මත්ද්‍රව්‍යවලට, මත්පැනට නැතිනම් සූදුවට ඇබ්බැහිවූවන් රටටම පිළිලයක් බව හෙළි වන්නේ දිනපතාම පාහේ වාර්තා වන මිනීමැරුම්, සොරකම් සහ ස්ත්‍රී දූෂණ වැනි අපරාධ නිසාය. මිනිස් ජීවිතවල වටිනාකම ‘තුට්ටුව‘කට මායිම් නොකරන මත්ද්‍රව්‍ය සහ මත්පැනට ලොල්වූවෝ පසුගිය කාලයේ මනුෂ්‍ය ජීවිත ගණනාවක් බිලිගෙන තිබිණි. විශේෂයෙන් ම දහවල් කාලයේ නිවෙස්වල තනිව වෙසෙන වැඩිහිටි කාන්තාවන් කීපදෙනෙකුම පසුගිය කාලයේ ඝාතනය වූයේ අධික ලෙස මත්පැනට, මත්ද්‍රව්‍යවලට නැතිනම් සූදුවට ඇබ්බැහිවූ පුද්ගලයන්ගේ ක්‍රියා නිසාය.
පසුගිය කාලයේ සිදුවූ එවැනි ඝාතන ගණනාවක් පිළිබඳ සිදු කරන ලද පොලිස් විමර්ශනවලින් හෙළි වූයේ එම අපරාධ සිදුකරන ලද පුද්ගලයන්ට අදාළ ස්ථානවලින් රැගෙනයාමට තරම් මුදල් හෝ ස්වර්ණාභරණ දේපළ කිසිවක් නොතිබූ බවයි. ඊට හොඳම උදාහරණය පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් ඝාතනයක් වූ කෑගල්ලේ, කෙම්පිටිය වලව්වේ හිමිකරු ක්‍රිෂාන්ත පුලස්ති මාරපන ඝාතනයයි. ඒ පිළිබඳ පොලිසිය සිදු කළ විමර්ශනයේදී හෙළි වූයේ ඝාතකයන්ට රැගෙනයාමට ලැබී තිබුණේ ක්‍රිෂාන්ත පුලස්ති මාරපන පැලඳ සිටි රන් මුදුව පමණක් බවය. එවැනි සිදුවීම් රැසක්ම පසුගිය කාලයේ සිදුවූ මනුෂ්‍ය ඝාතන පිළිබඳ පොලීසිය කළ පරීක්ෂණවලින් අනාවරණය විය.
ඉකුත්දා රත්නපුර දිස්ත්‍රික්කයේ, වේවැල්වත්ත පොලිස් වසමෙන් වාර්තා වූ වැඩිහිටි කාන්තාව ඝාතනය ද එවැනි ‘නිරපරාද ඝාතනවලට‘ එක්වූ තවත් එක් ශෝචනීය අපරාධයකි.
මේ කතාව පෙළ ගැසෙන්නේ මෙසේ ය. කදවැල්දොල සුදුහකුරුගේ සෝමාවතී මාතාව 58 හැවිරිදිය. ඇය පදිංචිව සිටින්නේ රත්නපුර පොලිස් වසමේ උඩනිරිඇල්ලයි. ඉකුත් ජනවාරි 30 දා සවස් යාමයේ සෝමාවතී මාතාව එක්වරම ආගිය අතක් නොමැති විය. සැමියා සමඟ ජීවත්වූ ඇය ආගිය අතක් නොමැතිව මඳ වෙලාවක් ගිය පසු රත්නපුර පොලිස් කොට්ඨාසයේ වේවැල්වත්ත පොලීසියට ලද 119 දුරකතන ඇමතුමක් ඔස්සේ වේවැල්වත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ජයතිලක ඇතුළු කණ්ඩායම සිදු කළ පුළුල් විමර්ශනයකින් පසු හෙළි වූයේ ඇය ඝාතනය කර ඇති බවයි. පොලීසිය ඉන් පසුව සිදු කරන ලද විමර්ශනයේදී සෝමාවතී මාතාවගේ ඝාතකයා කොටුකර ගැනීමට සමත් විය.
