වර්ෂ 1952දී නැඟෙනහිර පාකිස්තානය හෙවත් වත්මන් බංග්ලාදේශයේ සිදු වූ මාතෘ භාෂාවෙන් කටයුතු කිරීමේ අයිතිය උදෙසා අරගලයේදී පාලකයන්ගේ මර්දනය හමුවේ කිහිප දෙනකුට දිවි අහිමි වූ අතර, විශාල පිරිසක් තුවාල ලැබූහ. කෙසේ වෙතත් අවසන ඔවුන්ට තම මවු බසේ අයිතිය ලැබිණි. එය මාතෘ භාෂාව භාවිත කිරීමේ අයිතිය වෙනුවෙන් මානව ඉතිහාසයේ අත් කර ගත් සුවිශේෂ ඓතිහාසික ජයග්‍රහණයක් වූ අතර, මාතෘ භාෂාවේ අයිතිය උදෙසා දිවි පිදූවන් සිහි කරනු වස් පෙබරවාරි 21 දින අන්තර්ජාතික මාතෘ භාෂා දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.
මේලොව සැම පුද්ගලයකුට ම මවු බසක් ඇති අතර ඇතැම් අයට මාතෘ භාෂා දෙකක් හෝ තුනක් වුව ද විය හැකි යැයි පැවසුව හොත්, ඔබ විමතියට පත් වනු ඇත. එහෙත් මාතෘ භාෂා එකකට වඩා ඇති බොහෝ පිරිසක් ලොව විවිධ රටවල වෙසෙති. මාතෘ භාෂාව කුමක් ද යන්න තීරණය වන්නේ පුද්ගලයකු හැදෙන වැඩෙන පරිසරය මත ය. යම් අයකුට තම කුඩා අවදියේ සිට නිතර අසන්න ලැබුණු හා
මනා පරිචයකින් යුතුව භාවිත කළ හැකි භාෂාව/ භාෂා මාතෘ භාෂාව/ මාතෘ භාෂා වශයෙන් දැක්විය හැකි ය. එහෙයින් එය, මවුපියන්ගේ ජානමය දායාදයක් ලෙස ලැබෙන්නක් නොවන අතර, සංස්කෘතික දායාදයක් වශයෙන් උරුම වන්නකැයි පැවසුව හොත් නිවැරදි ය.
ලොව විවිධ තේමා සඳහා වෙන් වූ දින අතර ‘අන්තර්ජාතික මාතෘ භාෂා දිනය’ ලෙස නම් කරනු ලැබ ඇත්තේ පෙබරවාරි මස 21 වැනිදා ය. යුනෙස්කෝ සංවිධානය මඟින් 1999 දී එදින ප්‍රකාශයට පත් කරනු ලැබීමෙන් පසු, 2000 වසරේ සිට ලොව පුරා බොහෝ රටවල එක් එක් වසරේදී, විවිධ තේමා යටතේ ඒ අරබයා සැමරුම් උත්සව පවත්වනු දැක ගත හැකි ය.
පෙබරවාරි 21 දිනය අන්තර්ජාතික මාතෘ භාෂා දිනය ලෙස තෝරා ගැනීම සඳහා හේතු වූ ඓතිහාසික සිද්ධියක් පවතී. එය මානව ඉතිහාසයේ සිය මවු බස වෙනුවෙන් මිනිසුන් දිවි පිදූ දිනයක් ලෙස ඉතිහාසයට එක් වී ඇත.
