජයග්‍රහණ සම්මාන, සහතික බොහෝ ප්‍රමාණයක් මට ලැබුණා.

හඳගමයන්ගේ “රාණි” නිසා නැවත රංගනයට ප්‍රවේශයක් ලැබුණා ද…?

ඔව්. මේ අතර කාලය තුළ යම් යම් දේවල්වලට සම්බන්ධ වුණා. මං ලියූ පිටපත්, ඒකාංගික නාට්‍ය නිර්මාණ කිහිපයක් රූපවාහිනී මාධ්‍ය මඟින් විකාශය වුණා. මට වේදිකාවෙන් පුංචි තිරයට එන්න ඇරයුම් ලැබෙන්නේ ප්‍රවීණ නාට්‍යවේදී ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගෙන් බව ගෞරවයෙන් මම සිහි කරනවා. “දොළොස්මහේ අපි, දෑකැති මුවහත, ඉතින් ඊට පස්සේ, අහස සේ නුඹ අනන්තයි, පිපෙන මල්” වැනි ටෙලි නාට්‍ය රාශියකට මම ඒ ඇරයුමෙන් පස්සේ රංගනයෙන් දායක වුණා. රැකියාවේ ඇති වුණු බාධා නිසා ඒවායින් ඈත්වෙන්න සිද්ධ වුණා. කාලෙකට පස්සේ මේ වගේ දැවැන්ත සිනමා නිර්මාණයක අපේ රටේ ප්‍රබල දේශපාලන චරිතයක් රඟපාන්න ලැබීම මම සලකන්නේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ අශෝක හඳගමයන්ගේ “රාණි” නිසා නැවත රංගන ප්‍රවේශයක් ලැබුණු හැටියට යි.

හඳගමයන් ඔබව මේ චරිතය සඳහා තෝරා ගත්තේ කොහොමද….?

රාජකාරි වශයෙන් 2022,2023 යෞවන නාට්‍ය උළෙල සංවිධානය කරද්දී එහි විනිශ්චය මණ්ඩලය සඳහා හඳගමයන් ගෙන්වා ගැනීමට මම කටයුතු කළා. ඔහු ඒ වනවිට අසනීප තත්ත්වයෙන් පසු වුණත් එම කටයුතුවලට ඔහුගේ අසනීප තත්ත්වය බාධාවක් වුණේ නැහැ. ඒ කාලය වෙද්දී ඔහු රාණි චිත්‍රපටය සඳහා චරිත සොයමින් ඉඳ තිබුණා. යෞවන නාට්‍ය උළෙලේ කටයුතු එක්ක දින දොළහක් පමණ ඔහු මා සමඟ ළඟින් සැරිසැරුවා. ඔහු මගේ ඉරියව් අධ්‍යයනය කර තිබුණා. ඔහු මාගේ ඉරියව් තුළින් ඔහුට “රාණි” චිත්‍රපටය සඳහා සොයමින් සිටි දේශපාලන චරිතයේ යම් යම් බාහිර ලක්ෂණ දැක තිබුණා. පසුව ඔහු මා මිත්‍ර ප්‍රවීණ නාට්‍ය අධ්‍යක්ෂ රාජිත දිසානායකට ඔහුගේ අදහස දක්වා තිබුණා. පසුව රාජිතත් වෙනදාට වඩා මගේ හැසිරීම් හා ඉරියව් විශේෂයෙන් බලන්න පටන්ගෙන තිබුණා. ඔහුත් හඳගමයන් දුටු ලක්ෂණ රුව ගුණ මා තුළින් දැක තිබුණා. හඳගමයන් මට ඒ ගැන කිව්වා. ප්‍රවීණ අංග රචනා ශිල්පී ප්‍රියන්ත දිසානායක සිදු කළ අංග රචනා පරීක්ෂණයට මටත් කතා කළා. ඒ අනුව මේ චරිතය මට ලැබුණා.

මේ වගේ චරිතයක්, මේ වගේ කතාවක රඟපාන්න චකිතයක් දැනුණේ නැද්ද….?

ඇත්ත වශයෙන්ම දැනුණා. ඒ කාලයේ අපි සමහරු ටයර් සෑයවල දැවෙන හැටි දැක තිබුණා. භීෂණයේ බියකරු බව දැන සිටියා. ඒ යුගයේ කතාබහට තුඩු දුන් මේ දේශපාලන චරිතය නැවත යථාවත්ව ජනතාව අතර ජීවමාන කරවීමේ බැරෑරුම් කාර්යය අභියෝගාත්මක බව මට දැනුණා. කලාකරුවකු ලෙස අභියෝග බාරගත යුතුයි. ඒ වාගේම අශෝක හඳගමයන් වැනි විශිෂ්ට අධ්‍යක්ෂවරයකුගේ නිර්මාණයක ප්‍රධාන චරිතයක් රඟපාන්න ලැබීම රංගනය පැත්තෙනුත්, කලාව පැත්තෙනුත් මට විශාල වටිනාකමක් ගෙන දෙන බව මම දන්නවා. ඒ නිසා අතීතය පසෙක තියලා වර්තමානය තුළ අතීත චරිතය ජීවමාන කරන්න මම මගේ උපරිම ශක්තියෙන් හඳගමයන්ගේ කලා කෘතියට සාධාරණය ඉටු කළා කියා සිතනවා. ඒ සඳහා සිනමා ප්‍රේක්ෂකයින් සාක්ෂි දරන බව දැන් දැන් මට ලැබෙන ප්‍රතිචාරවලින් හැ‍ඟෙනවා. ඒ ප්‍රතිචාරවලට බොහෝම ස්තුතියි. මේ පිබිදීමත් එක්ක නව නිර්මාණ කිහිපයකටම දැනටමත් මට ඇරයුම් ලැබී තිබෙනවා. හඳගමයන් ඇතුළු “රාණි” චිත්‍රපටයට සම්බන්ධ වුණු සියලු දෙනාටම මගේ ආදර ස්තුතිය පිරිනමනවා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division