ඇය ගෙල පැලඳ සිටි රන් මාලය සහ පෙන්ඩනය කොල්ලකෑමේ අටියෙන් ඇය ඝාතකය කර තිබූ සැකකරු 38 හැවිරිදි අයෙකි. දැඩි සේ කසිප්පු පානයට ඇබ්බැහි වී ඇති එකී ඝාතකයා ඉකුත් 30 වැනිදා එම අහස-පොළොව නුහුලන අපරාධය කළ පසු සැඟවී සිටියදී වේවැල්වත්ත පොලීසියේ නිලධාරින්ගේ සූක්ෂ්ම විමර්ශනයකින් පසු නීතියේ රැහැනට කොටුකර ගැනීමට ඉකුත් පෙබරවාරි 2 වැනිදා හැකි විය.
සෝමාවතී මාතාවගේ ජීවන ගමන නිමා කළ එම සැකකරු අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔහු කළ කී අපරාධයේ තරම කෙතරම් ද යන්න වේවැල්වත්ත පොලිස් නිලධාරීන් අනාවරණය කර ගත්තේය. ඒ අනුව සෝමාවතී මාතාවගේ සාහසික ඝාතනයේ මුල-මැද-අග සහ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් ආකාරය වේවැල්වත්ත පොලීසියේ සටහන් වන්නේ මෙලෙසිනි.
ඉකුත් ජනවාරි 30 වැනිදා රාත්‍රී 8.15ට පමණ මිරිහානේ පිහිටි 119 පොලිස් හදිසි ඇමතුම් කොට්ඨාසයට ලද හදිසි ඇමතුමක් යොමු කෙරුණේ රත්නපුර පොලිස් කොට්ඨාසයේ වේවැල්වත්ත පොලිස් ස්ථානය වෙතයි. එම පණිවිඩය දුන්නේ ජයසේන නමැත්තෙකි.
“සර්… මගේ නෝනා ගෙදර නැහැ… මම හැන්දෑවේ 6.20ට විතර ගෙදරින් ගියා ගලබඩ කඩමණ්ඩියට… ඒ ගිහින් 6.40 වෙද්දි ආවා… එවෙලේ ඉඳන් නෝනා ගැන හොයනවා… තාම එයා ගැන කිසිම ආරංචියක් නෑ…“ යැයි එම 119 පණිවිඩයෙන් කියැවිණි. එම 119 හදිසි පණිවිඩය ලැබී තිබුණේ වේවැල්වත්ත පොලිස් වසමේ ගලබඩ ප්‍රදේශයෙනි.
ඒ වන විට වේවැල්වත්ත පොලීසියේ 119 ජංගම ත්‍රීරෝද රථය පොලිස් වසම තුළ සැරිසරමින් තිබිණි. ලද එම 119 හදිසි පණිවිඩය පිළිබඳව ජංගම ත්‍රීරෝද රථයේ නිලධරයන් දැනුම්වත් කිරීමත් සමඟ වේවැල්වත්ත පොලිස් ස්ථානයේ සිට කිලෝමීටර් 14ක් පමණ දුරැති ගලබඩ ප්‍රදේශයට එම රථය ගොස් තිබුණේ රාත්‍රී 9.00 පමණ වෙද්දීය.