1947 දී බ්‍රිතාන්‍ය කිරීටයෙන් ඉන්දියාව නිදහස ලබද්දී පාකිස්තානය නමින් නව රාජ්‍යයක් ඒ භූමියේ බිහි විය. එහිදී, භාරත දේශයේ නැඟෙනහිර පෙදෙස නැඟෙනහිර පාකිස්තානය ලෙසත්, බටහිර පෙදෙස බටහිර පාකිස්තානය ලෙසත් හැඳින්විණි. බටහිර පාකිස්තානයේ බොහෝ පිරිසකගේ මාතෘ භාෂාව පමණක් නොව, එකල සමස්ත පාකිස්තානයේම පරිපාලන භාෂාව ද වූයේ ‘හින්දුස්ථානි’ නමින් ප්‍රචලිතව පැවති, භාරතයේ හින්දී භාෂාවට ඉතා සමීප උර්දු බසයි (එය වත්මන් පාකිස්තානයේ රාජ්‍ය භාෂාව ද වේ). එහෙත්, නැඟෙනහිර පාකිස්තානයේ විසූ ප්‍රජාව තමන්ට නුහුරු නුපුරුදු බසකින් කටයුතු කිරීමට කිසි සේත් ම කැමැති වූයේ නැත. එබැවින් ඔවුහු ස්වකීය මාතෘ භාෂාව වූ ‘බංග්ලා’ හෙවත් බෙංගාලි බසින් කටයුතු කිරීමේ අයිතිය උදෙසා අරගල කළෝ ය (දුරාතීතයේ සිට එය ලක්දිව ප්‍රචලිත වී තිබුණේ ‘වංග’ හෙවත් ‘වඟු’ බස යන නමිනි. වර්තමාන බංග්ලාදේශයේත්, ඉන්දියාවේ බටහිර බෙංගාලය ඇතුළු ප්‍රාන්ත කිහිපයකත් භාවිත වන ප්‍රධාන භාෂාව වන්නේ බෙංගාලි බසයි). 1952 වර්ෂයේදී නැඟෙනහිර පාකිස්තානය හෙවත් වත්මන් බංග්ලාදේශයේ සිදු වූ මේ අරගලයේදී පාලකයන්ගේ මර්දනය හමුවේ කිහිප දෙනකුට දිවි අහිමි වූ අතර, විශාල පිරිසක් තුවාල ලැබූහ. කෙසේ වෙතත් අවසන ඔවුන්ට තම මවු බසේ අයිතිය ලැබිණි. එය මාතෘ භාෂාව භාවිත කිරීමේ අයිතිය වෙනුවෙන් මානව ඉතිහාසයේ අත් කර ගත් සුවිශේෂ ඓතිහාසික ජයග්‍රහණයක් වූ අතර, මාතෘ භාෂාවේ අයිතිය උදෙසා දිවි පිදූවන් සිහි කරනු වස් පෙබරවාරි 21 දින අන්තර්ජාතික මාතෘ භාෂා දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.
තමන්ගේ මාතෘ භාෂාව සැම පුද්ගලයකුට ම අතිශය වටිනා දෙයකි. ඒ මක් නිසා ද යත්: තමන්ගේ සිතීමේ හැකියාව, අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව මෙන් ම තමන්ගේ සිතුම් පැතුම් අන්‍යයන් අතර හුවමාරු කර ගැනීමේ මාධ්‍යය ද මාතෘ භාෂාව වන හෙයිනි. පුද්ගලයකුට තම සිතැඟි වඩා නිරවුල් ලෙසත්, අර්ථාන්විත ලෙසත් ප්‍රකාශ කළ හැකි වන්නේ ස්වකීය මාතෘ භාෂාවෙන් පමණි. එහෙයින් මවු බස පුද්ගල ජීවිතය සමඟ ආත්මීය වශයෙන් බැඳී පවතීන්නක් වන අතර, මාතෘ භාෂාව භාවිත කිරීමේ අයිතිය පුද්ගලයකුට හිමිවන වරප්‍රසාදයක් මෙන් ම එක්තරා ආකාරයක මානව අයිතිවාසිකමක් ද වේ.