ගලබඩ හන්දියට ගිය පොලිස් නිලධාරීන් 119 හදිසි ඇමතුම් අංශයට දුරකතන ඇමතුම දුන් දුරකතන අංකයට ඇමතුමක් ගත්තේය. එහිදී පොලිස් නිලධාරින්ට දැනගන්නට ලැබුණේ ජයසේන නමැති එම පුද්ගලයා සිය බිරිය ආගිය අතක් නැති බව පැමිණිලි කිරීමට වේවැල්වත්ත පොලීසියට ගොස් ඇති බවය. 119 ජංගම රථයේ සිටි පොලිස් නිලධාරීන් කීවේ ජයසේනට හැකි ඉක්මනින් ගලබඩ හන්දියට පැමිණෙන ලෙසයි. අනතුරුව රාත්‍රී 10ට පමණ පොලිස් නිලධාරීන් සමඟ ජයසේන ඇතුළු කීපදෙනෙක් ඔහු සිය බිරිය සමඟ පදිංචිව සිටි කා අතරත් ‘ප්‍රේමසිරි මහතාගේ වත්ත‘ නමින් ප්‍රකට වත්තට ගියේය.
අක්කර 43 කින් පමණ යුත් එම වත්ත තේ සහ කුරුඳු ඇතුළු භවබෝගවලින් ගහණ ඉඩමකි. එම වත්තේ නිවසක සිටි 65 හැවිරිදි ජයසේන සහ 58 හැවිරිදි සෝමාවතී අඹුසැමියන්ට දරුවන් දෙදෙනෙකි. 119 පොලිස් ඇමතුම ඔස්සේ පොලීසියට කතා කර තම බිරිය නොමැති බව ජයසේන දුන් පණිවිඩයට අනුව (39124) සැරයන් නන්දසිරි ඇතුළු නිලධාරීන් කණ්ඩායම සෝමාවතී ගැන සොයා බලන්නට වූයේ ඒ මොහොතේ සිටය.
ගණ අඳුරේ පොලිස් නිලධාරීන් එලෙස සෝමාවතී ගැන සොයා බලද්දී ඇය ගැන කිසිම හෝඩුවාවක් නොමැති හෙයින් සැරයන් නන්දසිරි වේවැල්වත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ජයතිලක දැනුම්වත් කෙළේ සෝමාවතී ආගිය අතක් නොමැති බව සඳහන් කරමිනි.
“සාජන් නන්දසිරි… තව ටිකක් වටපිටේ හොඳට සර්ච් කරලා බලන්න…“ යැයි පොලිස් ස්ථානාධිපතිවරයා උපදෙස් දී ගත වූයේ විනාඩි 10ක පමණ කාලයකි.
“සර්… ඒ ගෑනු කෙනා හිටපු ගෙදරට මීටර් 50ක් විතර ඈතින් අතුරු පාරක තැන් දෙකක සෙරෙප්පු දෙකක්නම් තියෙනවා… ඒ කෙනා ඇදගෙන ගියපු ආකාරයක් තමයි පේන්න තියෙන්නේ…“ යැයි කියමින් සැරයන් නන්දසිරි වේවැල්වත්ත පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් දැනුම්වත් කළේය.
අනතුරුව එම අතුරු මාර්ගයේ ඉදිරියට මීටර් 100ක් පමණ දුරක් මහ රාත්‍රියේම ගිය පොලිස් නිලධාරීන් ඒ අවට පරීක්ෂා කළේය. එහිදී එම අතුරු මාර්ගය ‘ප්‍රේමසිරිගේ වත්තේ‘ම කඳු බෑවුම් සහිත කොටසක කුරුඳු මණ්ඩියක් හරහා ද වැටී තිබිණි. එම ඉසව්වේ දැඩි පරීක්ෂාවක් සිදු කරමින් සිටි සැරයන් නන්දසිරි ඇතුළු කණ්ඩායම රාත්‍රී 11ට පමණ සෝමාවතීගේ සිරුර සොයා ගනිද්දී ඇය මෙලොව හැර ගොස් සිටියාය.
සෝමාවතීගේ මළ සිරුර හමුවීමත් සමඟ වේවැල්වත්ත පොලිස් ස්ථානාධිපතිවරයා ද ඒසැණින් එම ස්ථානයට පැමිණියේය. අනතුරුව පොලිස් නිලධාරීන් සෝමාවතීගේ මළසිරුර පිළිබඳව මූලික විමර්ශන ඇරැඹීය. ඒ අතර පොලිස් ස්ථානාධිපතිවරයා මිය ගොස් සිටි සෝමාවතීගේ සැමියා ජයසේනගෙන් ප්‍රශ්න කළේ මෙකී අපරාධයට සැක කවුරුන් හෝ සිටිනවා ද යන්න විමසමිනි.
“සර්… පොඩි සැකයක් නම් තියෙනවා… මට අපේ කොල්ලා ගැන සැකයක් තියෙනවා…“ යැයි පවසමින් ජයසේන කිසියම් හෙළිදරව්වක් පොලිස් ස්ථානාධිපතිවරයා ඉදිරියේ කළේය.
ඒ අනුව ජයසේන සහ සෝමාවතී යුවළ සමඟ ඔවුන්ගේ පුතු අමනාපයෙන් පසුවී සිටියේ පුතුගේ නාස්තිකාර ජිවිතය ගැන සෝමාවතී සහ ජයසේන පුතුට දුන් අවවාද පුත්‍රයා තඹ සතේකටවත් මායිම් නොකිරීම නිසාය.
“සර්… අපේ ගම රත්නපුර උඩනිරිඇල්ලේ පන්විල… මෙහෙට ඇවිල්ලා මාස හතරක් ඇති… මමයි නෝනයි දරුවෝ දෙන්නයි…දුව බැඳලා ගම්පහ පැත්තේ ඉන්නේ… පුතා කලවානෙන් කසාද බැඳලා එහෙ පදිංචි වෙලා හිටියේ… පස්සේ පවුල එක්ක ආරවුල් වෙලා එයා මාස කීපයකට ඉස්සෙල්ලා අපේ ගෙදර පදිංචියට ආවා… ඊට පස්සේ තමයි මාස හතරකට විතර කලින් මමයි නෝනයි ගෙදරින් මෙහෙට ආවේ…“ යැයි ජයසේන හෙළි කළේය.
රත්නපුර පොලිස් වසමට අයත් උඩනිරිඇල්ල, පන්විල, නොම්මර 37 දරන නිවසේ පදිංචිව සිටි එම යුවළගේ ඉඩමක මීට වසර දෙකකට පමණ පෙරදී ලක්ෂ 40ක පමණ වටිනා මැණික් හමුවී තිබිණි. එම මැණික් විකුණා අඹුසැමියන් පුතුට රුපියල් ලක්ෂ 13කට කාරයක් ද මිලට ගෙන තිබිණි. කල් යද්දී පුත්‍රයා මුදල් නැති නාස්ති කරමින් නාස්තිකාර දිවියක් ගත කළේය. ඊට උරණ වූ ජයසේන සහ සෝමාවතී පුත්‍රයාට නිතර දොස්-පරොස් කීමත් සමඟ උග්‍ර වූ අඬදබර නිසා වැඩිහිටි යුවළට එම නිවසේ වාසය එපා වී තිබිණි.