කෙසේ වෙතත් ලොව පුරා ඉතා විශාල පිරිසකට ස්වකීය මාතෘ භාෂාවෙන් මූලික අධ්‍යාපනය ලැබීමේ අයිතිය පවා අහිමි වී ගොස් ඇත. කිසි දිනක අසා නැති භාෂාවකින් කිසි දිනක දැක නැති අක්ෂරමාලාවකින් අකුරු කරන්න මුලපුරන දරුවකුගේ මානසික තත්ත්වය ඉතා දුක්මුසු විය හැකි ය. මේ මූලික අයිතිය අහිමි වූ කෝටි සංඛ්‍යාත මානව ප්‍රජාවගේ හිමිකම ද මාතෘ භාෂාවේ සුරක්ෂිතභාවය හා බැඳී පවතී. අධ්‍යාපනයක් ලැබීමේ අයිතිය පමණක් නොව, වෛද්‍ය පහසුකම්, ආහාර, නීතිය, ගමනාගමනය ආදි බොහෝ ක්ෂේත්‍රවල සමානාත්මතාව බොහෝ පිරිසකට නොලැබී යන්නේ ස්වකීය මාතෘ භාෂාවට තමා ජීවත් වන පරිසරයේදී වඩාත් ප්‍රශස්ත පිළිගැනීමක් නොලැබෙන හෙයිනි. මෙය උපතින්ම පුද්ගලයකු සතු වන අයිතියක් උල්ලංඝනය වීමේ ඛේදයකි. එහෙයින් මාතෘ භාෂා අයිතිය වෙනුවෙන් මානව ඉතිහාසයේ දිවි පිදූ දිනයක්ම මාතෘ භාෂා සැමරීම සඳහා යොදා ගැනීම වඩාත් යෝග්‍ය යැයි සිතිය හැකි ය.
ලොව පුරා බොහෝ රටවල මාතෘ භාෂා දිනය සමරනු ලබන්නේ ඒ ඒ රටවල භාවිත වන භාෂා සුරක්ෂිත කිරීම, භාෂා සැලසුම්කරණය ආදිය පිළිබඳ සමුළු, සාකච්ඡා, සම්මන්ත්‍රණ හා ප්‍රායෝගික වැඩසටහන් මූලික කර ගෙන, විවිධ භාෂා භාවිත කරන්නන්ගේ සහභාගිත්වයෙනි.
ලොව පුරා විවිධ භාෂා පවුලට අයත් අට දහසකට වඩා භාෂා දක්නට ලැබෙන අතර, උපභාෂා සිය ගණනකින් මේ භාෂා විචිත්‍රවත් වී ඇත. ලේඛන ව්‍යවහාරය සහිත භාෂා මෙන් ම ලේඛන ව්‍යවහාරයක් රහිත දහස් ගණනක් භාෂා ද මේ අතර ඇත. ලේඛන ව්‍යවහාරයක් සහිත භාෂාවල වැඩුණු ලිඛිත සාහිත්‍යයක් මෙන් ම මුඛපරම්පරාගත සාහිත්‍යයක් ද දැකිය හැකි ය. එමෙන් ම, ලිඛිත ව්‍යවහාරයක් රහිත, කටවහර පමණක් ඇති භාෂා ද මුඛපරම්පරාගත දියුණු ජන සාහිත්‍යයකට හිමිකම් කියයි. මේ සියලු භාෂා මානවයාගේ ඓතිහාසික වංශකථාවේ එක් එක් අවධිවල සංස්කෘතියෙන් සුපෝෂිත, සොබාදහමේ අපූර්ව දායාද වෙයි.