ඒ අනුව ජයසේන කලෙක සිට දන්නා හිටපු ප්‍රාදේශිය ලේකම්වරයකු ද වන ප්‍රේමසිරි හමුවීමෙන් පසු ඔහු පවසා ඇත්තේ ගලබඩ පිහිටි අක්කර 43කින් යුත් ඔහුගේ ඉඩමට පැමිණ එහි නිවෙසක පදිංචි වන ලෙසයි. ජයසේන මීට මාස හතරකට පමණ පෙරදී එම වත්තේ නිවසකට පදිංචියට පැමිණ එහි කුරුඳු තැළීම ද සිදු කරමින් කල් ගෙවා තිබිණි. ජයසේන එලෙස බිරියගේ මරණයට පුතු ගැන සැකය පොලිස් නිලධාරීන්ට පැවැසීමත් සමඟ වේවැල්වත්ත පොලිස් ස්ථානාධිපතිවරයා නිලධාරීන් කණ්ඩායමක් සමඟ උඩනිරිඇල්ලට ගියේ ඒ මොහොතේමය. පොලීසිය යන විට ජයසේනගේ පුත්‍රයා නිවසේ සිටියේය. සිය මවට සිදුවී ඇති අපරාධය ගැන කිසිවක් නොකියා ඔහු ගලබඩට රැගෙන ආවේ 31 වැනිදා අලුයම 3.30ට පමණය. පොලිස් විමර්ශනවලින් හෙළි වූයේ සෝමාවතීගේ ඝාතනයට පුත්‍රයාගේ සබඳතාවක් නොමැති බවයි.
පසුදා එනම් ජනවාරි 31 වැනිදා වේවැල්වත්ත පොලිස් නිලධාරීන් විසින් රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට මේ සිද්ධිය පිළිබඳ කරුණු වාර්තා කිරීමත් සමඟ වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් අරඹේවත්ත මහතා අදාළ ස්ථානයට පැමිණි අතර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දැනුම්වත් කිරීමත් සමඟ එම නිලධාරීන්ගේ ද උපදෙස් මත රත්නපුර අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ (soco) ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක මයාදුන්න ඇතුළු කණ්ඩායම සහ ඇඟිලි සලකුණු නිලධාරින් ද විමර්ශනවලට එක් වූහ. ඊට අමතරව රත්නපුර නිල සුනඛ ‘මාසි‘ ද විමර්ශන සඳහා කැඳවීය.
වැඩබලන අතිරේක මහේස්ත්‍රාත්වරයා සෝමාවතීගේ සිරුර පරීක්ෂා කරද්දී ජයසේන දුටුවේ බිරිය පැලඳ සිටි රන්මාලය සහ පෙණ්ඩනය ඇගේ ගෙලෙහි නොමැති බවයි. එහෙත් ඇය පැලඳි කරාබු ජෝඩුව එලෙසම තිබිණි.
“සර්… නෝනගේ කරේ තිබුණ රන්මාලේ නැහැ…“ යැයි කීමත් සමඟ පොලීසියේ සැක කළේ ඇගේ රන්මාලය කොල්ලකෑමට යාමේදී ඇය ඝාතනය වන්නට ඇති බවයි.
මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත පොලීසිය විසින් සෝමාවතීගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රත්නපුර රෝහල වෙත යොමු කරන ලදි. අධිකරණ වෛද්‍ය නිලධාරි දිසානායක විසින් සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වූයේ සෝමාවතී ඝාතනය කර ඇත්තේ ඇගේ ගෙල සිර කිරීමෙන් බවය. අනතුරුව පොලීසිය එම සාහසික අපරාධය සිදු කළ ඝාතකයා සොයා විමර්ශන පුළුල් කළේ ඔත්තුකරුවන් මාර්ගයෙන් තොරතුරු ද රැස් කරමිනි. ඒ අනුව පොලිස් නිලධාරීන් ජයසේනගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කළේ එදින සවස් යාමයේ ඔහු සිටි ස්ථානය පිළිබඳවය.
“සර්… මං එදා හැන්දෑවේ 6.20ට විතර ගලබඩ හන්දියට ගියා… ඒ යනකොට නෝනා ඇඟ හෝදන්න වතුර උණු කරමින් හිටියේ. මං හන්දියට ගිහින් ලොතරැයි හතරකුයි බිත්තර පහකුයි අරන් 6.40 වෙනකොට ගෙදරට ආවා… මොකද මං හැමදාම අහන රේඩියෝ එකේ කතාවක් යනවා… ඒක අහන්න ඕන නිසා ඉක්මනට ආවත් එක්ක… ඔන්න ඔය වෙලාවෙදි තමයි ඔක්කොම වෙලා තියෙන්නේ…“ යැයි ජයසේන ප්‍රකාශ කළේය.
ජයසේන එලෙස නිවසට පැමිණ විපරම් කරද්දී සෝමාවතී ඇඟපත සෝදන ස්ථානයේ විදුලි බල්බය දැල්වෙමින් තිබිණි. එහෙත් නිවසේ වෙනත් කිසිම විදුලි බුබුළක් දැල්වී තිබුණේ නැත. අනතුරුව ජයසේන, වත්තේ ආරක්ෂකයා වන 55 හැවිරිදි දිසානායක ද දැනුම්වත් කළේ තම බිරිය නිවෙසේ නොමැති බව කියමිනි. එසැණින් දෙදෙනා ඇය ගැන සොයා බැලූවද පසුව 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට කතා කර තම බිරිය සෝමාවතී ආගිය අතක් නොමැති බව ජයසේන විසින් පොලිසිය දැනුම්වත් කර තිබිණි.
“සර්… එදා මං ගලබඩ හන්දියට යන වෙලාවේ සුරේෂ් කියන මනුස්සයා හම්බ වුණා… ඒකානම් කසිප්පුකාරයෙක්. ඒ වගේම සර් එදා දවල් පුවක් කඩන්නත් මනුස්සයෙක් ආවා…“ යැයි ජයසේන හෙළි කළේය. එම පුද්ගලයන් දෙදෙනා ගැන පොලීසියට ඇතිවූ සැකය මත දෙදෙනා පසුපස පන්නමින් පොලිස් විමර්ශන ආරම්භ කෙරිණි. ඒ අනුව මුලින්ම පුවක් කැඩීමට පැමිණි පුද්ගලයා සොයාගත් පොලිස් නිලධරයෝ ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු ගැන තිබූ සැකය පහව ගියේ ඔහුගේ හැසිරීම ද අධ්‍යයනය කිරීමෙන් පසුවය.
අනතුරුව දෙවැනි පුද්ගලයා සුරේෂ් ගැන පොලීසියෙන් සොයා බැලුවේය. එහෙත් ඒ වන විට ඔහු ගමේ සැරිසරන බවක් පෙනෙන්නට තිබුණේ නැත. තමන් පදිංචි ගමේ කාන්තාවක ඝාතනය වීම නිසා සියලු දෙනා ඒ ගැන කතා කරමින් විස්සෝප වෙද්දී සුරේෂ් එදිනෙදා යන එන තැන්වල නොසිටීමද පොලීසියේ සැකය තීව්‍ර කෙළේය. ඔහු ගැන වැඩිදුරටත් සොයා බලද්දී 38 හැවිරිදි සුරේෂ් දරුවකු ද සිටින විවාහකයකු බවත් බිරිය විදෙස්ගතව සිටින බවත් හෙළි විය. ඔහුගේ උපන් ගම රක්වානේ බවද පොලීසිය සොයා ගත්තේය. සුරේෂ් මීට මාස හතරකට පමණ පෙරදී රක්වානෙන් ගලබඩ ප්‍රදේශයේ රෝහණ නමැත්තාගේ තේ වත්තේ රැකියාවට පැමිණ එහි නිවසක නතර වී සිටින බව ද අනාවරණය විය.
ඉකුත් 2 වැනිදා පොලිස් නිලධාරීන් එම වත්තට ගොස් සුරේෂ් නැවතී සිටි නිවසට යද්දී ඔහු නිවසේ සිටියේය. කෙසේ හෝ පොලීසිය දුටු සැණින් ඔහු භීතියට පත්ව ඇති ආකාරයක් පොලිස් නිලධාරීන්ට නිරීක්ෂණය විය. ඒ අතරේ පොලිස් නිලධාරීන් සුරේෂ් රක්වානෙන් ගලබඩට පැමිණ සිටින්නේ කිසියම් හෝ අකටයුත්තක් නිසාවෙන් වන්නට ඇතැයි යන සැකය මත සැරයන් නන්දසිරි සුරේෂ්ගෙන් ප්‍රශ්න කෙළේය.