ලෝකයේ ඇතැම් භාෂා භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගන්නා අතර, ඇතැම් භාෂා භාවිත කරනු ලබන්නේ ඉතා සුළු පිරිසකි. මේ එක් එක් භාෂාවට ආවේණික ලක්ෂණ දෙස විමසා බැලීමේදී වාග්විද්‍යාත්මක වශයෙන් මෙන් ම, මානවවිද්‍යාත්මක වශයෙන් ද ඒවාට ඉහළ වටිනාකමක් හිමි වේ. ඉතා සුළු පිරිසක් ව්‍යවහාර කරන, එහෙත් විශාල සංස්කෘතියකට උරුමකම් කියන භාෂා ද අපට දැක ගත හැකි ය. ඒ භාෂා දශක කීපයකදී හෝ වසර කිහිපයකදී මිහිතලයෙන් සදහට ම නැති වී යා හැකි ය. වඳ වී යෑමේ තර්ජනයට මුහුණ පා තිබෙන ශාක හා සතුන් මෙන් මේ මානව භාෂා ද ලෝකයෙන් කෙමෙන් කෙමෙන් වියැකී යන අතර, එබඳු භාෂා සිය ගණනක් අපට දක්නට පුළුවන. මේ භාෂා මානව වර්ගයාගේ අතීත උරුමයක් ලෙස අනාගතයට සංරක්ෂණය කර තබා ගැනීමත්, ඒවා ප්‍රවර්ධනයත් අන්තර්ජාතික මාතෘ භාෂා දිනය සැමරීමත් සමඟ සාකච්ඡාවට ලක් කෙරේ.
භූගෝලීය වශයෙන් ඉතා කුඩා භූමි ප්‍රදේශයක් වන ශ්‍රී ලංකා භූමිය සලකන කල්හි ඒ තුළ ඉන්දු-ආර්ය, ද්‍රාවිඩ, මලයෝ-පොලිනීසියන්, ඉන්දු-යුරෝපීය සහ සීනෝ-ටිබට් යනාදි භාෂා පවුල්වලට අයත් විවිධ භාෂා කතා කරන පිරිස් ජීවත් වෙති. ඒ අතුරින් මෙරට විශාල පිරිසකගේ මවු බස වන සිංහලය ප්‍රාදේශීය උපභාෂා රැසකින් යුත් නූතන ඉන්දු-ආර්ය භාෂාවකි. සිංහලය අඛණ්ඩ ලිඛිත සාහිත්‍යයකින් මෙන් ම ජනසාහිත්‍යයකින් ද සුපෝෂිතය. නූතන ඉන්දු-ආර්ය භාෂා අතර දීර්ඝ ඉතිහාසයක් ඇති භාෂාවක් වශයෙන් ද සිංහලයට ඉහළ වටිනාකමක් හිමිවේ. මෙරට භාවිත වන සෙසු සජීව ඉන්දු-ආර්ය භාෂා ලෙස මේමන්, සින්දි සහ බෝරා භාෂා දැක්විය හැකි ය.
සිංහලය හැරුණු විට මෙරට භාවිත වන ප්‍රධාන භාෂාව දෙමළ බසයි. එය ද්‍රාවිඩ භාෂා පවුලට අයත්, දීර්ඝ ඉතිහාසයක් සහිත සාහිත්‍යයකට හිමිකම් කියන භාෂාවකි. දෙමළ බසෙහි ප්‍රදේශීය උපභාෂා සහ සමාජීය උපභාෂා රාශියක් දැකිය හැකි ය. එකී ප්‍රදේශීය උපභාෂා අතර ශ්‍රී ලාංකේය උපභාෂාවේ පැරණි භාෂා ලක්ෂණ රැසක් සුරැකී ඇත. ඒවා වාග්විද්‍යාත්මක වශයෙන් මෙරට දෙමළ භාෂාවට හිමි වන විශාල වටිනාකමකි. මෙරට භාවිත වන සෙසු ද්‍රාවිඩ භාෂා අතර තෙලුගු, මලයාලම් භාෂා ද දැක්විය හැකි ය. ශ්‍රී ලංකාවේ භාවිත වන අහිකුණ්ඨික ජනයාගේ මාතෘ භාෂාව ද්‍රාවිඩ භාෂා පවුලට අයත් තෙලුගු බසේ උපභාෂාවකි. ඉතා ශීඝ්‍රයෙන් වඳ වී යෑමේ තර්ජනයට මුහුණ පා ඇති මේ භාෂාව ශ්‍රී ලංකාවට ආවේණික භාෂාවක් වශයෙන් දැක්විය හැකි ය.