“මොකද්ද තමුන්ට රක්වානේ තියෙන කේස් එක…?“ යැයි සැරයන්වරයා සුරේෂ්ගෙන් විමසීය.
ඒ සමඟම සුරේෂ් කීවේ, “සර්… මම රක්වානෙදී කසිප්පු පෙරුවා… ඒකට මට වරෙන්තු දෙකක් තියෙනවා… ඒකයි මං ගලබඩ පැත්තට ඇවිත් ඉන්නේ…“ යනුවෙනි.
ඒ අනුව වේවැල්වත්ත පොලිස් නිලධාරින් සුරේෂ් වරෙන්තුකරුවෙක් බවට ද තොරතුරු අනාවරණය කර ගත්තේය. අනතුරුව සැරයන් නන්දසිරි, සුරේෂ්ගේ පපුවට අත තබද්දී ඔහුගේ හෘද ස්පන්ධනය වැඩි බව ද හෙළි විය.
“සුරේෂ්… අර සෝමාවතීගෙන් ගත්තු චේන් එක දියන්…“ යැයි සැරයන් කීවේ ඇඟටපතට නොදැනෙන ලෙසිනි.
ඒ සමඟම සුරේෂ් මඳ වේලාවක් සැරයන් නන්දසිරි දෙස බලා සිටියේය.
“හරි… සර්… මං චේන් එක දෙන්නම්…“ යැයි කියා ඒ ආසන්න තේ ගසක් යට ෂොපින් බෑගයක දමා සඟවා තිබූ සෝමාවතීගේ රන්මාලය සහ රන් පෙන්ඩනය සුරේෂ් පොලිසියට දුන්නේ තමන් සියලු වැරැදිවලින් නිදහස් වේ යැයි සිතමිනි.
අනතුරුව පොලිස් අත්අඩංගුවට ගත් සුරේෂ් සෝමාවතී මාතාව ඝාතනය කළ බව පිළිගනිමින් දීර්ඝ පාපෝච්චාරණයක් කළේය. ඒ අනුව සෝමාවතී ඝාතනයේ සුලමුල හෙළිවන්නේ මෙසේ ය.
සුරේෂ් දින කීපයක්ම සෝමාවතී මාතාව පැලඳ සිටි රන්මාලය සහ පෙන්ඩනය ගැන ඇස ගසාගෙන සිටියේය. ඉකුත් 30 වැනිදා ගලබඩ හන්දියේදී ජයසේන ලොතරැයි පත් මිලට ගන්නා දුටු සුරේෂ් ඒ සමඟම සිතුවේ සෝමාවතී තනිව නිවසේ සිටින හෙයින් නිවසට ගියහොත් රන්මාලය කොල්ලකෑ හැකි බවයි. ඒ අනුව සුරේෂ් ඒ මොහොතේම සෝමාවතී සිටි නිවසට යා හැකි මාර්ගවලින් නිවෙසට පහළින් පිහිටි මාර්ගයෙන් ගියේය. ඒ මාර්ගයේ පාළු නිවසක් ද තිබිණි. එහිදී සුරේෂ් රැගෙන ගිය පරිප්පු ඇතුළු කළමනා පාර්සලය සහ සෙරෙප්පු දෙක එහි තබා සෝමාවතීගේ නිවසට යද්දී ඇය එළියේ ස්ථානයක ඇඟපත සෝදමින් සිටියේ විදුලි බුබුළක් ද දල්වාගෙනය. සැණින් සෝමාවතීගේ ඇඟට කඩා පැන්න සුරේෂ් ඇගේ ගෙල මිරිකීමත් සමඟ ඇය ඇද වැටුණාය. ඒ සමඟම ඇගේ රන්මාලය ඔහු ගලවා ගත්තේය. අනතුරුව ඇගේ කෙස්වැටියෙන් මඳ දුරක් ඇදගෙන ගිය සුරේෂ් පසුව ඇගේ දෙපාවලින් ඇදගෙන ගොස් සිරුර පොලීසියට හමුවූ ස්ථානයේ දමා නැවත පාළු නිවසට ගොස් එහි තිබූ සෙරෙප්පු සහ කළමනා රැගෙන ඊට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි ඔහු නැවතී සිටි නිවසට ගියේය. ඔහු රාත්‍රියේම සිය ඇඳුම් ද සෝදා දමා තිබිණි.