ශ්‍රී ලංකාවේ භාවිත වන මැලේ බස මලයෝ-පොලිනීසියන් පවුලට අයත්, මෙරටට ආවේණික භාෂාවක් වන අතර, එය ද වඳ වී යෑමේ තර්ජනයට මුහුණ පා ඇත. පෘතුගීසි භාෂාව ද මෙරටට ආවේණික ලක්ෂණ රැසක් උරුම කරගත් ඉන්දු-යුරෝපීය භාෂාවක් වශයෙන් දැක්විය හැකි ය. දුරාතීතයේ සිට මෙරට චීන භාෂාව භාවිත කළ පිරිස් හමු වේ. මෙරට ආදිවාසි ජනයා වශයෙන් සැලකෙන වැදි ජනතාවගේ භාෂාවට ද වාග්විද්‍යාත්මක වශයෙන් මෙන් ම මානව විද්‍යාත්මක වශයෙන් ද ඉහළ වටිනාකමක් හිමි වේ. වර්තමානය වන විට වැදි බස සිංහල භාෂාව සමඟ සම්මිශ්‍රිත ක්‍රියෝල් භාෂාවක් ලෙස සකස් වී ඇත.
මෙනයින්, කුඩා දිවයිනක් වුව ද සංස්කෘතික වශයෙන් මෙන් ම භාෂාත්මක වශයෙන් ද විවිධත්වයෙන් අනූන රටක් ලෙස දකුණු ආසියානු කලාපයේ ශ්‍රී ලංකාවට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. ලෝකයේ මාතෘ භාෂා සමඟ මේ සුවිශේෂ භූමියේ මාතෘ භාෂා පිළිබඳව ද සාකච්ඡා කරන, ඒ භාෂාවල වටිනාකම ලොවට කියාපාන, ඒ භාෂා සංරක්ෂණය කර අනාගත පරපුරට දායාද කරන දිනයක් ලෙස පෙබරවාරි 21 වැනිදා විවිධ විශ්වවිද්‍යාලය හා භාෂා අධ්‍යයනය පිළිබඳ ආයතන සෙසු ලෝකයා සමඟ එක්ව අන්තර්ජාතික මාතෘ භාෂා දිනය සමරන්නේ ඉතා අභිමානයෙනි.
ඒ අනුව මෙවර ද දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන්ගේ සහ විද්වතුන්ගේ සහභාගිත්වයෙන් අන්තර්ජාතික මාතෘ භාෂා දින සැමරුම එළඹෙන 21 සිකුරාදාවේ රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ සංවිධානයෙන් රුහුණ විශ්වවිද්‍යාලයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර, රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහාපණ්ඩිත අකුරටියේ නන්ද නාහිමියන් මූලාසනය හොබවන මේ උත්සව සභාවට ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දාලිබ් එලියාස් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වේ. හම්බන්තොට ඉන්දීය කොන්සියුලර් ජනරල් හර්වින්දර් සිං, රුහුණ විශ්වවිද්‍යාලයේ නිසි බලධර ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්.එම්.යූ.එස්.කේ. රත්නායක, ජාතික සමඟිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලයේ සභාපති විජිත් රොහාන් ප්‍රනාන්දු, පීඨාධිපතිවරුන් සහ ආචාර්යවරුන් ඇතුළු සම්භාවනීය පිරිසක් සහ දකුණු පළාතේ භාෂා ගුරුවරුන් හා විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යශිෂ්‍යාවන් ද ඊට එක් වනු ඇත. මේ අතර රාජ්‍ය මට්ටමේ අන්තර්ජාතික මාතෘ භාෂා දින සැමරුම් උලෙළ ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් 21 දා පෙ.ව. 8.00 – 10.00 කාලයේ කොළඹ 7, නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට නියමිත ය.
ආචාර්ය ධම්මික ජයසිංහ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රුහුණ විශ්වවිද්‍යාලය