පසුදා මුළු ගමේම අය සෝමාවතීගේ මරණය සැලවී එය දැක බලා ගැනීමට ගිය ද සුරේෂ් ඒ පැත්ත පළාතක ගොස් තිබුණේ නැත. එහෙත් ඔහු ගමේ ඇතැම් කාන්තාවන්ට කියා තිබුණේ
“අක්කේ… යන්න එපා ඒ පැත්ත පළාතේ… චේන් එකක් ගන්නනේ මරලා තියෙන්නේ… ඒක නිසා ඕගොල්ලොත් පරෙස්සමින් ඉන්න…“ යැයි කියායි. කෙසේ හෝ විමර්ශන සිදු කළ පොලිස් නිලධාරින්ට ද තොරතුරුකරුවන් මාර්ගයෙන් සුරේෂ්ගේ එවැනි ප්‍රකාශ සැල වී තිබිණි.
අත්අඩංගුවට ගත් සුරේෂ් සතුව තිබී පොලීසියට දුන් රන්මාලයේ තිබී දිගු කෙස් ගස් දෙකක් ද හමුවී තිබිණි. එම කෙස් ගස් පිළිබඳ ඩීඑන්ඒ පරීක්ෂාවක් ද සිදු කිරීමට යොමු කෙරුණේ ඉදිරි විමර්ශන සඳහායි. අත්අඩංගුවට ගත් සුරේෂ් දැඩි සේ කසිප්පු පානයට ඇබ්බැහිවූවෙකි. ඔහු සිය දෛනික කුලියෙන් සෑම දිනෙකම පාහේ රුපියල් 900ක පමණ කසිප්පු මිල දී ගෙන රාත්‍රියේද පානය කොට ඉතිරිය පසුදා අලුයම ද පානය කිරීමෙන් පසු රැකියාවට යන බව ද පාපෝච්චාරණවලින් හෙළි විය.
සුරේෂ්ගේ ජාතික හැඳුනුම්පත ද ළඟ නොතිබිණි. ඒ ගැන විමසද්දී හෙළි වූයේ මීට පෙර රැකියාව කළ වෙනත් වත්තක හිමිකරුට රුපියල් 15000ක ණයක් වීම නිසා එම වත්ත හිමිකරු ඔහුගේ ජාතික හැඳුනුම්පත ලබාගෙන ඇති බවයි. අත්අඩංගුවට ගත් සුරේෂ් රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
රත්නපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාසගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි අතුල ලෙවන්ගමගේ අධීක්ෂණයෙන් වේවැල්වත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ජයතිලකගේ මෙහෙයවීමෙන් සැරයන්වරුන් වන (39124) නන්දසිරි, (42927) රිදිමාලියද්ද, (42615) සරත්, (75367) ප්‍රේමරත්න, (40288) කීර්තිරත්න, විශේෂ කාර්යාංශයේ සැරයන් (37294) මේනක සහ කොස්තාපල් රියැදුරු (4125) රුවන්පුර යන නිලධරයෝ විමර්ශනවලට එක් වූහ.
අමිල මලවිසූරිය
ඡායාරූප – කහවත්ත ලසන්ත නිරෝෂණ පෙරේරා